වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 09 වැනිදා බ්‍රහස්පතින්දා




ගින්නක් නැතුව දුමක් නොනැඟුන බොලිවුඩ් පෙම්කතා

ගින්නක් නැතුව දුමක් නොනැඟුන බොලිවුඩ් පෙම්කතා

බොලිවුඩය සුන්දර කතාවලින් වගේම අසුන්දර කටකතාවලින්ද පිරුණු තැනක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ කතා අතරේ බොලිවුඩ් තරු පිළිබඳ වූ ආන්දෝලනාත්මක කටකතා ද නැතුවාම නොවෙයි. බොලිවුඩයේ සැරිසරන විටදී හමුවන මේ වැනි කටකතා කෙතරම් හමු වුණත් ඒවා ඇත්ත වෙන්නත් වගේම නොවෙන්නත් පුළුන්වන්. කෙසේ වෙතත් කටකතා කියන දේ කිසිවෙකුට නවත්වන්න නොහැකි වුණත් තර්කානූකූලව සොයා බලා ඒවා කනට ගැනීමයි වැදගත්. අද මෙයින් දිග හැරෙන්නේ බොලිවුඩයේ සැරිසරන විටදී හමු වූ එවැනි බරපතළ කටකතා කිහිපයක්.

රාණි මුඛර්ජි එක්ක ගෝවින්දාගේ තිබුණු සබඳකම බොහෝ දෙනෙක් නොදන්නා කතාවක්. මේ දෙන්‍නා ගොඩක් ළං වෙලා තිබුණේ  Hadh Kardi Aapne චිත්‍රපටය රූගත කළ කාලයේදීයි. ගොවින්දාගේ බිරිය සුනීතා නම් මේ ගැන දැනගෙන හිටියෙත් නැහැ කියලායි බොලිවුඩ් කටකතා පවසන්නේ. මොකද මේ දෙදෙනා ප්‍රසිද්ධ ස්ථානවල දි නම් නිතර නිතර හමුවුණේ නැතත් රාණි ඒ කාලයේ පදිංචි වෙලා සිටි වර්සොවාහි නිවාස සංකීර්ණයට ගොවින්දා පැමිණි බවත් ඒ කටකතාවල ඇතුළත්.

අමීර් ඛාන් බොලිවුඩ් මාධ්‍ය වේදිනියක වන ජෙසිකා හයින්ස් සමඟින් ප්‍රේම සබඳතාවක් පැවති බව බොලිවුඩයේ ප්‍රසිද්ධ තවත් කටකතාවක්. Ghulam චිත්‍රපටය රූගත කළ කාලයේ ඇති වූ මේ පෙම් කතාව නිසා අමීර් - ජෙසිකා මව්පියන් වූ බවත් පැවසෙනවා. හැබැයි අමීර් නම් මේ කතාව පිළිගත්තේ නැතත් ජෙසිකා නම් එය සත්‍ය බවයි පවසන්නේ. දරුවා වයසින් වැඩුණාම කෙදිනක හෝ ඔහුගේ පියා ඔහුට අකමැති බව පවසන බවට ජෙසිකා කළ ප්‍රකාශයක් බොලිවුඩයෙන් ආරංචි වෙනවා.

මේ කතාවත් ඇත්ත ද නැත්ත ද කියලා හරියටම කියන්න බැරි වුණත් බොලිවුඩයේ ලොකුම රහස් අතරට එක් වෙන රහසක් බවට පත් වෙලා. ඒ තමයි ශාරුක් ඛාන් සහ ප්‍රියංකා චොප්රා විවාහ ගිවිස ගත් බවට වන කටකතාව. ඒ ගැන හරියටම සහතික වෙන්න බැරි වුණත් කටකතාවේ හැටියට Don චිත්‍රපටය රූගත කළ කාලයේදී එය සිදු වූ බවයි කියවෙන්නේ. හැබැයි ශාරුක් මුස්ලිම් ජාතිකයකු නිසා ඔහුට තවත් විවාහයක් සිදු කළ හැකි බවත් ඒ කටකතාවෙන්ම කියනවා.

ශිල්පා ෂෙට්ටි සහ අක්ෂේ කුමාර් 1997 වසරේදී Main Khiladi Tu Anari චිත්‍රපටය රූගත කරනවිටදී ඇති වූ සබඳකමක් ගැනත් ඔවුන් දෙදෙනා විවාහ ගිවිසගත් බවටත් කටකතා පැතිරුණත් Dhadkan චිත්‍රපටය රූගත කළ කාලය වන විටදී අක්ෂේ සහ ට්වින්කල් ඛන්නා සම්බන්ධ කර පුවත් මාතෘකා බවට පත් වුණා. ඒ අතරම ශිල්පා සහ ට්වින්කල් දෙදෙනා සමඟින්ම අක්ෂේගේ හාදකම් පවතින බවටත් පැතිර යාම බොලිවුඩයේ සුපිරි කටකතාවක් ලෙස පැතිරුණා.

රිදි තිරයේදී රාජ් කපූර් නාර්ගීස් හමුවන විටත් රාජ් කපූර් විවාහකයෙක්. රාජ් කපූර් සහ නාර්ගීස් පෙම් කතා අතරේදීම නාර්ගීස්හට රාජ් කපූර් සමඟින් විවාහ වෙන්න වුවමනා වුණත් රාජ් සිය බිරිය ක්‍රිෂ්ණා අතහරින්න කැමැති වෙලා නැහැ. බොලිවුඩයෙන් ආරංචි වෙන්නේ, අවුරුදු දහයක්ම රාජ් වෙනුවෙන් බලා සිටි නාර්ගීස් පසුව තීරණය වෙනස් කළ බවයි. රාජ් කපූර් පිළිබඳ බලාපොරොත්තු අත්හළ නාර්ගීස් Mother India චිත්‍රපටයේ ඇය සමඟින් රඟපෑ සුනිල් දත් සමඟින් විවාහ දිවියට පිවිසියා. මේ කතාව ඇතුළේ තියෙන් ලොකුම කටකතාව තමයි ඩිම්පල් කපාඩියා කියන්නේ රාජ් කපූර් සහ නාර්ගීස් ගේ දියණිය කියන එක.

සෝනක්ෂි සිංහාගේ තාත්තා ශතෘගන් සිංහා තම පළමු චිත්‍රපටය Kalicharan ට දායක වුණේ, රීනා රෝයි සමඟින්. එය ඉහළ ජනප්‍රියත්වයක් ලබන්න සමත් වුණා විතරක් නෙවෙයි මේ දෙදෙනා එක්ව පසුව රඟ පෑ චිත්‍රපට කිහිපයක්ම ජයප්‍රියත්වයෙන් ඉහළටම යන්න සමත් වුණා. මේ අතරේ රීනා සහ ශතෘගන් අතරේ ආදර කතාවත් ගොඩනැඟුණ ද ඒ වනවිට ශතෘගන් පුනම් සමඟින් විවාහ වී සිටි නිසා එය තවත් තුන්කොන් ආදර පුවතක් බවට පත් වුණා. හොඳම කටකතාව වෙන්නේ, මේ කතාවේ ඊළඟ කොටස තමයි. සෝනක්ෂි සිංහා කියන්නේ, ශතෘගන් සහ පූනම්ගේ දියණය නොව ශතෘගන් සහ රීනාගේ දියණිය යි කියන එක. රීනා සහ සෝනක්ෂිගේ පින්තූර දිහා බලනකොට එහෙමත් පේනවා.

සංගීතඥයකු, ගායකයකු, ගී පදරචකයකු සහ නිෂ්පාදකයකු වූ භූපන් හසාරිකාගේ දහතුන් වසරක විවාහ දිවියට තිත තැබුවේ ප්‍රවීණ ගායිකා ලතා මංගේෂ්කාර් නිසා බවත් බොලිවුඩයේ සැරි සරන බරපතළම කටකතා අතරේ වෙනවා. යුග ගණනනාවක් පුරා පෙම්වතියට ආදරණීය ගී හඬ එක් කළ මේ ගීත කෝකිලාවියගේ ආදරය තහනම් එකක් වූ නිසාම සිය දිවිය තනිකඩව ගෙවාදැමීමේ රහසත් එය වන බවයි කියවෙන්නේ.

මේ කතාව බොහෝ දෙනෙක් දන්නා ප්‍රසිද්ධ කටකතාවක්. ඒ තමයි සල්මන් ඛාන් සහ ඓශ්වර්යා රායි අතර ආදර සබඳකම. හැබැයි මේ දෙදෙනා අතර අඬදබර පහරදීම් දක්වා දුර ගිය ප්‍රචණ්ඩ ඒවා බව බොලිවුඩය කැලඹූ කටකතා බවට පත් වුණේ, ඓෂ්වර්යා පැමිණිලි කරන්නට පොලිසීයට ගිය පසුවයි.

රන්බීර් - දීපිකා පෙම් කතාවත් දැන් ටිකක පැරණි බොලිවුඩ් ආදර කතාවක්. හැබැයි මේ ආදර කතාව පවතින කාලයේදීත් රන්බීර් වංචා කරන එක නැවැත්වූවේ නැහැ කියලා බොලිවුඩයෙන් ආරංචි වෙනවා. මේ කාලයේ දීපිකා රන්බීර්ගේ නිවෙසට ආවේ ගියේ තමන්ගේම නිවෙසට වගේ කියලායි එයින් කියවෙන්නේ. හැබැයි රන්බීර්ගේ අම්මා නීතු නම් මෙයට එතරම් හොඳ ප්‍රතිචාර දක්වලා නැති බවත් ආරංචියි. ඒ වුණත් රන්බීර් සහ කත්‍රිනා ආදර කතාවේදී නම් එහෙම ගැටලුවක් මතු නොවුණාද කියලා කටකතාවක් පැතිරෙනවා.

බොලිවුඩ් රිදී තිරයේ මැවෙන ආදර කතා වගේම බොලිවුඩ් තරු අතරත් ආදර කතාවලින් නම් අඩුවක් නැහැ. මේ අතරේ රිතික් රෝෂන් වෙනුවෙන් සුසෑන් ඛාන් හිටියත් රිතික්ගේ ආදරය වරක් කරීනා කපූර් වෙතත් බෙදී ගිය බව මේ කටකතා අතර තවත් එකක්. මේ දෙදෙනාගේ ගමන් බිමන් හමුවීම් දරා ගත නොහැකි තැන වරක් කරීනාගේ මව බබිතා ඇයට නිවෙසින් පිටවී යන ලෙස බැණ වැදුණු බවත් ඒ කතා අතරම වෙනවා.