වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 09 වැනිදා බ්‍රහස්පතින්දා




හොඳම නිළිය ලෙස අනෝමා ජනාදරී ජගත් සම්මාන දිනයි

හොඳම නිළිය ලෙස අනෝමා ජනාදරී ජගත් සම්මාන දිනයි

සංජීව පුෂ්පකුමාරගේ දැවෙන විහඟුන් තවත් වරක් ජාත්‍යන්තර සම්මානයට

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පසුගිය නොවැම්බර් 2 දින නිමාවුණු ඒෂියන් වර්ල්ඩ් සිනමා උළෙලේදි (Asian World Film Festival) හොඳම නිළියට හිමි සම්මානය දැවෙන විහඟුන් (Burning Birds) චිත්‍රපටයේ කුසුම්ගේ චරිතය වෙනුවෙන්අනෝමා ජනාදරි දිනා ගනී. අනෝමා ජනාදරි හොඳම නිළිය ලෙස සම්මාන දිනා ගත්තේ ආසියානු කලාපයෙන් හොඳම විදේශීය ඔස්කාර් සහ ගෝල්ඩන් ග්ලෝබ් චිත්‍රපටය සඳහා සඳහා තරඟවදින චිත්‍රපට 16ක් අතුරිනි.

අනෝමාගේ සම්මානය සංජීව අතැතිව

ජාත්‍යන්තර සම්මාන දිනුසංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ දැවෙන විහඟුන් (Burning Birds) වෘත්තාන්ත චිත්‍රපටය ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැතිඑෂියන් වර්ඩ් සිනමා උළෙලේ (Asian World Film Festival) තරඟකාරි අංශය නියෝජනය කරමින් හිම දිවියා සම්මානය (Golden Leopard Award) වෙනුවෙන් තරඟ වැදුණි. සිනමා උළෙල ‍ඔක්තෝබර් 25 දින සිටනොවැම්බර් මස 02 වන දින දක්වා පැවැත්විණි.

පසුගිය බ්‍රහස්පතින්දා (2017 නොවැම්බර් 02දා) පස්වරුවේ ලොස් ඇන්ජලීස් නුවර ආක්ලයිට් සිනමාහලේදී සම්මාන ප්‍රදානය සිදු කෙරුණි. සුප්‍රකට චින- ඇමරිකානු සිනමා නිළි ලීසා ලු (Lisa Lu) ජූරීයේ සභාපතිනිය ලෙස කටයුතු කළාය.

දැවෙන විහඟුන් චිත්‍රපටය ඒෂියන් වර්ල්ඩ් සිනමා උළෙලේ හොඳම නිළිය සම්මානයට අමතරව මීට ප්‍රථම ජපානයේ 17 වන ටෝකියෝ ෆිල්ම්එක්ස් අන්තර්ජාතික සිනමා උ‍ළෙලේ දී (17th Tokyo FILMeX International Film Festival)ජුරියේ සුවිශේෂ සම්මානය (Special Jury Prize/ දෙවන ස්ථානය), 15වන ජිනිවා අන්තර්ජාතික මානව හිමිකම් සිනමා (International Film Festival and Forum on Human Rights, Geneva) උළෙලේදී හොඳම චිත්‍රපයට සඳහා සම්මානය මෙන්ම තරුණ ජුරි සම්මානයද දිනාගත්තේය.

මේ වනවිට බූසාන්, රොටර්ඩෑම්, මියුනික්, ගොතන්බර්ග් ඇතුළු ලොව ප්‍රබල සිනමා උළෙල විස්සකට වඩා ආරාධනා ලැබූ දැවෙන විහඟුන් චිත්‍රපටය සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි වෘත්තාන්ත චිත්‍රපටයයි. චිත්‍රපටය ශ්‍රී ලංකා, ප්‍රංශ, දොහා කටාර් සහ නේදර්ලන්තය යන රටවල සම නිෂ්පාදනයකි.

මහේන්ද්‍ර පෙරේරා, සමනලී ෆොන්සේකා, අනෝමා ජනාදරී, චාන්දනී සෙනෙවිරත්න, ලීයෝනි කොතලාවල, ශ්‍යාම් ප්‍රනාන්දු, දසුන් පතිරණ, පුබුදු චතුරංග, ධර්මප්‍රිය ඩයස්, තිස්ස බණ්ඩාරනායක, ප්‍රියංකා සමරවීර, දර්ශන් ධර්මරාජ්, සංජීව දිසානායක ඇතුළු පිරිස රංගනයෙන් දායකවන දැවෙන විහඟුන් චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කාලිංග දේශප්‍රියගෙනී. ඇදුම් නිර්මාණය අජන්ත අලහකෝන්, කලා අධ්‍යක්ෂණය පියතිස්ස අකුරම්බොඩ, වේශ නිරූපණය ප්‍රියන්ත

දිසානායක, සංස්කරණය අජිත් රාමණායක සහ කැතරිනා වර්තේනා(Katharina Wartena), වර්ණ සංයෝජනය එළි අකෝකා (ElieAkoka), ශබ්ද පරිපාලනය ප්‍රියන්ත කළුආරච්චි සහ නිකොලා දාහලින් (Nicolas D'halluin), පළමු සහය අධ්‍යක්ෂණය අරුණ තිලකරත්න, දෙවන සහය අධ්‍යක්ෂණය නිරෝෂන් එදිරිමාන්න සහ නිෂ්පාදන කළමණාකරණය හැරල්ඩ් කරුණාතිලකගෙනි.

අභයදාන සංගමයෙන් කලාකරු උපහාර

ශ්‍රී සුමන අභයදාන සංගමය මඟින් 12 වැනි වරටත් පවත්වනු ලැබූ ශ්‍රී සුමන අභයදාන පුණ්‍ය මහෝත්සවය පසුගියදා ඓතිහාසික යාපහුව රාජධානියේ , මහව විජයබා මධ්‍ය මහා විද්‍යාලයේ, සයිමන් නවගත්තේගම ශාලාවෙදී පැවැත්විණ.

ගරු ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී ඒකනායක මහතාගේ පූර්ණ සංවිධායකත්වයෙන් පැවති මෙම පුණ්‍ය මහෝත්සවයේ සුවිශේෂ අවස්ථාව වූයේ ලාංකේය කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණතමයන් කිහිපදෙනෙකුම ‘ස්වර්ණසිංහ’ සම්මානයෙන් පිදුම් ලැබීමය.

ස්වර්ණසිංහ උපහාර සම්මාන පිරිනැමීමේ ප්‍රධාන දායකත්වය සංගමයේ ප්‍රධාන මාධ්‍ය උපදේශක, චිත්‍රපට නිෂ්පාදක, අධ්‍යක්ෂ, හා ව්‍යාපාරික සුනිල් අරුණ වීරසිරි ගෙනි.

එදින ස්වර්ණසිංහ සම්මානලාභීන් වූයේ ප්‍රවීණ නිළි අනුලා කරුණාතිලක, සාහිත්‍යධර සයිමන් නවගත්තේගම, ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල්, රංගන ශිල්පීන් වන ටෙනිසන් කුරේ සහ බන්දු සමරසිංහය.

සිනමාව වෙනුවෙන් උපහාර සම්මාන ඇගයීමේ පූර්විකා ප්‍රකාශනය සිදුකරනු ලැබුවේ ප්‍රවීණ රංගධර සනත් ගුණතිලක විසිනි. ඒ අනුව අනුලා කරුණාතිලක, ටෙනිසන් කුරේ සහ බන්දු සමරසිංහ ගරු ඉඩම් රාජ්‍ය අමාත්‍යතුමන් අතින් ස්වර්ණසිංහ උපහාර සම්මාන ලැබීය.

ලාංකේය ගායන ක්ෂේත්‍රය වෙනුවෙන් කළ මහඟු මෙහෙවර වෙනුවෙන් උපහාර සම්මාන ලැබූ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් පිළිබඳ පූර්විකා ප්‍රකාශනය සිදුකරනු ලද්දේ මෙම සංගමයේ උපදේශක සභාවේ ගරු නියෝජ්‍ය සභාපති , ගායන ශිල්පී නිහාල් නෙල්සන් විසිනි.

සාහිත්‍යධර සයිමන් නවගත්තේගමයන් උපන් ගම් පියසේදී, එතුමා නමින් නම් කරන ලද සයිමන් නව ගත්තේගම ශාලාවේදී එතුමන් ඇගයීමට ලක් කිරීමට ප්‍රථම පූර්විකා ප්‍රකාශනය ඉදිරිපත් කරන ලද්දේ , එතුමන් ගේ ගෝලයෙකු මෙන්ම ‘ සුභ සහ යස ඇතුළු නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වූ ජයලාල් රෝහණ විසිනි. එතුමන්ගේ නාමයට පිදෙන එම සම්මානය සයිමන් නවගත්තේගමයන්ගේ දයාබර බිරිය වූ මල්ලිකා නවගත්තේගම වෙත පිරිනමන ලදී.

අභයදාන සංගමයේ ආරම්භයේ සිටම එහි නිවේදකයෙකු ලෙස කටයුතු කළ ප්‍රවීණ මාධ්‍යවේදී ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ වෙතද එදින ස්වර්ණසිංහ සම්මානය ප්‍රදානය කරන ලදී.

ශ්‍රී සුමන අභයදාන සංගමයේ නිර්මාතෘ මීගහවෙල සුමන ශාන්ත ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හි හ්‍රී සුමන අභයදාන සංගමයේ උපදේශක සභාවේ සභාපති ගරු රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අභයදාන සංගමයේ ගරු උපදේශක මණ්ඩලය හා චිත්‍රපට අධ්‍යක්ෂක සුනිල් අරුණ වීරසිරි, ව්‍යාපාරික වසන්ත නානායක්කාරගේ සුවිශේෂී අනුග්‍රහය හා දායකත්වය මේ සඳහා පිරිනැමිණි.

සුජාතා චරිතාපදානය 11 දා දොරට වඩී

සරසවිය, රණතිසර සම්මානලාභී විශිෂ්ට ගායනවේදී විශාරද සුජාතා අත්තනායකගේ ගායන දිවියට වසර හැටහතක් සහ මේ වසරට යෙදුන හැත්තෑ පස්වැනි ජන්ම දිනය සමරමින් විශේෂ උත්සවයක් මෙම මස 11 වැනිදා සවස ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ. මෙහිදී අමිල ලොකුමාන්න විසින් විරචිත සුජාතා අත්තනායකගේ චරිතාපදානය සහ ඇය පිළිබඳ ලියැවුණු ලිපි එකතුවක් ඇතුළත් සුජාතා අත්තනායකගේ දිවි සිරිත සහ ඇය ගැයූ ගීත ඇසුරෙන් සංස්කරණය වූ සුජාතා අත්තනායක ගීතාවලිය යන ග්‍රන්ථයන් එළිදැක්වෙනු ඇත. මෙහිදී සුජාතා අත්තනායක, නෙලු අධිකාරි, ගයත්‍රි ඒකනායක, හේලි අත්තනායක, දුල්ශාරා දසන්ති, චාතුර්යා ගීත්මි, සංදේශා අත්තනායක, ජනනි ඉමාත්මා සහ අමානි ජයත්මා ගීතවත් වනු ඇත. සංගීතය මෙහෙයවීම ජගත් වික්‍රමසිංහගෙනි. හේමනලීන් කරුණාරත්න උලෙළ මෙහෙයවනු ලබයි. සුජතා අත්තනායක ඇගැයුම් උලෙළ සුජාතා අත්තනායක රසික සංසදයේ සංවිධානයකි. උලෙළේ දෙසුම් මහාචාර්ය කෝලිත භානු දිසානායක සහ දිලීප අබේසේකර විසිනි.

සරත් දික්කුඹුර ගොගොල්ගේ සිකුරා ගෙනෙයි

රුසියානු ගත්කරු නිකලොයි ගොගොල්ගේ ද මැරේජ් කෘතිය ඇසුරෙන් නිර්මාණය වූ සිකුරා වේදිකා නාට්‍ය මෙම මස 11 වැනිදා බොරුල්ල නාමෙල් මාලනි පුංචි තියෙටර්හි වේදිකා ගතවේ. මෙය සිනමා, ටෙලිනාට්‍ය නළු සරත් දික්කුඹුරගේ අධ්‍යක්ෂණයක් වන අතර කුමාර වදුරැස්සගේ නිෂ්පාදනයකි. ජයලාල් රෝහණ, කුමාරි මුණසිංහ, ලක්ෂිකා ජයවර්ධන, රිචඩ් මානමුදලි, ආරියසේන ගමගේ, කුමාර වදුරැස්ස, ලක්මිණි කරුණාආරච්චි, නයන වීරමන්, මෙත්තානන්ද විතානගේ සමඟ සරත් දික්කුඹුර රංගන දායකත්වය සපයති. සිකුරා නාට්‍යහි සංගීත නිර්මාණය කලාසූරි ෂෙල්ටන් මිහිඳුකුලසූරියගෙනි. නර්ථන අධ්‍යක්ෂණය නිලාන් මලිගැස්පගෙනි.