වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 09 වැනිදා බ්‍රහස්පතින්දා




එකට මොනවද ? දෙකට මොනවද?

එකට මොනවද ? දෙකට මොනවද?

2005 වසරේ සිට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලද එහෙත් කිසි දිනක තිර ගත වීමට තවමත් වරම් නොලද සමහරවිට මේ භවයේ නොව මතු අත් භවයකදී හෝ සිනමාහල් වෙත ළං වෙතැයි නොසිතන චිත්‍රපට පිළිබඳ ප්‍රවෘත්තියක් පසුගිය සතියේ සරසවිය පුවත්පතේ පළ විය. මෙය පළවීමෙන් පසු සමහරු අපට දෝෂාරෝපණය කරන ලද්දේ සිනමා ආයෝජකයන් එයින් අධෛර්යමත් වන බව කියමිනි.

තවත් සමහරු තම චිත්‍රපට තිර ගතවීමට නියමිත බව පැවසූහ.ඇතැමෙක් පවසන්නේ ප්‍රදර්ශක මණ්ඩල එකඟත්වය පළ කර ඇති වගය. එකඟත්වය පළ කළ යුත්තේ කට වචනයට නොව ලිඛිතවය. කෙසේ වෙතත් තිර ගත නොවුණ චිත්‍රපට සංඛ්‍යාව ලැයිස්තුවේ හැටියට පනස් හතකි. ලැයිස්තුවේ ඇති සංඛ්‍යාව එය වුවත් කිසි කලකත් තිර ගත නොවූ සිංහල චිත්‍රපට සංඛ්‍යාව එයටත් වඩා විශාලය.

ලැයිස්තු වේ ඇත්තේ 2005 වසරෙන් පසු චිත්‍රපට වුව ද එයට පෙර තනා මෙතුවක් ප්‍රදර්ශනයට එක් නොවූ චිත්‍රපට සංඛ්‍යාව ද තිහකට ආසන්නය. සමහරු චිත්‍රපට නිපදවා ලක්ෂ ගණනක් නැති නාස්ති කොට ඇති අතර ඒවා කෙසේ හෝ තිර ගත කරවීම යනු තවත් ලක්ෂ ගණනක් අපතේ යැවීමකි. චිත්‍රපට තනන්නට ගොස් යන එන මං නැති වී සිටින බහුතරයකට එම පාඩුව එසේම විඳීන්නට ඉඩ හැර තවත් ලක්ෂ ගණනක් ප්‍රචාරක සහ වෙනත් වියදම් සඳහා වැය කර පාඩුව වැඩි කරදීම යුක්ති සහගත නොවේ.

මේ ඇතැම් නිෂ්පාදකවරයෙක් මේ වන විට ජීවතුන් අතර නැත. චිත්‍රපට සඳහා මුදල් වැය කර උන් හිටි තැන් අහිමිවූවෝ බොහොමයකි.සමහරුනට සිනමා කෘතියක් ගැන සිහිපත් කළ සැනින් අහුවන දෙයකින් දමා ගැසීම පුරුද්දක් කොට ගෙනය.කෙසේ වෙතත් ප්‍රදර්ශනය අහිමි චිත්‍රපට සංඛ්‍යාවේ වටිනාකම ගණන් බැලුවහොත් ඒ සියල්ලට වැය කළ මුදලේ අගය ගිනිය හැක්කේ මිලියනවලින් නොව බිලියනවලිනි.

කාගේ වුවත් මේ මුදල්ය.කිසිදු ප්‍රමිතිකරණයකින් තොරව කවුරුන් හෝ කෙනෙකු රවටා බයිස්කෝප් ගැසීමේ ජාවාරම අප රටට පමණක් සීමා වූ පුරුද්දක් නොවේ.කලකට ඉහත ඇසුණු ජෝතිපාලයන් සහ ෆ්‍රෙඩී සිල්වා ගයන ගීතයක සඳහන්ව තිබුණේ කුමාරයා සහ බමුණා යනුවෙන් චිත්‍රපටයක් ගහන එක ගැනය. ඒ දාගත හැක මල් කැකුළු දැලේ නිසාවෙනි.කොයි යම් හේතුවකට හෝ හදා කවදාවත් තිර ගත නොවුණ චිත්‍රපට ලැයිස්තුවේ බහුතරය නරඹන්නට ඉඩ ලද හොත් එයට වඩා මරණීය දණ්ඩනය සැපයෙකියි කිසිවකු ට හෝ සිතුන ද එය පුරුද්දක් නොවේ.මේ අතර හොඳ චිත්‍රපට නැතැයි කියන්නට තරම් මා සාහසික වන්නේ ද නැත.

සිනමාව යනු ලොව මිල අධිකම කලාවයැයි කලකට ඉහත සඳහන් කරනු ලැබිණ.චිත්‍රපටයක් සඳහා නිෂ්පාදනයෙන් දායක වීමෙන් චිත්‍රපට නිෂ්පාදක යන ගෞරව නාමය කෙනෙකුට නිතැනින් සමාජ තලයේ හිමිවනු ඇත. ඇතැම්හු චිත්‍රපට නිෂ්පාදනයට යොමුවූයේ සිනමා කර්මාන්තයට ඇති ආදරය නිසා නොව තම සමාජ තලය ඉහළ දමා ගැනීමේ අවශ්‍යයතාව ඇතුවය.ඇතැමුන් සිය පවුල්වල පැවැති පැරණි කිළිටු අතීතය සිනමාව නමැති සළුවෙන් වසා විලි බිය රැක ගත්හ. එයින් පසු ඔවුන් ගැන කතා වනුයේ සිනමා නිෂ්පාදකවරුන් හැටියටය.රටේ පිළිගත් ධනවතුන් හැටියටය. එමෙන්ම චිත්‍රපට තනා බංකොලොත්වීම නොකළ පව් ද වලෙන් ගොඩ එන තරම් නස්පැත්තියකි. එකක් බංකොළොත් චිත්‍රපටයෙන් සිදු වන අවමානයයි. අනෙක කවර ව්‍යාපාරයක යෙදුන ද චිත්‍රපට තනා නැත්තට නැතිවිනැයි යන කුප්‍රසිද්ධවීමයි.

චිත්‍රපට පනස් හතක වියදම අප තක්සේරු කළ යුත්තේ එනිසාම නොවේ. එහි මුදලට අමතරව දායක වූ ශිල්පින්ගේ කුසලතාවන් හා සමහර විට ඔවුන්ට ගෙවන්නට ඇති මුදල් ද එමට ඇතිවාට සැකයක් නැත. ලාංකික චිත්‍රපට කර්මාන්තය බොහෝ විට දෙන්නම් කාසි වලට වැඩ කරන්නක් වග නොරහසකි.

කලකට ඉහත චිත්‍රපට නිෂ්පාදකයා බේරා ගැනීමට යැයි පවසමින් හදන හැම චිත්‍රපටයක්ම පෙන්වීමට පමණක් නොව සිනමාහලක එක සිංහල චිත්‍රපටයක් දින දාහතරක් අනිවාර්ය තිරගත කළ යුතැයැයි අරුම පුදුම නීතියක් ද සංස්ථාව මගින් ගෙනාවේය. චිත්‍රපට ප්‍රතික්ෂප කරනුයේ වෙනත් කිසිවකු හෝ නොව ප්‍රෙක්ෂකයාය.දින දාහතරක් සෙනග නැතිව බලා සිටීමත් සෙනග පිරෙනතුරු අද්දන්නේ නැති පෝලිමේ කෑගසන බස් කොන්දොස්තරවරයෙකු ත් අතර වැඩි වෙනසක් නැත.

සිනමාව ඩිජිටල්කරණය වීමත් සමග ලොව පුරා ඕනෑම කෙනෙකුට සිනමාව නමින් මොකක් හෝ මඟුලක් අටවා ගෙන චිත්‍රපට නමින් නිර්මාණය කරන්නට අවස්ථාව බහුල විය.එහෙත් එම කෘතින් සිනමාහල් කරා ගෙන එන්නට වරම් ලැබුනේ නැත.කොහොමටත් මෙයට දශක දෙකකට පමණ පෙරාතුව චිත්‍රපටයක් නිර්මාණය කොට වෙළඳ පොළට ඉදිරිපත් කිරීමේ අවස්ථාව වෙන රටවලට සාපේක්ෂව ලාංකික තරුණයන්ට හිමිවූයේ සංස්ථාව හරහා ඔවුන්ට රැකවරණය ලැබුන නිසාය.අද මෙන් නොව නෙගටිව් පටයේ චිත්‍රපට තනන සිනමාව යනු සිනමාහල පමණක් යැයි විශ්වාස කළ එකල තම චිත්‍රපට එළිදැක්විමට නොහැකිව ලෝකයේ බොහෝ නිර්මාණශීලී තරුණයන් මැසිවිලි නැගූහ.

එහෙත් මෙරට තත්වය එයට වඩා හොඳ විය. කරුමයට මෙන් එහිද වැඩි වාසිය ලද්දේ නාහෙන් අඬන තරුණයන්ට වඩා ඕනෑම බොර දියක මාළු අල්ලන්ට හැකි ජාවාරම්කරුවන්ය.ඔවුන් බහුතරයක් සිනමාකෘතියක් යනු කවරෙක්දැයි දැන සිටි වගක් පළවූයේ නැත.ඒ අතරවාරයේ ලාංකික චිත්‍රපට වියදමට සාපේක්ෂව වෙළඳ පොළ පුළුල් නොවීමේ ගැටලුවට මුහුණ දුන්නේය.ජාවාරම්කරුවන් ලාබයට මොනවා හරි ඇටවූහ. පනින රිළවුන්ට ඉනිමං තනමින් එක්තරා බැංකුවක් සිනමාවට යහමින් අත හිත සැපයූවේය.අදටත් පෙන්වන්නට බැරි චිත්‍රපට පනස් හතෙන් එහා චිත්‍රපට බහුතරය එලෙස අතහිත ලැබූ චිත්‍රපටයන්ය.එම චිත්‍රපට සඳහා බොහෝ විට ඇපයට තියා ගැනුණේ චිත්‍රපටය පමණය.

ඒ ප්‍රදර්ශනයේ මුල් ආදායමෙන් ණය පියවීම යන කොන්දේසිය ට යටත්වය.අන්තිමට සියල්ල බොල් ණය ලෙස සළකන්නට සිදු වූ වග නොරහසකි. ලාබයට තැනූ චිත්‍රපට නැරඹූ බොහෝ රසිකයන් යළි උපන් තේකට සිංහල චිත්‍රපට නරඹන්නේ නැති වගට තමන්ටම දිව්රුම් දී ගත්හ. හොඳ චිත්‍රපට නොමැතිවීමෙන් සිනමාහල් අසරණ විය.බොහෝ සිනමාහල් වැසී ගිය අතර ඇතැම් සිනමාහල් ජීවත් වූයේ වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපට තිර ගත කරවීමෙනි.සංවෘත ආර්ථිකයක් ඇතුළත ගොඩනැංවුණ චිත්‍රපට සංස්ථාව විවෘත ආර්ථිකයක් සමග යාවත්කාලින නොවීමේ විපාකයට වන්දි ගෙවන්නට සිදුවූයේ එහි නියැලි ශිල්පින්ටමය.

ඒ අතරවාරයේ සිනමා නිර්මාණය පටල පටයෙන් ඉවත් වීමත් සිනමාවේ භාරකාරිත්වය සිනමාහල් ආධිපත්‍යයෙන් මිදීමත් සිදු විය.ලොව පුරා සිදුවූ එම විපර්යාසයට අනිවාර්යෙන්ම ලාංකික සිනමාවද මුහුණ දුන්නේය.සිනමාව වඩා විචිත්‍ර කළ හැකි ඩිජිටල්කරණය අපේ ඇතැමුන්ට වඳුරා අතට වන් දැලි පිහිය මෙන් විය.නූතන සිනමාවට ගැළපෙන ආකාරයට සිනමාශාලා යාවත් කාලින වූවා පමණක් නොව රට පුරා අලුත් සිනමාහල් ඉදි වන්නට ද පටන් ගෙන තිබේ. මේ වන විට මෙරට සිනමා ශාලා ව්‍යාපාරයට විදෙස් සමාගම් තුනක් අවතීර්ණය වෙමින් පවතී.

ඒ අතරින් දෙකක් ඉන්දියාවේ දැවැන්තම සිනමා ශාලා සමාගම් වීම විශේෂයකි.මේ සමාගම් සිය සිනමා ශාලා මෙරට ප්‍රේක්ෂකයන්ට නව්‍ය අත්දැකීමක් ගෙන දිය හැකි නමුත් ඉතා දුර්වල ලාංකික චිත්‍රපට සඳහා එහි ඉඩක් ඇතැයි සිතීම දුෂ්කරය.එමෙන්ම මෙරට පැරණි සිනමා සමාගමක් ද සිය සුපිරි වෙළඳ සැල් ජාලය හරහා රට පුරා කුඩා සිනමාහල් ගොඩ නැගීමට සූදානම් ව සිටිති. එලෙස දෙස් විදෙස් ආයෝජකයන් සිනමා ශාලා සඳහා ආයෝජනය කරනුයේ තව දුරටත් සම්ප්‍රවර්තිත ආදායම් වැනි යල් පැනගිය දත්ත වලින් සිර ගත වන්නට නොවේ.

එමෙන්ම සිනමා ශාලාවලට වඩා පුළුල් වෙළඳ පොලක් හොඳ සිනමාකරුවන් හමුවේ ගොඩ නැගෙන බව ම විසින් පෙන්වා දෙන ලද්දේ මෙයට වසර කිහිපයකට පෙරාතුවය.අද එයින් බොහොමයක් පළ ලබති. ඉතා ඉක්මනින් ඩීවීඩී වෙළඳ පොළ ද අබිබවා අන්තර්ජාලය ඔස්සේ සිනමාව තම අත්ල මතට ගෙන පැමිණ ඇත.එම වෙළඳ පොළ තුළ ජය ලැබිය හැක්කේ අලුතින් සිතන මිනිසුන්ට පමණී.තිර ගත නොවන චිත්‍රපට ලැයිස්තුව දුටු විට මට පැරණි ගැමි කතාවක එන පද පෙරළියක් සිහිපත් වෙයි.

එකට මොනවද ? දෙකට මොනවද? එක් තරුණියක් එලෙස අසන්නේ තම ආදරය පතාගෙන එන තරුණයකුගෙනි.පිළිතුරු දී ගත නොහැකි තරුණයා අසරණ වෙයි.පෙන්වන්න බැරි සමහර චිත්‍රපට දැක අසන්නට වන්නේ ද ඒ පැනයමය.