වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 09 වැනිදා බ්‍රහස්පතින්දා




ITN Saturday Night Movie

Good Will Hunting

ස්වාධීන රූපවාහිනි සේවයේ නොවැම්බර් මස සිනමා රසවින්දනයේ සෙනසුරාදා රාත්‍රී 10.30 විකාශය කෙරෙන ඉංග්‍රීසි චිත්‍රපටය ලෙස ලබන 11 වැනිදා විකාශය කිරීමට නිමිතව තිබෙන්නේ ගස් වෑන් සන්ට් විසින් අධ්‍යක්ෂණය කළ Good Will Hunting  චිත්‍රපටය යි. එය ඉහළ බුද්ධි මට්ටමකින් යුතු තරුණයකුගේ ජීවිතයක් වටා ගෙතී ඇති කතා පුවතකින් යුතු වේ.

විල් හන්ටින් යනු ඉහළ මට්ටමක බුද්ධියකින් යුතු තරුණයෙකි. ඔහු මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ සුළු සේවකයකු ලෙසින් කටයුතු කරමිනි සිටියි. විල් විසින් උපාධි මට්ටමේ ගැඹුරු ගණිත ගැටලුවක් විසඳනු දකින මහාචාර්ය ජෙරල්ඩ් ඔහුගේ දක්ෂතාවය හඳුනා ගනියි. වැරදි මාවතකට යොමු වී ඇති මේ තරුණයාගේ ජීවිතය නිවැරදි මාවතට යොමු කිරීමට මහාචාර්යවරයා කටයුතු කරන්නේ එබැවිනි. නමුත් එක් දිනෙක විල් ඇතුළු මිතුරන් පිරිසක් කරන පහරදීමක් නිසා ඔවුන් පොලිස් අත්අඩංගුවට පත් වේ. කෙසේ නමුත් මහාචාර්ය ජෙරල්ඩි විසින් විල් බේරා ගැනෙන්නේ ෂෝන් නම් චිකිත්සකයකු මඟින් විල්හට ප්‍රතිකාර ලබා දෙන බවට පෙරොන්දු වෙමිනි.

1997 වසරේ තිරගත කෙරුණු Good Will Hunting  ඉහළ විචාරක ප්‍රතිචාර සේම ඉහළ ආදායමක් ද වාර්තා කිරීමට සමත් වූ සිනමා නිර්මාණයකි. අමෙරිකානු ඩොලර් මිලියන 10ක වියදමකින් නිර්මාණය කළ එය අමෙරිකානු ඩොලර් මිලියන 225.9ක ආදායමක් වාර්තා කිරීමට සමත් විය. රොටෙන් ටොමැටෝස් වෙබ් අඩවියේ විචාරක මනාපය සියයට 97ක් එයට හිමි විය. එක දිගට ගලා යන කතා පුවතක් ගෙන එන මෙහි බෙහෙවින් බලවත් රඟපෑම් ඇතුළත් බවත් එමෙන්ම බොහොම විනෝදජනක සහ හැඟීම්බර සිනමා නිර්මාණයක් ලෙසින් හැඳීන්විය හැකි බවත් එම පොදු විචාරයේ මතය යි.

Good Will Hunting ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය ඇතුළුව සම්මාන නවයත් සඳහා නිර්දේශ නාම අතරට ඇතුළත් වූ අතර එයින් හොඳම සහය නළුවා සහ හොඳම තිරරචනයට හිමි සම්මාන එයට හිමි විය. රොබින් විලියම්ස්, මැට් ඩැමොන්, බෙන් ඇෆ්ලෙක්, ස්ටීලන් ස්කාස්ගාඩ් ඇතුළු පිරිසක් Good Will Hunting හි රංගනයෙන් දායක වෙති.