වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 09 වැනිදා බ්‍රහස්පතින්දා




තරු තුනක් පායන නිවෙසකට ගියෙමු

තරු තුනක් පායන නිවෙසකට ගියෙමු

ඩිනක්ෂි, ශේෂාද්‍රිරිව හා ශනුද්‍රි කියන යන නමින් එකම නිවෙසේ වෙසෙන අක්කා නගෝ තිදෙනා ගැන කවුරුත් දන්නවා. පි‍්‍රයසාද් පවුල සුන්දර කරන මේ අක්කා නගෝ පි‍්‍රයසාද් පවුලට වගේ ම කලා ලෝකයටත් ගෙනෙන්නේ සුන්දරත්වයක්. ඔවුන් ගැන චිත්‍රපට නිෂ්පාදකවරයකු, අධ්‍යක්ෂවරයකු ලෙස සිනමාවේ හක්කලං කරන දිනේෂ් පි‍්‍රයසාද්ට තිබෙන්නේ සතුටක්. ඒ දියණියන් තිදෙනාවම කලා ලෝකයට දායද කළ නිසා. සමහරු කලාකරුවන් තමන්ගේ දරුවන් කලා ලෝකයට පිවිසෙනවාට අකැමැති යුගයක දිනේෂ් තමන්ගේ දියණිය තිදෙනා කලා ලෝකයේ සක්මන් කරනවා බලාගෙන ඉන්නේ බොහොම සන්තෝෂයෙන්. ඒ සන්තෝෂයත් එක්කම ඔහුගේ සන්තෝෂය තවත් වර්ධනය වන්නට තවත් හේතුවක් තිබෙනවා. ඒ ඔවුන් ඔවුන්ගේ ම කියලා කැදැල්ලකට ගිහින්. පසුගිය දිනෙක අප හෝමාගමට පිවිසුණේ ඔවුන්ගේ අලුත කැදැල්ලේ තොරතුරු විමසන්නට සිතගෙන.

“ අලුත් ප්‍රදේශයේ වාස දේස කොහොමද?”

මා විමසුවේ සරල සුන්දර ලෙස නිර්මාණය කර තිබුණු කැදැල්ලේ අවට සුන්දරත්වය නරඹන් ගමන්ම.

“කාලයක පටන් අපේ සිතේ තිබුණු හීනයකුයි මේ සැබෑ වුණේ. මේ ප්‍රදේශයට ඇවිත් ගතවුණේ තවම මාස හයක වගේ කාලයක්. අවිවේකී පරිසරයෙන් මිදිලා නිස්කලංක පරිසරයක නිවෙසක් තනාගෙන ජීවත්වන්නට ලැබීම සතුටක්.”

සිතේ කාලයක පටන් තිබුණු හීනය සැබෑ වීම ගැනයි දිනේෂ් පි‍්‍රයසාද් ඒ පැවසුවේ.

“කාලයක පටන් කළ සැලසුමක් ද මේ සඵල වුණේ”

“මුලින් ම මේ තරම් දුරකට පදිංචියට පිවිසෙන්න අපේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් පසුගිය කාලයේ අප සියලුදෙනා ම අපේ ම කියලා නිවෙසක සිහිනය සැබෑකර ගැනීම ඉක්මනින් ම කළ යුතු යැයි කියන මතයේයි සිටියේ. කාලයක් පටන් ඒ සඳහා අවශ්‍ය කරන පරිසරයක් සොයමිනුයි කාලය ගත කළේ. ඒ අතර ඊට සුදුසු පරිසරයක් සහිත නිවසක් ගැන හදිසියේ ම අපට අසන්නට ලැබුණා. එය තිබෙන්නේ කොළඹට තරමක් දුර හෝමාගම ප්‍රදේශයේ වුණත් එහි අවට පරිසරයත්, නිවෙසත් අපේ සිත් ගත්තා. ඉක්මනට ම පදිංචියට ආවා.”

දිනේෂ් පි‍්‍රයසාද්ගේ බිරින්දෑ ශිරාණි පි‍්‍රයසාද් කියාපෑවේ හදිසියේම සිදුවුණු අලුත් නවාතැන් ගැනීම ගැනයි. නවාතැන දුර වුණත් නිවෙසේ සියල්ලන් ම ඉන්නේ බොහොම කාර්යබහුල කාලසටහනක.

“ඔබ මේතරම්ම මේ දවස්වල කාර්යබහුල වී සිටින්නේ ඇයි?”

“ඉදිරියේදි මගේ චිත්‍රපට දෙකක් තිරගත වීමට නියමිතයි. ඒ ‘ඇද්ද ලනුව දැම්ම කොඩිය’, හා ‘රහයි ජීවිතේ’ කියන චිත්‍රපටයි. ඊට අමතරව දැවැන්ත චිත්‍රපටයක කටයුතුවලට මුල් වීලයි සිටින්නේ. ඒ මගේ පැරැණි චිත්‍රපටයක් වන ‘දෙමෝදර පාලම’ නව නළු - නිළියන් යොදා ගනිමින් නව චිත්‍රපටයක් ලෙස නිෂ්පාදනය කරන කටයුත්තේයි මා මේ දවස්වල නියැළී සිටින්නේ. එහි වැඩිදුර විස්තර පසුව කියන්නම්.”

පෙරැළිකාරයෝ තිරයට රැගෙන පැමිණි කාලයේ වගේ ම තවමත් කාර්යබහුල අධ්‍යක්ෂවරයකු වන දිනේෂ් පි‍්‍රයසාද්ගේ නිවෙසේ දියණියන් තිදෙනාත් ඔහුත් මුණ ගැසෙන්නේ එක් එක් වෙලාවලටයි. ඔහු අලුයම යන විට දියණිවරුන් නිදි නිසා මුණ නොගැසෙන තාත්තාලා දූලා කාලයකට පස්සේ අද තමයි මේ විදියට මුණ ගැසෙන්නේ.

“දියණියන් තිදෙනා නිළියන් වීම ගැන මොන වගේ හැඟීමක්ද ඔබගේ සිතේ තිබෙන්නේ?”

“මම ඔවුන්ට කිසිම දවසක කියලා නැහැ රඟපාන්න කියලා. ඒ වගේ ම රඟනොපා ඉන්න කියලත් නැහැ. ඒ වගේ ම රඟපෑමෙන් දායක විය යුත්තේ ටෙලි නාට්‍යවලටද, චිත්‍රපටවලටද කියලා කියලාත් නැහැ. ඔවුන් හොඳට රඟපාන බව පෙනෙනවා. ඒ ගැන සතුටුයි. ශේෂාද්‍රි නම් සිටියේ කොහොමත් රඟපාන්න කැමැත්තෙන්. ඈව රඟපාන්න ගන්නේ උදයකාන්ත වර්ණසූරිය. ඔහුගේ ‘චැලෙන්ජර්ස්’ චිත්‍රපටයටයි ඈව ගන්නේ. පසුගිය දිනවල ඈ රඟපෑ සූම් චිත්‍රපටයේ රඟපෑ චරිතය සඳහා සිග්නිස් සම්මාන උලෙළේදි කුසලතා සම්මානයක් ලැබුණා.”

මේ දවස්වල ඈ තරමක් ඉන්නේ රංගයෙන් ඈත්වෙලා. ඒත් ශේෂාද්‍රිගේ වැඩි අවධානයක් යොමු වෙලා තිබෙන්නේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ පුංචි ළමයින්ට උගන්වන කටයුතුවලටයි.

ඩිනක්ෂි නම් සිටියේ එහෙම රඟපාන අදහසක් ඇතිව නොවෙයි. ඈ ඒ කාලයේ වැඩිපුරම අවධානය දුන්නේ පාඩම් වැඩවලට. නිවෙසෙන් අවිහිංසකම දැරිවිය වුණු ඩිනක්ෂි කවදාවත් අධ්‍යාපනයෙන් ඉහළට යාවි ය යන අදහසේයි නිවැසියන් සිටියේ.

“ඒත් අදහස වෙනස් කරමින් ඈ රංගනයට පිවිසුණා”

“ඩිනක්ෂිගේ දස්කම් දැක්කේ ඈ රඟපාන්නට පටන් ගත්තාට පස්සේ. රංගනයට වගේ ම ඈ අධ්‍යක්ෂණය, සංස්කරණය පිළිබඳත් හදාරන්නට බොහොම උනන්දුයි.”

සරසවිය සම්මාන උලෙළ ඇතුළු සම්මාන උලෙළ කිහිපයකමත් සම්මාන ලබාගැනීමට ඈට හැකි වන්නේ ඇගේ ඒ දක්ෂකම නිසාමයි. චුට්ටි ශනුද්‍රි රඟපෑමට පිවිසෙන්නේ කුඩා කාලයේදිමයි. ඒ ‘ඔන්න බබෝ’ චිත්‍රපටයෙන්.

“ඈට රඟපාන්නට තිබුණේ සංගීතාගේ දියණිය විදියටයි. මම ඈට කළ යුතු දෙය කියලා රඟපානතුරු බලාගෙන සිටියා. ඒත් එකපාරටම ශනුද්‍රි දුවගෙන ආවා. ඇයි ඔයා කිව්ව විදියට නොකළේ මා විමසුව විට ඈ එදා කිව්ව වචන පෙළ මට අද වගේ මතකයි. ‘ඇයි තාත්තා මට ඇක්ෂක් කිව්වේ නැහැ නේ’. ඒ රඟපෑම ඈ කළේ මා ඇක්ෂන් කියනතුරු ඉඳලයි.”

දියණිවරුන්ගේ අතීත මතක අතර සැරිසරමින් සිටි දිනේෂ් හා ශිරාණි පි‍්‍රයසාද් යුවල ඔවුන් ගැන කතාබහ කළේ බොහොම ස්නේහයෙන්. ඒ අතරට පැමිණියේ ලොක්කි. ඩිනක්ෂි.

“කොන්කළ දෝණි කාගෙත් කතාබහට ලක්වුණු ටෙලි නාට්‍යයක්”

“චන්දික විජේසේනගේ අධ්‍යක්ෂණයෙනුයි කොන්කළ දෝණි හැඩවන්නේ. කිංකිණිට මේ දවස්වල බොහෝදෙනා ආදරෙයි. ඒ ආදරය මටත් ලැබෙනවා.”

දියණිවරුන් රඟපාන ටෙලි නාට්‍ය නරඹන්නේ ඔවුන්ගේ මෑණියන්. මේ දවස්වල ඈ වැඩි අවධානයෙන් නරඹන්නේ ‘කොන්කළ දෝණි’ හා ‘දෙවැනි ඉනිම’ කියන ටෙලිනාට්යර දෙකයි.

“ඒක ඇත්තක්ද?”

“මා කොහොම හරි මේ ටෙලිනාට්‍ය දෙක නම් නරඹනවා. අඩුම ගණනේ මේ දෙක ඒ වෙලාවට නරඹන්න බැරි වුණොත් යූ ටියුබ් හරහා ගිහින් නරඹන්න මා අමතක කරන්නේ නැහැ. ඒ අතර චූටි දුවත් එක්ක රූගත කිරීම්වලටත් සහභාගි වනවා. අනෙක් වෙලාවට මගේ දවස ගෙවෙන්නේ නිවෙසේ කටයුතුත් එක්කයි. තවමත් නිවෙසේ උයන පිහන කටයුතු කරන්නේ මමයි. සමහර දවසකට ශනුත්, ඩිනක්ෂිත් ඒ කටයුතු කරන දවස් නැතිවාම නොවෙයි. ශේෂාද්‍රිරිට නම් රසට උයන්න පුළුවන්. ඩිනක්ෂි හා ශනුත් වැඩිපුරම හදන්න කැමැති කේක් ඇතුළු අලුත් කෑම වර්ගයි. ඒත් ඉතිං මේ අය උයන දවසට මම සතියක් උයන දේ එක දවසකින් ඉවර කරන එකයි තිබෙන ලොකුම ප්‍රශ්නය වන්නේ”

ශිරාණි කියන්නේ සිය දියණියන්ගේ වැඩකටයුතු ගැනයි. ඒ කතාබහ අතරට පිවිසෙන ශනූ නිවෙසේම සිටින දඟකාරියයි. ඈ ළඟදි හැදුව පැටිස් ගැන අනෙක් අයට තිබෙන්නේ වෙනස්ම අදහසක්.

“ඒ තරමටම ශනූගේ පැටිස් රසද?”

“රස කොහොම වෙතත් ශනූ පැටිස් නම් හැදුවා. ඒක අගය කරනවා.”

හැමෝගෙම හිනාව ශනූගේ පැටිස්වල තරම අපට සිහිපත් කළා. මේ දිනවල ‘දෙවැනි ඉනිම’ කා අතරත් ජනපි‍්‍රයයි.

“දෙවැනි ඉනිමේ ඉදිරියට වෙන්න තියෙන දේ ගැන අන්තර්ජාලයේ බොරු කතා හදලා දමලා තිබෙනවා. ඒවා බොරු කියලා අනිවාර්යයෙන් ම කියන්න ඕනෑ. කතාව ඉදිරියේදි මොකක්ද වෙන්නේ කියලා අපිවත් තවම දන්නේ නැහැ.”

ශනු කියන්නේ දෙවැනි ඉනිම ගැන මේ දවස්වල යන කතා ගැන. ඒ අතර ඔවුන්ගේ රුව චිත්නත අයියාගේ කැමරාවේ සටහන් වුණා. මේ සොඳුරු කැදැල්ලේ ගෙවුණු සුන්දර තත්පර කිහිපය අවසන් කරමින් අප ඔවුන්ට සමුදුන්නේ සොඳුරු දිනකට ආසිරි පතමින්.