වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 09 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ ආදරය නැතිවුණේ දේදුනු ආකාසෙට කලින්

මගේ ආදරය නැතිවුණේ දේදුනු ආකාසෙට කලින්

චුලක්ෂි රණතුංග

‘දේදුනු ආකාසේ’ චිත්‍රපටයෙන් ඔබ හමුවට පිවිසෙන නවතම තාරකාව වන්නේ චුලක්ෂි සෞභාග්‍යා රණතුංගයි. ප්‍රියන්ත කොළඹගේගේ නවතම සිනමා නිර්මාණය වන ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ පොවන චුලක්ෂි බොහෝදෙනා හඳුනන්නේ නිරූපණ ශිල්පිනියක ලෙසිනි. මේ දැක්වෙන්නේ ඇගේ මේ අලුත් ම ආගමනය පිළිබඳත්, ඈ පිළිබඳත් සරසවියට කළ කතාබහකි.

* ගම්පළාත

අත්තනගල්ල

* පාසල් ගියේ

කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයටයි.

* ඒතරම් දුරක්

මමත් අයියාත් පාසල් ගියේ නේවාසිකව ඉඳීමින්.

* උසස් පෙළට

මා ඉගෙන ගන්නේ වාණිජ විෂය ධාරාවෙන්.

* ඒත්

බාස්කට් බෝල් ක්‍රීඩාවට මගේ තිබුණේ පුදුම කැමැත්තක්.

* අනාගතයේ

මගේ අදහස තිබුණේ බාස්කට් බෝල් ක්‍රීඩිකාවක් වීමයි.

* ඒ නිසයි

මා දිගටම සෙල්ලම් කරන ගමන් බැංකු ක්ෂේත්‍රයේ රැකියාවකට යනවා කියලා සිතුවේ. වාණිජ විෂය ධාරාව උසස් පෙළට තෝරා ගන්න හේතුව ඒකයි.

* ඊට පස්සේ

නිවෙසින් දිගටම මා බාස්කට් බෝල් සෙල්ලම් කරනවාට කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ නිසා ඒ අදහස අතහැර දමන්නට මට සිදුවුණා.

* ඔබගේ

අයියාත් බාස්කට් බෝල් සෙල්ලම් කරන කෙනෙක්. ඒ නිසයි මාත් බාස්කට් බෝල් ක්‍රීඩා කරන්නට තෝරා ගන්නේ.

* පසුව

ඔහුත් මට මේ ක්‍රීඩාව නතර කරන්නට කියලා කිව්වා. දිගටම සංචාරය කරන්නට සිදුවුණු නිසා ගැහැනු ළමයකුට එය නුසුදුසු බවයි ඔවුන් සිතන්නට ඇත්තේ.

* එහෙම වුණත්

නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙනවාට ගෙදර අයගේ අකැමැත්තක් තිබුණේ නැහැ.

* ඊළඟට

මුලින් මේ අංශයේ තිබෙන තරගයක් ගැන මට පැවසුවේ මගේ යහළුවෙක්.

* ගුරුතුමිය

රොසෑන් ඩයස් මගේ පළමු ගුරුතුමියයි. ඈත් මේ පළමු පැජන්ට් එකට ඉදිරිපත් වන ලෙස පැවසුවා. ඒත් ඒ දවස්වල මා තරමක් මහත කෙනෙක්.

* කොහොම හරි

මා ඒ 2012 පැවැත්වුණු ලක්ස් රුවැත්ති පැජන්ට් එකට ඉදිරිපත් වනවා. මාව පුරුදු පුහුණු කළේ සේනක ද සිල්වා.

* ඒ මඟින්

මට මිස් පර්සර්නලිටි වෙන්න අවස්ථාව ලැබෙනවා.

* යළිත්

මා සියත පැජන්ට් එකට ඉදිරිපත් වනවා. එහි දෙවැනි වතාවේදි මා වින් කරනවා.

* මේ සමඟම

මා පිළිබඳ බොහෝදෙනා දැන ගන්නවා. මා ගැන කතා කරනවා.

* එහිදියි

මට හේමාල්ව හඳුනා ගැනීමට ලැබෙන්නේ. ඔහුයි අපට නිරූපණයට අමතරව වෙනස් දේවල් කරන්න කියලා පවසන්නේ.

* ඒ අනුව

මට ඔහු ප්‍රියන්ත කොළඹගේගේ මේ චිත්‍රපටයේ ඔඩිෂන් එක ගැන පවසනවා. ඒ සඳහා මා ඉදිරිපත් වනවා.

* මෙතැනදි

‘ආදරණීය කතාවක්’ චිත්‍රපටයේ දෙබස් කිහිපයක් කියන්නටයි මට සිදුවුණේ. පසුව මා එහි චරිතයකට තෝරා ගත්ත බව පැවසුවා.

* මීට පෙර

මා නිරූපණ ශිල්පිනියක්ව ඉඳීද්දි රඟපාන්නේ නොමැති බවයි ප්‍රකාශ කරලා තිබුණේ. ඒත් ඒ අදහස මේ වනවිට වෙනස් වුණා.

* එහෙම පැවසුවේ

ඒ කාලයේ මට සිතුණේ එවැනි හැකියාවක් මා සතුව නොමැති බවයි. නේවාසිකාගාරයක හැදුණු නිසා චිත්‍රපට නරඹන්නවත් අපට ලැබුණේ නැහැ. ඒත් මේ නිර්මාණයට සම්බන්ධ වීමත් සමඟ ඒ අදහස මගෙන් ඈත් වුණා.

* ඒ මන්ද

මෙහිදි අපට විවිධ පුහුණු වීම් ලබා දුන්නා. ප්‍රවීණ රංගන ශිල්පියකු වන මහේන්ද්‍ර පෙරේරාගේ වැඩමුළුව හරහා විවිධ දේ දැන ගත්තා. ඒවා නිවෙසට ගිහින් පුරුදු පුහුණු කළා. අධ්‍යයනය කළා. ඊට පසුවයි ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගි වුණේ.

* එතැනදි

ඒ චරිතයට සාධාරණයක් කිරීමට හැකිවුණා කියලා මට සිතෙනවා.

* රඟපෑම

නිරූපණ ශිල්පිනියක් වනවා තරම් ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. ඒ කටයුත්ත නම් එක්තරා කාලයකදි අවසන් වනවා. ඉන්පසුව අපි බොහොම නිදහස්. රඟපෑමේදි එහෙම නොවෙයි.

* එහෙමනම්

අපි චරිතයකදි යම් මූඩ් එකක ඉන්නවා නම් ඒ මූඩ් එකේමයි සිටිය යුත්තේ. වෙනත් දේවල් ගැන සිතන්න බැහැ.

* ඒකට

එලෙස පුරුදු පුහුණු කරන්නට නම් අප බොහෝ දැනුවත් විය යුතුයි. විවිධ පොතපත කියැවිය යුතුයි. සමාජය ගැන, එහි ජීවත්වන චරිත අධ්‍යයනය කළ යුතුයි. එවිටයි අපට අපේ රඟපෑම සාර්ථකව ඉදිරිපත් කළ හැක්කේ.

* විහඟි

ප්‍රියන්ත අයියා විහඟි ගැන කිව්වේ ඈ සාමාන්‍ය කාන්තාවක් බවයි. ඈ මුහුණ දුන්නේත් මගේ අම්මා, පවුලේ අය අවට අය මුහුණ දෙන දේවල්වලටම තමයි. ඈටත් වගකීමක් තිබුණා. ආදරය වෙනුවෙන් සිය ජීවිතය කැප කළා.

* ඔබත් ආදරවන්තියක්

චිත්‍රපටය කිරීමට පෙරයි මගේ පළමු ආදරය නැතිවුණේ. ඊට පසුව මා තවමත් ආදරවන්තියක් නොවෙයි.

* දේදුනු ආකාසේට

ලැබෙන ප්‍රතිචාර හොඳයි. ඒ ලැබෙන දේවල් එක්කයි අපේ රඟපෑමේ බොහෝ දේ හදා ගන්නට ලැබෙන්නේ. ඊට පසුව රඟපාන චරිතයකට මීට වඩා සාධාරණයක් ඉටු කිරීමට මා සිතාගෙන ඉන්නවා.

* මේ චිත්‍රපටයේදි

හේමාල්ගෙන් ලැබුණු සහයෝගය බොහොමයි. ඔහු අපට වඩා සීනියර්. ඒත් රඟපාන විට කිසිම දවසක ඔහු ඒ වගක් අපට පෙන්වලා නැහැ. නිතරම අපේ චරිතය හරියට කරන්නට ඔහුගෙන් උදව් ලැබුණා. ඔහු නිතරම කිව්වේ ඔයාලා නිවෙසට ගියත් මේ නිර්මාණය අවසන් වනතුරුම මේ චරිතයේ ජීවත් වෙන්න කියලයි. එවිට මීළඟ රූගත කිරීම්වලට පහසු බවයි ඔහු පැවසුවේ.

* ආපසු

මේ කටයුත්ත දමලා ගහලා එන්න සිතුණ වෙලාවල් තිබුණා. ඒ පළමුවෙන් ම මේ කටයුත්ත කර ගන්න බැරිවුණ අවස්ථාවෙදියි. මා මේ තෝර ගත්තේ වැරැදි දෙයක්ද කියලත් නොසිතුණා නොවෙයි.

* ඒ දවස

මට තාම මතකයි. එය සිදුවුණේ හරියටම දවල් දොළහට පමණ විතර. මුළු කණ්ඩායම හිටියේ තද අව්වේ. මට තිබුණේ පුංචි දෙබසක් කියන්නයි. ඒත් කිහිපවරක් උත්සාහ ගත්තත් ඒ දෙබස හරියට ආවේ නැහැ. පළමු දවසේ ම ගොඩක් වෙලා යනතුරු ඒක මට හරියට කියා ගන්න බැරිවුණා. ඒ වෙලාවෙයි මට සිතුණේ මට මේ ක්ෂේත්‍රය ගැළපෙන්නේ නැද්දෝ කියලා.

* එහෙම සිතුණේ

අනික් අය හැමෝම මා නිසා සිටියේ අව්වේ. ඒ නිසා මගේ සිතේ යම් පීඩනයක් තිබුණා. ඒත් ඔවුන් පැවසුවේ ඔයාට ඕනෑම වෙලාවක් අරගෙන ඒ දෙබස හරියට කියන්න යන්නයි. ඔවුන් මාව පීඩනයට පත් කළේ නැහැ.

* දිගටම

මේ ක්ෂේත්‍රයේ ඉන්නයි බලාපොරොත්තුව තිබෙන්නේ. ඒ ගැන ඉගෙන ගනිමින්, හදාරමින් ඒ කටයුත්තට පිවිසීමට මා අදහස් කරගෙන ඉන්නවා. ඉදිරියේදි තවත් නිර්මාණයකට කතා කළා. ඒ ගැන සිතිය යුතුයි.