වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 09 වැනිදා බ්‍රහස්පතින්දා




මම මුලින්ම ප්‍රවෘත්ති කිව්වේ අපේ‍්‍රල් පළමුවෙනිදා

මම මුලින්ම ප්‍රවෘත්ති කිව්වේ අපේ‍්‍රල් පළමුවෙනිදා

ආයුබෝවන් මෙන්න ප්‍රවෘත්ති. මම චානක ඉනෝජ්

ඇත්තෙන්ම අද මං ඉන්න තැන ගැන බෙහෙවින් සතුටු වෙනවා. සතියකට දවස් දෙකක් මං රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති කියනවා. ඒ අතරතුරදී දහවල් 12.30 ප්‍රධාන ප්‍රවෘත්ති කියනවා.

අපිව තෝර ගත්ත ගමන් ප්‍රවෘත්ති කියන්න දුන්නේ නැහැ. හරියටම මාස 3 ක් අපිව පුහුණු කළා. හොඳට පදම් වුණා.

ජාතික රූපවාහිනිය ඔස්සේ ඔහු ඔබ හමුවට එයි. අද චානක වෙනුවෙන් මෙම විශේෂාංගයේ ඉඩ අපි වෙන් කෙරුවෙමු.

චානක රූපවාහිනියට සම්බන්ධ වූ අන්දම

මම මාධ්‍යවේදියකු ලෙසට පළමුව සම්බන්ධ වන්නේ ලංකා පුවත් කියන පුවත් වෙබ් සයිට් එකකට. වර්තමානය වනවිටත් මා එහි සේවය කරනවා. ඔය අතර නිවේදනයට මං පෙම් බඳිනවා. ඒ ආදරය කිරීම තියෙන්නේ පුංචි සන්ධියේ පටන්මයි. චන්ද්‍රිකා රූපවාහිනී නාළිකාවක වන ශ්‍රී ටීවී ආයතනයට සම්බන්ධ වුණේ ඒ හීනය සැබෑ කරගන්න. කාලයක් මම එහෙම හිටියා. ඔය අතරේ දැනගන්නට ලැබුණා ජාතික රූපවාහිනියට නිවේදක නිවේදිකාවෝ බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා කියලා. මමත් ඊට අයැදුම් කළා. ඒ 2013 අවුරුද්දේ. තුන් දහසකට අධික පිරිසක් ඊට අයැදුම් කරලා තිබුණා. කොතරම් පිරිස හිටියත් පුංචි හෝ බලාපොරොත්තුවක් තියාගෙන මං සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන්නා. එම තුන්දාහෙන් හය දෙනෙකුට ජාතික රූපවාහිනියට තේරී පත්වීමට අවස්ථාව ලැබුණා. වාසනාව කියන්නේ ඒ අතරේ මමත් හිටපු එක.

ජාතික රූපවාහිනියෙන් මාස තුනක පුහුණුවක්

අපිව තෝර ගත්ත ගමන් ප්‍රවෘත්ති කියන්න දුන්නේ නැහැ. හරියටම මාස 3 ක් අපිව පුහුණු කළා. හොඳට පදම් වුණා. ඇත්තෙන්ම කිව්වොත් ප්‍රවෘත්ති නිවේදකයකු සතු විය යුතු සියලුම ගති ගුණයන් මං ඉගෙන ගත්තේ එතෙන්දි. හරියට පාසලකට ගියා වගේ.

පළමු ප්‍රවෘත්තිය 2014. 04. 01 වැනිදා

අප්‍රේල් පළමුවැනිදා කියන්නෙ මෝඩයගේ දවසනෙ. මට එදා තමයි මුලින්ම ප්‍රවෘත්ති කියන්නට ලැබුණේ. උදෑසන පැයෙන් පැය පුවත් තමයි මුලින්ම කිව්වේ. උදේ ඉඳන් දහවල් දොළහ වෙනකම් ප්‍රවෘත්ති කිව්වා.

අද ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදකයෙක්

ඇත්තෙන්ම අද මං ඉන්න තැන ගැන බෙහෙවින් සතුටු වෙනවා. සතියකට දවස් දෙකක් මං රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති කියනවා. ඒ අතරතුරදී දහවල් 12.30 ප්‍රධාන ප්‍රවෘත්ති කියනවා.

යාල් දේවි දුම්රිය ආරම්භ කළ මොහොතේ අකරතැබ්බයක්

එදා මං තමයි ප්‍රවෘත්ති කිව්වේ. පළමු ප්‍රවෘත්තිය කියලා සාමාන්‍යයෙන් අපි වීඩියෝ දර්ශන බලනවා. මං එදා ප්‍රවෘත්තිය කිව්වට පස්සේ වීඩියෝ දර්ශන විනාඩි කිහිපයක් ප්‍රමාද වන බව මට ඉයර්පීස් එකෙන් දැන්වූවා. පුළුවන් නම් යාල්දේවි ගැන මොනවා හරි කියන්න කියලත් කිව්වා. මං ඉතින් මට ඇති දැනුමෙන් වැඩේ ඇදගෙන ගියා. වීඩියේ දර්ශන ලැබෙනකම් මම දිගටම නිවේදනය කළා. එදා මට සියල්ලන්ගෙන්ම ප්‍රශංසා ලැබුණා.

මුල් කාලයේ නිවුස් කියන්න බැරි වේවි කියලා බයක් තිබුණා

මං ඒ කාලේ බොහොම බයකින් හිටියා. ඒ මගේ රූපය කැමරාවට කැතවේවි කියලා. නමුත් පළමු වතාවට කැමරාවට මුහුණ දුන් පසු ඒ බය නැති වෙලා ගියා. මගේ රූපය කැමරාවට ගැළපුණා.

තවමත් ප්‍රවෘත්ති විතරයි නිවේදනය කරන්නේ

ප්‍රවෘත්ති නිවේදනයටයි මගේ වැඩි කැමැත්ත තිබුණේ. ඒ හින්දා ඊටම හිත යොමු කරනවා. අනික මං හිතනවා ප්‍රවෘත්ති නිවේදකයා අනෙක් නිවේදකයන්ට වඩා වෙනස් වෙන්න ඕනෑ කියලා. අප කියන දේ තමයි මිනිසුන් විශ්වාස කරන්නේ. ඒ වගේම ගෞරවයකුත් තියෙනවා. ඒ හින්දා මේ පැත්තෙන්ම ඉදිරියට යනවා.

කොතරම් ප්‍රවෘත්ති කිව්වත් තවමත් ජනප්‍රිය නැහැ

මං හිතන්නේ බොහෝ දෙනෙක් මාව තවම හඳුනන්නේ නැහැ. හැබැයි මතක් කළොත් මතක් වෙනවා. ජනප්‍රියත්වය තකා කොහොමත් මං මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ නැහැ.

නාළිකා කිහිපයකින් ආරාධනා ලැබුණත් ජාතික නාළිකාව නැහැ කවදාවත් දාලා යන්නේ?

මේ වන විටත් තවත් නාළිකා කිහිපයකින් කතා කළා. නමුත් කොතරම් නාළිකා තිබුණත් ජාතික නාළිකා එකයිනෙ රටට තියෙන්නේ. මං එතනම රැඳෙන්නයි ප්‍රිය කරන්නේ. අනෙක මේ වගේ තැනක ඉන්නවා කියලා කියන්නේ හැම පැත්තෙන්ම අප පෝෂණය වෙනවා කියන එක.

පවුලේ අය මට ලබාදෙන සහය අපමණයි.

මගේ බිරිය රොෂනි ඉෂංකා. මගෙ පුතාට අවුරුද්දයි මාස හයයි. බිරියගෙන් මව්පියන්ගෙන් මට හොඳ සහායක් ලැබෙනවා. ඒ අයව මතක් කළ යුතුමයි.