වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 09 වැනිදා බ්‍රහස්පතින්දා




අසූ හතර වියට පා තබන ගී ලොව රැජන ලතා

මේ සුබ උපන්දිනේ සුපෙම් සිනා පාලා සැපෙන් දිනේ

අසූ හතර වියට පා තබන ගී ලොව රැජන ලතා

ලාංකේය ගීත ක්ෂේත්‍රයේ රැජනයන් දෙදෙනකු පිළිබඳ අපි අසා ඇත්තෙමු. ඉන් එක් රැජණක් මෙයට බොහෝ කාලයකට ඉහත දී අප හැර ගියාය. ඇය රුක්මණී දේවියය. ගී ලොව කිරුළ තවමත් හිස පළඳවා ගත් අනෙක් රාජිණිය වර්තමානයේත් අප දෘෂ්ටිමානයේම ගී ගයන්නීය. ඇය කලාශූරී ලතා වල්පොලය. ‘ලතා’ යන නාමය අපට සිහිපත් කරනුයේ තවත් ගී රැජණකය. ඇය ඉන්දියාවේ ගී රැජණ ලතා මංගේෂ්කාර්ය. ඒ ‘ලතා’ ඉන්දියාවට ජාතික වස්තුවක් වූවා සේම මේ ‘ලතා’ අපේ රටට ජාතික වස්තුවකි. එය හඳුනාගත් වගකිවයුත්තන් මේ රටේ කෙතෙක් සිටී ද යන්න පිළිබඳ මා දන්නේ නැත. එහෙත් මේ රටේ සුවහසක් ගීත ශ්‍රාවකයන්ට නම් ඈ ජාතික වස්තුවක් මෙන්ම ස්වර්ණමය වස්තුවක් බව නම් මා හොඳින්ම දන්නා කරුණකි.

වර්තමානය වන විට මේ රටේ දශක හතක් ඉක්මවා ගිය කාලයක් තුළ ගී ගැයූ හා තවමත් ගී ගයන ගායිකාවක් සිටී නම් ඒ ලතා වල්්පොල පමණක්ම විය යුතුය. ලාංකේය සංගීත ක්ෂේ්ත්‍රය තුළ වෘත්තීය මට්ටමින් ගායක ගායිකා පරපුරක් බිහි වනුයේ ග්‍රැමෆෝන් ගී යුගයේදී බව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පවසා තිබිණ. ඉන් පෙර ගී ගැයුවෝ මෙරට සිටිය ද ඔවුන් වෘත්තීය ගායන ශිල්පීන් වූයේ නැත. ලතා වල්පොල මෙරට ගායන ක්ෂේත්‍රයට පිවිසෙන්නට පෙර එලෙස වෘත්තීය ගායක ගායිකාවන් ලෙසින් කටයුතු කළ පෙර පරපුර අතර ලක්ෂ්මී බායි, රුක්මණී දේවි, කෝකිල දේවි වීරතුංග, කේ. කේ. රාජලක්ෂ්මී, කරුණා දේවි, වසන්තා සන්දනායක, චිත්‍රලේඛා, ජී. ඇස්. බී. රාණි, චිත්‍රා සෝමපාල වැන්මෝ වූහ. ලතා ගීත ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වන්නේ ඉන් අනතුරුවය.

වත්මනෙහි කිරුළ පලන් රැජිනක වුව ද ඈ මෙරට ගීත ශ්‍රාවකයන් වෙත තිළිණ වූයේ දුක්, කඳුළු වේදනාවෙන් පිරි දීරිඝ කතාන්දරයක ප්‍රතිපලයක් ලෙසිණි. 1934 නොවැම්බර් මස 11 වැනි දින කොළඹ බම්බලපිටියේ ‘ධවලගිරි’ නිවසින් ජීවන ගීතය අරඹන්නේ ‘ලතා’ කෙනෙකු නොවිණ. ජෝසප් ලීනස් ප්‍රනාන්දුට හා එළිසබෙත් මියුරියල් යුවළට ලැබෙන තෙවැනි දරුවා වූයේ ඇයය. උප්පැන්නයේ ඇගේ නම සඳහන් වනුයේ මාතරගේ රීටා ජෙනිවි ප්‍රනාන්දු ලෙසටය. රීටා ජෙනිවි ‘ලතා’ වීම එක් අතකට ආශ්චර්යයක් ද? මට එසේ සිතුණු අවස්ථා ද නැත්තේ නොවේ. ලතාට අනුව නම් මේ දෙවියන් වහන්සේගේ කැමැත්තය.

කුඩා ජෙනිවි සිය පාසල් අධ්‍යාපනය අරඹනුයේ ගල්කිස්ස පල්ලියේ පාසලිනි. ඇය කුඩා කල පටන්ම වැඩි කැමැත්තක් දැක්වූයේ ගීත ගායනයටය. කතෝලික බැතිමතුන් වශයෙන් නිතර දෙවේලේ පල්ලියේ ඇසුර ලබන ඔවුන්, එහි ගීතිකා කණ්ඩායමේ ද නිත්‍ය සාමාජිකයින් වූහ. පසු කලෙක ගී රැජනක වීම දක්වා වූ ගමන් මඟේ මූලික අඩිතාලම ඇගේ ජීවිතයට වැටුණේ පල්ලියේ දෙවියන් වහන්සේ හෙවණිනි.

පල්ලියේ ගීතිකා ගැයීම යනු එක්තරා ආකාරයක ස්වර අභ්‍යාසයකි. නැතහොත් කටහඬ පුහුණුවකි. නිතර ඉහළ ස්වර ඇසුරු කරමින් ගැයෙන මෙම ගීතිකාවල ළයාන්විත බව දෙවියන් වහන්සේ කෙරෙහි ඇතිවන්නා වූ අනුපමේය භක්තිය, ගෞරවය, ආදරය කැටිකොට ගනිමින් ජෙනිවිට සිය අනාගත ජීවන වෘත්තියට පදනම සකසා දුන්නාය. දෙතොලඟ නිතරම රැඳුණ ගීයකින් යුතුව කටයුතු කළ ජෙනිවි සිය පවුලේ හිතවතකුගේ මාර්ගයෙන් ගුවන් විදුලියේ ගීත ගයන්නට සම්බන්ධ වූවාය. දොළොස් හැවිරිදි වියේ වූ ජෙනිවිට ගුවන් විදුලි අත්වැල් ගායනයෙන් පසු තනිවම ගීයක් ගායනා කිරීමේ අවස්ථාව ද උදා වූයේය. දහතුන් හැවිරිදි දැරිවියක වූ ඇය සරත් විමලවීර රචනා කළ ‘කඳුළු දෙනෙතේ වෑහෙනා’ නම් ගීතය වින්සන් ද අල්විස් සමග ගායනා කළාය. පසු කලෙක ලතා මෙරට චිත්‍රපට පසුබිම් ගායන ක්ෂේත්‍රයේ පුරෝගාමී සලකුණක් වුව ද මුල් යුගයේ ඈ ග්‍රැමෆෝන් තැටිවලට ගී ගැයූ ගායිකාවක වූවාය. එම ගීත එවකට ගීත ශ්‍රාවකයින් අතර අවධානයට පාත්‍ර වන්න තරම් නැවුම්, ආකර්ෂණීය හඬ පෞරුෂයක් ඈ තුළ වූ බව එම ගීත පිළිබඳ විමර්ෂණාත්මකව අධ්‍යයනය කරන්නෙකුට පැහැදිලි වේ. ඒ වන විට ජනප්‍රිය ගායිකාවක් ලෙසින් ජනගත වී සිටි ගායිකාවන්ගේ හඬින් වෙන් වූ ගීතමය ලීලාවක් ඇගේ හඬ තුළ වීම එයට සුවිශේෂ හේතුවක් විය. ඈ එවකට සුසිල් ප්‍රේමරත්නයන් සමඟ ගායනා කළ ‘මිහිරි සුවඳ විහිදුවා’ රන්වන් කරලින් පැසිලා, සී. ටී. ප්‍රනාන්දු සමඟ ගැයූ ‘ලෝ අඩ නින්දේ, සැළලිහිණි කොවුල් හඬ වැනි ගීත උදාහරණ ලෙස ඉදිරිපත් කළ හැකිය. මෙම ග්‍රැමෆෝන් ගීත මෙන්ම සුසිල් ප්‍රේමරත්නයන්ගේ හමුව ද රීටා ජෙනිවිගේ ජීවිතය උඩු යටිකුරු කෙරිණ. හේතුව ප්‍රේමරත්නයන් රීටා ජෙනිවි ලතා ප්‍රනාන්දු කරවීමය.

ලතාගේ සංගීත ගමනේ සුවිශාල ශක්තිය වූයේ ඇගේ මෑණියන්ය. ලතාගේ පියා සංගීතය ප්‍රිය කළ සංගීත රසකාමියෙකු වුව ද සිය දියණිය ගායිකාවක වනු දකින්නට නොකැමැති වූවෙකි. මේ නිසා ලතා සිය ගමන් බිමන් සියල්ල ගියේ ඇගේ මෑණියන් සමඟය. ඇය සිය දියණියගේ සංගීත දිවිය වෙනුවෙන් සිය කුලගෙය කැප කළාය. සිය සැමියාට හොරා ගීත පටිගත කිරීමකට දියණිය මදුරාසියට රැගෙන ගොස් පැමිණෙන විට ලතාගේ පියා ඔවුන් නිවෙසින් පිටමං කොට තිබිණ.

සංගීතය වෙනුවෙන් එවන් දුෂ්කර පරිත්‍යාග රැසක් කළ ලතා චිත්‍රපට ගීත ක්ෂේත්‍රය තුළට පිවිසෙනුයේ 1953 වසරේදීය. ඒ ‘එදා රෑ’ චිත්‍රපටයට හර්බි සෙනෙවිරත්න සමඟ ‘තෑගි නම් කෝක වුණත් පිරියා’ නම් යුග ගීතය ගායනා කරමිනි. ඉන්පසු ‘ප්‍රේම තරගය’ චිත්‍රපටයට ‘හොඳ හොඳම වේය ලොව‘ ගීතය ධර්මදාස වල්පොල සමඟ ගායනා කළාය. ‘ප්‍රේ්ම තරගය’ චිත්‍රපටය ඇගේ චිත්‍රපට ගායන දිවියේ සුවිශේෂ සන්ධිස්ථානය වූවා සේම පෞද්ගලික ජීවිතයේ සන්ධිස්ථානයක් ද වූයේ ධර්මදාස වල්පොල සිය පෙම්බරයා කර ගැනීම මෙන්ම චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රය තුළ ලතා - ධර්මදාස යුගයක් ආරම්භ කිරීම ද හේතුවෙනි.

‘ගඟ යන්නේ කෙහේද ගලා

සාගරයේ ජලය බලා

යයි දවස අඳුර සොයා

සඳකැන් මුහුදට ගියා . . .’

( කරුණාරත්න අබේසේකර / ආර්. මුත්තුසාමි - චිත්‍රපටය - යටගිය දවස)

‘අහසේ සඳසේ සඳේ ලප ලෙසේ

ආලය බැන්දා සදා නොනැසේ

මධුර ලොව පෙම් රැජිණ මම නම්

කිරුළ ඔබ ද මගේ සිරසේ’

(කරුණාරත්න අබේසේකර / දක්ෂිණ මූර්ති - චිත්‍රපටය - සරදම)

නිල්වලා යාවි පාවෙලා

පෙම්කතා කියාලා

(උපාලි අත්තනායක / ආර්. මුත්තුසාමි - චිත්‍රපටය - දරුවා කාගෙද)

යුරෝපයේ හිම වැටෙන තාලෙට

සීතල සුවය දැනේ . . .

(ධර්මසිරි ගමගේ / ආර්. මුත්තුසාමි - චිත්‍රපටය - උතුම් ස්ත්‍රිය)

ආනන්ද ශ්‍රීය වෑහෙයි -සෝබා දහම් සිනාසෙයි

රූපා ඉතා සුරම්‍යයි - මේ මෝසම් සුළං කියා යයි

(ආනන්ද සමරකෝන් / සුබ්බයියා නායිදු - චිත්‍රපටය - සූරසේන)

හොඳ හොඳම වේය ලොව

කිසි තැනක නැහැ

නොහොඳ නරක දිනුවේ

(හියුගෝ ප්‍රනාන්දු / ආර්. මුත්තුසාමි - චිත්‍රපටය - ප්‍රේම තරගය)

ඔය බැල්ම ඔය කැල්ම නිලුපුල් නෙතේ

(කරුණාරත්න අබේසේකර / ආර්. මුත්තුසාමි - චිත්‍රපටය - කුරුළු බැද්ද)

පෙම් මාලා ගොතා ගෙලේ පළඳන්නම්

ප්‍රේමේ මා හා ප්‍රේම සුදෝ . . .

(බෙනඩික්ට් ප්‍රනාන්දු / ආර්. මුත්තුසාමි - චිත්‍රපටය - මාතලන්)

ජීවන ගංගා ඉවුරේ අපි

ඇවිද යමු ප්‍රියේ

පායන හිරුට හාදු දී

මල් පිපී තියේ

(කරුණාරත්න අබේසේකර / පී. එල්. ඒ. සෝමපාල - චිත්‍රපටය - ශ්‍රී 296)

ඉහතින් සඳහන් කරනු ලැබූ චිත්‍රපට පසුබිම් ගීත ඊට උදාහරණයන්ය. එකල මේ ගීත චිත්‍රපටය සඳහා පමණක්ම නොව පසුව ද ගීතයක් ලෙස ජනතාව ආදරයෙන් වැළඳ ගැනීම සුවිශේෂ සිංසිද්ධියක් විය. චිත්‍රපටයට රන් රස සේ එක් වුණු මෙම හඬ පෞරුෂයන් ද්විත්වය රිදී තිරය ප්‍රේමයෙන් මුසපත් කළේය.

චිත්‍රපට ක්ෂේත්‍රයට ‘ලතා’ ගේ සම්ප්‍රාප්තිය එක්තරා ආකරයක විප්ලවීය ගමනකි. එයට හේතුව දේශීය සිනමාව තුළ වුව ද දකුණු ඉන්දීය ගායක ගායිකාවන්ගේ ඇසුර මේ වනතුරුත් දක්නට ලැබීමය. ලතාට නොයෙක් වර ඔවුන් සමඟ තරග කරන්නට සිදු විය. බොහෝ විට සිංහල චිත්‍රපට සඳහා ගීත පටිගත කිරීම සිදු වූයේ ඉන්දියාවේදීය. සංගීතඥයන්, වාද්‍ය ශිල්පීන්, ශබ්ද ඉංජිනේරුවන් පමණක් නොව ගායක ගායිකාවන් ද සිංහල චිත්‍රපටවලට සිය දායකත්වය සැපයීමට කැමැත්තෙන් ඉදිරිපත් විය. එවන් පරිසරයක් තුළ ලතා සිය අනන්‍යතාවය ලාංකේය චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රය තුළ තහවුරු කර ගත්තාය. එය ඉතා පහසු කරුණක් යැයි සිතමින් නොසලකා හැරිය යුතු කරුණක් නොවේ. ඒ වන විට සිංහල චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රය තුළ දක්නට ලැබුණු ඉන්දීය හඬ පෞරුෂයන් වූ කේ. රාණි, ජමුනා රාණි, ජික්කි වැනි ගායිකාවන් අබිබවමින් දේශීය ඌරුව චිත්‍රපටය තුළ ස්ථාපිත කරන්නට ඇයට තිබූ හැකියාව කෙබඳු එකක් විය යුතුද? එය විමර්ශණාත්මක ඇසකින් විශ්ලේෂණය කළ යුතු කරුණක් ලෙස මට හැඟේ.

ලතා - ධර්මදාස සුසංයෝගය මෙරට සිනමාව එකලු කළ ස්වර්ණමය යුගයක් වූවා සේම ඇගේ පෞද්ගලික ජීවිතය ද අතිශය කාර්යබහුල වූවාය. දරුවන් සිවු දෙනෙකුගේ මවුපියන් ලෙසින් ඔවුන්ගේ කටයුතුත් කලා කටයුතුත් අතර දෝලනය වූ ඇගේ ජීවිතයට යම්තම් හෝ සෙවණක් වුයේ ඇගේ මවය. අතිශය දුෂ්කර ගමනකින් පසු අහිමි වූ පිය සෙනෙහස ද, ආර්ථික දුෂ්කරතා ද, ඉන්න හිටින්නට නිවෙසක් නැතිකම ද ඇතුළු සියලු දෑ ජය ගනිමින් ඈ ජීවිතය දිනන්නට උත්සාහ කරත්දී හෙණයක් පාත් වූවා සේ යළිත් ඈට බිමට කඩා වැටෙන්නට සිද්ධ වූයේ දරුවන් ද ඈ ද තනිකර දමා ධර්මදාස වල්පොල හදිසි හෘදයාබාධයකින් මෙලොවින් සමු ගැනීම නිසාය.

ලතාගේ ගී ගඟ නොනැවතී ගැලුවා සේම සියලු දුක් පීඩාවන්, තනිකම්, වගකීම් දරා ගැනීම මහ මෙරක් සේ ඉවසන්නට හැකි ශක්තියක් ඈ තුළ විය. එතැන් සිට දරුවන් ද සමඟ ජීවන බරට කර ගසමින් සියළු දරුවන්ට යුතුකම් ඉටු කරමින් වර්තමානයේ මිත්තණියක දක්වා වූ පැමිණි ගමන් මඟ තුළ ඈ ගී ලොව රැජිනක් ලෙස කිරුලු පැලඳුවා සේම ධෛර්යවන්ත කාන්තාවක ලෙසින් ද කිරුළු පැළඳුවාය.

ධර්මදාස වල්පොලගේ වියෝවීමත් සමඟම ලතාගේ හඬ පෞරුෂය උද්දීපනය වන්නා වූ තවත් හඬක සුසංයෝගය නිසා ලතා - ජෝති අමරණීය යුගය ආරම්භ විය. එහෙත් මේ යුග ගී ගායකයන් සමඟ මිශ්‍ර වන ලතාගේ හඬ වඩාත් සුදුසු වන්නේ අහවලාට යැයි කියන්නට බැරි තරමට එක් එක් යුග ගායකයන්ට ඇගේ හඬ නම්‍යශීලී විය. ලතා - ධර්මදාස ගයන විට අපට සිතෙන්නේ ඇගේ හඬට වඩාත් ගැළපෙනුයේ ධර්මදාසගේ හඬ කියාය. එහෙත් ලතා - ජෝති සමඟ ගයන විට අපට ිසිතෙනුයේ ලතාගේ හඬට වඩාත් ගැළපෙනුයේ ජෝතිගේ හඬ කියාය. එහෙත් ඉන්පසුවත් ග්‍රේෂන් ආනන්ද, රූකාන්ත ගුණතිලක වැන්නන් සමඟ ගී ගයද්දීත් අපට එසේම සිතුණි.

මට නම් ලතාගේ හඬ විස්මයකි. සංගීතය පිළිබඳ ඇයට කිසිදු න්‍යායික අධ්‍යයනයක් නොමැතිකම ඊටත් වඩා විස්මයකි. ස්වර සප්තකය හෝ ඉන්දියානු රාගධාරි සංගීතය පිළිබද කිසිදු න්‍යායික අධ්‍යයනයකින් හෝ පුහුණුවීමකින් තොරව හඬින් භාවලීලා ප්‍රකට කරන ඇගේ සමහර ගීත මෙරට බහුතරයකට ගායනා කළ නොහැකි උච්ච ස්වර ඇසුරු කරන ගීත විය.

‘නමෝ මරියනි

නමෝ මරියනි ප්‍රසද පූර්ණවන්තිනි . . .’

ඇය ගයන විට බැතිමත් කතෝලිකයෙකුට පමණක් නොව බෞද්ධ, හින්දු, ඉස්ලාම් බැතමතුන්ට පවා ඇඟේ හී ගඩු පිපෙන්නේය.

ගීතයකින් දැනවිය හැකි සංවේදනා සිය හඬ භාවිතා කරමින් උද්දීපනය කළ හැකි ගායිකාවන් අතර ඇගේ නාමය ඉහළ හිනි පෙත්තේ රැඳෙන්නකි. උදාහරණ වශයෙන් පහත ගීත සලකා බැලුවහොත්,

‘පෙරදිග මුතු ඇටයයි මේ ලෝකේ

සිරිබර සිරි ලංකා . . .

(කරුණාරත්න අබේසේකර - එස්. එස්. වේදා - චිත්‍රපටය - ඩිංගිරි මැණිකා)

මාතා මාතා

ශ්‍රී ධරිත භාග්‍ය වූ මාතා

( කරුණාරත්න අබේසේකර /

පී. එල්. ඒ. සෝමපාල)

කිත්සිරි රැන්දූ - ලක් දද බැන්දූ

භූපතියන් රන් දම්

( කරුණාරත්න අබේසේකර / ප්‍රේමදාස අතුකෝරල - චිත්‍රපටය - කොළඹ හාදයෝ)

ශ්‍රී විභූෂිත ලංකා බැබලේ

සිංහ ධජය සෙවණේ

(හේම ශ්‍රී ද අල්විස් - ගුවන් විදුලි ගීතයක්)

මෙම ගීතයන්ගෙන් ප්‍රකට කරනු ලබන දේශාභිමානී හැඟීම් කොතරම් විශිෂ්ට අයුරින් ඈ අපට දනවන්නේ ද යන්න පැහැදිලි වේ. එසේම ප්‍රේමණීය හැඟුම් දනවන්නට ද ඈ තරම් සමත් තව කෙනකු නැතැයි යනුවෙන් සිතෙන තරමට ඒ හඬ ආදරණීය වනු අපට කිසි විටෙකත් නොඅසා සිටිය නොහැකිය. ජීවන ගංගාධරයේ, ආදරයේ රන් විමනේ, ලෝකේ ජීවත් වන්නට, සියුමැලියේ සියුමැලි රෝස මලේ, රොන් සොයා, දේදුන්නෙන් එන සමනලුනේ වැනි ගීත නිතැතින්ම මතකයට නැඟේ.

ලතා ග්‍රැමෆෝන් ගී තුළ, ගුවන් විදුලි ගී තුළ, චිත්‍රපට පසුබිම් ගී ක්ෂේත්‍රය තුළ පමණක් නොව කැසට් ගී තුළ සහ ටෙලි නාට්‍ය පසුබිම් ගීත තුළ ද සිය අනන්‍යතාවය තහවුරු කළාය. ඒක පුද්ගල ප්‍රසංග, ද්වි පුද්ගල ප්‍රසංග කලාව තුළ ඉහළින්ම තම නාමය රැන්දූ ගායන ශිල්පිණියක වූවාය. දශක හතකට අධික කාලයක් තුළ පරම්පරා ගණනාවකින් යුත් මෙරට නිළි පරම්පරාවේ, 50 දශකයේ මුල භාගයේ වංශවතී දවුලුගලට පසුබිම් ගීත ගයමින් ඇරඹි යුග මෙහෙවර ඇය අදටත් නිමවා නොමැති වීම කෙතරම් භාග්‍යයක්ද. අද සිනමාට පැමිණෙන අලුත්ම නිළියක වෙනුවෙන් වුව ද ඇයට පසුබිම් ගී ගැයිය හැකිය. ඇගේ හඬේ දක්නට ලැබෙන ඒ විවිධත්වය, හඬ පරාසය මෙරට වෙනත් කිසිදු ගායන ශිල්පිනියකට පිහිටා නොමැත. සන්ධ්‍යා කුමාරි, ජීවරාණිලා, මාලිනී ෆොන්සේකා, සබීතා පෙරේරා ගේ සිට අනූෂා දමයන්තිලා, අනර්කලී ආකර්ෂා ඇතුළු වත්මන් නවක නිළි පරපුර දක්වාම සුදුසු පසුබිම් හඬක් ඈ සතු වීම වාසනා මහිමයකි.

වත්මනෙහි බිහිවෙන ගායක ගායිකාවන්ට ඈ විශ්ව විද්‍යාලයකි. ඒ ඇගේ ගායන දක්ෂතාවයෙන් පමණක් නොවේ. මේ රටේ නව පරපුර දෙස දයාර්ද්‍රව බලන සහ ආදරයෙන් බලන ප්‍රවීණයන් අතර ලතා අගතැන්පත්ය. ඇගේම ගීත ගායනා කිරීමෙන් ක්ෂේත්‍රයට පැමිණ නමක් හදාගන්නා අය එළිමහන් ප්‍රසංගවල ඈට ප්‍රථම ඇගේම ගීත ගයා බැස යන අයුරු කිසිදු වෛරයකින්, ක්‍රෝධයකින් තොරව උපේක්ෂා සහගතව ඇය බලා සිටින්නීය. අනාගත පරපුරක් බිහි විය යුතුය යන දර්ශනයත්, ඊට ඉඩ හසර සලසා දිය යුතු බවටත් ඈ නිතර අදහන නිසාය. එසේම තම හිස පැලඳි ගී රැජින කිරුළට අභියෝගයක් තමන්ට නොමැති බව ඇය දන්නා නිසාම වන්නට ද ඇත.

ලතා වල්පොල යනු අපට පුරාවෘත්තයකි. මේ පුරාවෘත්තය අපට සම්පතකි. ලාංකේය චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රයට, සමස්ත ගීත කලාවට ඈ තිළිණ කළ ගීත සංඛ්‍යාව දහස් ගණනකි. ඈ මෙරටදී හිමි කරගත් සම්මාන සංඛ්‍යාව ද අති මහත්ය. එහෙත් කිසිදු න්‍යායික අධ්‍යයනයකින් තොරව සප්ත ස්වරය සමඟ පෙළහර පාමින් ඈ කරනු ලබන විස්මයජනක භාවලීල සුගායනය මෙරට පමණක් නොව විශ්වය තුළම සම්භාවනාවට පාත්‍ර විය යුතුය. සංගීතය යනු විශ්ව භාෂාවකි. ලතා විශ්වයට ආමන්ත්‍රණය කරනුයේ එයිනි.

ලතාගේ ජීවන චරිතාපදානය සොඳුරු ලෙස මෙරට සටහන් වී තිබුණ ද ඈ කළ කී දෑ ඇගේ නිර්මාණ හඬ පරාසයන්, දක්ෂතාවයන් ඇතුළු ලතා වල්පොල නම් වූ පුරාවෘත්තය පිළිබඳ නිසි ශාස්ත්‍රීය අධ්‍යයනයක් තවදුරටත් සිදුවීම අනාගත සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නට බලාපොරොත්තු වන්නන්ට සහ පිවිසී සිටින්නන්ට අත්වැලක්ම වනු නොඅනුමානය.

මේ එළඹෙනුයේ ඇගේ අසූ තුන්වැනි ජන්ම දිනයය. ගතේ සවිය හීන වුව ද වේදිකාව මත ඈ සප්ත ස්වරයෙන් පෙළහර පාන්නීය. පෙරදා ගී ගැයූ ජවයෙන්ම ගී ගයන්නීය. එසේ නම් ඉන්දියාවේ ‘ලතා’ එරටට ජාතික වස්තුවක් සේම අපේ ‘ලතා’ මෙරටට ජාතික වස්තුවක් නොවන්නේද?

දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින් . . . අපි ඈ සුරුකිය යුතු නොවේ ද?

ආදරණීය ලතා අක්කේ . . .

ඔබට සුබ උපන් දිනයක් . . . චිරං ජයතු!