වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 09 වැනිදා බ්‍රහස්පතින්දා




මේ දවස්වල නරක හීන වගයක් දැක්කා

මේ දවස්වල නරක හීන වගයක් දැක්කා

අම්මා ටික දිනක සිට උදේ පාන්දරින් පන්සලට යන්නට පුරුදු ව සිටින්නීය. ඒ බිනරි ගේ කේන්දරයට ඒරාෂ්ටකයක් වැටී ඇතැයි ඇගේ කේන්දරය බැලූ ජයසේන මහත්තයා පැවසූ හෙයිනි. ජයසේන මහත්තයා හිටියේ ද පන්සලේය. ඔහුගෙන් කේන්දර බලන්නට රටේ ඉහලම ඇත්තන්ද එති. එබැවින් ඔහුගෙන් දිනයක් ලබා ගැන්ම ද අසීරුය.ජයසේන ලවා බිනරි ගේ කේන්දරය බලවා ගත්තේ ලොකු හාමුදුරුවන්ගේ මැදිහත්වීමෙනි. දින හතක් උදේ පාන්දර පන්සලට ගොස් ඇය වෙනුවෙන් බෝධි පූජාවක් කරන්නයැයි ජයසේන මහත්තයා අපලයට පිළියමක් ලෙස නියම කර තිබිණ. මුල් දවස් තුනේ අම්මා සමග ගිය බිනරි සිව් වන දවසේ එහි ගියේ නැත. අම්මා ද එයට බලපෑම් නොකළාය. ඉඳීන් සය වැනි දවස ද එළැඹිණ.

ඇය සුපුරුදු පරිදි පන්සලට ගියාය.

ටික වේලාවකින් බිනරිට ඇසුණේ කිසිවකු වැරෙන් දොරට ගසන ශබ්දයයි. බිනරි සිටියේ තද නින්දකය.උදෑසන නිදා සිටිනු අම්මා දුටුවහොත් ඇය ගෙන් කප්පරකට බැණුම් අසන්නට සිදුවනු නියතය. අම්මා පන්සල් ගිය අවසරය බිනරි තම නින්දට අවස්ථාවක් උදා කර ගත්තාය. තාත්තා ගේ දෝස්මුරයෙන් පසු ඇය නිවසටම වී කාලය ගත කළාය.

තාත්තා ගෙන් බැණුම් ඇසූදාට පසු දින ද ඔහු ඇයට කතා කළේය. ඇයට වඩා හිතට දැනුණේ ඒ දවසය.

‘පුතා මට ඉන්නේ ඔයා විතරයි. මම මේ තැනට ආවේ අනන්ත දුක් විඳලා. අද අපි ඔළුව උස්සලා හිටියට එක මොහොතින් මෙව්වා නැති වෙන්ඩ පුළුවන්. හැබැයි මම කවදාවත් හොරෙක් වංචා කරයෙක් කියලා අහන්ඩ වැඩ කළේ නෑ. කවදාවත් දුවට අවනම්බුවක් වෙන්ඩ වැඩ කළේ නෑ. ඔය ළමයාත් එක්ක මොකක් හරි සම්බන්ධයක් තිබුණා නම් ඒක නවත්තලා දාන්ඩ මයෙ අම්මා. ඒ ළමයා හිරේ විළංගුවේ වැටිලා ඉවරයි’

චුට්ටං මුදලාලි කියනු බිනරි අසා සිටියේ බිත්තියට හේත්තු වෙමිනි. තම දබරැඟිල්ල හපමින් අසා සිටිනු විනා ඇය ඒ කාලය ඇතුළත කිසිවක් නොපැවසුවාය. අනතරුව ඔහු නැගිට ගෙයින් එළියට ගියේ දොරකඩ තිබූ බුද්ධ ප්‍රතිමාව අත ගසා වන්දනා කරමිනි.

තාත්තා කියන අන්දමට විනොද් සමග සම්බන්ධයක් තිබුනා දැයි සිත්නන්ට ඇය උත්සාහ කළාය. කිසි කලක විනෝද් සමග කතා බස් කරද්දී ආදරය යන මාතෘකාවක් නොඑළැඹුණ තරම්ය. ඔවුන් එකට නාට්‍යය තනන්නට ගියහ. හොඳ චිත්‍රපටයක් තිර ගත වන්නේ නම් නොපැකිලව බිනරි දැනුවත් කරන්නට විනෝද් උත්සාහ කළේය. ඒ ගමනට ඇය ද කැටුව යන්නට ඔහු උත්සාහ කළේය.

බිනරි සුසුමක් හෙලුවාය. විනෝද් රිමාන්ඩ් භාරයට පත් කරන ලදැයි ඇයට පැවසුවේ දසයාය. දසයා ඔහුගේ විස්තර කියන්නට කිහිප වතාවක්ම ගෙදර ආවේය.

‘බිනරි ගෙදර නෑ ළමයෝ’

දිනක් දසයාට අම්මා පවසනු ඇයට ඇසිණ.නිවසේ සිට එළියට පැමිණ අම්මාගේ වචනයට අවනත නොවී සිටින්නට ඇයට සිතුන ද ඒ හැඟිම ආයාසයෙන් මැඩලන්නට බිනරි සමත් වූවාය.

‘බිනරි කොහේ ගියා ද දන්නේ නෑ ?’

දසයා ඇසුවේය.

‘ඔය ළමයින් බිනරි හම්බු වෙන්න නාවාට කමක් නෑ. එයාගේ තාත්තා කොහොමත් කැමති නෑ’

අම්මා කියනු බිනරිට ඇසුණේ අනිත් දවසේය. ටික වේලාවක් කිසිවක් කතා නොකර සිටි දසයා ආපසු යනු බිනරි ට නිවස ඇතුලේ සිට පෙනිණ. බිනරිට දුක සිතිණ.

ඇය නිවසේ සාලයට පැමිිනියාය. අම්මා මග අවුරා බලා සිටියේ බිනරි නිවසින් බැහැරව දසයාට කතා කරනු ඇතැයි සිතාගෙනය.

එහෙත් බිනරි ගෙයින් එළියට නොගොස් සාලයේ සිට දසයා යනු බලා සිටියය.

‘වරෙං ළමයො ගෙට’

අම්මා ඉදිරි දොර වසා දැම්මාය

‘පව්’

බිනරිට කියැවිණ

‘පව් කියලා මැරෙන්නයැ. පිහිය රත්තරන් කියලා ඇන ගන්ඩ බෑනේ’

අම්මා පැවසුවේ දොර ගේ ඇතුළතින් අගුළු ලමිනි

එයට බිනරිට සිනහ ගියාය

‘ඒ පාර මොක ද ?’

‘අම්මා දොරේ අගුළු දැම්මේ මං පැනල යයි කියලා වගේ නේ’

ඇය ඒ බසට කිසිත් නොකිව්වාය.

‘මං එහෙම මෝඩ නෑ අම්මේ’

බිනරි යළිත් පැවසුවාය. එයට ද කිසිත් නොකියා සිටින්නට අම්මාට වුවමනා ව තිබිණ.

‘ඒ වුනාට මට බයයි. ළමයෝ මේ දවස්වල නරක හීන වගයක් දැක්කා ඒකත් මගේ හිතට හරි නෑ’

අම්මා කීවෙන් බිනරි කර බා ගත්තාය.

දසයා නැවත බිනරි සොයා නිවසට ආවේ නැත. විනෝද් පිළිබද තොරතුරක් දැන ගන්නට තිබේ නම් කදිමයැයි බිනරි ගේ සිතට දැනුණ ද ඇය එය එළි දැක්වූයේ නැත.

අම්මා පන්සල් යන්නට පටන් ගත්තේ ඒ අතරය. විනෝද් ගැන කතාවක් ගෙදර සිදු වූයේ ද නැත.සියල්ලෝම තම තමන්ට රහස් තබා ගත්තා වැනි විය.

බිනරි ගේ නිවසේ දොරට තට්ටු කරනු හඬ ඇසුනේ ඒ දවස් ගෙවී යද්දීය

බිනරි දොර විවෘත කරන්නට පෙරාතුව ජනේලයෙන් බැලුවාය.

ඇය ගේ සිත ගැසෙන්නට පටන් ගත්තේය.

‘විනෝද්’

ඔහු නිවස ඉදිරිපිට සිට ගෙන සිටියි. වෙනදා තිබුණ පැහැපත් මුහුණ ඔහු සතු නොවීය. ඔහු කිහිප වරක්ම නිවසේ දොරට තට්ටු තිරිමකින් අනතුරුව මිදුලට වී නිවස දෙස බලා සිටියාය. අල්ලපු ගෙදර නැන්දා නිවස දෙසට එනු බිනරිට පෙනිණ. ඇය ඉදිරි දොර මුල්ලට රිංගුවාය. දුව ගෙන ගොස් විනෝද් ගේ අතින් අල්ලා ගන්නට ඇති වුණ ආසාව මැඩලන්නට බිනරි වෙහෙස වූවාය.

‘මං හිතන්නේ ගෙදර නෑ ළමයෝ’

ඇය කියනු බිනරි අසා ගෙනය.

බිනරි යතුරු සිදුරට ඇස තබා පිරික්සුවාය.

එවර දොරට තට්ටු කළේ අල්ලපු ගෙදර නැන්දාය.

‘ම්හු ළමයෝ මට පේන්නේ කවුරුවත් නෑ. මේ දවස් වල මං හිතන්නේ බෝධි පූජාවකට යනවා කිව්වා’

ඔවුන් එතැනින් නික්ම යනු බිනරි අසා ගෙනය

යළිත් කවුළුව සමීපයට ගිය බිනරි හින් සීරුවේ බලා සිටියාය.එහි සිටින්නකුට පාර හොඳීන් නිරික්ෂණය කළ හැක. විනෝද් ඇවිද ගියේ අපහසුවෙනි. ඔහු යළිත් තම නිවස දෙස බලනු දුටු බිනරි වහා උන් තැනින් මෑත්වූවාය.

ඔහු නික්ම ගිය පසු ඇය සිත සදා ගන්නට තැත් කළාය. තමා කිසි ව්ටෙකත් ඔහු ට අවශ්‍ය මොහොතේ උපකාරයට නොපැමිණියේ යන වරදකාරී හැඟිම ඇයට ඇති විණ. ඉදිරි පස දොරේ අගුළ ඇරෙනු ඇසුණ ඇය වහා සාලයට ගියාය. අම්මා පන්සල් ගොස් පැමිණ සිටියි.

‘අර ළමයා රිමාන්ඩ් එකෙන් ඇවිල්ලය කියන්නේ’

අම්මා පුටුවක වාඩිවුණේ ගමන් මහන්සියටත් වඩා දිගු කතාවක් කරන්නට මෙන්ය.

‘කවුද’

බිනරි ඇසුවේ ගණනකට නැතුවය

‘කවුද ඉතින් විනෝද් මිසක’

විනෝද් නිවසට ඇවිත් ගිය විත්තිය නොකියා සිටින්නට බිනරි වග බලා ගත්තාය.

‘ලක්ෂ්මන්ගේ ගේ බිඳලා තියෙන්නේ විනෝද් නෙවේය කියලා කියන්නේ’

ලද අලුත් ආරංචියෙන් බිනරි ට උන් හිටි තැන් අමතක වූවාය.

‘මේ කොල්ල ඒ ගැන දන්නෙවත් නැතිලු.ලකියත් වෙන තරහකට මූව පැටලුවා කියන්නේ’

‘අනේ දෙය්යනේ,

බිනරිට කියැවිණ.