වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




තුන්වැනි

තුන්වැනි පරම්පරාවේ වංශවත් අරගලය

වැඩවසම් ක්‍රමය මත දිවෙන, ධනවාදී අධිපතිත්වයට ගොදුරු වූ කාල්පනික ගම් පියසක් කේන්ද්‍ර කර ගනිමින් තැනුණු අපූුරු ටෙලි වෘත්තාන්තයන් දැන් සෙනසුරාදා රාත්‍රී 8.30 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වේ. පවුල් හැට හැත්තෑවක් පමණ වෙසෙන මෙකී ගම් පියස ප්‍රධාන පවුලේ සංස්ථා ත්‍රිත්වයකින් පාලනය කෙරේ. මෙකී පවුල් ත්‍රිත්වේ තුන්වෙනි පරම්පරාව අද වෙසෙති. අරවින්ද, අනුත්තරා සහ බර්ටි එහි පාත්‍ර වර්ගයා වෙති. කථාංගය ගොඩ නැඟෙන්නේ අරවින්ද කේන්ද්‍ර කරගෙනය.

හෙතෙම කුඩා කළ සිටම අගනුවර හැදී වැඩී සරසවි අධ්‍යාපනය හදාරා තම පියාගේ අවසාන කාලයේ ගමරට එයි. අනුත්තරා යනු ඔහුගේ නැන්දණියගේ දියණිය වන අතර බර්ටි ඔහුගේ පියාගේ වැඩිමල් සහෝදරයාගේ පුතායි.

දෙවෙනි පරම්පරාවේ බල අරගලයේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට මෙකී පවුල් ත්‍රිත්වයේ සහෝදරකම් සෝදා පාලුවට ලක් වී වෛරය ඉස්මතු වී ඇත. දෙවෙනි පරම්පරාවේ අවසානය ලෙස අරවින්දගේ පියා මෙලොව හැර යන්නේ ඔහුට නඩත්තු කිරීමට පරම්පරාගත වෛරයක් ද ඉතිරි කරමිනි. මේ වන විට අනුත්තරා පවුල හා බර්ටිගේ පවුල එක් පසෙකත් අරවින්ද තවත් පසෙකත් සිටී.

ගම්මු මෙකී පවුල්වලින් ලැබෙන ඉතා කුඩා වරප්‍රසාද මත තමන්ගේ සිතැඟි පරිදි වෙනස් වෙමින් පවුල් ත්‍රිත්වය සමඟම ගනුදෙනු කරමින් ජීවත් වෙයි. ගම පුරාම පවතින්නේ බර්ටිගේ අධිපතීත්වයයි. ඔහුට එරෙහි වන්නට කිසිවෙක් නැත. මෙවන් පසුබිමක් මත ගමට ආගන්තුකයෙකු වූ අරවින්දගේ පුනරාගමනය සිදු වෙයි.

අරවින්දගේ පළමුවන ප්‍රයත්නය වන්නේ දෙවැනි පරම්පරාව බලෙන් ඔවුන් මත පැට වූ වෛරය හොඳ හිතක් බවට පෙරළා ගැනීමයි. ඒ සඳහා ඔහු සහෝදරත්වයේ දෑත දිගු කරන විට බර්ටි සහ ඔහුගේ කීම පිට අනුත්තරාත් ඉවත බලා ගනී. කුඩා කල තමන් සමඟ එකට කෙළි සෙල්ලම් කළ සහෝදරත්වය එකට බෙදා ගත්තේ අනුත්තරා හා බර්ටිය.

එලෙස විරසක වීම වෙන කාගෙන් වුවත් තම අනාගත බලාපොරොත්තුව වූ අනුත්තරාගෙන් අරවින්ද අපේක්ෂා නොකළේය. තනි වූ අනුත්තරාට ඇගේ බාල වියත් අරවින්දවත් අමතක වී බොහෝ කල්ය. නමුත් එම අතීතයේ සියලු දෑත් හොඳින් මතක තවත් එක් තැනැත්තියක් මෙම පවුල් ත්‍රිත්වයේ වෙසෙයි. ඇය බර්ටිගේ මව ලොකු මැණිකෙයි.

අරවින්ද ධනාත්මක මිනිසෙක් ලෙස කටයුතු අරඹයි. මිනිසුන්ට හෘදයාංගමව ආදරය කරන මිනිසෙක් ලෙස අරවින්ද ගමේ මිනිසුන් සමඟ ජීවිතය පටන් ගනියි. මෙතෙක් කල් ඔහුගේ පරම්පරාවේ අය විසින්ම නොසලකා හැර පීඩනයට ලක් කළ ගැමියන් මෙකීි ආගන්තුකයාට ආදරය දක්වන්නට පටන් ගනියි. ඔවුන් විඳින දුකෙන් ඔවුන්ව මුදවා ඔවුනට වඩා යහපත් හෙට දිනක් තනාදීමේ වගකීම තම කරපිට නිරායාසයෙන්ම වැටී ඇති බව අරවින්දට තේරුම් යයි.

ඒ නිසාම ඔහු ගැමියන්ගේ පැත්ත ගෙන ඔවුනට මඟ පෙන්වන්නෙක් බවට පත් වෙයි. කෙමෙන් මිනිසුන් අරවින්දගේ පැත්තට හැරෙයි. ඒ නිසාම බර්ටි මහත් සේ කලබලයට පත් වෙයි. බර්ටි විවිධ උපක්‍රම යොදමින් අරවින්දගේ ගමන වළකාලන්නට වෙර දරයි.

ඔහු අරවින්දට විවිධ කෙනෙහිලිකම් කරයි. මේ අතර සාධාරණත්වයත්, දාරක ස්නේහයත් අතර ගැටෙන ලොකු මැණිකේ තම පුතා වූ බර්ටිව අත්හැර සාධාරණත්වයේ පැත්තේ හිට ගනියි. අඳුුරු වළා පටලයන්ගෙන් වැසී තිබූ අනුත්තරාගේ හදවත ද නැවත කෙමෙන් විකසිත වන්නට පටන් ගනියි.

අනුත්තරාගේ ආදරයත්, තම අභිමානය හා තම පන්තිය රැක ගැනීමට ඕනෑම දෙයක් කරන බර්ටිගේ වෛරයත් අන් අය විසින් පාලනය කරන අසරණ ගම්මුන්ගේ දුක්බර ජීවිතයත් අතර ගැටෙන අරවින්ද තම අරමුණ වූ වඩා යහපත් හෙට දිනක් තැනීම කරා යන්නා වූ ගමන හිස් අහස යටින් නිරූපිතයි.

නළු නිළියන් - ජගත් චමිල, හිමාලි සිරිවර්ධන, ධර්මප්‍රිය ඩයස්, ජනක් ප්‍රේමලාල්, චම්පා ශ්‍රියානි, කුමාර වඳුරැස්ස, නිල්මිණි කෝට්ටේගොඩ, සරත් කරුණාරත්න, දයා වයමන්, සදාරා රංදිනී, සුදත් විජේසේකර, යොහානි හංසිකා (ළමා නිළි), නෙස්ටා මානෙත් (ළමා නළු),

නිමාශා ද සිල්වා

තේමා ගීත රචනය - අමිල තේනුවර

තේමා ගීත හා කවි ගායනය - මාලක ප්‍රියදර්ශන, සචිනි නිසංසලා සඳමාලි

නිෂ්පාදන කළමනාකරණය - චන්දන ශ්‍රී සුදාරක (ටෝනි)

වේශ නිරූපණය - සංජීව රත්නායක

කලා අධ්‍යක්ෂණය - පියතිස්ස අකුරම්බඩ

සහාය අධ්‍යක්ෂණය - රුවන් බණ්ඩාර, උදය ප්‍රසන්න

කැමරා අධ්‍යක්සණය - විශ්වජිත් කරුණාරත්න

සංස්කරණය - සිතුම් සමරජීව, දුමින්ද ප්‍රේමතිලක

තිර රචනය - උදය ශාන්ත කුමාරසිංහ

නිෂ්පාදනය - ලක්ෂ්මන් ප්‍රේමතිලක, කුමාර වඳුරැස්ස

අධ්‍යක්ෂණය - රුවන් කුඩලිගම