වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




ඕලු අක්කා දැන් හරිම ජනප්‍රියයි

ඕලු අක්කා දැන් හරිම ජනප්‍රියයි

සිනෙති අකිලා

ආචාර්ය සෝමරත්න දිසානායකගේ සිරි පැරකුම් සිනමාපටයේ කළු එතනාව ඔබට මතකද. ඒ චරිතයට පණ පෙව්වේ මේ යෞවනිය. ඇගේ නම සිනෙති අකිලා. මේ දිනවල සිනෙති ඉන්න තවත් සිනමාපටයක් තිරගත වෙනවා. ඒ සෝමරත්න දිසානායක නිර්මාණය කළ සරිගම. සිනෙති සරිගම චිත්‍රපටයේ ඕලු. ඒ කියන්නේ ළමයි හත් දෙනාගෙන්ම වැඩිමල්කෙනා. මෙහෙම හිටියට සිනෙති රංගනයට පිවිසිලා තියෙන්නේ ඉපදිලා යන්තම් මාස තුන සපිරෙද්දිලු.

* එහෙම නේද සිනෙති?

මගේ අම්මා තමයි මට ඒ ගැන කිව්වේ. තහංචි කියලා නාට්‍යයක තමයි මං මාස තුනේදී පෙනී සිට තියෙන්නේ. මගේ පළමු ටෙලි නාට්‍ය සහ පළමු චිත්‍රපටය අතර අමතක නොවන සිදුවීමක් තියෙනවා. ඒ මොකක්ද දන්නවද, තහංචි ටෙලි නාට්‍යයේ කැමරා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ පාලිත පෙරේරා මහත්මයා. ඔහු තමයි සිරි පැරකුම් චිත්‍රපටයෙත් කැමරා අධ්‍යක්ෂ. සිරිපැරකුම් චිත්‍රපටයේ දර්ශන තලයට මම අම්මා එක්ක ආවම පාලිත අයියා අම්මව හඳුනාගත්තා. පුදුමයෙන් මං දිහා බලලා ඇහැව්වා 'මේ අර මාස තුනේදී රඟපාපු ළමයද' කියලා. අම්මා 'ඔව්' කිව්වාම ඔහුටත් සතුටු හිතුණා. පළමු ටෙලි නාට්‍ය රඟපාලා අවුරුදු දාහතරකට පස්සේ පළමු චිත්‍රපටයේම එම කැමරා අධ්‍යක්ෂවරයා යටතේම රඟපාන්නට ලැබීම විරල සිදුවීමක්.

* ඔබට කොහොමද සිරි පැරකුම් සිනමාපටයට රඟපාන්න අවස්්ථාව හිමි වන්නේ?

මං ගුවන් විදුලියේ ළමා පිටියට එකතු වෙලා කාලයක් හිටියා. ඔය අතරතුරදී මට දැනගන්නට ලැබුණා සිරි පැරකුම් චිත්‍රපටයට අලුතින් නළු නිළියන් පිරිසක් ගන්නවා කියන ආරංචිය. මමත් ඊට ඉල්ලුම් කළා. ඔවුන් ලියුමකින් දැන්නුවා මට ඒ ඔඩිෂන් එකට සහභාගි වෙන්න කියලා. එදා තිර පරික්ෂණ කිහිපයකට මුහුණ දුන්නට පස්සේ මාව තේරුණා කළු එතනාගේ චරිතයට. එතෙන්දි තමයි සෝමරත්න සර්වයි රේණු මිස්වයි හඳුන ගත්තේ. ඔවුන් මට මහත් වූ ශක්තියක් වුණා මගේ රංගන ගමන අරඹන්න.

* ඔබව සරිගම සඳහා තෝර ගත්තේ ඒ හැඳුනුම්කම මතද?

කොහෙත්ම නැහැ. එයාලා මාව කොපමණ දැනගෙන හිටියත් සරිගම සඳහා නැවතත් තිර පරික්ෂණයකට මුහුණ දෙන්න සිදු වුණා. ඊට පසුවයි මට ඕළු චරිතය ලබා දුන්නේ.

* කොහොමද ඕළු සඳහා ලැබෙන ප්‍රතිචාර?

කළු මැණිකෙගෙ චරිතය සඳහා මාව ගොඩක් කළු කළා. ඇතැම් විට සමහර අයට මාව හඳුන ගන්නත් බැරි වුණා. නමුත් සරිගමහි එහෙම නැහැ. මාව කෙළින්ම හඳුනා ගන්න පුළුවන්. ඒ හින්දා ප්‍රසිද්ධ තැනකට ගියාම බහුතරයක් මාව හඳුනනවා. විශේෂයෙන්ම පොඩි ළමයි. ඔවුන් මගේ ළඟටම ඇවිත් අහනවා ඕළු අක්කා නේද මේ කියලා.

* සරිගම රඟපාන්න ගිහින් පැය දොළහක් කලාවැවේ නෑවා කියලා ආරංචියි?

එදා නම් මං අවුරුද්දකට විතර හරි යන්න නෑවා. එදා ෂූට් කළේ චිත්‍රපටයේ සින්දුවක්. සින්දුව අතරමැද කෘත්‍රිම වැස්සක් වහින්නට සැලැස්සුවා. හවස පටන් ගත්තු ෂූට් එක එලිවෙනකම්ම ගියා. හරියටම පැය දොළහක් එදා නාන්නට සිදු වුණා.

* සිරි පැරකුම් චිත්‍රපටයෙන් පසු ඔබ රඟපෑ නිර්මාණ මොනවද තියෙන්නේ?

මීදුම් අම්මා, රිදීහුය, වැලි ඔටුන්න ආදී නාට්‍ය මං කළා. රන් සයුර, රන් දෝණි වැනි චිත්‍රපටලටත් එකතු වෙන්න අවස්ථාව උදා වුණා. ඒ චිත්‍රපට දෙකම ළඟදීම තිරගතවීමට නියමිතයි.

* සිරි පැරකුම් චිත්‍රපටයේ ඔබ සමඟ රඟපෑ සෙනාලි ෆොන්සේකා තරමට ජනප්‍රිය වෙන්න ඔබට බැරි වුණා. කොහොමද එහෙම වුණේ?

මෙහෙමයි, මගේ පළමු චරිතයම කළු චරිතයක් වුණානේ. ඒක නිසා ඇතැම් විට වැඩි ආකර්ෂණයක් මට යොමු නොවන්න ඇති. ඒ කාලයේ මං වැඩිපුර අධ්‍යාපන කටයුතුවලට හිත යෙදෙව්වා. ඒ හින්දා මට ලැබුණු අවස්ථා පවා මිස් වුණා. අනික මට ක්ෂේත්‍රය ගැන කියා දෙන්න හිතවත් අය වැඩිය හිටියෙත් නැහැනෙ. මේ මේ දේවල් නිසා සෙනාලි තරම් මට කැපී පෙනෙන්න බැරි වෙන්න ඇති.

* සෙනාලි කලා පරපුරක පුරුකක්. ඔබ ඔය නොකියා කිව්වේ ඒ තත්ත්වයද ඇගේ ජනප්‍රියත්වයට බලපාන්න ඇති කියලද?

ඔව්. එයාට කලා පසුබිමක් තියෙනවානේ. ඒ හින්දා කෙටි කලකින් වැඩි දුරක් ඇයට යන්න පුළුවන් වුණා. මම එහෙම නැහැ. මං හිමින් ගමන මේ විදිහටම යනවා. හැබැයි මට සෙනාලිට වැඩිය චිත්‍රපටවල රඟපාන්න ලැබුණා.

* ඔබ හරිම ආඩම්බරකාර චරිතයක් කියලා ඇතැම් අය කියනවා?

ඔව්. මටත් ඒක අහන්න ලැබිලා තියෙනවා. මම කාත් එක්කවත් එල්ලි එල්ලි කතාවට නොයන නිසා එහෙම කියනවා ඇති. නමුත් කෙනෙකුව ෆිට් වුණොත් ආයේ ඉතින් ෆිට්ම තමා.

* සිනෙතිගේ පවුලේ විස්තර, ගම් පළාත, ඉගෙන ගත්තු පාසල සහ උපන් දිනය එහෙම කියමු?

මම තමයි පවුලේ එකම දරුවා. අම්මා මගේ යෝධ සෙවණැල්ල. මගේ තාත්තා නැහැ. ගම කුරුණෑගල, වර්තමාන පදිංචිය කඩවත. මං පාසල් දෙකකින් ඉගෙන ගත්තා. කුලියාපිටිය සාරානාත් විදුහල සහ පඬුවස්නුවර එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක විදුහල තමයි ඒ පාසල්. උපන් දිනය 1993 පෙබරවාරි විසි අට.

* ඔබ ගැන කෙටියෙන් හඳුන්වා දෙන්න බලන්න?

සරල වගේම අසාධාරණයට එරෙහිව නිරන්තරයෙන් පෙනී සිටින අයකු ලෙසට මාව හඳුන්වා දෙන්න කැමැතියි.