වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




සුනිල් හොරේෂස්ගේ ඇගේ නම රතී යළි වේදිකාවට

සරසවිය හිටපු මාධ්‍යවේදී අභාවප්‍රාප්ත

සුනිල් හොරේෂස්ගේ ඇගේ නම රතී යළි වේදිකාවට

විමල් ගීගනගේ ගේ අධ්‍යක්ෂණයක්

නාට්‍යවේදී විමල් ගීගනගේ අතින් නිර්මාණය වූ ඇගේ නම රති වේදිකා නාට්‍යය මෙම මස 12 වැනිදා එනම් එන බදාදා සවස කොළඹ ලුම්බිණී රඟහලේදී වේදිකා ගතවේ. 1994 දී නිර්මාණය වූ එම නාට්‍යය යළිත් වේදිකාවට ගෙන එනුයේ් වසර විස්සකට පමණ පසුවය. මැක්සිම් ගෝර්කිගේ සම්මානනීය කෙටි කතාවක් ඇසුරෙන් නැසීගිය සරසවිය මාධ්‍යවේදී සුනිල් හොරේෂස් විසින් කරන ලද පරිවර්තනයකට අනුව නිර්මාණය වූ වේදිකා නාට්‍යයක් ලෙස ඇගේ නම රතී හඳුන්වාදීමට පුළුවන. ආචාර්ය විමල් සමඟ මේ කෙරෙන කෙටි සංවාදය ඇගේ නම රතී යළි වේදිකාවට ගෙන ඒම නිමිති කර ගනිමිනි.

පසුගිය වසර ගණනාව පුරාවට වේදිකා ගත නොකළ නාට්‍යයක් ඇයි හදිසියේම වේදිකාවට ගෙන එන්නට හිතුණේ?

ඒකට හේතුව වශයෙන් මට කියන්න වෙන්නේ මගේ අවිවේකීකම කියලයි. මං කැමැතියි නිර්මාණයක් කරද්දී එයත් එක්කම ජීවත්වන්න. දැන් පොඩි නිදහසක් ලැබුණා. ඒ හින්දා නාට්‍යය යළිත් වේදිකාවට ගෙනාවා.

මෙය රුසියානු පරිවර්තනයක්. ඒ රටේ සිදු වූ කතාවක් අප වේදිකාවට ගෝචර කර ගත්තේ කොහොමද?

මේ නාට්‍යයට පදනම් වූ කතාව අවුරුදු 400 කට වඩා පරණයි. රුසියවේ ස්්ටෙප්ස් තණබිමකයි ඒ සිදුවීම සිදු වෙලා තියෙන්නේ. ඒ වුණත් ඒ කතාව කුමන සංස්කෘතියකට වුණත් ගැළපෙනවා. විශේෂයෙන් අපේ රටට. තව අවුුරදු දහස් ගණනක් ගියත් මේ කතාව වටිනවා. අවුරුදු හත අටක කුඩා ළමයකුට රුහුණේ නියම මීකිරි ටිකක් කන්න ලැබුණොත් ඒ රසය අවුරුදු අසූවක් වනතෙක් ඔහුගේ දිවේ සහ මතකයේ පවතීවි. අන්න ඒ වගේ තමයි මේකත්.

ඇගේ නම රති හි නළු නිළියන් පිරිස මතක් කළොත්?

ඩීමන් හෙට්ටිආරච්චි, තිළිණි මධුශානි, සුමෙන්ද්‍ර දිවාකර, වරුණ අබේවර්ධන, සමන්තිකා පිටුවල, ප්‍රියංකා ජයවර්ධන, අනුෂ්කි කෞශල්‍යා, නිමල් නන්දසිරි, සුනෙත් මැල්සිරිපුර, බිනද හේලික සතරසිංහ, උපේඛා ගෝතමි, එම්. එස්. සල්මාන්, රංජි සිරිවර්ධන සහ මම .


කෙටි නාට්‍ය තරගයට පිටපත් භාර ගැනේ

ප්‍රවීණ නාට්‍යවේදී සුගතපාල ද සිල්වා ප්‍රණාම කෙටි නාට්‍ය උලෙළ සමගාමීව සිදු වන කොළඹ දිස්ත්‍රික් පාසල් කෙටි නාට්‍ය තරගයට මේ දිනවල කෙටි නාට්‍ය පිටපත් භාර ගැනේ.

නාට්‍ය අනුමණ්ඩලය හා සිංහල සංස්කෘතික ආයතනය එකමුතුවෙන් සිදු වන මේ උලෙළ සඳහා ඉදිරිපත් වන්නන්ට වැඩි විස්තර දැන ගැනීම සඳහා 0777-645921 හා 011-2687979 යන දුරකතන අංකවලට අමතන්න.


පෙම්වතුන්ගේ දිනයට ශ්‍රීමත් ඉන්ද්‍රජිත්ගෙන් ‘ආකස්මික ආදරය’ක්

පෙම්වතුන්ගේ දිනය නිමිත්තෙන් ගුවන්විදුලි රූපවාහිනි නිවේදක ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ ලියූ ‘ආකස්මික ආදරය’ පෙම් කව් ගී සරණිය කෘතිය හා ඩී.වී.ඩී පටය මේ මස 14 වැනිදා පස්වරු 4.00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී එළිදැක්වෙයි.

එදිනට විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද චරිතා ප්‍රියදර්ශනී, අමිත් වල්පොළ, දයාන් විතාරණ, අතුල ශ්‍රී ගමගේ, අසංග ප්‍රියමන්ත, ලක්ෂ්මන් හේවාවිතාරණ, මැණික් චන්ද්‍රිකා, මයිකල් පෙරේරා, ශිහාන් මිහිරංග ඇතුළු ගායක - ගායිකාවෝ රැසක් ගී ගයති. එහිදි ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක යන මහත්වරු සහ සංගීතා වීරරත්න, නන්දන වීරසිංහ, රත්නා පුෂ්පකුමාරි යන කලා ශිල්පීහු හා ශිල්පිනියෝ ප්‍රේමය පිළිබඳ අරුත් පහදති. මේ උත්සවය අවසානයේ උදය කාන්ත වර්ණසූරියගේ ‘පායා එන්න හිරු සේ’ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට ද නියමිත ය.


‘අපි නරකයි තමයි’ පොළොන්නරුවේදී

සුජීව පතිනිසේකරගේ නවතම පරිවර්තන නාට්‍ය නිර්මාණය ‘අපි නරකයි තමයි’ වේදිකා නාට්‍යය මේ මස 10 වැනිදා පොළොන්නරුව 03 ඇල ප්‍රජා ශාලාවේදී වේදිකා ගතවෙයි. මෙහි රංගනයෙන් විශාකා ජයවීර, නෙලුම් කුරුගල ආරච්චි, කවිඳු බණ්ඩාර, ආශා පෙරේරා, දුලාන් මධුරංග, සුජීව පතිනිසේකර යන නළු - නිළියෝ සහය වෙති. මෙහි පරිවර්තනය ජයලත් එස්. ගෝමස් වන අතර සංස්කරණ සැකසුම එම්. සෆීර්ගෙනි.


සරසවි නිර්මාණ රංග පීඨයට නාට්‍ය පිටපත් කැඳවයි

සරසවි නිර්මාණ රංග පීඨය 34 වන වරටත් සංවිධානය කරන සමස්ත ලංකා කෙටි නාට්‍ය තරගය සහ සරසවි නිර්මාණ සම්මාන ප්‍රදානය සඳහා දිවයිනේ කෙටි නාට්‍ය කරුවන්ගෙන් මේ දිනවල නාට්‍ය පිටපත් කැඳවනු ලැබේ.

ආධුනික, ප්‍රවීණ සහ පාසල්වල නාට්‍ය හා රංග කලාව හදාරන සිසුදරුවන්ට ද ඒ සඳහා සහභාගි විය හැකි අතර මේ කෙටි නාට්‍ය තරගයේ විස්තර සහ අයැදුම් පත් ලබාගැනීමට කෘත්‍යාධිකාරී, ලීල් ආනන්ද ගජනායක, සරසවි නිර්මාණ රංග පීඨය, 174/7, මඩපාත, පිළියන්දල යන ලිපිනයෙන් විමසිය හැකිය. නැති නම් 071-2998100 හෝ 071-6006323 යන දුරකතන අංකවලින් වැඩි විස්තර ලබාගත හැකිය.


‘එළැඹෙන දශකයේ ඩිජිටල් සිනමාව’ නමින් කතිකාවක්

සිංහල සංස්කෘතික ආයතනයේ සිනමා අනුමණ්ඩලය මඟින් සංවිධානය කරන සුදර්ශ සිනමා අස්වැද්දුම වැඩසටහන් මාලාවේ 'එළැඹෙන දශකයේ ඩිජිටල් සිනමාව' නමින් පැවැත්වෙන කතිකාව මේ මස 15 වැනිදා සවස 4.00ට සුදර්ශි (සිංහල සංස්කෘතික ආයතනයේ) ආයතනයේ ගාමිණි ෆොන්සේකා ශාලාවේදී පැවැත්වෙයි.

එහිදි ප්‍රවීණ සිනමාවේදී ධර්මසේන පතිරාජයන්ගේ සිට වර්තමානයේ තිරගත වන චත්‍ර වීරමන්ගේ 'ආලෝකෝ උදපාදි' චිත්‍රපටය දක්වා වන ප්‍රවීණ හා තරුණ අධ්‍යක්ෂවරුන් සමඟ සිනමාවේ දී අලුත්වන ප්‍රවණතාවන් හා ඒ සඳහා අප මුහුණ දිය යුතු අයුරු හා ඒ සඳහා අප මුහුණ දෙන්නේ කෙසේ ද යන ප්‍රශ්න රැසක් එදිනට කතාබහ කිරීමට නියමිත ය. මෙහි සහභාගි වන ප්‍රධාන ශිල්පීන් අතර ධර්මසිරි බණ්ඩාරනායක, ජයන්ත චන්ද්‍රසිරි, ජැක්සන් ඇන්තනී යන සිනමාවේදීහු ද සහභාගි වෙති. ‍මෙහිදී ශ්‍රී ලංකාවේ හොඳම කෙටි චිත්‍රපට දහයක් තිරගත නිරිමට නියමිත අතර මේ කතිකාව සඳහා සහභාගි වන්නැයි සිනමාට ළැදි ඔබ සැමට සංවිධායක කමිටුව ආරාධනා කරයි.


ප්‍රථම ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උලෙළ 13දා නෙළුම් පොකුණ රඟහලේදී

මහාචාර්ය සේන නානායක්කාර

ගුවන්විදුලි මාධ්‍ය ක්ෂේත්‍රයේ ‍ඓතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කරමින් මෙරට ප්‍රථම ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උලෙළ ලබන 13 වැනිදා පස්වරු 5.00ට කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

රාජ්‍ය හා ගුවන්විදුලි නාලිකා හතළිස් තුනකින් මේ සඳහා අයදුම්පත් ලැබී ඇති අතර පසුගිය 2015 වසරේ ජූනි මාසයේ සිට 2016 වසරේ අවසානය දක්වා එම නාලිකාවල විකාශය කරන ලද ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන්, වාර්තා විචිත්‍රාංග, සාකච්ඡා, ප්‍රශ්න විචාරාත්මක වැනි වැඩසටහන් අතරෙන් හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශකයා, ප්‍රකාශිකාව, හොඳම නිවේදකයා, නිවේදිකාව, කථක, පූරක, පිටපත් රචක, නාද ශික්ෂක, නිෂ්පාදනය, නාට්‍ය ශිල්පියා, නාට්‍ය ශිල්පිනිය ඇතුළුව තරග අංශ විසිපහක් යටතේ සම්මාන පිරිනැමීමට නියමිතය. ඊට අමතරව ගුවන්විදුලි මාධ්‍ය ක්ෂේත්‍රය තුළ එහි දියුණුවට විශිෂ්ට සේවාවක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ ශිල්පීන් තිදෙනෙකුට ප්‍රතිභා ප්‍රණාම සම්මාන පිරිනැමීමට ද කටයුතු යොදා ඇත. විජය කොරෙයා, එස් නාදන්, ප්‍රභා රණතුංග යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්, මාධ්‍යවේදිනියන් මෙහිදී සම්මානයෙන් පුදනු ලබයි.

මහාචාර්ය සේන නානායක්කාරගේ සභාපතීත්වයෙන් යුතු රාජ්‍ය ගුවන්විදුලි උපදේශක මණ්ඩලයේ කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස, මහාචාර්ය කමල්වලේබොඩ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන පියදාස රත්නසිංහ, ප්‍රේමසර ඈපාසිංහ, පර්සි ජයමාන්න, එම්. අයි. එම් හසන්, එම් සර්වානන්ද ඇතුළු පිරිසක් කටයුතු කරයි. සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උලෙළ පැවැත්වේ.

රාජ්‍ය ගුවන්විදුලි උපදේශක මණ්ඩලයේ සභාපති මහාචාර්ය සේන නානායක්කාර මේ පිළිබඳ දැක්වූයේ, මෙවන් අදහසකි. "මෙය මෙරට ගුවන්විදුලි ක්ෂේත්‍රයේ ඓතිහාසික ජයග්‍රහණයක්. සිනමාව, රූපවාහිනිය, වේදිකා නාට්‍ය, පුවත්පත් මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සම්මාන උලෙළ පැවතුණත් අපේ රටේ ජනතාවට ප්‍රථමයෙන්ම සමීප වුණු ගුවන්විදුලිය ක්ෂේත්‍රය වෙනුවෙන් සම්මාන උලෙළක් මෙතෙක් නොපැවැත්වීම ලොකු අඩුවක්.

ගුවන්විදුලිය හරහා මේ රටේ ජනතාවගේ දැනුම අවබෝධය, රුචිකත්වය, රසවින්දනය දියුණු වුණා වගේම ඒ හරහා විශිෂ්ට කලාකරුවන් රැසකුත් බිහි වුණා. අධ්‍යාපනයට පිටුබලයක් වුණා. ඒ කර්තව්‍යයට උරදුන් මාධ්‍යවේදීන් කලාකරුවන් පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතු යි. ඒ වෙනුවෙන් මෙවර ප්‍රථමවරට ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උලෙළක් පැවැත්වෙනවා. එය තවත් එක් සම්මාන උලෙළක්ම නෙවෙයි. මනුෂ්‍යත්වය අගය කිරීමක්, යුතුකමක් වගේම වගකීමක් ඉටු කිරීමක්."


නොමිලේ නාට්‍ය වැඩමුළුවක් මහනුවරදී

‘මහලු මඩම, ‘අංජනම්, ‘දැන්වීම් ඇලවීම තහනම් ආදි වේදිකා නාට්‍ය කරළියට ගෙන පැමිණි දර්ශන පිගේරාගේ රංගනය පිළිබඳ නොමිලේ තුන්දින නේවාසික වැඩමුළුවක් මේ මස 23, 24, 25 යන තෙදිනේදී මහනුවරදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ වැඩමුළුව අවසන් කරන අයව ඉදිරියේදී නිර්මාණය කිරීමට නියමිත නිර්මාණවලට දායක කර ගැනීම සිදු වන අතර ඒ සඳහා සහභාගි වීමට කැමැති තරුණ - තරුණියන් හා වැඩිහිටියන් සිය අයැදුම් පත්‍ර වැඩමුළු අධ්‍යක්ෂ, දර්ශන පිගේරා ෆස්ට් ඇඩ්ස්, අංක 39/1, කොළඹ පාර,පේරාදෙණිය යන ලිපිනයට මේ මස 10 වැනි දිනට පෙර යොමු කරන්න. නැතිනම් 0725968867 යන දුරකතන අංකයෙන් වැඩි විස්තර ලබා ගත හැකිය.


‘කප්තුර ගී සර’ මීගමුවේ

පොල් ආශ්‍රිත උපස්තර අපනයනකරුවන්ගේ සංගමය ඉදිරිපත් කරන ‘කප්තුර ගී සර’ සංගීත ප්‍රසංගය මේ මස 11 වැනිදා සවස 6.00ට මීගමුවේ ආවේ මරියා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි. එහිදි ටී.එම්. ජයරත්න, එඩ්වඩ් ජයකොඩි, උරේෂා රවිහාරි, සහ නෙලූ අධිකාරී ගී ගයන මේ ප්‍රසංගයේදී සංගීත අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහගෙනි. ගිරිරාජ් කෞශල්‍ය හා ප්‍රියන්ත සෙනෙවිරත්න ඉදිරිපත් කරන හාස්‍ය රසාංගයකින් රසවත් වන මේ ප්‍රසංගයේ නිර්මාණ අධ්‍යක්ෂණය පුෂ්කර වන්නිආරච්චිගෙනි. කථනය ඉන්ද්‍රසිරි සුරවීර සිදු කරන අතර සම්බන්ධීකරණය අසංග පොන්නම්පෙරුමගෙනි.


‘ස-ප’ සංගීත සන්ධ්‍යාව පානදුර පුරහලේ

ප්‍රවීණ හින්දි ගී ගායන ශිල්පී සංගීත විශාරද ප්‍රදීප් ශ්‍රීනාත්ගේ මඟ පෙන්වීම යටතේ තරුණ දරුවන්ගේ සංගීත ඥානය පුළුල් කිරීම සඳහා පැවැත්වෙන 'ස-ප' සංගීත සන්ධ්‍යාව මේ මස 10 වැනිදා පස්වරු 5.00ට පානදුර පුරහලේ දී පැවැත්වෙයි.මෙහි ප්‍රදීප් ශ්‍රීනාතක් සංගීතය මෙහෙය වීමෙන්ද, නිශාන්ත පීරිස් කථනයෙන් ද, ගීත ගායනයෙන් පාසල් දරු දැරියෝද එක්වෙති.


‘ළා දම් පාට හැන්දෑව’ සංගීත සන්ධ්‍යාව නෙළුම් පොකුණේදී

8 Men Team  සංවිධානය කරන ‘Love U  - ඊඩින් උයනේ ළා දම් පාට හැන්දෑව’ සංගීත සන්ධ්‍යාව මේ මස 11 වැනිදා රාත්‍රි 7.00ට නෙළුම් පොකුණ පරිශ්‍ර යේදී පැවැත්වෙයි.

පෙම්වතුන්ගේ දිනය අර්ථවත් කරමින් ඇරැඹෙන මේ සංගීත සන්ධ්‍යවේදී රූකාන්ත ගුණතිලක, චන්ද්‍රෙල්ඛා, අතුල අධිකාරී, නිරෝෂා විරාජිනී, සමිතා මුදුන්කොටුව, කසුන් කල්හාර, උරේෂා රවිහාරි, භාතිය - සන්තුෂ් හා උමාරියා සිංහවංශ යන ශිල්පීහු හා ශිල්පිනියෝ ගී ගයති. මෙහි මාධ්‍ය දායකත්වය ‘දී යුත් පුවත්පතයි.