වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




ශ්‍රී ලාංකේය සිනමා ශිල්පීන් තිදෙනෙක් අන්තර්ජාතික සිනමා උලෙළක ජූරියේ

ශ්‍රී ලාංකේය සිනමා ශිල්පීන් තිදෙනෙක් අන්තර්ජාතික සිනමා උලෙළක ජූරියේ

ශ්‍රී ලාංකේය සිනමා ශිල්පීන් තිදෙනෙක් අන්තර්ජාතික සිනමා උලෙළක ජූරීන් ත්‍රිත්වයක සාමාජිකයෝ ලෙස නියෝජනය කරති. එලෙස කටයුතු කිරීමට ලැබෙන දුර්ලභ අවස්ථාව මේ දිනවල ප්‍රංශයේ විසුල් නගරයේ පැවැත්වෙන අන්තර්ජාතික සිනමා උලෙළකදී සිදු කෙරෙයි. ඒ අනුව සිනමාවේදී විමුක්ති ජයසුන්දර උලෙළේ ප්‍රධාන ජූරියේ ද, සිනමාවේදී ප්‍රසන්න විතානගේ ගුයිමට් (ට්භඪථබඥ) සිනමා අංශයේ ජූරියේ ද, අග්‍රගණ්‍ය නිළි ස්වර්ණා මල්ලවාරච්චි උලෙළේ නෙට්පැක් ජූරියේ ද සාමාජිකයෝ ලෙස කටයුතු කරති.


අරෝෂගේ එකළොස් වැන්නේ රූ ගැන්වීම් දිගටම කීර්ති බණ්ඩාරගේ අධ්‍යක්ෂණයක්

කීර්ති බණ්ඩාරගේ නවතම සිනමාපටය දියකිඳුරි චිත්‍රපටය රූගත කිරීම් මේ දිනවල සිදු වේ. එය ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ නිෂ්පාදනයකි. දියකිඳුරි අරෝෂගේ එකොළොස් වැනි සිනමා නිෂ්පාදනය වේ. රොජර් සෙනෙවිරත්න, නයනා කුමාරි, විජේරත්න වරකාගොඩ , හයිසින්ත් විජේරත්න ආදී නළු නිළියන් රැසක් දියකිඳුරි හි චරිත මවති. මෙහි සම නිෂ්පාදනය ආචාර්ය ආර්. පී. තිස්සගෙනි.


රේඛාවේ ඇස 11 දා ජාතික රූපවාහිනියේ

දයාරත්න රටගෙදර අධ්‍යක්ෂණය කළ රේඛාවේ ඇස නම් වූ විශේෂ රූපවාහිනී වැඩසටහන මෙම මස 11 වැනිදා රාත්‍රී 7.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වේ. මෙය රේඛාව සිනමාපටයට අවුරුදු හැට සපිරීම නිමිත්තෙන් රීගල් සිනමා ශාලාවේදී පැවැත් වූ විශේෂ උත්සවයේදී තිරගත කරන ලදී.


සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් චිත්‍රපටයක්

මෙරට ප්‍රථම වතාවට සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයීය වි්‍යාර්ථීන් විසින් නිෂ්පාදනය කරන චිත්‍රපටයක මුහුරත් උලෙළ එම විශ්ව විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත් විය. එහිදී ප්‍රධාන ආරාධිතයා වශයෙන් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි සහභාගි විය. ලිහිනි නමැති එම චිත්‍රපටය අරුණ වීරසිංහගේ අධ්‍යක්ෂණයකි. තිර රචනය ද ඔහු විසින් නිම කොට ඇත. උමංග චන්ද්‍රසේන, චතු කොඩිතුවක්කු, ග්‍රෙගරි හේරත්, නිර්මාණි අසාමා, වින්ද්‍යා ශ්‍රීමාලි, ඉරේෂා බාලසූරිය මෙහි රංගනයේ යෙදෙති. සංගීතය ඉරේෂා බාලසුරියගෙනි. සංස්කරණය ග්‍රෙගරි හේරත් විසින් නිම කරයි. කලා අධ්‍යක්ෂණය නිර්මාණි හේරත්ගෙනි. වින්ද්‍යා ශ්‍රීමාලි වස්ත්‍රාභාරණ නිර්මාණය කොට ඇත. සහාය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන කළමනාකරණය චතු කොඩිතුවක්කුගෙනි. ලිහිනි චිත්‍රපටය සඳහා ආරාධිත රංගනයෙන් සමන්ත ගමගේ එක් වෙයි.


සිවදාසන්ගේ අලුත් චිත්‍රපටයට නළු නිළි වරම්

සරසවිය Model Bank පිරිසටත් ආරාධනා

දරුවනේ, දෝණි, සිංහයා සහ තිරගතවීමට නියමිත පාටක් නැති ආදරයක් යන සිනමාපටයන් අධ්‍යක්ෂණය කළ වී. සිවදාසන්ගේ නවතම සිනමාපටය සඳහා නවක නළු නිළියන් කිහිප දෙනෙකු හඳුන්වාදීමට ඔහු අපේක්ෂා කරයි.

එළඹෙන 12 වැනිදා එනම් එන ඉරුදින සවස සුදර්ශී ආයතනයෙහි පැවැත්වෙන මූලික සම්මුඛ පරීක්ෂණයට පැමිණීමෙන් නවක ඔබට සිවදාසන්ගේ නවතම සිනමාපටයට එකතු විය හැකිය.

මේ සඳහා සහභාගිවීමට කැමති සරසවිය Model Bank සඳහා දායක වූ සියල්ලන්ටත් එදින පැමිණෙන්නැයි ආරාධනා කරයි.


රන් සයුර 16 දා සිට

ජනපි‍්‍රය සටන් නළු වසන්ත කුමාරවිල නිෂ්පාදකවරයකු ලෙස දොරට වඩින රන් සයුර චිත්‍රපටය මෙම මස 16 දා සිට ඹ්ජ්ච් සිනමාහල්වල තිරගත වේ. මෙය සුදේශ් වසන්ත පීරිස්ගේ අධ්‍යක්ෂණයකි.


ප්‍රේමය නම් 17 දා සිට

මෙරට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන මුල්ම දෙසොහොයුරන් වන වින්දන ආරියවංශ, කල්පන ආරියවංශ යන දෙසොහොයුරන් අධ්‍යක්ෂණය කළ ප්‍රේමය නම් සිනමාපටය මෙම මස 17 වැනිදා එනම් ආදරවන්තයින්ගේ දිනය දා ඛ්ඡ්ඹ් මණ්ඩලයේ සිනමාශාලාවල තිරගතවීමට නියමිතය.


කඩවුණු පොරොන්දුවට දායක වූ මීගමු කලාකරුවනට ගමේ උපහාර අද

මෙරටේ ප්‍රථම කතානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව සඳහා දායක වූ මීගමු පුරවරයේ කලාකරුවන්ට උපහාර පිදීමේ උලෙළක් මෙම මස 09 වැනිදා එනම් අද උදෑසන මීගමුව මහ නගර සභා ශාලාවේදී පැවැත්වේ. මෙහිදී කඩවුණු පොරොන්දුවෙහි කතා රචක බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, ප්‍රධාන නිළි රුක්මණී දේවි, ප්‍රධාන නළු එඩී ජයමාන්න මෙන්ම රංගනයෙන් සහ ගීත රචනයෙන් දායක වූ හියුගෝ ප්‍රනාන්දු යන නැසීගිය කලාකරුවන්ට උපහාර පිදෙනු ඇත. මෙම උලෙළ කලාකරුවන්ට හිතැති මීගමුවේ සංවිධානයකි.


ජෝතිපාලගේ 81 වැනි ජන්ම දිනය වෙනුවෙන් සංඝ ගත දක්ෂිණාවක්

සුවහසක් රසිකයන්ගේ හදවතේ ඔටුනු පලන් ප්‍රවීණ ගායක එච්. ආර්. ජෝතිපාලගේ 81 වැනි ජන්ම දින සැමරුම නිමිති කර ගනිමින් මේ මස 12 වැනිදා උදෑසන පංචිකාවත්තේ අබේසිංහාරාමයේ දී සංඝ ගත දක්ෂිණාවකි. සවස 2.00ට බොරැල්ල කනත්තේ ඔහුගේ පිළිමය අසල පුෂ්ප උපහාරයක් පැවැත්වෙයි. ඒ සඳහා සියලු දෙනාට ම සහභාගි වෙන්නැයි ආරාධනා කෙරේ.


රංජනී රත්න විභූෂණ බැංගලූර් ජූරි සභාවේ

සිනමා ලේඛිකා රංජනී රත්න විභූෂණට ඉන්දියාවේ බැංගලූර්හි පැවැත්වෙන අන්තර්ජාතික බැංගලූර් සිනමා උලෙළේ ජූරි සභිකාවක ලෙස කටයුතු කිරීමට අවස්ථාව සැලසී ඇත. ඒ සඳහා ඇය පසුගියදා ඉන්දියාවට පිටත්ව ගියා ය. ඒ අන්තර්ජාතික බැංගලූර් සිනමා උලෙළේ ජූරියට රංජනී රත්න විභූෂණ සමඟ සිටින අනෙක් සාමාජිකයන් වන්නේ චිත්‍රපට අධ්‍යක්ෂ ෆෝල් ස්පූරියර් හා චිත්‍රපට විචාරක ලලිත් රාවෝයි.

රංජනී රත්න විභූෂණ නෙට්ෆැක් - ආසියා පැසිෆික් සිනමාවේ ප්‍රවර්ධනය සඳහා වූ එකමුතුවේ භාණ්ඩාගාරික හා විධායක කමිටු සාමාජිකාවක් ද වෙයි. එමෙන්ම ආසියානු සිනමා කේන්ද්‍රයේ ලේකම් ද වන ඈ ජාත්‍යන්තර චිත්‍රපට සමිති සම්මේලනයේ හා අන්තර්ජාතික සිනමා විචාරක සංගමයේ සාමාජිකත්වය ද හිමි කාන්තාවකි. ශ්‍රී ලංකා ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන ගෞරව උපාධිධාරිනියක වන රංජනී රත්න විභූෂණ සිනමා ලේඛිකාවක, සිනමා හා ටෙලි නාට්‍ය ජූරි සභිකාවක හා චිත්‍රපට සංගම් ක්‍රියාකාරිනියක් ද වෙයි.


‘දැවෙන ‍විහඟුන්’ ට ඉහළම මනාප

සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ 'දැවෙන ‍විහඟුන්' චිත්‍රපටය (Burning Brids) 46 වැනි රොටර් ඩෑම්ප් අන්තර්ජාතික සම්මාන උලෙළේ ඉහළම මනාප ලැබූ චිත්‍රපට අතර 16 වැනි ස්ථානයට පත් වී තිබේ. ඒ ස්ථානය 'දැවෙන ‍විහඟුන්' චිත්‍රපටයට ලැබී ඇත්තේ චිත්‍රපට 172ක් අතරෙනි.