වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




ගාමිණි හා සේන වෙනුවෙන් මම සාක්කි කූඩුවට නැග්ගෙමි

ගාමිණි හා සේන වෙනුවෙන් මම සාක්කි කූඩුවට නැග්ගෙමි

‘රංජිත් මම වෙනුවෙන් උසාවියේ සාක්කි දෙන්න හම්බන්තොට එන්න පුළුවන්ද?' දිනක් ජාඇල නිවසේදී ගාමිණී ෆොන්සේකා මගෙන් ඇසීය. එවකට ඔහු මාතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ද විය.

'. . . බැංකුවට විරුද්ධව මම නඩුවක් දාලා තියෙනවා හම්බන්තොට දිසා අධිකරණයේ. ඔයා මා ගැන ලියපු පොතේ කර්තෘ විදිහට මා ගැන උසාවියට කරුණු ඉදිරිපත් කරන්න' ගාමිණී කීය. ගාමිණීගේ 50 වැනි උපන් දිනයට 'හෙළ සිනමාවේ සක්විති' නමින් ලියූ පොතේ කතුවරයා මාය.

'මම මීට ඉස්සර උසාවියක සාක්කි දිලා නෑ'

'අපේ නීතිඥ මහත්වරු ඒ ගැන කියලා දෙයි. මම බැංකුවෙන් වන්දි ඉල්ලා නඩුවක් දාලා තියෙනවා මගේ බැංකු ගිණුමේ රහස්‍ය තොරතුරු එළියට ගියා කියලා. ඔයාට තියෙන්නේ මගේ වටිනාකම ගැන කියන්න විතරයි, මම සම්මාන ලැබුව හැටි, රඟපෑ චරිත ගැන, මම හදපු චිත්‍රපට ගැන. මා සමඟ තියෙන සමීප සම්බන්ධය නිසා ඔයාට කට පාඩමින් කියන්න පුළුවන්. හැබැයි කිසිම බොරුවක් කියන්න එපා. අනික් පැත්තෙන් අහන ප්‍රශ්න, හරස් ප්‍රශ්නවලට ඇත්ත කියන්න. එච්චරයි'

පැමිණිල්ල (ගාමිණී වෙනුවෙන්) නිතිඥ එච්. ඒ. අමරසේන, පයිසාල් රශීන්, නිතිඥ එම්. එන්. කාසීම්, නීතිඥ කේ. ඒ. ප්‍රනාන්දු, නීතිඥ ෆිලිප් යන මහතුන් මෙදර් සහ රාමනාදන් නීතිඥවරුන්ගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ බෙන් එලියතම්බි මහතා ද පෙනී සිටියහ.

විත්තිය (බැංකුව) වෙනුවෙන් නීතිඥ පාලිත ගුණසේකර, නීතිඥ පී. එච්. ටී. ද සිල්වා, නීතිඥ එස්. ජේ. මොහිදීන් යන මහතුන් ද නීතිඥ එම්. සී. රණසිංහ මහත්මිය සමඟ ජනාධිපති නීතිඥ එල්. සී. සෙනෙවිරත්න මහතා පෙනී සිටියහ.

1994 නොවැම්බර් මාසයේ සාක්කි දෙන විට මා සරසවියේ කර්තෘය. දෙවන වර සාක්කි දෙන විට 'සරසි' කර්තෘය. ඒ වන විට ගාමිණී උතුරු නැගෙනහිර ආණ්ඩුකාරවරයාය.

හම්බන්තොට අතිරේක දිසා විනිසුරු පී. ඩබ්ලිව්. ඩී. සී. ජයතිලක මැතිතුමාගේ ඉදිරිපිට පවත්වන මේ නඩුවේ අංකය 1970/ මුදල්ය. හම්බන්තොට දිසා අධිකරණය ඉපැරැණි ඉතිහාසයකට උරුමකම් කියයි. 'බැද්දේගම' නම් විශිෂ්ට සුදු ජාතික සිවිල් නිලධාරියකු වූ ලෙනාඩ් වුල්ෆ් නඩු අසා ඇත්තේ ද මේ උසාවියේ බව පැරැණි උසාවි සේවකයෙක් මට කීවේය. 'බැද්දේගම' නවකතාව ඇසුරෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයේ විනිසුරු ලෙස රඟපෑ ආතර් සී. ක්ලාක් ශ්‍රීමතා ද විනිසුරු ලෙස පෙනී සිටියේ මේ උසාවියේ බව පැවසේ.

මගෙන් බොහෝ විට හරස් ප්‍රශ්න ඇසුවේ එස්. ජේ. මොහිදීන් නම් නීතිඥ මහතාය. මා සරසවිය පුවත්පතේ කර්තෘ ලෙස කටයුතු කරන කාලයේ අප විසින් සංවිධානය කළ සරසවිය සම්මාන උලෙළේ විනිශ්චය මණ්ඩලයේ 1993 වසරේ ද, 1994 වසරේ ද මොහිදීන් මහතා සාමාජිකයකු ලෙස කටයුතු කළේය. 1993 වසරේ මොහිදීන් මහතා විනිශ්චය මණ්ඩලයේ සිටියදී සභාපති වූයේ සෑම් විජේසිංහ මහතාය. පී. වී. නන්දසිරි, තිස්ස ලියනසූරිය, රන්ජිත් ගුණවර්ධන, මල්ලිකා වනිගරත්න හා මන්ත්‍රී පෙරේරා යන මහත් මහත්මීන් සෙසු සාමාජිකයෝ වූහ. 1994 ඊ. එම්. ජී. එදිරිසිංහ මහතා සභාපති වු අතර ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි, දයාරත්න රණතුංග, ඒ. පී. ගුණරත්න, සීතා කුලතුංග, මාලිනී ගෝවින්නගේ, මොහිදීන් යන මහත්ම මත්මීන් විනිශ්චය මණ්ඩලයට ඇතුළත් වූහ.

මොහිදීන් මහතා සිංහල භාෂාව, සාහිත්‍යය ගැන පමණක් නොව සිනමාව, රූපවාහිනි කලාව ගැන මනා පරිචයක් තිබූ කලා රසිකයෙකි. නළු නිළියන් ගැන ද ඔහුට පෘථුල දැනුමක් තිබුණි. ඉතාමත් නිහතමානී ගති පැවතුම් ඇති එතුමා විනිශ්චය මණ්ඩලයේ සිටින විට කිසිදු පාළුවක් දැනුණේ නැත. මා හොඳින් දැන සිටි මොහිදීන් මහතා හම්බන්තොට දිසා අධිකරණයේදී පැය දෙකක කාලයක මගෙන් හරස් ප්‍රශ්න ඇසුවේය. මම සෑම ප්‍රශ්නයකටම සත්‍ය කරුණු හා සංඛ්‍යා ලේඛන සහිතව පිළිතුරු දුන්නේය. උගත් නීතිඥතුමාගේ ප්‍රශ්න ඇසීමෙන් එතුමාගේ සිනමාව ගැන තිබූ දැනුම මොනවට කැපී පෙනුණේය. විනිසුරුතුමා ද සෙසු නීතිඥයන් ද ඉතා සාවධානයෙන් අපේ හරස් ප්‍රශ්න හා පිළිතුරු අසා සිටියහ. මෙය මගේ ජීවිතයේ සුවිශේෂ සිද්ධියක් විය. මෙය සිංහල සිනමාව ගැන ලොකු සංවාදයක් දැයි ඇතැමුන්ට සිතෙන්නට ඇත. බැංකුව ගැන කිසිදු ප්‍රශ්නයක් ඇසුණේ නැත. මා දන්නා තරමින් ගාමිණී වැනි ජාත්‍යන්තර තලයේ නළුවකු ගැන ඔහු සම්මාන දිනූ චිත්‍රපට ගැන ඔහුට සිංහල සිනමාවේ තිබෙන තැන, ඔහු රඟපෑ හා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට ගැන ඔහු හෙළ සිනමාවේ සක්විති වූ ආකාරය ගැන කරුණු හා සංඛ්‍යා ලේඛන සහිතව පිළිතුරු දුනිමි. මට දින හතරක් සාක්කි දීමට සිදු විය.

පැමිණිලිකරු (ගාමිණී) බැංකුවෙන් ඉල්ලූ වන්දි මුදල රුපියල් 300,000,000 කි. (මිලියන තුන්සියයකි) දිසා / අධිකරණය හම්බන්තොට නිල මුද්‍රාව සහිතව 1999 දෙසැම්බර් 16 වෙනිදා රෙජිට්‍රර් විසින් ර් 1907 සහ ර්. 1908 දරන මේ නඩුවල නියෝගයේ අත්සන් කරන ලද සත්‍ය පිටපතේ අනුව පැමිණිලිකරුට ලැබිය යුතු වන්දිය රුපියල් මිලියන 2.5 ක් (රුපියල් ලක්ෂ විසි පහක්) තීරණය කර ඇත.

එවැනිම සිද්ධියක් මුල් කොට ගෙන තමාට වූ අපහාසයට වන්දි ගැනීමට කෑගල්ලේ දිසා උසාවියේ නඩුවකට බැංකුවකට එරෙහිව සාක්කියක් දීමට එන ලෙස මා මිත්‍ර චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂ සේන සමරසිංහ මට ඉල්ලීමක් කළේය. එවර ජනාධිපති නීතිඥ බෙන් එලියතම්බි හා නීතිඥ එස්. ජේ. මොහිදීන් යන මහතුන් එම නඩුවේ ප්‍රධාන සාක්කිකරු ලෙස මා යොදා ගත්තේය. මෙරට සිටි ජනප්‍රිය ධාරාවේ චිත්‍රපට වු සදහටම ඔබ මගේ, නිෂ්පාදක වූ සේන සමරසිංහ ඉන්පසු කස්තුරි සුවඳ, නිල්ල සොයා, ඈතින් ඈතට, යළි හමුවෙන්නයි, චංචල රේඛා ඇතුළු චිත්‍රපට කිහිපයක් අධ්‍යක්ෂණය කළේය. මගේ කල්‍යාණ මිත්‍රයෙකු වූ සේන මට කියා සිටියේ 'ඔයා මා ගැන දන්න දේ උසාවියට කියන්න. මගේ වටිනාකම අනුවයි වන්දිය තීරණය කරන්නේ' කියාය.

මම සේන වෙනුවෙන් කෑගල්ලේ අධිකරණයට ගොස් දෙදිනක් සාක්කි දුනිමි. ඔහුට වන්දි ලැබුණි. මා සාක්කි දුන්නේ කිසිදු ප්‍රතිලාභයක් ලබා නොවේ. සිනමා ක්ෂේත්‍රයේ මනුස්සකම දන්නා හොඳ මිනිසුන් දෙදෙනකු ගැන සත්‍යය ප්‍රකාශ කරමින් මට කළ හැකි යුතුකම මම ඉටු කළෙමි.

මේ ලිපියේ සරසවිය සම්මාන උලෙළ ගැන ලියූ නිසා සම්මාන තේරූ විනිශ්චය මණ්ඩල සභාපතිවරු හා සාමාජිකයන් ගැනත් වචනයක් කතා නොකර බැරිය. මා සරසවි සම්මාන ජූරිය හා සම්බන්ධිකරණය පටන් ගත්තේ 1980 සිටය. මා සරසවියට බැඳුණේ 1969 වුව ද 1970 සිට 1979 දක්වා සරසවිය සම්මාන උලෙළ පවත්වා නැත. එය නැවත පටන් ගත්තේ 1980 දීය. ඒ 1979 වසරේ තිරගත වූ චිත්‍රපට සඳහාය. ඒ රණපාල බෝධිනාගොඩ මහතාගේ ලේක්හවුස් සභාපතිත්වයෙන් එය නැවත ඇරැඹුනු විටය. මෙහිදී විනිශ්චය මණ්ඩලයේ සිටි සභාපතිවරු අතරින් කීර්තිමක් පරිපාලන නිලධාරින් වූ විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් වු ඩී. ජී. දයාරත්න, මහාචාර්ය ජිනදාස පෙරේරා, එල්. පියසේන, ලීල් ගුණසේකර, දොස්තර රන්ජන් අබේසිංහ, කේ. වීරමන්, විජේරත්න බණ්ඩා, මහාචාර්ය ජේ. බී. දිසානායක ද එමෙන්ම සාමාජිකයන් වූ සරත් අමුණුගම, චිත්‍රා රණවක, මානෙල් අබේරත්න, නලින් රත්නායක, ඩී. එම්. පී. බී. දසනායක, ආචාර්ය වික්‍රම වීරසූරිය, රන්ජන් විජේරත්න, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, එච්. එම්. ගුණසේකර, ධර්ම ගුණසිංහ, හේමා ජයසිංහ, වෝල්ටර් ලද්දුවහෙට්ටි, තේවිස් ගුරුගේ, පුණ්‍යා කාන්ති විජේනායක, ඊශ්වරී කොරයා, වී. ඇස් . කුඩලිගම, ආචාර්ය අනුර ගුණසේකර, සිරිල් ගමගේ, මහාචාර්ය එම්. පී. පෙරේරා, වින්සන්ට් පණ්ඩිත, පාලිත වීරසිංහ, ජිනදාස සමරක්කොඩි, මහාචාර්ය කුසුමා කරුණාරත්න, යූ. මාපා, ඩී. ජී. සුමනසේකර, කුමාර් අබේසිංහ, ආචාර්ය තෙල්මා ගුණවර්ධන, මහාචාර්ය ලෝනා දේවරාජා කටයුතු කිරීමට ලැබීම වාසනාවක් කොට සලකමි. මගේ කර්තෘත්වයෙන් සරසවිය පත්‍රය ඇරැඹුණු 1989 තිරගත වූ චිත්‍රපට සඳහා සම්මාන තේරූ මණ්ඩලයේ සිටි සහාපතිත්වය හා සාමාජිකත්වය දැරූ මහාචාර්ය එස්. ආර්. කෝට්ටේගොඩ , මොනිකා රුවන්පතිරණ, මහාචාර්ය ජී. එල්. පීරිස්, අර්වින් වීරක්කොඩි, ලාල් ඇන්තනිස්, තිලක් මාරපන, නාලනී ද ලැනරෝල්, සුමනා සපරමාදු, බෙනඩික්ට් දොඩම්පේගම, ඩී. සි. ඇල් අමරසිංහ, එස්. ජේ. මොහිදීන්, මල්ලිකා වනිගසුන්දර, පී. වී. නන්දසිරි මහත්ම මහත්මින් සමඟ කටයුතු කිරීම සුන්දර ඇත්දැකීමකි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් සෑම් විජේසිංහ මහතා ජූරි මණ්ඩලයේ කටයුතු කළේ පාර්ලිමේන්තුවේ ක්‍රමයටය. ඔහු විනිශ්චය මණ්ඩලයේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස මාව පත් කළේය. එය මුල් වරට සිදු වූවකි.

'අයිසේ ජුරි සභාවේ මුල් රැස්වීම අපේ ගෙදර තියමු. එදාට අපි චිත්‍රපටි බලන්නෙ නෑ. ඉදිරි දින (කාල සටහන) හදා ගන්නවා. විනිශ්චයේ නීති රීති ගැන කතා කර ගන්නවා. එදා රාත්‍රී ආහාරයට ඒ සේරටමත්, චෙයාමන්ට, අයිසේගේ ස්ටාෆ් එකේ කාට හරි එන්න කියමු.

විනිශ්චය මණ්ඩලයත්, ලේක්හවුස් සභාපති අධිනීතිඥ සුනිල් කේ.රුද්‍රිගූ මහතාත් මාත් සෑම් විජේසිංහ මහතාගේ බම්බලපිටියේ ගාලු පාරේ නිවසට එක් වූණෙමු. සුදු කවර දැමු පුුටු මේස මත යටත් විජිත සමයේ නටඹුන් සිහිපත් කරන සංකේත සතර වටින් විද්‍යාමාන විය. මුළු සංග්‍රහයම බට්ලර්ලාගෙන් (සුදු ඇඳුමෙන් සැරසුණු සේවකයන්)ගෙන් සිදු විය. ගෝල්ෆේස් හෝටලය හා ගල්කිස්ස මහ හෝටලය මට සිතට නැඟුණි. දින නියම කරගත් පසු චිත්‍රපට ගැන කිසිවක් කතා කළේ නැත. පාර්ලිමේන්තුවේ රසබර පුවත්, පිලිප්, රොබට්, රාජරත්න, සුන්දරලිංගම්, දහනායක, කෝල්වින්, ඇන්. ඇම්. පීටර්, ආදීන්ගේ අමතක නොවන කතා, මහත්මා දේශපාලනය, සෑම් විජේසිංහ මහතාගේ මාතෘකා විය. සියල්ලෝම ඔහු අභිනයෙන් ඉදරිපත් කරන කතා විලාසය ආසාවෙන් කුතුහලයෙන් බලා සිටියහ.

මේ කතාබහ අතර මධු සාදයකි. රසවත් සන්ධ්‍යාවකි. ඒ සම්මාන ජූරියේ මුල් රැස්වීමය. චිත්‍රපට බලා තීන්දු තීරණ ගත්තේ ද විජේසිංහ මහතාගේ නිවසේ ඔහු පවත්වන අගනා භෝජන සංගහ්‍රයකිනි. එදින මධු පානයට ප්‍රථම තීන්දු තීරණ ගනී.

අයිසේ, මේවා පරෙස්සමින් ලියාගන්න ඕනෑ. කියන විජේසිංහ මහතා කොටු ගැසූ ලේඛනයක් මට දෙයි.

හරියටම විදුහල්පතිවරයකු ජූරි සභාපතිගෙන් විද්‍යාමාන විය.

'හොඳම චිත්‍රපටය . . . . කධභ' විජේසිංහ මහතා ළගම සිටින ජූරි සභිකයාට අත දිගු කරයි.

ඔහු චිත්‍රපටයේ නම කියයි.

'ටෙන්පොයින්ට්' මට කියයි.

'ඊළඟට මේ මැඩම්'

එතුමිය තමා කැමති චිත්‍රපටය කියයි. එය වෙනත් චිත්‍රපටයකි.

'ටෙන් පොයින්ට්' විජේසිංහ මහතා කියයි.

පසුව ගණන් එකතු කරයි. වැඩි කැමැත්තට ඔහුගේ ඡන්දය ලැබෙයි. ඔහුගේ තීරණය වැඩි කැමැත්තටය.

මේ ආකාරයෙන් වැඩ කටයුතු නිමා වූ පසු මධු සාදය පටන් ගනී. එය ද යටත් විජිත සමය සිහි කරන බව අපේ සභාපති කියයි.

'දැන් ඩිනර් ගන්න වේලාව' විජේසිංහ මහතා විධානය දෙයි.

අපි රාත්‍රී භෝජන සංග්‍රහය ඉවර වී ගෙදර බලා එන විට ජූරි සභිකයෙක් මෙසේ කියයි.

'හැම අවුරුද්දෙත් සෑම්ව සභාපති කරමු' ඔහු ලේක්හවුස් සභාපතිතුමාට කියයි.

විනිශ්චය මණ්ඩලවල අත්දැකීම් ගැන ලියන මට මේ ළඟදී අප හිතමිත්‍ර ඊ. ඩී. ශ්‍රියාපාල කියූ කතාවක් මතකයට එයි. නාට්‍ය හා නාට්‍ය පාඨමාලා සංවිධායකයකු වූ ශ්‍රියාපාල විනිශ්චය මණ්ඩලයේ බොහෝ විට සභාපති ගේ සමාජිකත්ව දරන ඊ. එම්. ජී. එදිරිසිංහ මහතා විනිශ්චය කිරීමේදී අනුගමනය කරන ක්‍රමවේදය ගැන ඔහුට කියූ වදනකි මේ.

'ශ්‍රියාපාල, මම ඉන්න විනිශ්චය මණ්ඩලයකදී ඔයත්, මගේ පුතාත් නාට්‍යයක් හෝ චිත්‍රපටයක් ඉදිරිපත් කළා කියමු. මම ගන්නේ හොඳම නිර්මාණය පැත්ත විතරයි. හැබැයි ඔයයි, මගේ පුතයි මුහුදේ ගහගෙන ගියොත් මා මුලින්ම බේර ගන්නේ මගේ පුතා'.

විනිශ්චය ගැන තව අටුවා ටීකා කුමටද?'