වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




වස්සානයේ සඳ

ඇයි උඹට මං කෙල්ල වගේ පේන්නේ නැද්ද?

මෙතෙක් කතාව

සන්දේශ් හා මිහිරි යනු විවාහ ගිවිස ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පෙම්වතුන් යුවලකි. මිහිරිට 'ඩවුන් සින්ඩ්‍රොම්' නැමැති බුද්ධි හීන ආබාධයෙන් පෙලෙන සොහොයුරෙකු සිටී. ඔහුගේ දඩබ්බර ක්‍රියාකාරකම් දකින සන්දේශ්ගේ දෙමව්පියෝ ඔවුන්ගේ විවාහයට එතරම් කැමැත්තක් නොදක්වති. එහෙත් සන්දේශ් දෙමව්පියන්ගේ කැමැත්ත නොසලකා ඇය හා විවාහවිමට තීරණය කරයි. දිනක් සන්දේශ් මිහිරි හමු වීමට ගොස් ඒ බව සැලකර සිටියි. එහෙත් ඔහුගේ දෙමව්පියන්ගේ අකමැත්ත හේතුවෙන් ඇය විවාහය පිළිබඳ තිරණයකට එළඹීමකට පසුබට වෙයි.

තවදුරටත් ඇය අස්වසන්නට නොකමැති වන සන්දේශ් ව්‍යාපාර කළමනාකරන උපාධියක් සඳහා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට යයි.

(අද එතැන් සිට)

සන්දේශ් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට ගොඩ බසින විට සවස හතර පසු වී තිබිණ. ප්‍රමාදයකින් තොරව ගුවන්යානය පැමිණිම පිළිබඳව ඔහුට තිබු‍ණේ සතුටකි. වෙනත් ගුවන් යානයකට මාරු වීම සඳහා පැය පහක් පමණ සිංගප්පුරුවේ ගුවන් තොටුපලේ කාලය ගත කිරීම හැර වෙනත් පීඩාවක් ඔහුගේ ගතට නොදැනිණ. කොළඹ සිට සිඩ්නි නගරය යනු දීර්ඝ ගුවන් ගමනකි. සන්දේශ් මෙලෙස ගුවන් ගමනක යෙදුණෙත් සෑහෙන කලකට පසුවය.

කලින් දැනුම් දී සිටි පරිදි "තුසිත් මාමා" සිඩ්නි ගුවන් තොටුපලට පැමිණ සිටියේය. තුසිත් මාමා යනු සන්දේශයේ මවගේ බාල සෙහොයුරියගේ සැමියාය. ඔවුන් ඕස්ට්‍රේලියාවේ පදිංචියට පැමිණ දැන් වසර ගණනාවකි. තුසිත් මාමා නගරයේ ඇති පුද්ගලික ආයතනයක ඉහළ නිලධාරී තනතුරක් දරණ අතර ඔහුගේ බිරිඳ හෙවත් සන්දේශ්ගේ පුංචි අම්මා, මාලතී රජයේ ආදායම් දෙපාර්තුමේන්තුවේ රැකියාවක නිරත වෙයි. ෂෙහාන් හා මලුකි ඔවුන්ගේ දරුවන් දෙදෙනායි. ශොහාන් දස හැවිරිදි වන අතර මලුකි අට හැවිදිරිය. ඕස්ට්‍රේලියාවට පැමිණීට පෙර ඔවුන් පදිංචිව සිය ඇත්තේ නවසීලන්තයේය. ෂෙහාන් පුතා ඉපදී ඇත්තේ එහිදීය. නවසීලන්තය ඉතා රමණිය රටක් වුවත් දැඩි සීතල හා වියදම් අධික බව, ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේ හේතු වශයෙන් ඔවුහු දක්වති.

සිඩ්නි නගරය ලෝකයේ ඇති දර්ශණීයම නගරවලින් එකක් බව සන්දේශ් අසා තිබුණි. ඔහු සිඩ්නි නගරයට මේ පැමිණ ඇත්තේ පළමුවරටය. ඕස්ට්‍රේලියාවේ තවත් නගර දෙකක් වන මෙල්බර්න් හා පර්ත් නගරවල නම් ඔහු මීට පෙර සංචාරය කර තිබේ.

සිඩ්නි නගරයේ මනරම් සුවිසල් ගොඩනැගිලි අතරින්, ඇදුණු සන්දේශ් රැගත් තුසිත් මාමාගේ බෙන්ස් රථය ''හාබර්බ්‍රිජ්" නැමැති සුප්‍රසිද්ධ විසිතුරු පාලම පසු කරමින් ගමන් ගත්තේය. තවත් සුළු මොහොතකින් සිඩ්නි නගරයේ සංකේතය බඳු වු, මුනින් අතට හැර වු නෙළුම් පොහොට්ටුවක හැඩය ගත් දර්ශණීය ''ඔපෙරා නිවස" දැකගන්නට සන්දේශ්ට හැකි විය.

නගරයෙන් තරමක් බැහැරව තිබු දැකුම්කළු වීදි ඔස්සේ ඉදිරියට ගමන් කළ රිය තවත් විනාඩි කිහිපයකට පසු තුසිත්ගේ නිවසේ ගෙමිදුලේ නතර විය.

රියෙන් පිටතට පැමිණි විට සන්දේශ්ගේ ගතට දැනු‍ණේ තරමක සීතලකි. එහෙත් එය ආශ්වාදනීය සිසිලකි. මනරම් වෙස්, හැරුණු විට අවට කිසිවෙකු පෙනෙන්නට නැත. ලංකාවේ මෙන් දැවැන්ත තාප්ප කිසිවක් මෙම නිවාසවල නැත. හැම ගෙවත්තක්ම මල් වවා මනා පිළිවෙළකට දර්ශණීය ලෙස සකස් කර ඇති බවක් පෙනෙන්නට තිබේ. එහෙයින් මුළු හාත්පසම, ඇස පිනවන සිතුවමක් බ‍ඳු වු පියකරු දසුනකි.

''සන්දේශ්"

රියේ ශබ්දය ඇසී ඉදිරිපස දොර විවර කරගෙන ඉදිරියට පැමිණි මාලතී පුංචි අම්මා සන්දේශ්ව මොහොතකට වැළඳ ගත්තාය.

''පුංචි, කොහොමද ඉතිං? කාලෙකට පස්සෙනෙ දැක්කෙ. තාම කෙල්ල වගේ ඉන්නවනෙ"

''ඇයි උඹට මං කොල්ල වගේ පේන්නැද්ද?"

සිනා හඬවල් ඔස්සේ ගෙවී යමින් තිබුණේ සතුටු මෙහොතකි. තුසිත් මාමා කොහොමත් විනෝදයට බරය. මාලතී පුංචිත් නිහංකාර කාන්තාවකි. ඇය තවමත් හැඩකාරය. ඔවුන්ගේ නිවසේ සතුටින් නවාතැන් ගැනීමට හැකි වීමත් ඕස්ට්‍රේලියාවට පැමිණිමට සන්දේශ්ට හිත හදා ගැනීමේ තවත් එක් කාරණාවක් වුයේය.

''ඉතිං, අම්මල තාත්තලා සනීපෙන් ඉන්නවද?"

''‍දේ ආ ෆයින් පුංචි "

'' ඇතුළට ඇතුළට ගිහින් කතා කරමු "

තුසිත් එසේ පැවසුවේ රියේ ඩිකියේ තිබු බෑගයක් අතට ගනිමිනි.

''‍මාමා තමා කිව්වේ ෆලයිට් එක ඩිලේ කියලා. මං හිතුවේ නෑ මෙච්චර ඉක්මනට එයි කියලා"

'' මාමා එහෙම කිව්වේ පුංචි සර්ප්‍රයිස් කරන්න"

''‍මං යනකොටත් මිනිහ ඇවිත් ඇරයිවල් එකට වෙලා බලං ඉන්නවා"

'' ඒක තමයි මං ඔයාට කලින් එයාපෝට් එකට යන්න කිව්වේ "‍

''‍කෝ මට ඕක දෙන්න මාමේ. ඕක ගොඩක් බර ඇති "

''‍ඇයි උඹ හිතුවේ මේවා මට දැන් උස්සන්න බැහැයි කියලද? මේක උස්සපු මට මේවා මොනවා ද?"

තුසිත් එසේ කීවේ පුංචි අම්මා දෙස බලාගෙනය. මාමා කී කතාවට සන්දේශ්ට සිනා නොවී සිටිය නොහැකි විය. තුසිත් මාමා බොහෝවිට කියන්නේ මරු කතාය. ඔහු පුංචි අම්මා "උස්සපු" කතාවේ සත්‍යයක්ද තිබේ. පෙරදී පුංචි අම්මාගේ හා තුසිත් මාමාගේ ඇසුරට පුංචි අම්මාගේ පැත්තෙන් කැමැත්තක් තිබී නැත. එ‍හෙයින් කාටවත් නොදන්වා ඔහු ඇයව රැගෙන ගොස් තිබේ. චාරිත්‍රානුකූලව විවාහය සිදු වී ඇත්තේ ඉන් පසුවය.

ඉදිරිපස දොරින් නිවසට ඇතුළු වූ සන්දේශ් සාලය දෙස විමසිල්ලෙන් බැලීය. මනාව සකසා තිබු සාලය නෙතට ප්‍රිය දසුනක් විය.

''ෂාහ්! ලස්සනයිනේ "

''‍මෙහේ ඉතිං තියෙන ඔක්කොම ගෙවල් ඔහොම තමයි" එසේ කීවේ තුසිත් මාමා ය.

'' එන්න මං ඔයාගේ කාමරේ පෙන්නන්න "

කොරිඩෝව දිගේ මඳක් ඉදිරියට ගිය පුංචි, සන්දේශ් වෙනුවෙන් පිළියෙල කළ කාමරයට ඇතුළු විය.

තුසිත් ද බෑගය රැගෙන ඔවුන් පසු පසින් පැමිණියේ ය.

''‍මේ තියෙන්නේ කාමරේ"

'' මරු. තැන්ක්යු පුංචි"

එය සුවපහසු බඩු බාහිරාදියෙන් පිරුණු පියකරු කාමරයකි.

''‍ඔන්න මං කාමරේට ටී වී එකකුත් දැම්මා. හැබැයි රෑට වල් ෂෝස් එහෙම බලන්නෙ නෑ"

තුසිත් මාමාගේ කතාවලට සන්දේශ්ට සිනා නොවී සිටිය නොහැකි විය.

''‍අපි ගෙදරට කෝල් එකක් දලා කියමු කරදරයක් නැතුව ආවයි කියලා" ඒ පුංචිගේ යෝජනාවකි.

'' දැට්ස් ගුඩ්"

''‍පුතා වෝෂ් එකක් දාගෙන එන්න, තේ ටිකක් බොන්න. ඔයත් දැන් මෙහේට එන්න, සන්දේශ්ට ටිකක් නිදහසේ ඉන්න දීලා. මහන්සිත් ඇති "

''‍මෙයාට මොකක්ද තියෙන මහන්සිය. සැපට ප්ලෙන් එකේ ඇවිල්ලා"

''‍සිංගප්පුරු එයාපෝට් එකේ පැය ගාණක් විතර නිකං ඉන්නකොට තමයි එපා වුණේ"

''‍ඉන්න මං පුතාට ෆෝන් එක ගෙනැත් දෙන්නං"

පුංචි අම්මා එසේ කියමින් කාමරයෙන් ඉවතට ගියාය. ඇගෙත් තුසිත් මාමාගෙත් හිතවත් ඇසුර සහිත මෙම නවාතැන ගැන සන්දේශ්ගේ සිතේ ඇති වී තිබුණේ සිතා සිටියාටත් වඩා දැඩි පැහැදීමකි. ස්ථිර තැනක් සොයා ගන්නා තුරු නවාතැන් පහසුකම් ඉල්ලා සිටියත් ඔවුන් කොතෙකුත් පැවසුවේ හැකි පමණ තරම් කාලයක් මෙම නිවසේ රැඳී සිටින ලෙසය.

තේ බී සතුටු සාමීචචියක යෙදී සිටි සන්දේශ් ගෙවත්තට පිවිසියේය. සිහිල් සුළං රැලි ඔහුගේ ගතට ගෙන දුන්නේ අමුතුම සුවයකි. උදාවෙමින් තිබුණේ වසන්ත කාලයේ ප්‍රථම අදියරයි. තමා පැමිණ ඇත්තේ නියම කාලයකට යැයි ද සන්දේශ්ට සිතිණ.

උපන්දින උත්සවයකට සහභාගී වී පැමිණි තුසිත්ගේ හා මාලතීගේ දරුවන් දෙදෙනා වන ෂෙහාන් හා මලුකි, ගෙවත්තේ සැරිසරන සන්දේශ් මාමා දැක ඔහු වෙත දිව ගියහ. සන්දේශ් හුරුබුහුටි ඔවුන් දෙදෙනා අපිරිමිත සෙනෙහසින් වැළඳ ගත්තේය. මීට අවුරුදු දෙකකට පමණ ලංකාවට පැමිණි කාලයේ හමුවුවාට පසු සන්දේශ් මේ දරුවන් දෙදෙනා දුටුවේ අදය.

"සිංහල නං හරියට කතා කරගන්න බෑ. කියන ඒවා නං තේරෙනවා. ගෙදර නං අපි පුළුවන් තරම් කතා කරන්නෙ සිංහල. ඒ වුණාට ගෙදරින් පැනපු ගමන් මුං ඉතිං ඉංග්‍රීසි තමයි. තව පරම්පරාවක් දෙකක් ගියාට පස්සෙ සිංහල කතා කරන්න පුළුවන් එකෙක් ‍මෙහෙන් හොයා ගන්න හම්බවෙන්නෙ නෑ"

ඒ තුසිත් මාමාගේ නොක්කාඩුවකි. ඔහු කියන කතාවේ ඇත්තක් ද ඇති බව සන්දේශ් තේරුම් ගත්තේය.

මාලතී පුංචි අම්මා, තුසිත් මාමා හා ඔවුන්ගේ දරුවන් දෙදෙනා සමඟ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ සන්දේශ්ගේ ජිවිතය ගෙවී යන්නට වූයේ ඉතාමත් සුන්දර ලෙසින්ය. තුසිත් මාමාගේ ගෙදර ඔහුට තමාගේ ගෙදර මෙන් විය. ඔවුනුත් සන්දේශ්ට සැලකුවේ තමා‍ගේම පුතෙකුට මෙන්ය. තුසිත් මාමා සන්දේශ්ව ඇසුරු කළේ තමාගේ ළඟම ඥාතියෙකුට වඩා මිතුරෙකු විලසින්ය. ඔහුගේ ලෙන්ගතු ගතිගුණ එලෙසය.

වෙළඳ කළමනාකරණ උපාධිය සඳහා පෙනී සිටින ආයතනයට ගොස් එහි ලියාපදිංචි වූ සන්දේශ් එහි අධ්‍යාපන කටයුතුවලට ද ඉතා සතුටින් සම්බන්ධ විය. ලංකාවේ දෙදෙනෙක් ද මෙම ආයතනයේ අධ්‍යාපනය ලබමින් සිටියහ. අධ්‍යාපන ආයතනය පිහිටා තිබුණේ දැකුම්කළු තැනිතලා පරිසරයකය. සන්දේශ්ට පන්ති තිබුණේත් සතියකට දින හතරක පමණ කාලයක් ය.

ලංකාව ගැන සිතන විට දැනෙමින් තිබුණු පාළු, සාංකා ගතිය ද ටික දිනක් යන විට සන්දේශ්ගේ සිතින් වියැකී යමින් තිබිණ. නිවසේ ගතකරන කාලයට අමතරව ඔහු ඇවිදින්නට ද අහළ පහළට ගියේය. මේ ගමන්වලට බොහෝවිට තුසිත් මාමාගේ දරු දෙදෙනා වන ෂෙහාන් හා මලුකි ද එකතු විය. නිවස ආසන්නයේ ම ඇවිදින මංතීරු සහිත පියකරු උද්‍යානයක් ද තිබීම සන්දේශ්ගේ සතුටට හේතු විය. තුසිත් මාමාගේ පුෂ් බයිසිකලයෙන් ද සමහර විට ඔහු අවට සැරිසැරීය. ෂෙහාන් හා මලුකිට ද බයිසිකල් දෙකක් ඇති නිසා බොහෝ අවස්ථාවල ඔවුන් ද සන්දේශ් මාමා සමඟ ගමන්වලට එකතු විය.

අධ්‍යාපන ආයතනයට යාම සඳහා සන්දේශ් සැමවිටම යොදා ගත්තේ උමං දුම්රියයි. උමං දුම්රිය සිඩ්නි නගරයේ ජනප්‍රිය මෙන්ම ප්‍රධාන ප්‍රවාහන සේවයකි. සන්දේශ් මේ දක්වා එකම දිනකවත් දුම්රියේ ප්‍රමාදයක් දුටුවේ නැත. ළඟම දුම්රියෙන් බැස්ස පසු අධ්‍යාපන ආයතනයට කිලෝ මීටර් භාගයකට වඩා නැත. එය ද ගතට පීඩාවක් නොදැනෙන පයින් ගමනකි.

දිනක් උමං දුම්රියපලේදී දුටු ප්‍රියමනාප දසුනක් සන්දේශ්ගේ සිත කිසියම් සසල කිරීමකට පත් කරනු ලැබීය. ආසියානු පෙනුමකින් යුත් ඒ තරුණියගේ පියකරු මුහුණ ඔහු මීට‍පෙර දැක තිබුණේ නැත. දුම්රියපලේ සැරිසරන සෙනඟ අතරේ කණුවක් අසළ සිටගෙන, දෙකනේ රුවාගත් ශබ්ද වයර සහිත ජංගම දුරකථනයකින් කතා කරමින් සිටින ඇය දෙස වරක් දෙවරක් බලා සෑහීමකට පත් වන්නට ඔහුට නොහැකි විය. දුරකථනයේ සංවාදයට වරෙක සිනාසෙමින්ද තවත් වරෙක නළලට වැටෙන කෙස් ‍රොද ඉහළට ගසා දමමින් ද ඇය හැසිරෙන විලාසය සිත් ගන්නා සුළු ය. බොහෝවිට ඇය ලාංකික තරුණියක් විය හැකි වුවත් ඉන්දියානු හා පකිස්ථානු ජාතිකයින් ද ඕස්ට්‍රේලියාවේ කොතෙකුත් ඇත. එහෙත් සිඩ්නි නගරයේ වැඩි වශයෙන්ම සිටින්නේ චීන හා කොරියන් ජාතිකයින්ය.

වේදිකාවට පැමිණි උමං දුම්රියෙන් නඟින හා බසින මගීන් අතරේ ඇගේ දසුන නොපෙනී ගියේ නිමේෂයකිනි. සන්දේශ් හිස හරව හරවා බැලුවත් ඇය තම දසුනට හසුකර ගැනීමට ඔහුට නොහැකි විය. දුම්රිය තුළත් වරක් දෙවරක් එහාට ‍මෙහාට ගමන් කළත් ඇය දුටුවේ නැත. පසුවත් දින කිහිපයක්ම සන්දේශ් ඇය දකින රිසියෙන් උමං දුම්රියපළට ඇතුළු වුවද ඔහුට ඉන්පසු කිසිදිනෙක ඇයව දැක ගත නොහැකි විය.