වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




එදා ගත්තු තීරණය ගැන අද මට කනගාටුයි

එදා ගත්තු තීරණය ගැන අද මට කනගාටුයි

ශිරාණි නුගේරා එක ගෙයි මිනිස්සු සමඟ ආපසු එයි

මං මේ ක්ෂේත්‍රය ගැන අවබෝධයෙන් හිටියේ. ඒ වගේම වාසනාවට එක ගෙයි මිනිස්සු ටෙලි නාට්‍යයේ බහුතරයක් මාව හඳුනනවා. ඒ හින්ද නිතැ තින්ම මට ගරුත්වයක් හිමි වුණා. අනික මෙහිදී විශේෂයෙන්ම දෙයක් සඳහන් කරන්න ඕනෑ.

මේ දිනවල ජාතික නාළිකාවේ විකාශය වන සෝමවීර සේනානායකගේ රචනයෙන් යුතු ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ එක ගෙයි මිනිස්සු ටෙලි සිතුවම ඔස්සේ මෙතෙක් පුංචි තිරයේ නොදුටු රංගන ශීල්පිණියක්ව අපට දක්නට ලැබෙනවා. ඇය කලක් අප සිනමාව එකලු කළ තැනැත්තියක වීමද තවත් විශේෂත්වයක්. ඇය රංගනයෙන් හදිසියේම ඉවත් වෙනවා. ඒ 1985 වසරේ. ඊට පසුවයි ඇයව මෙලෙස අපට එකගෙයි මිනින්සු තුළින් හමුවන්නේ. එනමුදු ඇගේ රුව මෙන්ම නම ද තවමත් රසික රසිකාවන් අතර ජනප්‍රියයි. ඒ ඇයගේ වාසනාවට සිදු වූ දෙයක්. මෙතෙක් මා සනිටුහන් කළේ ශිරානි නුගේරා ගැන. එකගෙයි මිනිස්සු නිසා ඇය නැවතත් කලඑළියට ඇවිත්.

ශිරානි කොහොමද එක ගෙයි මිනිස්සු චරිතය සඳහා ලැබෙන ප්‍රතිචාර?

මගේ චරිතයේ නම මංගලිකා. සතිස් අයියගේ වයිෆ්. ඒක ටිකක් ආඩම්බරකාර සැර චරිතයක්. ඉතින් ඒ හින්දා විවිධ අය විවිධ අදහස් දක්වනවා. ඇතැම් දෙනා හොඳයි කියනවා. සමහරු මට පවසනවා ඔච්චර ආඩම්බර වෙන්න එපා කියලත්. ඒ වුණාට මං කරන්නේ චරිතයක්නෙ. ඒ රංගනය කැමරාව ඉදිරියේ විතරයි.

කවුද ඔබට එක ගෙයි මිනිස්සු සඳහා ආරාධනවා කළේ?

මගේ පැරැණි යෙහෙළියක් ඉන්නවා අනෝමා කුමුදුනී කියලා. ඇය මං ගැන එකගෙයි මිනිස්සු අධ්‍යක්ෂ සිවගුරුනාදන්ට සහ නිෂ්පාදක ගාමිණී සෝමරත්නට කියලා තිබුණා. ඔවුන් දෙදෙනා මාව සොයගෙන ආවා.

ඔබ ඒ වෙනතෙක් ටෙලි නාට්‍ය රඟපාලා තිබුණේ නැහැ?

ඔවුන් ඒ වග දැනගෙන හිටියා. නමුත් මාව නාට්‍යයට ගැනීම තුළින් ඒ චරිතයට සාධාරණයක් වේවි කියලා අධ්‍යක්ෂ සහ නිෂ්පාදකට හිතෙන්නට ඇති.

ඔබ ටෙලි නාට්‍ය රඟපාන්නේ නැහැ කියන මතයක හිටපු නිසාද මෙතෙක් නාට්‍යවල රඟනොපෑවේ?

ඇත්තම කතාව මං එහෙම මතයක හිටියේ නැහැ. නමුත් මෙවැනි හොඳ ටෙලි නිර්මාණයකට ආරාධනා ලැබුණෙත් නැහැ. මීට කලින් මට යමක් කරන්නට හැකි චරිතයක් සහිත ටෙලි නාට්‍යයකට මට කතා කළා නම් දෙවතාවක් නොසිතා මං ඒකට එකතු වෙනවා.

ඔබේ පළමු ටෙලි නාට්‍යයට ඔබට එකතු වෙන්නේ රඟපාන්න ඇවිත් අවුරුදු තිස් පහකට පස්සේ. එතකොට ඔබ නොදන්නා සහ ඔබව නොදන්නා අලුත් පරපුරක් ක්ෂේත්‍රයට එකතු වෙලා?

ඔව්. හැබැයි මං මේ ක්ෂේත්‍රය ගැන අවබෝධයෙන් හිටියේ. ඒ වගේම වාසනාවට එකගෙයි මිනිස්සු ටෙලි නාට්‍යයේ බහුතරයක් මාව හඳුනනවා. ඒ හින්ද නිතැ තින්ම මට ගරුත්වයක් හිමි වුණා. අනික මෙහිදී විශේෂයෙන්ම දෙයක් සඳහන් කරන්න ඕනෑ. මගේ පළමු නාට්‍යයෙන්ම මට ඉතාම සුහද හා එකිනෙකාට ගරු කරන පිරිසක් එක්කයි රඟපාන්න ලැබුණේ. ඒක මට චරිතය ගොඩ නඟා ගන්න අති විශාල රුකුලක් වුණා.

අද ටෙලි ක්ෂේත්‍රය තුළ ලොකු තරගයක් තියෙනවා. එබැවින් ඉතාම යුහුසුළුව ටෙලි නාට්‍ය රූගත වෙනවා. මේ ක්‍රමය ඔබ වැනි පැරැණි ශිල්පිනියකට කොහොමද දැනුණේ?

මේ තත්ත්වයත් එක්ක නාට්‍යයන් ඉක්මනට කරන්න සිදු වෙනවා. ඒක පොදු කාරණයක්. මට කොහොමත් ඕනෑම ක්‍රමයකට අනුගත වෙන්නට පුළුවන්. මේ ක්ෂේත්‍රයෙහි ඇති අත්දැකීම් එක්ක මම වැඩි වෙලා යන්නේ නැතුව ඒ සිස්ටම් එකට එකතු වුණා. දන් වෙනසක් නැහැ.

ඔබට වෙහෙසකාරී වුණේ නැද්ද ටෙලි නාට්‍ය රංගනයේ යෙදීම?

දැනට නම් එහෙම තත්ත්වයක් නැහැ. ගැටලුවක් නැතුව වැඩ කටයුතු කරගෙන යනවා.

එක ගෙයි මිනිස්සු රඟපාන්න ගිහින් වෙච්ච අමතකම නොවන සිදුවීම මොකක්ද?

දැනට එහෙම සිදුවීමක් නම් සිදු වුණේ නැහැ. හැබැයි මෙහෙම යෙක් තියෙනවා. එකගෙයි මිනිස්සු රඟපාන්න ගිහින් මට හොඳ පිරිසක් මුණ ගැහුණා. ඒක මට අමතක වෙන්නේ නැහැ.

ඒ කාලේ සහ අද අතර වෙනස කොහොමද ඔබට දැනෙන්නේ?

ලොකු වෙනසක් තියෙනවා. මොනවා වුණත් අපට පිළිගන්නට වෙනවා ඒ කාලේ තමයි ස්වර්ණමය යුගය කියන එක. චිත්‍රපටවල එහෙම නිදහසේ රඟපාන්නට ලැබුණා. අවාසනාව කියන්නේ ආයේ එහෙම කාලයක් උදා නොවන එක. එදාට වැඩිය අද තාක්ෂණය දියුණුයි.

ඉතාම ජනප්‍රිය නිළියක් ලෙසින් ඉන්නකොට තමයි ඔබ ක්ෂේත්‍රයෙන් ඉවත් වන්නේ. ඇයි එහෙම වුණේ?

රංගනයට සමුදෙන්න සිදු වුණේ මගේ පෞද්ගලික හේතු මත. මං ඒව සඳහන් කරන්න කැමැති නැහැ.

ඒ ගත්තු තීරණය ගැන අද මොකද හිතෙන්නේ?

විශාල කනගාටුවක් දැනෙනවා. මං දිගින් දිගටම රංගනයේ යෙදුණා නම් මට ක්ෂේත්‍රයේ ස්්ථාවර වෙන්න තිබුණා. නමුත් ජීවිතයේ යම් යම් තැන් එනවා අපිට නොවැලැක්විය හැකි තීරණ ගත යුතු. අන්න ඒවගේ දෙයක් තමයි මට වුණේ.

රංගනයෙන් ඉවත් වන්නට පෙර ඔබ අවසන් වතාවට රඟපෑ චිත්‍රපටය කුමක්ද?

ජය සිකුරුයි.

ඔබ ආසාවෙන්ම රඟපෑ චිත්‍රපට දෙක තුනක් සඳහන් කළොත්?

මං දායක වුණු නිර්මාණ සියල්ලට වගේ මං ප්‍රියයි. ඒ අතරින් ඔය ජය සිකුරුයි, සාරංගා, මායා වගේ චිත්‍රපට මට විශේෂයි.

එක ගෙයි මිනිස්සු ටෙලි නාට්‍යයට එකතු වන්නට පෙර ඉකුත් වසරවලදී ඔබ චිත්‍රපට කිහිපයක රඟපැවා නේද?

ඔව්. ඒ සෙබල කුමරියෝ සහ විර කුමාරි. තවම ඒවා පෙන්නුවේ නැහැ.

අද වන විට නිර්මාණ ශිල්පීන්ව නිර්මාණ සඳහා ගන්නේ දෛනික ගෙවිම් පදනම මත. මේ ක්‍රමය ගැන ඔබේ මතය මොකක්ද?

මේකෙ හොඳයි නරකයි දෙකම තියෙනවා. ඩේ පේමන්ට් නම් එදිනම සවස ගෙවිය යුතුයි. නැතිනම් ඒ සිස්ටම් එකෙන් වැඩක් නැහැ.

දිගින් දිගටම ටෙලි නාට්‍ය රංගනයේ යෙදෙන්නද කල්පනවා?

නැහැ. හැබැයි එක ගෙයි මිනිස්සු වගේ නාට්‍යයකට ඒ කිව්වේ ගුණාත්මක නිර්මාණයකට කතා කළෙත් යනවා.