වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර සඳහා නවතම අංකයක්

රෝයි පීරිස් සොයුරාණෙනි, ඔබට නිවන් සුව

හදිසියේ අප අතරින් සමුගත් 'යොවුන් ගී' කණ්ඩායමේ ගායකයකු ලෙස කටයුතු කළ දයාබර රෝයි පීරිස් සොයුරානණනේ, මා දෑසේ වේදනාවෙන් අම්මේ යන්න එපා කියූ ඔබ, රත්තරන් ප්‍රාර්ථනා සිතේ උතුරායමින් තිබියදී නික්ම ගියද, ඔබ ගැයූ ගී සදාකල්ම රැඳේ. ඔබට අමා මහ නිවන් සුව.

සුනිල් බී. වේහැල්ල

ගෝනපොල


සුදු නංගීට

අයෝමි ශානිකා, සුදු නංගී, ඔයා 'නෙතූ' ටෙලි නාට්‍යයේ මම දකිනවා. ඔයාගේ සිනහව හරිම ලස්සනයි. ඔබේ රංගන කටයුතු වගේම වෛද්‍ය වෘත්තියේ කටයුතු සාර්ථක වේවායි පතමි.

බී. පී ගම්මුදලි

මාලිගාතැන්න

කඩුගන්නාව


ති.නා ස්තූතියි

'දුප්පතාගේ දුක' සහ 'වන මෝහිණි' චිත්‍රපට ඩී.වී.ඩී ලෙසින් එළි දැක්වීම ඉතාමත් අගනා ක්‍රියාවකි. ඒ වෙනුවෙන් තිස්ස නාගොඩවිතාන මහතාට ස්තූතිය.

ආරියදාස පින්දෙණිය

බටවල

පාදුක්ක


සුන්දර හදවත් ඇත්තෝ

මුදල් මත සියල්ල තීරණය වන වර්තමානයේ 'සිටි' සිනමා ශාලා‍වේ අධිපති නිශාන්ත ප්‍රදීප් අහිංසක දරුවන් වෙනුවෙන් ඉටුකරනු ලැබූ සද්ගුණවත් ක්‍රියාව ඉහළින්ම අගය කරන අතර, නිෂ්පාදිකා රේණුකා බාලසූරිය, අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායකද එයට දායකවීම පිළිබඳ හද පිරි ප්‍රණාමය. පූජා උමාශංකර් එදා පුංචි මල් කැකුළු වන් දරුවන් සතුටු කිරීම වෙනුවෙන් බොහෝ පින්. තව තවත් යහපත් සිතුවිලි ඔබ හදවත්හි ජනිත වේවා.

ඉන්ද්‍රාණි ආරියවංශ

ගල්කිස්ස


වේදිකාවේ ගාම්භිර හඬධර්ම ශ්‍රී

ගුවන්විදුලි මාධ්‍යවේදියකු ලෙස අඛණ්ඩව පනස් වසරක් අභිමානවත් ගමන් මඟකට පිවිසෙමින් ගුවන්විදුලියේත්, රූපවාහිනියේත්, ආකර්ශනීය ලෙසින් සුවහසක් රසික ආදරයට පත් ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී වික්‍රමසිංහ අතිදක්ෂ සන්නිවේදකයකු වේ. සංදර්ශන වේදිකාව මතද සිය ගාම්භීර හඬ ඉස්මතු කළ ඔහුගේ නිවේදක දිවියේ පනස් වසරක අභිමානවත් ගමනට අපගේ හද පිරි සුබ පැතුම්.

එච්. ඉන්ද්‍රපාල

ශ්‍රී සංඝමිත්තා මාවත

මුංහේන


උපහාරයට තුති

ශ්‍රී ලාංකේය සිනමාවේ අග්‍රගණ්‍ය නිළියක වූද, ජාත්‍යන්තර සහ සරසවිය සම්මාන ලාභි ස්වර්ණා මල්ලවආරච්චි නම් ප්‍රවීණ රංගන ශිල්පිනියට ගරු බුහුමන් දැක්වීම සඳහා 'ස්වර්ණා මල්ලවආරච්චි සහෘද සංගමය' විසින් ඇයට උපහාරයක් ලෙස ඇයගේ රංගනයෙන් ඔපවත් වූ චිත්‍රපට මාලාවක් ප්‍රදර්ශනය කිරීම පිළිබඳ අපගේ ප්‍රශංසාව සහ ස්තූතිය.

තිලකරත්න විල්වල

මැණිකේ විල්වල

තටාකය පාර

කෑගල්ල


නෙතූ අගෙයි

ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කෙරෙන 'නෙතූ' ටෙලි නාට්‍යයේ නෙතූ දිනූෂා සිරිවර්ධනගේ රංගනය විශිෂ්ටයි. ඔබට රංගන ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

මනහර මහින්ද වෑකඩ

බෙලිගල


රිදී තිරය ඔපවත් කළ සන්ධ්‍යා

හංස රාජණියක සේ එදා රිදී තිරය ඔපවත් කළ සන්ධ්‍යා කුමාරිය, 'පටාචාරා', 'ධීවරයෝ', 'සැනසුම කොතැනද' වැනි සිතුවම් පටවල සුවිශේෂි රංගන ප්‍රතිභාවන් විදහා පෑවාය. දිවි සිනමාවෙන් අකාලයේ සමුගෙන ගියද ඇයගේ රංගන ශෝභා අතීත මතක අවදි කරයි.

සුනිල් විජේසිංහ

ඕවිටිගල

මතුගම


ආලකමන්දාව පමණයි

එදා 50 - 60 - 70 කාලයේ අපේ කලා ලොවට ඉමහත් සේවයක් කළ තවමත් ජීවතුන් අතර සිටින කලාකරුවන්ගේ සියලු තොරතුරු අපට දැන ගන්න ලැබෙන එකම වැඩසටහන 'ආලකමන්දාව' යි. එනිසා 'ආලකමන්දාව' නොනත්වා ඉදිරියටත් සාර්ථක අයුරින් විකා‍ශය කරන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි.

අජිත් ජෝතිය කරසිංහ

මත්තේගොඩ


විනෝදාත්මක රස වින්දනය

ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ශාන්ත සොයිසාගේ අධ්‍යක්ෂණයෙන් 'නෙතූ' විනෝදාත්මක රස වින්දනයක් ගෙන දෙන ටෙලි සිත්තමකි. කතාවද කාලීනය. විශ්ව කොඩිකාර දක්ෂ රංගනයක යෙදෙන අතර ප්‍රවීණ රංගන ශිල්පින් ශිල්පිනියන් වන චමිලා, ලාල්, මීනා කුමාරි මෙන්ම 'නෙතූ' ‍ලෙස රඟපාන දිනූෂාද ඇයගේ දස්කම් පායි. මහේෂ් රත්සර ඔබ නැවතත් ඔබේ හැකියාව මැනවින් ඔප්පුකර ඇත.

ක්ලෝඩ් ලිවේරා

නාලිනි ද ලිවේරා

මීගමුව


උද්දිකට මල් මිටක්

උද්දික ඔබ අද ලංකාවේ සිටින දක්ෂ නළුවකු බව 'ආලෝකෝ උදපාදි' චිත්‍රපටය හරහා මැනවින් ඔප්පුකර ඇත. ඉදිරි රංගන කටයුතු ද මෙ පරිද්දෙන්ම සාර්ථක ලෙස ඉටු කරන්න හැකියාව ලැබේවා. උද්දික, ඔබට මගෙන් මල් මිටක්.

කෙනත් පෙරේරා

වැලිගම්පිටිය

ජා-ඇල


ඩී. එෆ් කාරියකරවන

1922පෙබරවාරි 08 වැනිදා උපත ලද ඩී. එෆ් කාරියකරවන ප්‍රවීණ මාධ්‍යවේදියා 1945 වසරේදී මිහිර සඟරාවෙන් මාධ්‍ය ජීවිතය අරඹා, ලංකාදීප, දිනමිණ, ඥානාර්ථ ප්‍රදීපය ආදි පුවත්පත්වල සේවයෙන් අනතුරුව 1951දී ජනතා, යොවුන් ජනතා, ක්‍රීඩා සහ සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කතුවරයා ලෙසින් කටයුතු ‍කළේය. 2015 වසරේ අප්‍රේල් මස 21 වැනිදා එතුමා මෙලොව හැර ගියේ, සිය අත්අකුරින් කතුවැකි ලියා නව ක්‍රමවේදයක මතක සටහන් අපට ඉතිරි කරමිනි.

ඩඩ්ලි ගෝමස්

කටුබැද්ද

මොරටුව


සොඳුරු මතක ගෙන ආ මේරියන්ස් නලීන්

සී. ටී. ප්‍රනාන්දු, එච්. ආර් ජෝතිපාල, ක්ලැරන්ස් විජේවර්ධන යන ප්‍රවීණ කලාකරුවන්ගේ ගීත ගයන ප්‍රසංගයක් මේරියන්ස් නායක නලීන් පෙරේරා ප්‍රධානත්වයෙන් ඉදිරිපත් කිරීම ඉතාම අගනා කටයුත්තකි.

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩමුල්ල

කොටුගොඩ


රත්තරන් හඬ

රන් ස්වරයෙන් කළ ගායනා

ලක්වැසි දනමන රස කළතා

සමුගෙන ගියමුත් - අදත් ඇසේ

මිහිරැති ගී රාවේ ඔබේ

ගීත කෝකිළයාණෙනි. . .

මිල්ටන් මලවි ආරච්චි

බණ්ඩාරවත්ත

ගම්පහ


මේ ඇගයුමට කාලය යි

සිංහල රිදී තිරය දීප්තිමත් කළ කාන්ති ගුණතුංග, ක්ලැරිස් ද සිල්වා සහ අනුලා කරුණාතිලක, ලීනා ද සිල්වා සාදරයෙන් සිහිපත් කරමු. මේ ඔවුන් ඇගයීමට සුදුසු කාලය යි.

ගාමිණි මහවෙලගේ

පිලියන්දල