වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




ජංගම දුරකථනයක් නැතත් මගේ වැඩ වෙලාවට

ජංගම දුරකථනයක් නැතත් මගේ වැඩ වෙලාවට

රණපාල බෝධිනාගොඩ සිනමා සාහිත්‍ය සම්මානය දිනූ සිනමා විචාරක ගාමිණී වේරගම

ඒ කාලයේ සිනමාවත් යම් ආකාරයක පසුබෑමකට ලක්වෙලා තිබුණා. එවැනි අවස්ථාවක විචාරයක් ඉදිරිපත් කිරීමේදී සිනමාකරුවන්ගෙන් විවිධ ප්‍රශ්න පැන නැඟෙනවා. ඒ සිනමාව බිඳ වැටෙමින් පවතින කාලයක සිනමා විචාරයෙන් පස්සේ තවත් ගැටලුවක් මතුවෙයි කියන කාරණය සම්බන්ධයෙන්. ඒක සාධාරණ හේතුවක් නොවෙයි.

රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සිනමා සාහිත්‍ය සම්මානය සරසවිය සම්මාන උලෙළේ තිබෙන සම්මාන අතරෙන් විශේෂිත සම්මානයකි. ඒ සම්මානය මෙවර හිමිවන්නේ සිනමා විචාරක ගාමිණී වේරගමට ය.

සරසවිය සම්මාන උලෙළේ ලැබුණු මේ සම්මානය ගැන මොන වගේ හැඟීමක් ද ඔබගේ සිතේ ඇති වී තිබෙන්නේ?

සිනමා සාහිත්‍ය සිනමා විචාරයක් සඳහා සරසවිය සම්මානයක් පිරිනැමීම ඉතා ම වැදගත් කාරණයක් ලෙසයි මා සලකන්නේ. මොකද චිත්‍රපට සංස්කෘතියක් රටක ගොඩනඟන්න, ඒ වගේ ම හොඳ චිත්‍රපට තැනීම සඳහා අවශ්‍ය පරිසරයක් සකස් කරන්න, විශේෂයෙන් සිනමා විචාරයෙන් සිදුවන්නේ වැදගත් කටයුත්තක්. ඒක සිනමා කලාවේ අනුසාංගික අංගයක් වුණාට යහපත් සිනමාවක් ගොඩනැඟීම සඳහා එහි තිබෙන බලපෑම වැඩියි. සිනමා ලේඛනය හා සිනමා විචාරය අපේ රටේ වෘත්තිය මට්ටමකින් නොවෙයි කෙරෙන්නේ. බොහොම කැපවීමෙන් ඒ සඳහා වෙන්වී සිටින කණ්ඩායමකුයි මේ කාර්යයේ නිරත වන්නේ. එබඳු කණ්ඩාමකට දිරිදීම ඉතාම වැදගත් කාරණයක් ලෙස මා සලකනවා.

මෙතෙක් ඔබ සම්මාන රැසක් ලබා ඇතත්, සරසවිය සම්මාන උලෙළේදී ලැබූ මේ සම්මානය ඒ අතරෙන් විශේෂ වන්නේ ඇයි?

සිනමා විචාරය වගේ ක්‍ෂේත්‍රයක් අගය කිරීම බොහො ම අඩුවෙන් සිදු වන දෙයක්. මුල් කාලයේ එහෙම දෙයක් තිබුණේ ම නැහැ. දැනට වසර දහයකට, පහළොවකට පෙරයි මේ ක්ෂේත්‍රය අගය කිරීමට පටන් ගත්තේ. ඒ අතර සරසවිය සම්මාන උලෙළේදී පිරිනැමෙන රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සිනමා සාහිත්‍ය සම්මානයේ වෙන ම විශේෂත්වයක් තිබෙනවා. එහිදි සිනමා ලේඛනය හා විචාරය සඳහා ම කැපවුණු විචාරකයන්ටයි සම්මානය ලබා දෙන්නේ. කළ සේවය, කාලය සහ එහි වැදගත්කමයි එතැනදි සලකා බැලෙන්නේ. ඒනිසා එබඳු සම්මානයක් පිරිනැමීම ඉතා වැදගත් කාරණයක්. මේ සම්මානය පිරිනැමෙන්නේ ජීවිතයේ එක්වරක් පමණක් නිසා එහි වටිනාකම තවත් වැඩි වෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිටින කාලයේද ඔබ සිනමා විචාරයට පිවිසෙන්නේ?

කුඩා කාලයේ පටන් ම මා බහුලව සෑම චිත්‍රපටයක් ම නැරැඹුව කෙනෙක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ චිත්‍රපට නැරැඹීමට අමතරව කිසියම් හැදෑරීමක් කරන්නත් මා උත්සාහ කළා. ඒ එහි තිබුණු පතපොත ඇසුරෙන් හා වෙනත් ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලින්. මා සිනමා ලේඛනයට පිවිසෙන්නේ කොළඹ මගේ රැකියාවට පැමිණියාට පස්සේ. ඒ 1970 දශකයේ අවසානයේ. අහම්බයෙනුයි මා ඊට එළැඹෙන්නේ. ඒ හදිස්සියේ ම සිනමාව පිළිබඳ ලිපියක් ලියන්නට ලැබෙන අවස්ථාවේදීයි. මුල් මාස හය ඇතුළත ලිපි කිහිපයක් ලියනවා. ඊට පස්සේ මා නිතැතින් ම ඒ මාධ්‍යයටයි ඇදිලා ගියේ. රූපවාහිනි, ගුවන්විදුලි කියන අනෙක් ජන මාධ්‍යවලදී පවා මා කවදත් සිනමාව සම්බන්ධයෙනුයි කටයුතු කළේ.

සිනමා විචාරයේදී ඔබට මුහුණ දීමට සිදුවුණු අභියෝග මොනවා ද?

ඒක නම් කෙටියෙන් කතා කරන්න අපහසුයි. මා සිනමා විචාරයට එනවිට ඊට පෙර පරම්පරාවත් සමඟයි කටයුතු කරන්නේ. ඔවුන් මාව බොහොම කැමැත්තෙන් පිළි ගත්තා. අපේ පරම්පරාවේ සිනමා විචාරකයන් හා මා අතර එහෙම ගැටුමක් තිබුණේ නැහැ. ඒ අපේ සියලුදෙනාගේ ම අදහස වී තිබුණේ යහපත් සිනමාවක් ගොඩනඟන්නටයි. එහෙත් මට විශාල අභියෝගයක් එන්නේ 1990 දශකයේ. ඒ වනවිට මගේ පරම්පරාවේ බොහෝදෙනෙක් සිනමා විචාරයෙන් ඉවත් වෙනවා. ඉතුරු වන්නේ මා හැරැණු කොට එක්කෙනක්, දෙන්නෙක් පමණයි. අන්න ඒ කාලය අභියෝගාත්මකයි. තනි පුද්ගලයකු වශයෙන් විචාරක ක්ෂේත්‍රයේ සිටින විට චිත්‍රපට කර්මාන්තයෙන් යම් යම් බලපෑම් එල්ල වෙනවා. කණ්ඩායමක් විදියට ඉන්නවාට වඩා වෙනස් පරිසරයකුයි එහිදි ඇති වන්නේ. අනෙක් අභියෝගය නම් මා සිතන්නේ පුවත්පතක සේවය නොකරමින් ඉතා දිගු කාලයක් විචාරකයකු ‍ලෙස කටයුතු කළ එක ම පුද්ගලයා වන්නේ මා විය යුතු බවයි. මොකද අනෙක් විචාරකයන් සියල්ලන් ම පුවත්පත් කලාවේදීන්. ඉන් පිටස්තරව විචාරයේ යෙදුණු අයට වැඩි කාලයක් විචාරකයකු විදියට රැඳෙන්නට අවස්ථාව ලැබුණේ නැති බවත් කිව යුතුයි.

තනි පුද්ගලයකු වශයෙන් සිනමා විචාරයේ යෙදීමේදී බලපෑම් කළේ කුමන හේතු සාධක ද?

ඒ කාලයේ සිනමාවත් යම් ආකාරයක පසුබෑමකට ලක්වෙලා තිබුණා. එවැනි අවස්ථාවක විචාරයක් ඉදිරිපත් කිරීමේදී සිනමාකරුවන්ගෙන් විවිධ ප්‍රශ්න පැන නැඟෙනවා. ඒ සිනමාව බිඳ වැටෙමින් පවතින කාලයක සිනමා විචාරයකින් පස්සේ තවත් ගැටලුවක් මතුවෙයි කියන කාරණය සම්බන්ධයෙන්. ඒක සාධාරණ හේතුවක් නොවෙයි. කෙසේ වෙතත් මේ මාධ්‍යයට ඇවිත් සිනමා විචාරයේ පවතින එක කොහොමත් අභියෝගයක්. මොකද සිනමා විචාරය වැඩි දෙනෙකුගේ සිත් ගන්නා පැත්තක් නොවෙයි? නිර්මාණකරුවන් නිතර ම ඉන්නේ විචාරයේ අනෙක් පැත්තෙනේ. ඒක ලෝකයේ සෑම රටක ම සිදුවන දෙයක්. ඒ නිසා විචාරකයකු ලෙස රඳා පවතින්න විශාල කැප කිරීමකුත් අවශ්‍ය වෙනවා. බය නැතිකමකුත් උවමනා වෙනවා. නැතිනම් මෙහි රඳා පවතින්න අපහසුයි.

සිනමා නිර්මාණකරණයේ යෙදෙන්නේ ඔබ හඳුනන අයයි. එහෙමත් නැත්නම් ඔබගේ මිත්‍රයන්. ඔවුන්ගේ නිර්මාණ පිළිබඳ විචාරයේ යෙදෙන විට ඔබ අදීනව ද කටයුතු කරන්නේ?

ඒවා මුල් කාලයේදී ගැටලු තමයි. අපේ වගේ රටක අපි නිතර ම වගේ හමුවන කණ්ඩායම්. එහෙම වුණාම ඒ වගේ කාර්යයක නිරත වෙන්න අපහුසයි. හැබැයි විචාරයට පැමිණ අවුරුදු පහක්, හයක් යන විට චිත්‍රපට කර්මාන්තය ඇතුළේ මට යම් ගෞරවයක්, පිළිගැනීමක් ලැබෙනවා. ඔවුන් දකිනවා, බැඳීමකින් තොරව චිත්‍රපටය ගැන පමණයි මා කතා කරන්නේ කියන කාරණය. ඒක දීර්ඝ කාලීනව කළාට පස්සේ, ඒ පිළිගැනීම ඒ පැත්තෙන් ලැබුණාට පස්සේ ඒ කාර්යයේ නිවැරැදිව යෙදීම ඒතරම් අසීරු නැහැ. මොකද සිනමාවේ මගේ ළඟින් ම ඉන්නේ මිත්‍රයෝ ස්වල්ප දෙනයි. ඒත් හැමදෙනාම මගේ මිත්‍රයෝ. ඒත් චිත්‍රපටයක් ගැන කතා කිරීමේදී මට වැදගත් වෙන්නේ චිත්‍රපටය පමණයි. ඒක ඔවුන් වුණත් දන්නවා. ඒ චිත්‍රපටයට කිසිම බැඳීමකින් තොරව මා දකින දෙයයි කියන්නේ. මගේ කියැවීමයි කියන්නේ.

එවැනි තත්ත්වයක් ගොඩනඟා ගන්න අපහසුයි නේද?

ඒක නේ අලුතෙන් පැමිණෙන විචාරකයන් බොහෝදෙනෙක් මේ ක්ෂේත්‍රය අතහැරලා යන්නේ. ආරම්භය කටුකයි. කැපවීම හා ඒ ක්ෂේත්‍රයේ අවංකව නිරත වෙනවා නම් කාලයක් යද්දි පිළිගැනීම ලබාගන්න පුළුවන්. එහෙම වුණා ම ගැටලු අවමයි. සමහර විට අප සමඟ සිටි හොඳම මිත්‍රයන් අපව අත හැරලා යනවා. සමහර විට වෙනත් අය අපගේ මිත්‍රයන් බවට පත්වෙනවා. හැබැයි ඕනෑම නිර්මාණකරුවකුට මගේ සිතේ ගෞරවයක් තිබෙනවා. ඒ ගෞරවයත් සමඟයි මා විචාරයට එළැඹෙන්නේ. ඒ ඇතුළේ ඉඳගෙන දකින දේ මා කියනවා.

අද බොහෝදෙනාගෙන් විචාරකයන්ට එල්ල වන චෝදනාවක් වන්නේ ඔවුන් බෝතලයට හා සිය හිතවත්කම්වලට පෑන හසුරවන බවයි. මේ සම්බන්ධයෙන් ඔබ මොන වගේ අදහසක් ද දරන්නේ?

ඒ ගැන මා දන්නේ නැති නිසා කිසිම දෙයක් කියන්න බැහැ. ඒ කාරණය මට අදාළ නැහැ. මා ගැන එහෙම කිසිවකුත් කියයි කියලා මා සිතන්නේ නැහැ. එකක් වන්නේ මා විචාරයට පැමිණි මුල් කාලයේ පටන් අනුගමනය කළ ප්‍රතිපත්ති කිහිපයයි. ඒ සියල්ල අද වන විටත් මා බිඳලා නැහැ. ඒ අමනාපයකට නොවෙයි. ඒ ස්වාධීනව මෙතැන ඉන්න උවමනා නිසයි. ඒ නිසා කිසිම දවසක චිත්‍රපටයක මුහුරත් උලෙළක, මංගල දර්ශනයක, මාධ්‍ය දර්ශනයක, සාදයක මාව දකින්න අපහසුයි. චිත්‍රපට උලෙළක වැනි අවස්ථාවකදි මාව දකින්නට ලැබේවි. ඒ ඒ අවස්ථාවලදි මමත් විනිශ්චය මණ්ඩලවල කටයුතු කරන නිසා ඊට සහභාගි වෙනවා. ඒ අනුව චිත්‍රපට කර්මාන්තයේ අනෙකුත් කාරණා සම්බන්ධයෙන් මගේ බැඳීමක් නැහැ. එහි නිර්මාණාත්මක වශයෙන් යම් සම්බන්ධයක්, යම් බැඳීමක් මගේ ඇත්තේත් නැහැ. මා නිතරම උත්සාහ ගන්නේ කර්මාන්තයට බාහිරව ඉඳගෙන, එයත් සමඟ ලිපි මඟින් සම්බන්ධ වෙන්නයි. ඒක අමාරු වැඩක්.

ඔබගේ විචාරයට බලපෑම් කළ අනෙකුත් විචාරයක් ඉන්නවා ද?

අනිවාර්යයෙන් ම ඉන්නවා. මොකද අප හැමවිට ම පෙර පරම්පරාවෙන් ඉගෙන ගන්න අය නේ. ඒ වගේ ම ලෝකයේ බොහෝ වැදගත් සිනමා විචාරකයන්ගේ ලිපි ලේඛන කියවලා තිබෙනවා. අපේ රටේ ගත්තොත් පෙර පරම්පරාවේ හැම කෙනෙකුගෙන් ම මා යමක් ඉගෙන ගෙන තිබෙනවා. ඒ අතර මගේ විචාරයට බලපෑව විචාරකයන් හතර දෙනෙක් පමණ නම් කරන්න පුළුවන්. පළමු වැන්නා රෙජී සිරිවර්ධන. සොමරත්න හා සිරිල් බී. පෙරේරා. ඒ වගේ ම මුල් කාලයේ පටන් සිනමා විචාරය පිළිබඳ නැඹුරුව ඇති වන්නේ, ඔබ ඇසූ අදීන බව ගැන ගුරුහරුකම් ලබා ගන්නේ ජයවිලාල් විලේගොඩයන්ගෙන්. අනෙක් අයට අමතරව ඔවුන් සිවුදෙනා ම මගේ විචාරයට මට තදින් ම බලපෑම් කළා.

තාක්ෂණයෙන් ඉහළ ස්ථානයක සිටින ලෝකයේ ඔබ ජංගම දුරකතනයක් භාවිත නොකරන්නේ ඇයි?

ජංගම දුරකතනයක හොඳ නරක දෙක ම තිබෙනවා. ඒක වැඩ කටයුතුවලට පහසුවක්. එය මා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එහෙත් මට ජංගම දුරකතනයක් නොතිබුණා කියලා මගේ කිසිම කටයුත්තක් අතපසු වන්නේත් නැහැ. ඒ ඒ කටයුතුවලට මා නියම වෙලාවට ඒ ස්ථානවලට යනවා. විශේෂයෙන් ම එය මට බාධකයක් වන්නේ මම ගමන් කරන්නේ බස් රථයේ නිසයි. එහිදි මගේ රාජකාරී හා පෞද්ගලික දේවල් ගැන කතා කරන්න තිබෙන අකැමැත්තයි ජංගම දුරකතනයක් භාවිත නොකරන්න හේතුව වන්නේ.

මේ දිනවල ඔබ විශේෂ කටයුත්තක නියැළෙනවා ද?

මේ දවස්වල මගේ කාලය වෙන්කර තිබෙන්නේ දේශීය සිනමා වංශයේ දෙවැනි කොටස ලියන්නයි. සිනමා විචාර හා විශ්වවිද්‍යාල දේශන කටයුතු ඇරෙන්න මූලික අවධානය යොමු වී තිබෙන්නේ පොතේ කටයුතු සඳහායි.