වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




ලෝකයේ හොඳම පේ‍්‍රමාන්විත චිත්‍රපට

ලෝකයේ හොඳම පේ‍්‍රමාන්විත චිත්‍රපට

උදා වුණු පෙබරවාරි මාසය හඳුන්වන්නේ ආදරවන්තයින්ගේ මාසය ලෙසින්. ඒ වගේම සිනමා ලෝකයත් අමතකන නොවන ආදර කතා බොහොමයක් දිගහැරුණු තැනක්. ආදර කතා තේමා රැගත් චිත්‍රපට ලොව අමතක කළ නොහැකි, හදවත් සසල කරවන අවස්ථා උදාකර තියෙනවා. www.timeout.com අන්තර්ජාල සඟරාව විසින් සිනමා ක්ෂේත්‍රෙය් ප්‍රවීණයක් එකසිය එක් දෙනකු සමඟින් එක්ව ලොව විශිෂ්ටතම ආදර චිත්‍රපට සියය තෝරා ගන්න කටයුතු කළා.

මේ ලැයිස්තුවේ යොවුන් දඟකාර ආදර කතා, ඉතා කෙටි කලකින් ඉහළ ජනප්‍රියත්වයක් ලද ආදර කතා, තහනම් ආදර කතා, අතීතයේ ආදර වීර කතා ආදිය ඇතුළත්. ඒ අතරේ අසූව දශකයේ ආදර කතා අද යෞවනයන්ට දකින්න හැකියාව ඇති අතරම කඳුළක් නොහැළා නැරඹිය නොහැකි ආදර කතා ද ඇතුළත්. අද මේ ලිපිය ලොව හොඳම ආදර චිත්‍රපට සියයෙන් ප්‍රථම චිත්‍රපට දහය ගැනයි.

මෙම තේරීමට අනුව දහවන ස්ථානය හිමි වෙන්නේ 2002 වසරේ තිරගත වූ Punch-Drunk Love චිත්‍රපටයට යි. පෝල් තෝමස් ඇන්ඩර්සන් අධ්‍යක්ෂණය කළ Punch-Drunk Love චිත්‍රපටයේ ඇඩම් සැන්ඩ්ලර් සමඟින් එමිලි වොට්සන් ප්‍රධාන චරිත නිරූපණය කරනවා. “මට මගේ ජීවිතයේ ආදරයක් තියෙනවා. ඒක ඔයාට හිතාගන්නවත් බැරි විදියට අන් හැම දෙයකටම වඩා මා ශක්තිමත් කරනවා“ චිත්‍රපටය පුරාවට විශේෂ වෙන්නේ මේ කියමනයි. ඒ වගේම විචාරකයන් පවසන්නේ, ඇන්ඩර්සන්, හිතාගන්න බැරි, ඉවරයක් නැති ආදර කතාවක් හාස්‍යය සමඟින් තිරයට නඟා ඇති බවයි. තමන්ගේම ආයතනයක් පවත්වා ගෙන යන බැරී ඊගන්හට සිටින්නේ කරදරකාරි සහෝදරියන් හත් දෙනෙක්. එක දිනක් සුන්දර තරුණ කාන්තාවක් ඇයගේ මෝටර් රථය හදා ගන්න බැරීගේ සහය පතනවා. පසුකාලීනව මේ දෙදෙනා අතර ඇති වන ආදර සම්බන්ධය ඔහුගේ සංකීර්ණ ජීවිතය සමඟින් ඉදිරියට පවත්වා ගන්නේද නැතිද යන්න Punch-Drunk Love ඔස්සේ කියයි

තමන්ගේ වැරදි හදාගෙන, විතර්ක කරමින් හිත නොහොඳකමින් ගත කළ නරක කාලය අමතක කර ජීවිතය ඉදිරියට යන්න පුළුවන් නම් කෙතරම් හොඳ ද? බොහොම වේදනාකාරී වෙන්වීමකින් පසුව ක්ලෙමන්ටයින් සිය මතකය මකා දැමීම වෙනුවෙන් ශල්‍යකර්මයකට මුහුණ දෙන්නීය. මේ බව දැනගත් ඇයගේ පැරණි පෙම්වතා ජොඑල්ද එම ශල්‍යකර්මය තමාටද සිදු කර ගැනීම සමඟින් මේ කතාව ඉදිරියට ඇදෙයි. හොඳම ප්‍රේමාන්විත චිත්‍රපට අතරේ නම වැනි ස්ථානයට පැමිණෙන්නේ Eternal Sunshine of the Spotless Mind  චිත්‍රපටය යි. මිචෙල් ගොන්ඩ්‍රි අධ්‍යක්ෂණය කළ Eternal Sunshine of the Spotless Mind හි ජිම් කෙරී සමඟින් කේට් වින්ස්ලට් ප්‍රධාන චරිත ද්විත්වයට පණ පොවයි. විචාරකයන් ternal Sunshine of the Spotless Mind චිත්‍රපටය දකින්නේ, බලාගෙන සිටීමට ආසා හිතෙන බොහොම දර්ශනීය රූපරාමු රැගත් නරඹන්නන් ඇඳ බැඳ තබා ගන්නා වූ සුන්දර චිත්‍රපටයක් ලෙසින්. එසේම මෙහි කතාව ආදරය සහ සබඳතාවල සංකීර්ණත්වය, වෙන්වීමේ වේදනාව පිළිබඳ බොහොම සංවේදීව කතා කරන බවත් ඔවුන්ගේ අදහසයි.

විශ්ව නීතිය තරම් ශක්තිමත් කිසිම දෙයක් නැත ද මේ ලෝකයේ දී ශක්තිමත්ම දේ ආදරය යි. 1946 වසරේදී තිරගත වූ ඒ A Matter of Life and Death චිත්‍රපටය කියන්නේ එය යි. රුසියානු ගුවන්හමුදාවේ ගුවන්විදුලි ක්‍රියාකරවන්නියක සහ ගුවන් නියමුවකු පිළිබඳ කතාවක් එහි ඇතුළත්. පීටර් නම් වූ මේ ගුවන් නියමුවාගේ යානයට ප්‍රහාරයක් එල්ල වන අවස්ථාව වන විට ඔහුට ඇමතීමට ලැබෙන්නේ, ජූන් නම් ගුවන්විදුලි ක්‍රියාකරවන්නිය යි. එම ප්‍රහාරයෙන් දිවි ගලවා ගන්නා ඔහු ස්වර්ගයට කැඳවා ගෙන යාමට කෙනෙකු පැමිණේ. ඒ A Matter of Life and Death චිත්‍රපටයට ඉහත කී තේරීම්වලට අනුව ලොව ප්‍රේමණීය චිත්‍රපට අතරෙන් අටවැනි ස්ථානය හිමි වී ඇත. මයිකල් පවෙල් සහ එම්රික් ප්‍රෙස්බර්ගර් විසින් අධ්‍යක්ෂණය කළ එහි කිම් හන්ටර්, ඩේවිඩ් නිවෙන්, රොජර් ලිවෙස්ලි ප්‍රධාන චරිත නිරූපණය කරයි.

හත් වැනි ස්ථානය හිමි වෙන්නේ, 1960 වසරේදී තිරගත වූ The Apartment චිත්‍රපටයට යි. බිලි විල්ඩ්ලර් අධ්‍යක්ෂණය කළ එහි ජැක් ලෙමන්, ෂර්ලි මැක්ලයින් ප්‍රධාන චරිත නිරූපණය කළා. විචාරක අදහස නම්, ආදර කතාවක් ලෙසින් මේ වැනි ආදර කතාවක් එතෙක් සිනමාවට නැඟී නොතිබුණු බවයි. ආයතනයක සේවය කරන්නෙක් තමන්ගේ නිවසක් විධායක තත්ත්වයේ පිරිසකට තම සම්බන්ධතා වෙනුවෙන් ලබා දේ. අවසානයේදී ඔහු තම ප්‍රධානියාගේ පෙම්වතියට ආදරය කිරීමට පටන් ගනී.

Brokeback Mountain චිත්‍රපටයට මෙහි හයවන ස්ථානය හිමි වී ඇත. පේ‍්‍රමය නිසා ලෝකය විසින් පුද්ගලයන් කෙතරම් තලාපෙළනවාද යන්න කියන චිත්‍රපටයක් ලෙසින් විචාරකයන් විසින් මෙය හඳුන්වා දී ඇත. සාමාන්‍ය ආදරය කතාවලින් වෙනස් වූ ආදරයක් ගැන කියන මෙය සුප්‍රකට තායිවාන සිනමාකරු ඇන්ග් ලීගේ අධ්‍යක්ෂණයකි. 2005 වසරේදී තිරත වූ මෙහි ජේක් ගිලන්හෝල්, හීත් ලෙඩ්ගර්, මිචෙල් විලියම්ස්, ඇනී හේත්වේ ඇතුළු පිරිසන් රංගනයෙන් දායක වේ. පස්වැනි ස්ථානය හිමි වෙන්නේද වෙනස් ආකාරයක කතාවක් ගෙන එන Harold and Maude චිත්‍රපටයට යි. 1971 වසරේදී තිරගත වූ එහි නව යොවුන් තරුණයකු වයස්ගත කාන්තාවක් අතර ආදර කතාවක් කිය යි. මරණය ගැන නිතර සිතන නිරන්තරයෙන් අවමඟුල්වලට සහභාගි වෙන මේ තරුණයාට එක් අවමඟුලකදී කාන්තාවක හමුවෙයි. ජීවත්වීමට ලොබ බඳීන ඇය ඔහුට ජීවිතයේ සුන්දරත්වය කියා දේ. හල් ඇෂ්භි අධ්‍යක්ෂණය කළ එහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ රුත් ගෝර්ඩන් සහ බඩ් කෝට් විසිනි.

මේ වර්ග කිරීමේ සිව්වැනි ස්ථානය වුඩී ඇලන් අධ්‍යක්ෂණය කළ Annie Hall චිත්‍රපටයට හිමි විය. විචාරකයන් පවසන්නේ, මෙම චිත්‍රපටය දෙදෙනෙකු අතරේ ඇතිවෙන ආදරයක් බිඳීය හැකි ක්‍රම පිළිබඳ කළ විමර්ශනයක් ලෙස පැවසිය හැකි බවයි. 70 දශකයේ ආදරය ගැන ලියවුණ ඉතිහාසගත ලිපියක් ලෙසින් තවත් විචාරකයකු මෙය හඳුන්වා දෙනවා. ඇල්බ් සිගර් නිව්යෝර්ක් නගරයේ වෙසෙන විහිළුකාර පුද්ගලයෙක්. නමුත් ඔහු තරමක් කේන්ති යන අමුතු ස්වභාවයේ චරිතයකින් හෙබි පුද්ගලයෙක්. ඔහුගේ බිරිය ඇනි හෝල් ද එවැනිම චරිත ලක්ෂණවලින් යුතු කාන්තාවක්. මේ දෙදෙනාගේ ආදර කතාව මුල සිට අග දක්වා Annie Hall  චිත්‍රපටයෙන් කියවේ. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ඩියැන් කීටන් සහ වූඩි ඇලන් විසිනි.

තෙවන ස්ථානය හිමි වෙන්නේ, හොංකොං චිත්‍රපටයක් වන In the Mood for Love  චිත්‍රපටයට යි. 1962 වසරේදී හොංකොං ජාතික මාධ්‍යවේදියකු සිය බිරිය සමඟින් නිවාස සංකීර්ණයේ නව නිවසකට පැමිණේ. එකල්හිම සුරූපි ලේකම්වරියක ද තම විධායක නිලධාරියකු වන තම සැමියා සමඟින් එහි නිවෙසකට පැමිණේ. මාධ්‍යවේදියාගේ බිරිය සේම විධායක නිලධාරියා ද වැඩි කාලයක් ගත කරන්නේ නිවෙසන් බැහැරවය. නිතර මුණ ගැසෙන මාධ්‍ය වේදියා සහ ලේකම්වරිය අතර මිත්‍රත්වයක් ගොඩනැඟේ. මේ අතර දෙදෙනා කම්පනයට පත් වන්නේ, විධායක නිලධාරියා සහ මාධ්‍යවේදියාගේ බිරිය අතර වූ සම්බන්ධයේ තොරතුරු සැළවීමෙනි. තම සිත් රිද වූ සිදුවීම අතරේ ඔවුන්ගේ මිත්‍රත්වය ඉදිරියට ගෙන යන අයුරු In the Mood for Love  චිත්‍රපටය කිය යි. වසර 2000දී තිරගත කෙරුණු මෙය වොන් කාවයිගේ අධ්‍යක්ෂණයකි. මැගී චියුන්ග් සහ ටෝනි ලියුන්ග් ප්‍රධාන චරිත නිරූපණය කරයි.

ප්‍රේමාන්විත චිත්‍රපට අතරේ දෙවැනි ස්ථානය මයිකල් කර්ට්ස් අධ්‍යක්ෂණය කළ Casablanca  චිත්‍රපටයට හිම් වේ. එය අමෙරිකානු චිත්‍රපට ඉතිහාසයේ ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගත් චිත්‍රපටයක්. 1942 වසර්දී තිරගත වුණු එහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ හම්ප්‍රේ බොගාර්ට් සහ ඉන්ග්‍රිඩ් බර්ග්මාන් විසිනි. රික් බ්ලෙයින් කැසබලැන්කා සමාජශාලාව හිමිකරු වේ. ඔහුගේ පැරණි පෙම්වතිය සිය සැමියා සමඟින් නගරයට පැමිණ සිටින වග ඔහුට දැන ගන්නට ලැබේ. වික්ටර් ලෙස්ලෝ නම් ඇයගේ සැමියා චෙකොස්ලොවැකියානු විප්ලවකාරී නායකයෙකි. ජර්මන් හමුදාව ඔහු පසුපස හඹා යන විටදී ඔහු සිය බිරිය සමඟින් සැඟවෙන අතර මේ අවස්ථාවේදී රික් හට තම පැරණි පෙම්වතියට උපකාර කිරීමට අවස්ථාව ලැබේ. ඔහු ඇයට උපකාර කරනු ඇතිද? නැත ද යන්න Casablanca  චිත්‍රපටය කිය යි.

මෙම ප්‍රේමණීය චිත්‍රපට ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමි වෙන්නේ 1945 වසරේ තිරගත වූ Brief Encounter  බ්‍රිතාන්‍ය චිත්‍රපටයටයි. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ ඩේවිඩ් ලීන්. බ්‍රිතාන්‍ය ජාතික ගෘහණියක වන ලෝරා හට වෛද්‍ය ඇලෙක් හාවේ හමු වෙන්නේ දුම්රිය පොළක ආපනශාලාවේදීය. පසුව දෙදෙනා අතර ආදරයක් ඇති වන අතර මේ දෙදෙනාට කිසිදා එක් වීමට අවස්ථාව නොලැබුණද සෑම බ්‍රහස්පතින්දාවකම එම ආපන ශාලාවේදී හමු වෙයි. විචාරකයන් පවසන්නේ වර්තමානය වන තෙක් මේ වැනි ඛේදාන්ත ආදර කතා රැසක් මෙම චිත්‍රපටය ආභාෂයෙන් බිහි වී ඇති බවයි. නමුත් ඒ පසුව බිහි වූ ඛේදාන්ත ආදර කතා දහසකට වඩා Brief Encounter  උසස් බව ඔවුන්ගේ අදහසයි.