වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




වෙඩින් පුඩින්

වෙඩින් පුඩින්

සරත් නමැති නළුවන් කිහිප දෙනෙකු අප ක්ෂේත්‍රයේ ඉන්නවා. ඒ අය හැමෝම එක වගේ සුන්දර චරිත. මේ කතාව කියන්න හදන්නේ ඒ අතර සිටින සරත්ලා දෙන්නෙකු ගැන. එක් කෙනෙක් සරත් චන්ද්‍රසිරි, අනෙක් කෙනා සරත් කුලාංග. එකම කාලයේ ක්ෂේත්‍රයට ආව මේ දෙන්න් එදා ඉඳලම ගජ යාළුවෝ. දවසක් මේ සරත්ලා දෙන්නටම යාළුවකුගේ වෙඩිමකට ආරාධනා ලැබිලා. ඒත් පොඩි ගැටලුවක් තියෙනවලු. ඒ යාළුව නමින් හොඳටම හැඳිනුවත් රූපයෙන් වැඩි මතකයක් සරත්ලා දෙන්නාටම නැතිලු. ඒ වුණාට ලැබුණු ආරාධනයක් ඉවත දාන්න බැරි නිසා මේ ඩබල ඒ වෙඩින් එකට ගිහිල්ලා. යාළුවාගෙන් පාරත් අහගෙන ඒ කිව්ව විදිහට දෙන්නා එනකොට වෙඩින් එකක් තියෙන තැනක් පෙනුනලු. එතකොට එතැනට සෑහෙන පිරිසක් ඇවිත්. සරත්ලා දෙන්නා ඇතුලට ගිහින් හිමින් සීරුවේ වාඩි වෙලා. වෙඩින් එකේ පාර්ශ්වයෙන් දෙන්නටම හොඳට සැලකීමකුත් ලැබුණලු. ඔය අතරේ දෙන්නා එතනින් ලැබුණු වෙඩින් කේක් එකේ සටහන් කරලා තියෙන යුවළගේ නම නිකමට බැලුවලු. හත් ඉලව්වයි. එහි තියෙන්නේ මනමාලයාගේ නම හැටියට වෙන නමක්ලු. යාළුවාගේ නම නෙවෙයිලු. කලබල වෙච්ච පාර දෙන්නා එතැනින් එලියට ආවත් තව ටිකක් විපරම් කරලා බලද්දිලු වැඩේ පැහැදිලි වෙලා තියෙන්නේ. සරත්ලගේ මිත්‍රයගේ වෙඩිම තිබුණ පාරෙම තවත් වෙඩිමක් තිබිලා තියෙනවා. සරත්ලා ගිහින් තියෙන්නේ ඒකට. ඔවුන්ව හඳුනන නිසා එතැන හිටපු අය වැඩිය හොයලා බලලා නැහැ. අවසානයේදී යාළුවගේ වෙඩින් එක තියෙන තැනට එද්දී ඒක නිමවෙන්න ඔන්න මෙන්නලු.