වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




භීෂණයේ ගිනිදැල් අහස උසට නැඟෙන ගින්නෙන් උපන් සීතල

භීෂණයේ ගිනිදැල් අහස උසට නැඟෙන ගින්නෙන් උපන් සීතල

අනුරුද්්ධ ජයසිංහගේ ප්‍රබල සිනමා ප්‍රකාශනයක්
ධනුෂ්ක ගුණතිලක ඇරී ඇලෙක්සා කැමරාවෙන් හාපුරා වැඩ අල්ලයි
කමල් විජේවීරට - මනුවර්ණ ගමනායකට
අලුත් නිෂ්පාදිකාවක් දොරට වඩී

'මං රෝහණ විජේවීර චරිතයට තේරුණේ ඒ චරිතයට සුදුසු මේ රටේ සිටින නළුවන් කිහිප දෙනාගෙන් කෙනකු විදිහට. මං වානිජ චිත්‍රපට රැල්ලට එක්වෙච්ච කෙනෙක් නෙවෙයි. අඩුවෙන් චිත්‍රපටවලට එකතු වෙලා වැඩියෙන් කැප කිරීම් කිරීමත් එහි එක රහසක් කියලා මට සිතෙනවා. ඇත්තටම 1971 දී මගේ වයස අවුරුදු 9 යි. එවකට රෝහණ විජේවීර අවුරුදු විසි ගණන්වල සිටිය තරුණයෙක්. මිනිස්සුන්ට හුරු පුරුදු රෝහණ විජේවීර චරිතයේ ගුණාංගත් මනෝභාවත් මතු වුණොත් තමයි මං කරන චරිතය සාර්ථක වෙන්නේ. ඒ කටයුත්තේදී ඩිජිටල් තාක්ෂණයට වඩා නිර්මාණාත්මක ගතිය උපරිමයට ලබා ගන්නයි උත්සාහ කළේ. ඇත්තටම මිනිස්සු අද අහන දකින දෙයට වඩා ඔබ්බට ගිය දෙයක් මේ චිත්‍රපටයේ තියෙන්නේ.

චිත්‍රපටයක රූගත කිරීමක් දෙස බලා සිටි බොහෝ නරඹන්නන් කඳුළු සළමින් හඬා වැටිමක් ලාංකේය සිනමා ලෝලයන් කෙරෙන් අතිශය කලාතුරකින් අපේක්ෂා කළ හැක්කක්. එවැන්නක් ඉඳහිට දර්ශන තලයකදී සිදු වුවත් වරක් දෙවරක් මිසෙක ඒ දිගින් දිගට නොවනු ඇති. ඒ කාරණා දෙකම බොහෝ විට බොරු කළ වටාපිටාවක් පසුගියදා අප නෙත් ගැටුණේ තිස්සමහාරමයේ රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේදී. දෙනෝ දාහක් ජනී ජනයා කිසිදු ආර්ථික අපේක්ෂාවකින් තොරවම දර්ශන තලයට පැමිණ තම තමන්ගේ වාරය එනතුරු ඇණ තබාගෙන බලා හිඳිනු දුටුවෙමු. එමෙන්ම ඒ දසුන එකම පුද්ගලයකු වටා ගෙතෙන්නා සේම ඒ පුද්ගල චරිතය විෂයය කොටගත් එකම ශ්‍රී ලාංකේය චිත්‍රපටය වීමේ ද වූයේ අපූරුවක්මයි. ඒ තම තමන්ගේ පවුල්වල ආදරණීයයන් දිවි පුදා කරන්නට ගිය අරගලයක ඉපැරුණි මතක සිහිපත් කරමින් සිටි බවක් පෙනුණු ජනතාවක් නිසාය.

රෝහණ වීජේවීර

ඔහුගේ ඝාතනයෙන් දශක තුනක ඇවෑමෙන් දැන් සිංහල සිනමා අහසට එසවෙන ඒ නිර්මාණයේදී රෝහණ විජේවීර කේන්ද්‍රීය චරිතය වන බව සැබෑයි. ඒ නමුත් පුවත්පත් ලිපි නඩු වාර්තාදියෙන් රට්ටු කියැ වූ දන්නා කියන විජේවීරගේ ජීවිත තතු ඉක්ම වූ නවමු ඉමක් සිනමාවෙන් ස්පර්ශ කරන්නට මේ චිත්‍රපටය කරනා බවයි ඒ නිර්මාණ පිරිවරේ කැස කැවීම.

ගින්නෙන් උපන් සීතල පදගත අර්ථයෙන් 'උණු හිම' වැනි වෙනම ඉමකට කෙනකු කැඳවන්නට සමත් 'ගින්නෙන් උපන් සීතල' නම තමයි දැන් පූඬළුඔය, දොළොස්බාගේ, උළපනේ, නුවරඑළිය අවට රූ ගැන්වෙන මේ චිත්‍රපටයට දී තිබෙන්නේ. පසුගිය දිනවල එහි එන පෙළපාලි, උද්ඝෝෂණ, කැරලි කෝලාහල හා මහ වනාන්තර මැදින් වැටුණු ජ. වි. පෙ මෙහෙය වූ දෙවැනි කැරැල්ලේ සහ එවකට ආණ්ඩුව එය මැඬ පැවැත් වූ දසුන් තෙවැනි ඇසට හසු කර ගන්නා ලද කැමරාවේත් තිබෙන්නේ අමුත්තක්. මෑතකාලීනව ඔස්කාර් සම්මානයටත් නිර්දේශිත චිත්‍රපට බොහොමයක්ම රූගත කෙරුණු (ARRI) ඇරී ඇලෙක්සා කැමරාවෙන් ලංකාවේ රූ ගැන්වෙන සිංහල සිනමාවේ පළමුවැන්න මෙයම විදියටයි මේ කටයුත්තට කර ගසා සිටින සිනෙ ප්‍රෝ කණ්ඩායමේ අවධාරණය කිරීම.

මෑතකාලීනව අසන්නට ලැබෙනා දැවැන්තම සල්ලි මල්ලක් සෙළ වෙන්නෙත් ගින්නෙන් උපන් සීතල වෙනුවෙන්. රුපියල් මිලියන සියයත් එකසිය පනහත් වෙතැයි දැනට අනුමාන කෙරෙන එයින් සිනමාවට කල එළි බසින්නේ නවමු නිෂ්පාදිකාවක්. නව යෞවනියක වන ඈ චමත්කා පීරිස්.

තිර කතාව ආරියවංශ ධම්මගේයි

ඉඳින් ලෙහෙසි පහසු නොවෙනා එහි දෙනෝ දාහක් අතිරේක චරිත මෙහෙය වෙන්නේ යකඩ කටින් කරනා ඇමතුම්වලින්. කොහොමටත් අමතක කළ නොහැකි ඒ හා බැඳුණු භීෂණයේ ගිනි දැල් අහස උසට නැඟෙන්නේත් රන්මිහිතැන්නේම තවත් කොනකින්. එතෙක් මෙතෙක් ටෙලි සිනමා ගම්මානයේ සැරිසරණ කෙනකුගේ නෙත් ගැටෙන්නේම දශක තුනකටත් එපිට ඒ වකවානුව. එවකට කොළඹථ, ඒ මැදින් තැනින් තැන එක්රොක් වී සංවිධානය වන පිරිස්, ඒ අයුතු ඒකරාශීන් විසුරුවා හරින්නට උකුසු ඇසින් බලා සිටිනා පොලීසිය.

ගින්නෙන් උපන් සීතල රූ ගැන්වෙන්නේම විලාප, දුක් අඳෙීනා පිරිච්ච එවන් වටපිටාවක. එහි ආන්දෝලනාත්මක භාරදූර රෝහණ විජේවීරගේ චරිතය භාර වී තිබෙන්නේ කමල් අද්දරආරච්චිට. ජගත් මනුවර්ණ ගමනායකගේ චරිතයට අඳින විට ප්‍රියන්ත සිරිකුමාර ලයනල් බෝපගේ චරිතයටත්, සෝමවංශ අමරසිංහගේ චරිතයෙන් සුජීව ප්‍රියලාල් ද අප හමුවන ගින්නෙන් උපන් සීතලට ජ. වි. පෙ දෙවැනි කැරැල්ලේදී කැපී පෙනුණු චරිත 13 කටම ප්‍රවීණ සහ අති දක්ෂ නළු පිරිසක් පණ දෙනවා.

කුටුම්බයත් විප්ලවවාදී සැමියකුගේ බිරියකගේ භුමිකාවත් අතර දෝළනය වන අදේශපාලනික විජේවීරගේ බිරියගේ චරිතය සුලෝචනා වීරසිංහ රිදී තිරයේ මවනවා.

'මං රෝහණ විජේවීර චරිතයට තේරුණේ ඒ චරිතයට සුදුසු මේ රටේ සිටින නළුවන් කිහිප දෙනාගෙන් කෙනකු විදිහට. මං වානිජ චිත්‍රපට රැල්ලට එක්වෙච්ච කෙනෙක් නෙවෙයි. අඩුවෙන් චිත්‍රපටවලට එකතු වෙලා වැඩියෙන් කැප කිරීම් කිරීමත් එහි එක රහසක් කියලා මට සිතෙනවා. ඇත්තටම 1971 දී මගේ වයස අවුරුදු 9 යි. එවකට රෝහණ විජේවීර අවුරුදු විසි ගණන්වල සිටිය තරුණයෙක්. මිනිස්සුන්ට හුරු පුරුදු රෝහණ විජේවීර චරිතයේ ගුණාංගත් මනෝභාව මතු වුණොත් තමයි මං කරන චරිතය සාර්ථක වෙන්නේ. ඒ කටයුත්තේදී ඩිජිටල් තාක්ෂණයට වඩා නිර්මාණාත්මක ගතිය උපරිමයට ලබා ගන්නයි උත්සාහ කළේ. ඇත්තටම මිනිස්සු අද අහන දකින දෙයට වඩා ඔබ්බට ගිය දෙයක් මේ චිත්‍රපටයේ තියෙන්නේ. මාස දෙකක කාලයක් අධ්‍යයනයක යෙදිලා තමයි මං මේ චරිතයට යොමු වුණේ. අදටත් මං එහෙමමයි. අනුවේදනීය අවසානයක් උරුම වූ ඔහු රටේ යම් වෙනසක් කරන්නට සිටිය කෙනකු නේද කියලා ඔහු පිළිබඳ ගැඹුරින් අධ්‍යයනයේදී මට සිතිලා තියෙනවා . . .' කමල් අද්දරආරච්චි රෝහණ විජේවීර චරිතය පිළිබඳ කියන්නේ එහෙම.

ගින්නෙන් උපන් සීතල අනුරුද්ධ ජයසිංහගේ අධ්‍යක්ෂණයක්. අනුරුද්ධ විජේවීරගේ චරිතයට කමල්ව තෝරා ගැනීම පිළිබඳ සිහි කරමින් අවධාරණය කළේ කමල්ගේ රංගන දක්ෂතාවම ඊට හේතු වූ බවක්. විරාගය චිත්‍රපටයේ අරවින්දගේ චරිතයට සනත් ගුණතිලක තෝරා ගත් විටත් මුලින් යම් යම් මත පළ වුවත් පසුව අරවින්දගේ චරිතය නිසා සනත් ගුණතිලක බෙහෙවින් ඇගයීමට ලක් වූ වගත් අනුරුද්ධ කියයි.

'මේ ප්‍රචාරණවාදී චිත්‍රපටයක් නෙවෙයි. ඒ මඟ ගැනීම චිත්‍රපටයක සාර්ථකත්වයට බලපාන්නෙත් නැහැ. අවුරුදු එකහමාරක් පුරා කළ පර්යේෂණයක් මතයි ප්‍රධාන වශයෙන්ම මේ චිත්‍රපටයේ තිර පිටපත ගොඩ නැඟෙන්නේ. ඒ ඇසුරේදී හමු වෙච්ච එවකට කැරැල්ලේ සිටිය අප්‍රකට පුද්ගලයන් රැසක් අදටත් ජීවතුන් අතර සිටිනවා. ඒ අයගෙන් ලැබුණු තොරතුරු මේ චිත්‍රපටය මේ මට්ටමින් කරන්න හේතු වුණා. තරුණ ගැටලු විසඳීමේදී ගත යුතු සහ නොගත යුතු පියවර පිළිබඳ යම් වැටහීමක් ලබන්නට අනාගතයේ තේරී පත් වන පාලකයන්ටත් ගින්නෙන් උපන් සීතල පිටිවහලක් වේවි . . .' ඒ අනුරුද්ධගේ අදහස් කිහිපයක්.

'අපූර්ව නිර්මාණවලින් මිනිස්සු හමුවෙන්න අපි හරි කැමැතියි. ඒ ගමනේ මගේ පළමු නිෂ්පාදනයට අධ්‍යක්ෂවරයා විදියට අනුරුද්ධ ජයසිංහ වැනි දක්ෂයකු මුණ ගැසීමත් සතුටට කාරණයක්. මිනිස්සු නොදැක්ක රෝහණ විජේවීරව පෙන්වන්න ලැබීමත් මගේ සතුටට කාරණයක් . . .' ඒ ගින්නෙන් උපන් සීතල නිෂ්පාදිකාව චමත්කා පෙළ ගැස් වූ සිතැ¾ගිි.

කමල් අද්දරආරච්චි, සුලෝචනා වීරසිංහ, දිල්හානි අශෝකමාලා, ජගත් මනුවර්ණ, සුජීව ප්‍රියාල්, දීපානි සිල්වා, ප්‍රියන්ත සිරිකුමාර, විශ්වජිත් ගුණසේකර, සංජීව උපේන්ද්‍ර, අමල් රත්න ශාන්ත, සමීර හසුන්, චන්ද්‍රසෝම බිංදුහේවා, හංසමාලා ජානකී, බුද්ධික ජයරත්න, ප්‍රසන්නජිත් අබේසුරිය, සුරාජ් මාපා, තුසිත් ලක්නාත්, ජෙහාන් අප්පුහාමි, සුසාන් නිරෝෂන්, ජානක නිලංග, අංජන ප්‍රේමරත්න, මංජුල මොරගහ, චින්තක වාස්, ක්‍රිශාන්ත ජයබාහු, චින්තක කුලතුංග, ජීවනී කාරියවසම්, ලසන්ත ප්‍රැන්සිස්, පාලිත අබේරත්න, බුද්ධික අබේරත්න ආදිහු මෙහි රඟති.

අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණයක් වන මෙහි සහාය අධ්‍යක්ෂණයෙන් සමීර හසුන් ද, කැමරාකරණයෙන් ධනුෂ්ක ගුණතිලක ද, කලා අධ්‍යක්ෂණයෙන් උදේනි සුබෝධි කුමාර ද, අංග රචනයෙන් නාරද දනන්ජි තොටගමුව, සංගීත අධ්‍යක්ෂණයෙන් නදීක ගුරුගේ ද, සංස්කරණයෙන් රවීන්ද්‍ර ගුරුගේ ද, ඇඳුම් නිර්මාණයෙන් සංජීව කරුණාරත්න ද, නිශ්චල ඡායාරූපකරණයෙන් ධම්මික පතිරත්න ද, රේඛීය නිෂ්පාදනයෙන් ජූඩ් මුතුගල ද, විධායක නිෂ්පාදනයෙන් චන්දන කුමාර සමරකෝන් ද එක් වන ගින්නෙන් උපන් සීතල සිනෙප්‍රෝ ලංකා සමාගම වෙනුවෙන් නිෂ්පාදනය කරන්නේ චමත්කා පීරිස්ය.