වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




මාලිනී, එන්න මල් පිපේදැයි බලන්න

මාලිනී, එන්න මල් පිපේදැයි බලන්න

පුංචි රඟහලේ පුංචි නිවහනේ සොඳුරු සැන්දෑවක්

“අපේ ම සංස්කෘතියේ තිබෙන විවිධ නර්තන ඇතුළත් සංදර්ශනයක් සෑම බ්‍රහස්පතින්දාවක ම වගේ මෙහි වේදිකා ගත වෙනවා. එය නම් කරලා තිබෙන්නේ ‘කලම්බු කල්චරල් ෂෝ’ නමින්. මේ කටයුත්ත මාසයකට දෙපාරක් කරන්න කියලත් අපට ආරාධනයක් පැමිණියා. එහෙම නොවුණත් දිනාපතා ම වුණත් මේ සංස්කෘතික නර්තනය ඉදිරිපත් කිරීමට අප බොහොම කැමැතියි.”

මාලිනී වීරමුණිගේ අදහසක් අනුව ක්‍රියාත්මක කරන මේ අලුත් ම අදහස බොහෝ දෙනාගේ පැසසුමට ලක් වූවකි.

නීල පැහැය ගත් අහස් කුස වලාකුළු එකින් එක පාව යන්නේ තරගයට මෙනි. ඒ නීල වලාකුළු සමඟ තරගයක යෙදෙන්නා සේ අහස් කුස පියාපත් විදහාගෙන පියාඹන සැලළිහිනියෙකි. ඈත සිට පියඹාගෙන පැමිණි මේ සැලළිහිනියා දර්ශන පතයෙන් මැකී ගියේ හිරුගේ රශ්මියෙන් මා දෙනෙත නිලංකාර කර බැවිනි. මුළු බොරැල්ල නගරය ම මද්දහනේ හිරුගේ රශ්මියේ ගිලෙමින් තිබිණි. ඒ හිරු රශ්මියෙන් නැහැවුණු ඒ නගරයේ වූ එක් ගොඩනැඟිල්ලක් අනෙක් ගොඩනැඟිලි පරයා දිදුලුවේ ආඩම්බරකාර හැඟීමෙනි.ඒ වෙනත් ගොඩනැඟිල්ලක නොමැති සිරියක් තමා කෙරෙහි වන බව දත් නිසා ය. එහි තැනින් තැන එබී බලන තුරු ගොමු රාශියකි. ඒ අතර පිපී හිනැහෙන රෝස කුසුමක් අපට අත වනන්නේ මෙහි පැමිණෙන්නැයි කරන ඇරයුමක් වැන්න. අපි සෙමින් එහි පිවිසීමු. මට සිහිපත් වූයේ තුඹසකට ඇතුල් වනවා වැනි හැඟීමකි.

‘නාමෙල් - මාලිනී පුංචි තියටර්’

සුන්දර අකුරු පෙළක් ඒ තුඹසේ ඉදිරිපස දිස් විය. එහි ඇතුළට පිවිසෙනවාත් සමඟ ම කාගේ වුවද නෙත ගැටෙන්නේ ඇට්ටේරියා පඳුරකි. පඳුර පුරා පිපිණු ඇට්ටේරියා මල්වල සුවඳ නැහැයට දැනෙයි. ඒත් සමඟම නෙත ගැටෙන අනෙක් දර්ශනය වන්නේ බිත්තියේ එල්ලා ඇති වෙස් මුහුණු කිහිපයයි. වෙනදා නොදකින මේ දර්ශනය එහි මොකක් හෝ අලුත් දෙයක් සිදු වන බවට සලකුණකි. ඒ සියල්ල දැන ගනු රිසියෙන් අපි නාමෙල් - මාලිනී සොඳුරු කැදැල්ල වෙත පියමැන්නෙමු.

තෙවන මහලේ වූ එහි අසිරිය වඩාත් නැවුම් කළේ ඈත දීම අපට අත වැනූ රෝස කුසුම් සමූහයයි. කහපැහැති, රතුපැහැති, සුදු පැහැති ඒ කුසුම් අසල උන්නේ මේ සොඳුරු කැදැල්ලේ කිරිල්ලියයි.

“කොහොම ද මගේ රෝස මල් ටික?”

මාලිනී වීරමුණි අසන්නේ සුන්දර සිනහවක් මුවඟට නංවමිනි. ඒ අසල ම තිබෙන අසුනේ ඉඳගෙන ඉන්නේ ඇගේ ආදරණීය සැමියායි.

“අපේ කැදැල්ල තව තවත් සුන්දර වෙන්නේ මාලිනී නිසයි. ඇගේ අත් ගුණය බොහොම හොඳයි.”

නාමෙල් වීරමුණි පවසන්නේ නිහතමානී ආඩම්බරයක් හදවත සිරකර ගනිමින් ය. ඒ වදනත් සමඟ අපේ දෙනෙත මේ සොඳුරු කැදැල්ලේ එහා මෙහා ගමන් කරන්නේ ඉබේම ය. පිළිවෙළකට සැකසුණු නිවෙසේ සුන්දරත්වය ඊට කදිම සාක්ෂියකි. ඒ පිළිවෙළ වඩාත් අර්ථවත් වන්නේ ඇගේ සුරතෙන් ගෙතුණු හැඩවුණු විවිධ අත්කම් ලියකම්වලින් තැනුණු විවිධ සුන්දර දෑ තැනින් තැන පෙනෙන්නට තිබෙන බැවිනි.

“මේ සියලු කටයුතු කරන්න ඔබට කාලය තිබෙනව ද?”

“මේ නිවෙසේ සියලු ම කටයුතු මගේ අතින් කරන්නේ මා බොහොම කැමැත්තෙන්. ඒ අතර මගෙන් නාමෙල්ට විය යුතු සියලු ම වගකීම් ඉටු කරන්නත් මා අමතක කරන්නේ නැහැ. මස්, මාලු කන්නට නාමෙල් අකැමැතියි. ඒ නිසා නාමෙල් වැඩිපුර ම කන්නේ පලතුරු හා එළවළුයි. විශේෂයෙන් ම උදේට එයාගේ පලතුරු ජූස් එක නම් වරද්දන්නේ නැහැ.”

දන්න කාලයේ පටන් බොහොම ප්‍රේමණීය යුවළක් වූ වීරමුණි යුවළගේ මේ ආදරය අපට නුපුරුදු නොවේ.

“වේදිකා නාට්‍ය වේදිකා ගත කරන එකට අමතරව මේ දවස්වල විශේෂ කටයුත්තකුත් රඟහලේ සිදු වෙනවා නේද?”

පහළ බිත්තිවල සැරැසිලි මතකයට පිවිසියෙන් මම විමසීමි.

“අපේ ම සංස්කෘතියේ තිබෙන විවිධ නර්තන ඇතුළත් සංදර්ශනය මාසයකට දවස් දෙකක් වේදිකා ගත වෙනවා. එය නම් කරලා තිබෙන්නේ ‘කලම්බු කල්චරල් ෂෝ’ නමින්. මේ කටයුත්ත මාසයකට සිව්වරක් කරන්න කියලත් අපට ආරාධනයක් පැමිණියා. එහෙම නොවුණත් දිනාපතා ම වුණත් මේ සංස්කෘතික නර්තනය ඉදිරිපත් කිරීමට අප බොහොම කැමැතියි.”

මාලිනී වීරමුණිගේ අදහසක් අනුව ක්‍රියාත්මක කරන මේ අලුත් ම අදහස බොහෝ දෙනාගේ පැසසුමට ලක් වූවකි. මෙතෙක් එක් දවසක් පමණක් වේදිකා ගතවුණු ‘කලම්බු කල්චරල් ෂෝ’ දිනපතා ඉදිරිපත් කිරීමට නම් විවිධ ජන කොට්ඨාස මෙහි ගැවසිය යුතුය.

“මොන වගේ අංගවලින් ද මේ සංදර්ශනය සමන්විත වන්නේ?”

“සංස්කෘතික නර්තන දහයක එකතුවකිනුයි මේ සංදර්ශනය නිර්මාණය වී ඇත්තේ. ඒ පූජා නර්තනය, වෙස් නැටුම, පන්තේරු නැටුම, සළු පාලිය, ගිනි සිසිල, තෙල්මේ, ගොයම් නැටුම, නාගරාක්ෂ හා ගුරුළු රාක්ෂ, රබන් නැටුම, මොනර නැටුමයි. මේ තෝරා ගැනීම සඳහා අපට උපකාර කළේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උප කුලපති වුණු මහාචාර්ය ආරියරත්න කළුආරච්චියි මහතායි. එතුමන් සමඟ කරන ලද සාකච්ඡාවකට අනුවයි මෙලෙස සංස්කෘතික අංග රැසක් සංදර්ශනයට පිවිසෙන්නේ. සංස්කෘතික සංදර්ශනය සඳහා සහභාගි වන්නේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න ළමයින් පිරිසක්. ඒ අතර එහි උගන්වන ආචාර්යවරුන් කිහිපදෙනෙකුත් ඉන්නවා.”

අපේ රටේ තිබෙන සංස්කෘතිකාංග ඇසුරු කර ගනිමින් මෙවැනි සංස්කෘතික සංදර්ශන රැසක් තැනින් තැන තිබුණ ද මෙහි විශේෂත්වයක් වෙයි. ඒ අනෙක් සංදර්ශනවල මෙන් නොව ඒ සංස්කෘතික අංග ඒ අයුරින් ම රැක ගනිමින් වේදිකාවට රැගෙන පැමිණීමට මේ යුවළ සමත් වීම ය. එලෙස සංස්කෘතික සංදර්ශනයක් වේදිකාවට ලඝු කොට පෙන්වන පළමු සංදර්ශනය ‘කලම්බු කල්චරල් ෂෝ’ බව පවසන්නේ නාමෙල් වීරමුණි ය.

“ඔබගේ අදහසක් අනුවයි ‘කලම්බු කල්චරල් ෂෝ’ ඇරැඹෙන්නේ”

මා විමසුවේ මෙවැනි කටයුත්තක් කිරීමට මුල්වුණු කතානායිකාවගෙනි.

“ඔව් මගේ අදහසක් අනුවයි මේ කටයුත්ත නාමෙල් ආරම්භ කරන්නේ. පුංචි තියටර් එක ලස්සනට නිර්මාණය කරලා මේ වන විට වසර 14ක්. මෙහි තිබෙන ලස්සන වගේ ම සිදු විය යුත්තෙත් වේදිකා නාට්‍ය රඟ දැක්වීමෙන් එහාට ගිය අලංකාර වටිනාකමක් තිබෙන දේවල් රැසක් බවයි මගේ සිතට පිවිසියේ. ඒ සඳහා කාලයක පටන් මගේ සිතේ තිබුණු අපේ සංස්කෘතිය ඔප් නංවන වැඩසටහන මේ විදියට ක්‍රියාත්මක කළා. මෙහි තිබෙන විශේෂත්වය නම් ඒ ඒ සංස්කෘතික අංග ඒ ඒ අයුරෙන් ම ඉදිරිපත් කිරීමයි. ළමයින් තිස් දෙනෙකුට වැඩි පිරිසක් සහභාගි වන මේ සංදර්ශනය අපේ රටේ සංස්කෘතියට ආදරය කරන සියල්ලන්ට ම, පාසල් ළමුන්, විදේශවලින් පැමිණෙන විදේශිකයන් ඇතුළු සියල්ලන්ට ම විවෘතයි.”

මේ වනවිටත් සොඳුරු සංස්කෘතික සංදර්ශන කටයුත්ත කෙරෙන්නේ ඔවුන්ගේ අතේ තිබෙන මුදල පිළිබඳ ද නොතකමිනි. එහෙත් එහි ඉදිරිපත් කරන්නේ අපේ උරුමයයි. ඒ උරුමය පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා www.punchitheatre.com නමින් වෙඩ් අඩවියක් ද විවෘතව ඇත.

“මේ තරම් විශාල ශිල්පීන් පිරිසක් සමඟ දිගින් දිගට ම කටයුතු කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බවයි පෙනෙන්නේ”

“මෙවැනි කටයුත්තක් කිරීමේ අරමුණ අපේ රටට අනන්‍ය වූ සංස්කෘතික අංග මොනවාද? එහි තිබෙන ප්‍රෞඪත්වය මිනිසුන් අතරට රැගෙන යෑමයි. ඒ කාර්ය මා කරන්නේ හදවතේ නැඟෙන භක්තිවන්ත හැඟීමෙන්. මුල් කාලයේදී ඒ ගමන බොහොම දුෂ්කර වේවි. ඒත් කාලයක් යද්දි යහපත් විදියට මේ සියල්ල සිදු වේවිය කියන මතයේ මා ඉන්නවා. මොක ද? මේ කටයුත්ත නාමෙල් හා මා ආරම්භ කළේ හදවතින් මයි. යම් සේවයක් කිරීමේ අදහස පෙරදැරිව හදවතින් ම ආරම්භ කරන ලද මේ කාර්යය කෙදිනක හෝ සාර්ථක වේවි කියන බලාපොරොත්තුවෙන් අප ඉන්නවා.”

ඒ අතර අපගේ දෙනෙතට හසුවන්නේ පසුගිය දිනෙක නාමෙල් - මාලිනි පුංචි තියටර් හි පැවැති ඒ සංස්කෘතික සංදර්ශනයේ අංග කිහිපයක් රැගත් වීඩියෝ පටයකි. අලංකාර ලෙස වේදිකා ගත වන ඒ සංස්කෘතික අංග නරඹන කාට වුවද පෙනෙන්නේ ශ්‍රී ලාංකේය උරුමයේ එක් පැතිකඩකි.

සුන්දර ලෙස රඟන මොනර නර්තනය කාගේ වුවද සිත් ඇද බැඳ තබයි. ගැට බෙරයේ හා යක් බෙරයේ හඬ ඔස්සේ නැඟෙන තාලවලට පාද තබා යන නැට්ටුවන්ගේ තාල ගමන බලන්නට ලස්සන ය. පන්දම් නර්තනය ද ඊට දෙවැනි නොවේ. හෝරාවකුත්, ඉන් අඩකුත් දක්වා දිවෙන ඒ සොඳුරු සංස්කෘතික සංදර්ශනයේ අපූර්වත්වය විඳීන්න පුංචි තියටර් එකට එන්න. නාමෙල් - මාලිනී වීරමුණි යුවළ මෙන්ම අපි ද ඔබට ආරාධනා කරන්නෙමු.