වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




විජය වෙනුවෙන් රසාංජන වේදිකාවට...

විජය වෙනුවෙන් රසාංජන වේදිකාවට...

- රසාංජන නන්දසිරි

රසාංජන නන්දසිරි හාපුරා කියා ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රධාන චරිතයන්ට පණ පොවන්නට සැරසෙන යෞවන වියේ කලාකරුවෙක්. ප්‍රධාන චරිත නිරූපණයෙන් රසාංජන නවකයෙක් වුණත් ඔහු කලාවට නම් නවකයෙක් නොවෙයි. කලා පවුලක හැදී වැඩුණු ලංකාවේ ප්‍රසිද්ධියට පත් මාපිය යුවළකගේ පුතෙක් වන රසාංජන මීට පෙර සෙසු චරිත තුළින් රංගනයෙනුත් වේදිකා පරිපාලනය තුළිනුත් බොහෝ අත්දැකීම් සම්භාරයක් ලැබූවෙක්. ඉකුත් වසරේ අගෝස්තු මාසයේ අප අතරින් හදිසියේ වියෝ වූ ජනකාන්ත ප්‍රතිභාපුර්ණ නළුවකු වු විජය නන්දසිරිගේ පුත්‍රරත්නය වන රසාංජන තම පියාණන් රඟපෑ නාට්‍ය නිර්මාණයන් හි පියා රඟපෑ චරිතය රඟමින් හාපුරා කියා ප්‍රේක්ෂකයන් අතරට ඒමේ අදහසකින් පසුවනබව අපට දැනගන්නට ලැබුණු හෙයින් වැඩි විස්තර දැනගන්නත් එක්ක ඔහුත් සමඟ පිළිසඳරේ යෙදෙමු.

කලා ක්ෂේත්‍රයේ ආරංචියක් පැතිර යනවා විජය නන්දසිරිගේ පුතා රඟපාන්න යනවා කියලා?

ඔව් ඒක ඇත්තක්. මම රඟපාන්න එනවා. මුලින්ම මම අපේ තාත්තාගේම නාට්‍යවල රඟපාමින් තමයි මගේ රංගන ජීවිතය පටන් ගන්න හදන්නේ. ඒ අනුව මම කුස පබාවතී නාට්‍යයේ තාත්තා රඟපෑ චරිතය මුලින්ම රඟපාන්න තමයි අදහස් කරලා තියෙන්නේ.

ඔබ මීට පෙර කලාවට සම්බන්ධ වූ බවක් කවුරුවත් දැනහිටියේ නෑ නොවේද?

බොහො විට මගේ දායකත්වය ලැබුණේ තිරය පිටුපස ඉඳලා වේදිකා පරිපාලනයට. තාත්තාගේ නාට්‍ය සෑම එකකටම වේදිකා පරිපාලනය සිදු වුණේ මගේ දෑතෙන්. විදුලි ආලෝකකරණය සිදු වුණෙත් මගේ අතින්. මට බෙර වාදනය සංගීතය සැපයීම වගේ දේවල් පවා කිරීමේ හැකියාවක් තිබුණා. මේ හැකියාවන් සියල්ල මම තාත්තාගේ නාට්‍ය නිෂ්පාදනවලට තිරය පිටුපස ඉඳලා දායකත්වයක් එක් කළා.

කොපමණ කාලයක පටන් ඔබ කලාවට සම්බන්ධද?

දෙදාහ වසරේ ඉඳලා මම කලාවට තිරය පිටුපස ඉඳලා දායක වෙනවා. කුස පබාවතී නාට්‍යයට තමයි මම මුලින්ම දායක වීම සිද්ධ කළේ. බොහෝ විට තාත්තා රඟපෑ නාට්‍ය විදේශ රටවල පෙන්වන්න යන කොට වේදිකා පරිපාලනය භාරව කටයුතු කරන්න ගියේ මම.

ඔබේ මව දේවිකා මිහිරාණි. මේ රටේ ප්‍රසිද්ධ නිළියක්. ඒ වගේම ඔබේ පියාත් මේ රටේ ප්‍රසිද්ධියට පත් නළුවෙක්. මෙවන් වූ මාපිය සම්පතක් ඔබට උරුමව තිබියදීත් පහසුවෙන්ම ඔබට කලා ක්ෂේක්‍රයේ ඇසූ පිරූ තැන් සොයා යන්න තිබුණනේ?

ඉහටත් උඩින් තිබුණා. ඒත් මගෙ අම්මාගේ තාත්තාගේ එකම ප්‍රාර්ථනය වුණේ මුලින්ම මට හොඳට උගන්වන්න. ඒ අදහසිනුයි මට එයාලා හොඳ අධ්‍යාපනයක් ලබා දුන්නේ. මාත් මූලික තැන දුන්නේ අධ්‍යාපනයට.

දැනගන්න තියෙන හැටියට ඔබේ එකම අභිලාෂය වුණේ ගුවන් නියමුවෙක් වීමේ සිහිනය?

සහතික ඇත්ත. කලාවට ආශාවක් නොතිබුණා නොවෙයි. මට ඕනෑ කළා කවදා හෝ ගුවන් නියමුවෙකු වෙන්න ඕනේ කියන ආශාව. ඒකට දෙමාපියන්ගේ ආශිර්වාදය ලැබුණ. මම ඒ සඳහා ඉගෙන ගත්තා. විභාග සමත් වුණා. ගුවන් යානා පැදවීම සඳහා අවශ්‍ය බලපත්තරය ගැනීමට මම 2014 වසරේ අමෙරිකාවට ගිහින් ගුවන් යානා පැදවීම පිළිබඳ පුහුණුවක් ලැබුවා. ඒ පුහුණුව සාර්ථකව හදාරලා මම අද වෙන කොට ගුවන් යානා පැදවීම් බලපත්තරය ලබා ගත් ගුවන් නියමුවෙක්.

මේ වෙන කොටත් ඔබ ගුවන් නියමුවෙක් ලෙස රාජකාරි කරනවාද?

තව මාසයකින් මම මේ රටේම ගුවන් සේවාවක නියමුවෙක් විධියට රාජකාරි කරාවි.

ගුවන් නියමුවෙක් ලෙස කටයුතු කරන්න සැරසෙන ඔබ ඇයි මේ රඟපැම කියන දේත් කරපින්නා ගෙන යන්න හදන්නේ?

ඒ මගේ ආශාව. රාජකාරිය භාරධූර වෙන්න පුළුවන්. ඒත් මගේ රඟපෑමේ ආශාවට එය බාධාවක් නොවෙන්න මම වග බලා ගන්නවා.

කලාව පටලවාගෙන අවසානයේ කෝකත් නැති වෙයිද?

කාට හරි එහෙම හිතෙන එක සාධාරණයි. ඒත් මේ රසාංජන ඕපපාතිකව පහළ වුණු කෙනෙක් නෙවෙයි. අම්මා තාත්තා කලාකරුවන් වුණු පුංචි කාලේ පටන් මට මතක විධියට අවුරුදු හයේදී විතර මම තාත්තා අම්මා සමඟ කලා නිර්මාණවලට දායක වෙනවා. බොහෝ විට තාත්තා එක්ක මම තමයි කාර් එකේ තනියට ගියේ. තාත්තා රඟපාන නාට්‍යවල මම වේදිකාවේ ප්‍රේක්ෂකයෙක් වුණා. තාත්තාගේ රංගනයන් මම හොඳට අධ්‍යයනය කළා. තාත්තා වේදිකාවේ හැසිරෙන හැටි, දෙබස් උච්චාරණය කරන හැටි මම ප්‍රේක්ෂකයෙක් විදියට බලන් හිටියා. තාත්තාගේ රංගනයන් තුළින් පේ‍්‍රක්ෂකයෝ සතුටු වෙන හැටි ඔවුන් තාත්තා ගැන කියන දේ මම අත්වින්දා. ඒ නිසයි මට හොඳ අවබෝධයක් මේ ගැන තියෙන්නේ.

ඔබේ රංගනයන් පිළිබඳවත් පියාණන් සතුටු සිතින් අත්විඳලා තියෙනවාද?

ඔව්. මුලින්ම මගේ රංගනය තාත්තා දැක්ක දවසේ තාත්තාට දෙබස් පැටලුණා. ඒ සුන්දර මතකය මට අදත් මැවිලා පේනවා. 2003 වසරේ කෑගල්ල නගර ශාලාවේ වෘෂභ රාජ නාට්‍ය වේදිකා ගත වුණා. කොහොම හරි ඒ නාට්‍යයේ තිබුණු සේනක කියන චරිතය කරන නළුවා එදා නාට්‍යයට අවේ නැහැ. කොහොම හරි නාට්‍ය පටන් ගත්තා. නළුවා එන පාටක් නැහැ. එතකොට කුමාර තිරිමාදුර අයියා කිව්වා අම්මාට දේවිකා වෙන කරන්න දෙයක් නැහැ. පුතාව සේනකට දාලා කරමු කියලා. මගේ අක්කා තමයි නාට්‍යයේ ශිල්පීන්ට මේකප් දැම්මේ. මට කතා කරලා කිව්වා මල්ලී එන්න මේකප් දාන්න කියලා. මම පිටපත අතට ගත්තා. කීප සැරයක්ම කියෙව්වා. මගේම අම්මා තමයි රජ බිසවට රඟපෑවේ. තාත්තා මේ කිසිම දෙයක් දන්නේ නැහැ. එයා වේදිකාවේ රඟපානවා. මගේ දර්ශනය අවශ්‍ය වෙලාවේදී මම වේදිකාවට ගියා. තාත්තාට අදහා ගන්නත් බැහැ. එක පාරටම තාත්තාට දෙබස් පැටලුණා.

ඔබේ මුල් දෙබස වුණේ?

මට කරන්න තිබුණේ තාත්තාගේ පෙර බවයේ මල්ලීගේ චරිතය. මලාන්ඩ කියන දෙබස තමයි මම මුලින්ම කිව්වේ. මම දැක්කා අම්මාත් ගිහාන් ප්‍රනාන්දුත් සතුටට කඳුළු පිහ පිහ තිරය අස්සෙන් මා දිහා බලා ඉන්නවා.

වේදිකාවට එනවා කියන අදහස ඔබේ මනසට එක් කළේ කවුද?

තාත්තාගේ හදිසි අභාවයත් සමඟ තාත්තාගේම සමකාලීනයෝ මගෙන් අහපු දෙයක් තමයි ඇයි පුතා මේ ක්ෂේත්‍රයෙන් ඉස්සරහට ආවේ නැත්තේ කියලා. තාත්තා රඟපෑ නාට්‍යවල තාත්තාගේ චරිතය අද වෙන නළුවෝ ඉදිරිපත් කරනවා. ඒ වගේ තත්ත්වයක් තුළ තාත්තාගේම පුතා හැටියට කලා ක්ෂේත්‍රයේම තාත්තා එක්ක හිටිය, තාත්තාගේ පිටපත දෙබස් ගැන මට හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් හැටියට ඇයි මම හැකියාව තියන් නිහඬව ඉන්නේ කියා හිතුණ නිසා රංගනයට එන්න මම හිත හදා ගත්තා.

පියාගේ රංගනය රස වින්ද ප්‍රේක්ෂකයෝ ඒ චරිතයට ඔබ සාධාරණයක් කරයි කියන බලාපොරොත්තුව අත් හරින එකක් නෑ?

මගේ තාත්තා කියන්නේ මහ මෙරක්. ගොඩක් දුක් ගැහැට විඳිමින් තමයි තාත්තා ක්ෂේත්‍රයේ ඔය තැනට පැමිණියේ. මමත් දන්නවා මේක හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් කියලා. එදා තාත්තාට යෝධ සෙවනැල්ලක් වූ මගේ අම්මා අද මට යෝධ සෙවනැල්ලක් වෙලා ඉන්නවා මම අවුරුදු අටේ ඉඳලා වේදිකාවට සම්බන්ධ වෙලා ලබපු අත්දැකීම් එක්ක තාත්තාගේ චරිතයට මට 75% ක් පූර්ණ වශයෙන්ම සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් කියලා හිතනවා.

තාත්තා නම්බ වන්. ඒත් පුතාව ඒ අහලකවත් තියන්න බැහැ කිව්වොත්?

මම අභියෝග භාර ගන්නවා මිසක් ඒකෙන් පලා යන පුද්ගලයෙක් නෙවෙයි. තාත්තාගේ ඒ රංගන හැකියාව මගෙ ලේ වලට දැන් කැවිලා තියෙන්නේ. කවුරු මොනවා කිව්වත් මම දන්නවා කළ යුතු දේ කොයි ආකාරයෙන් ද කියලා.

කවදද ඔබ මුලින්ම කුස පබාවතී හරහා වේදිකාවට සම්ප්‍රාප්ත වෙන්නේ?

මේ වෙන කොටත් මම වේදිකාවට ඇවිත් හෝල් ප්‍රශ්නයක් නැත්නම්. හැම හෝල් එකක්ම බුක් වෙලා. ඒකයි ප්‍රශ්නය. බොහෝ විට මාර්තු මැද හරියේ අනිවාර්යෙන්ම මම කුස පබාවතී නාට්‍යයත් සමඟ ප්‍රේක්ෂකයන් අතරට එනවාමයි.

මේ වෙන කොට විජය රඟපෑ සමහර වේදිකා නාට්‍ය ඒ සඳහා අනුගත ශිලපීන් සමඟ යළිත් වේදිකා ගත වෙනවා. ඒ සඳහා කොහොමද ප්‍රේක්ෂක ප්‍රතිචාර?

මම හිතන්නේ තාත්තා වේදිකාව තැනකට ඔසවා තැබුවා. එදා විජය නන්දසිරි කියන නම වේදිකාවේ රැව් දුන්නා. පත්තර ඇඩ්වල මේ නම නිතර තිබුණා. කොහොම හරි විජය නන්දසිරි වේදිකාවට නැතුවම බැරි පුද්ගලයෙක් බවට තාත්තා පත් වී තිබුණා. ඒ තත්ත්වය තාත්තා ගොඩ නඟා ගත්තේ ලොකු කැප කිරීම් කරලා, වේදනා විඳලා. තාත්තාට ආදරය කරපු විශාල ඕඩියන්ස් එකක් හිටියා. තාත්තා නැතිවීමත් සමඟ ඒ තත්ත්වය අද වෙන කොට හුඟක් අඩු වෙලා ගිහින් කියන එක අමුතුවෙන් කිව යුතු දෙයක් නොවෙයි.

වේදිකාවේ විතරද ඔබ රැඳෙන්න බලාපොරොත්තුව?

අත්තිවාරම මගේ වේදිකාව. වේදිකාව ශක්තිමත් වෙන කොට ටෙලි නාට්‍ය, චිත්‍රපට වුණත් මට ඉබේම ලැබේවි. තාත්තා කැමරාව ඉදිරියේ රඟපාපු හැටිත්, වේදිකාව තුළ හැසිරුණු හැටිත් මම ගොඩක් දැකලා තිබුණා. කරන කියපු දේවල් හොදට අවබෝධ කරගෙන තිබුණා. මම දන්නවා අම්මාගේ ආශිර්වාදය තියෙනකන් මට වරදින්නේත් නෑ. තාත්තා කරපු කියපු දෑ මට සෙවනැල්ලක් වී මාව තව තවත් දිරිමත් කරයි කියා.