වර්ෂ 2016 ක්වූ ජූලි 07 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාව ඇතුළේ වෙන ගේම්ස් අපට නැහැ

සිනමාව ඇතුළේ වෙන ගේම්ස් අපට නැහැ

‘ආදරණීය කථාවක්’ නිපැයූ චමින්ද ගමගේ කියයි

චිත්‍රපටයක් හදනවාට වඩා අමාරු පෙන්වන්න

 

මාගේ පුතුට මල් යහන සදන්නේ

දෑසෙ සිහින වැල් පාවී එන්නේ

රෝස කැළේකින් හමු වූ වැන්නේ

මට මේ කුමරුන් කවුදෝ දුන්නේ...

එදත් අදත් එකසේ ජනප්‍රිය ඒ මියුරු ගීතය ඇතුළත් වූයේ තිස්ස ලියනසූරිය අධ්‍යක්ෂණය කළ ‘පුංචි බබා’ චිත්‍රපටයටය. ධර්මසිරි ගමගේ ලියූ එම ගීතය සංගීතවත් කොට, ගායනා කළේ සිසිර සේනාරත්නය. එදා ගමගේ ශූරීන් එම ගීතය රචනා කරන විට ඔහුගේ වැඩිමහල් පුතණුවන් චමින්ද ගමගේ සුරතල් සිඟිත්තෙකි. එමෙන්ම සිසිරගේ පුත් සමීර හා එම ගීතය ඇතුළත් ජවනිකාවේ රඟපෑ ජෝ අබේවික්‍රමගේ පුත් චන්න ද සම වයසේ පසු වූ පොඩි පැටවුන්ය.

චමින්ද ගමගේ හමු වූ විට මුලින්ම මගේ මතකයට නැඟුණේ ඒ අතීත කතාවය. මේ දිනවල තිරගත වන ‘ආදරණීය කතාවක්’ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන්නේද ඒ චමින්දමය. වෘත්තීයෙන් කලාකරුවකු නොවුණ ද චමින්දට කලාව ආගන්තුක නැත. ඒ ඔහුගේ පියා මෙරට සිටි විශිෂ්ට ගණයේ කලාකරුවකු නිසාත්, කලාකාමී පරිසරයක ඔහු හැදුණු, වැඩුණු නිසාත්ය. චමින්ද චිත්‍රපට නිෂ්පාදනයට පිවිසෙන්නේ ඒ උදෙසා සිය අර්ථපති දායකත්වය පුද කිරීමට ඇති හැකියාව නිසාම පමණක් නොවේ. ඔහු කලාව පිළිබඳ අතීත උරුමයන් සහිත කලාවට පෙම් බැඳි අයකු වීම නිසාවෙනි.

* වෘත්තීමය කලාකරුවෙක් නොවුණත් මම හිතන්නේ ඔබ නියැළී සිටින්නේ එක්තරා විධියක නිර්මාණශීලී රැකියාවක?

මගේ වෘත්තීය වෙළෙඳ දැන්වීම් නිර්මාණ ක්ෂේත්‍රය. ඇත්තෙන්ම ඔබ කීවා වගේ ඒකත් නිර්මාණශීලී කටයුත්තක්. ඇසුරු කරන්නෙත් කලාවට සම්බන්ධ පිරිසක්ම තමයි. ප්‍රියන්ත කොළඹගේ කියන්නේ ඔහුගේ ප්‍රථම චිත්‍රපටය වූ ‘දැහැන’ කාලේ ඉඳන්ම හඳුනන මිත්‍රයෙක්. ඔහු ‘දැහැන’ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා විදිහට තෝරා ගත්තේ මගේ පියා ඔහුට නිර්දේශය කරන ඩොනල්ඩ් ජයන්තව. ඒක ඩොනල්ඩ් ජයන්ත ප්‍රථමයෙන්ම සහාය අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය බවට පත් වෙනවා. පසුගිය කාලේ පුරාවටම ප්‍රියන්ත, ඩොනල්ඩ් එක්ක මම බොහෝ සමීපව කටයුතු කළා.

* ප්‍රියන්ත කොළඹගේත් පසුව වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයටම යොමු වෙනවා. මේ මිත්‍රත්වයට එයත් හේතුවක්?

ඔව්. ‘අරුමෝසම් වැහි’ චිත්‍රපටයෙන් පස්සේ ඔහු වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයට එක් වෙනවා. ඇත්තටම එක පැත්තකින් ඔහු මගේ වෘත්තීය සගයෙක්. අපි සතිපතා වගේ හම්බ වෙලා කලාව, දේශපාලනය, සාහිත්‍ය වගේ විෂයයන් පිළිබඳ කතාබහ කරනවා. ඔය කතාබහ ඇතුළේ ප්‍රියන්ත නැවතත් සිනමාවට සම්බන්ධ වෙන්න ඕනෑ කියන අදහස එනවා. ප්‍රියන්ත, ඩොනල්ඩ් සහ මම තමයි මේ කතාබහට එකතු වෙන්නේ. එහි අවසන් ප්‍රතිඵලය තමයි ‘ආදරණීය කථාවක්’ චිත්‍රපටය.

* මෙහි තිර නාටකය ලියන්න ආරාධනා ලැබුණේ ඔබට?

ආදරණීය පවුලක් - චමින්ද බිරිය සහ දියණිය සමඟ

ප්‍රියන්ත මට කිව්වා මේකේ ස්ක්‍රිප්ට් එක ලියන්න කියලා. ඒ වෙනකොට මගේ ප්‍රචාරක ආයතනය පටන් අරගෙන තිිබුණේ. ඉතින් ඒ කාර්ය බහුලත්වය නිසා ඒකට කැප වෙන්න මට කාලය තිබුණේ නෑ. ඒ වැඩේට අවංකව, සියයට සීයක් මට කැපවෙන්න බැරි හින්දා මම කිව්වා අපි ඔක්කොමලා එක්කාසු වෙලා, සාකච්ඡා කරලා මේක ලියමු කියලා. එහෙම තමයි වැඩේට අත ගැහුවේ. වැඩේ කරගෙන යනකොට අපේ සම්බන්ධතා උඩ ඇයි අපිම මේකේ නිෂ්පාදන කටයුතුත් නොකරන්නේ කියන තැනට ආවා. ඇත්තම කියනවා නම් මට ප්‍රියන්ත ගැන තිබුණේ පට්ට විශ්වාසයක්. ඒ වගේම මිත්‍රයෙක් වශයෙන් මම ඔහුට ආදරය කරනවා. ගරු කරනවා. ඉතිං නිෂ්පාදකයකු හැටියට චිත්‍රපටයට දායක වුණා. එතැනට මාව තල්ලු කළේ ඩෙනල්ඩ් ජයන්ත. අර තීරක බලවේගය වුණේ එයා.

* වර්තමානයේ සිංහල සිනමාව පවතින්නේ යම්කිසි අර්බුදකාරී තත්ත්වයක. ඔබට යම් දෙගිඩියාවක් දැනුණේ නැද්ද මේ වගේ මාධ්‍යයකට අත පොවන්න?

නැහැ. එහෙම එකක් තිබුණේ නෑ. මොකද අපි ලොකු විශ්වාසයකින් මේ වැඩේට බැස්සේ. තිර නාටකය දැක්කට පස්සේ තමයි අපට ඒ විශ්වාසය ඇති වෙන්නේ. ඔය අතරේ ඩොනල්ඩ් ජයන්ත අපව දිරිගන්වනවා කොහොම හරි මේ වැඩේ කරමු, මම හොඳ ‘ටීම්’ ඒකක් හොයලා දෙන්නම් කියලා.

* වෙළෙඳ දැන්වීම් නිර්මාණකරණය කියන්නේ බොහොම සශ්‍රීක, යහමින් මුදල් උපයන්න පුළුවන් ක්ෂේත්‍රයක්නේ. මම ඇහුවේ ඒ රැකියාවෙන් හොයපු සල්ලි ෆිල්ම් එකකට දාන්න අවුලක් හිතුණෙම නැද්ද කියලයි?

කොයි තරම් සශ්‍රීක වුණත් වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේදී අපි හඹාගෙන ගිහින් වැඩ කරන්නේ නැහැ. එහෙම කරන්න ගියා නම් අපේ ජීවිතයේ අපට අතෑරෙන කොටසක් තියෙනවානේ. ඒ ජීවිතය අතෑරගන්න අපි කැමැති නෑ. අපි ජීවිතේ විඳින්න කැමැති මිනිස්සු. ඒ නිසා බොහෝ වෙලාවට අපි මේ සෙනසුරාදා, ඉරිදා දවස් වෙන් කරන්නේ නාට්‍යයක්, චිත්‍රපටයක් නරඹන්න. එහෙම නැත්නම් පොතක් පතක් කියවන්න. ඥාති හිත මිත්‍රාදීන් එක්ක සතුටු වෙන්න. ඒ ඉඩකඩ තියාගෙන තියෙනවා. ඒ නිසා ආප්ප, කොත්තු දානවා වගේ නෙවෙයි අපි මේ රැකියාවේ වුණත් නියැළෙන්නේ. සිනමාවේ අර්බුදයක් තියෙන බව අපි දැක්කා. ඒකට කෙහොමද සාර්ථකව මුහුණ දෙන්නේ කියන අභියෝගය අපි බාර ගත්තා. ප්‍රේක්ෂකයා රවටන්න බෑ. අපි පුළුවන් තරම් හොඳට, නිර්මාණශීලිව මේ වැඩේ කරමු කියන තැන ඉඳන් තමයි චිත්‍රපටය නිර්මාණය කළේ. අපේ සිනමාවට අභියෝගයක් වෙන්නේ බොලිවුඩ් නම් හොලිවුඩ් නම් අපි ඒ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් නිර්මාණයක් කරමු කියන ස්ථාවරයේ තමයි අපි හිටියේ.

* ඒ කියන්නේ වාණිජ අරමුණු සහිත ‘හොඳ’ චිත්‍රපටයක් නිර්මාණය කිරිම තමයි ඔබේ අරමුණ වුණේ?

අපි මේ චිත්‍රපටය හඳුන්වන්නේ කොමර්ෂල් ක්ලැසික් ෆිල්ම් එකක් හැටියට අසංක. ඒ කියන්නේ කලාත්මක අගයක් තිබෙන වාණිජ චිත්‍රපටයක් . එතැන ඉඳන් තමයි වැඩේ පටන් ගන්නේ. ඒකට අපේ ඇඩ්වටයිසින් නොලේජ් එකත් සෑහෙන්න බලපෑවා. අද ස්ක්‍රිප්ට් එක ලියලා හෙට ෂූටිං පටන් ගත්ත වැඩක් නෙවේ මේ. තිර නාටකය නැවත නැවත සකස් කරලා මිනිස්සුන්ට කියවන්න දීලා ඒ Feedback එක අරගෙන කරපු වැඩක් මේ.

* දැන් ඒ Out Put එක තියෙනවාද චිත්‍රපටය ඇතුළේ?

මට හිතෙනවා චිත්‍රපටය සාර්ථකයි කියලා. චිත්‍රපටය දැන් නරඹන කොට හිතෙනවා තව තව වෙනස්කම් වුණා නම් හොඳයි කියලා. නමුත් අපට මේක කල් ඇර ඇර ඉන්න බෑ. යම්කිසි කාල සීමාවකදී ප්‍රොඩක්ට් එක එළියට එන්න ඕනෑ. අපි හිතනවා දැනටත් පරක්කු වැඩියි කියලා චිත්‍රපටය ආපු කාලේ.

* ‘ආදරණීය කතාවක්’ සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයක් වෙයි කියන බලාපොරොත්තුව ඔබේ තිබුණා?

අපි එහෙම හිතලා චිත්‍රපටයක් හදලා ප්‍රදර්ශනයට දානවා. චිත්‍රපටය පෙන්නන්න ගියාම තමයි ඔන්න ප්‍රශ්න ටික හරියටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් අපි ගත්ත තීරණ හරිද කියලා එදා ගත්ත යම් තීරණයක් අදට සාපේක්ෂව වැරැදි වෙන්න පුළුවන්. නමුත් අපි ඒකට පසු තැවෙන්න හොඳ නෑ.

* මොන වගේ තීරණද ඔබ ඔය කියන්නේ. නළු, නිළියන් තෝරා ගැනීම වගේ දේවල්?

නෑ. නළු, නිළියන් නෙවෙයි. අපි කියමු ප්‍රදර්ශනයේ දී ගත් යම්, යම් තීරණ කියලා. ඒවා දැන් වෙනස් කරන්න බෑ. ඒක තමයි අපි කියන්නේ ඒ සඳහා යම් කිසි අධිකාරියක් තියෙනවා නම් ඒ තැන්වලින් එය සිදු විය යුතුයි. මේ වෙලාවේ අපි ඒ ගැටලු හඳුනා ගනිමින් සිටිනවා සහ අදාල තැන්වලට යොමු කරමින් සිටිනවා. අපි ඉදිරියේදී යම් නිර්මාණයක් කරනවා නම් සමහරක් වෙලාවට මේ තත්ත්වයන් වඩාත් නිවැරදිව අවබෝධ කර ගැනීමට අපට පුළුවන් වෙයි. චිත්‍රපට හදන කොට නෙවෙයි ඇත්තටම නිෂ්පාදකවරුන්ට, අධ්‍යක්ෂවරුන්ට ‘තරු’ පෙන්නේ චිත්‍රපටය පෙන්නන්න ගියාමයි.

* චිත්‍රපටයක් හදනවාට වඩා අමාරු පෙන්නගන්න?

අපි මුලින් හිතාගෙන ඉන්නේ හදන එක තමයි අමාරු කියලා. නෑ, ඇත්තටම අමාරු පෙන්නගන්න එක. දැන් අපේ තාත්තලා චිත්‍රපට හදපු කාලේ ඒවා ගන්න චිත්‍රපට ශාලා හිමියෝ, පෝලිමේ එන්නේ. අද එහෙම තත්ත්වයක් නෑ. ෆිල්ම් එක පෙන්නගන්න මාර දුකක් විඳින්න වෙලා තියෙනවා. මේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕනෑ.

* මේ කියන අර්බුද එක්ක ඔබට කිසියම් සිත් තැවුලක්, හෝ කලකිරීමක් ඇති වුණාද සිනමාට සම්බන්ධ වුණ එක ගැන?

කලකිරීමක් ඇති වෙනවා තමයි. ඇයි එහෙම වෙන්නේ කියලා. ඇත්තටම මේ සිනමාව ඇතුළේ වෙන ගේම්ස් නෑ අපිට. අපි ආවේ අවංකව හොඳ දෙයක් කරන්න. මේ චිත්‍රපටය බලපුවාම මිනිස්සු කියනවා මේක මාර කොලිටි ෆිල්ම් එකක්. මේක හරි නීට්, ඒ වචනම පාවිච්චි කළා. සමහර නිෂ්පාදකරු, අධ්‍යක්ෂවරු කිව්වා මේක මාරයි කියලා. එතකොට අපි නිර්මාණයට අවංක වෙලා තියෙනවා. ඒ ආත්ම තෘප්තිය අපට අද තියෙනවා.

* චිත්‍රපටයට ඒ වගේ ධනාත්මක ප්‍රතිචාර ලැබෙන්නට හේතු හැටියට ඔබ දකින්නේ?

චිත්‍රපටයක් හරහා අපි කළ යුත්තේ මිනිස්සුන්ට වින්දනයක් ලබා දෙන එක. කියන්නේ ගෙදර ඉන්න ප්‍රේක්ෂකයා අපි සිනමාහලක් තුළට ගෙනල්ලා ඔවුන්ට ෆැන්ටසියක් මවනවා. ඒක තමයි හොලිවුඩ්, බොලිවුඩ් සිනමාවේ කෙරෙන්නේ. එතැනට යනවා නම් ලංකාවෙත් ඒක කෙරෙන්න ඕනෑ. ඒකයි මම කිව්වේ මේ චිත්‍රපටයේ ස්ක්‍රිප්ට් එක හදන්න මාස ගාණක් ගත්තා. ඊට පස්සේ මේකේ කලර් ග්‍රේඩින් හදනවා. මේක එඩිට් කරනවා. මම ඒ ක්‍රෙඩිට් එක නම් දෙන්නේ ප්‍රියන්තට. ඔහු පුදුම කැප කිරීමක් කළේ මේ චිත්‍රපටය වෙනුවෙන්. දැන් ඉතින් ඇතිනේ අපි මේක පෙන්වමු කිව්වාම ‘නෑ මචං අපි හදමු මේක, තව පොඩ්ක් එඩිට් කළා නම් හොඳයි’ කියලා හැම අංශයක් ගැනම එයා සැලකිලිමත් වුණා. ඒක තමයි අර ඇඩ්වටයිසිංවල තියෙන නීට්නස් එක.

* ඔබ ධර්මසිරි ගමගේ ශූරීන්ගේ පුත්‍රරත්නය කියා දන්න අය බලාපොරොත්තු වුණේ චිත්‍රපට නිෂ්පාදකයෙක් නෙවෙයි. ඊට එහා ගිය නිර්මාණශිලී මනුෂ්‍යයෙක්. ඔබේ පියා ප්‍රවීණ තිර නාටක රචකයෙක් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් නිසා ඒ බලාපොරොත්තුව අසාධාරණ නෑ?

අසංක ඒක ලොකු චෝදනාවක්. මේ චිත්‍රපටය නැරඹූ මගේ හිතවතුන් කිව්වේ ‘මේ චමින්ද කරලා තියෙන්නේ ඕනෑ වැඩේ නෙවේ, වෙන වැඩක්’ කියලා. ඇයි මේකේ ස්ක්‍රිප්ට් එක නොලිව්වේ කියලා සමහරු ඇහුවා. ඇත්තටම මුලින් ප්‍රියන්ත කිව්වේ ස්ක්‍රිප්ට් එක ලියන්න කියලා තමයි. නමුත් සීයට සීයක් ඒ දායකත්වය දෙන්න බැරි නිසා මම ඒක බාර ගත්තේ නෑ.

* එහෙම අභියෝගයක් බාර ගන්න ඔබට පුළුවන්. ඒ කිව්වේ තිර කතා රචනය කරන්න?

අභියෝගය බාර ගන්න පුළුවන්. දැන් ආයේ වැඩක් කරනවා නම් ප්‍රියන්ත මට කියන්නේ ස්ක්‍රිප්ට් එක ලියන්න. එහෙම නැතිනම් ප්ලොට් එක දෙන්න. හැබැයි ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න මම කැමැති නෑ. මහා සිනමාව. ඒක තමයි මාර. සිනමාව හරි දැවැන්තයි. තිර නාටකයක් ලියන්න ඇත්තටම ආසාවක් තියෙනවා. ඒත් ඩිරෙක්ට් කරන්න නම් කැමැත්තක් නෑ.

* ඇයි ඒ?

මට කොම(ර්)ෂල් ඩිරෙක්ට් කරන්නත් පුළුවන් නේ. කොමර්ෂල්ස්වල ස්ක්‍රිප්ට් එක ලියන්නෙත් මම. ඇත්තම කිව්වොත් ස්ක්‍රිප්ට් රයිටර් තමයි ඉස්සර වෙලාම විෂුවල් එකේ අර ෆෙ‍්‍ර්ම්ස් ටික දකින පුද්ගලයා. ඒ පරිචය මට තියෙනවා. නමුත් මම හිතන්නේ මට වඩා දක්ෂයෝ ඉන්නවා. ඒ අයට ඒ දේවල් කරන්න පුළුවන්නේ. දැන් අපේ තාත්තා ජනප්‍රිය සහ විශිෂ්ට තිර නාටක රාශියක් ලිව්ව කෙනෙක්. නමුත් මම කොම(ර්)ෂල්වල විතරක් හිරවෙලා ඉන්නවා. ඇත්තටම මගේ හිතේ තියෙනවා ඒ දේවල් සිනමාවට ගේන්න. බලමු ඉස්සරහට.

* කොහොම වුණත් ඔබ ගීත රචකයෙක් බවට නම් පත් වෙනවා මේ චිත්‍රපටයෙන්?

ඒ ගෞරවයත් මම දෙන්නේ ප්‍රියන්තට. මොකද මම ඒකෙනුත් අයින් වෙන්න හිටියේ. ප්‍රියන්ත කිව්වා මේ කරන වැඩේට ඔයා සිංදුවක් ලිව්වේ නැතිනම් වැඩක්ම නෑ, ඒ නිසා ඔයා මේකට අනිවාර්යයෙන්ම සිංදුවක් ලියන්න ඕනෑ’ කියා. ඉතින් ප්‍රියන්තගේ වදේටම තමයි මම මේ චිත්‍රපටයෙන් ගීත රචකයෙක් බවට පත් වෙන්නේ. හැබැයි ඉතිං මට අදත් හිතෙනවා ඒකත් වෙන කාට හරි දුන්නා නම් හොඳයි කියලා. මොකද මට වඩා හොඳ නමක් එතැනට ගන්න තිබුණා.

* එහෙම කිව්වේ ඔබේ හැකියාව පිළිබඳ යම් අවතක්සේරුවකින්ද?

නෑ, නෑ, එහෙම නෙවෙයි. මම කිව්වේ සිවිල් බලයක් බලාපොරොත්තු වෙන කෙනෙකුට ඒ තැන දුන්නා නම් හොඳයි කියන එක. අවුලක් නෑ. ඒ සිංදුවට ලැබෙන ප්‍රතිචාර හොඳයි. එය සංගීතවත් කළ උදාර සමරවීරත් ගායනා කළ අමල් පෙරේරා සහ කුෂානි සඳරේඛාත් ඊට සාධාරණයක් ඉටු කළා.

* චමින්දට පොඩි චෝදනාවක් තියෙනවා?

ඒ මොකක්ද?

* ඔබේ නැන්දනිය, විශාරද නන්දා මාලනිය මෙහි ගීත ගායනයට යොදා ගත්තේ නෑ කියලා?

ඇත්තටම මහාචාර්ය සුනිල් ආරියරත්න පවා කිව්වේ ‘මේකෙ අපි සිංදු ලියන්නේ නෑ. මේකේ අසවල් අය ගීත ගයන්නේ නෑ. මේක වෙන ටීම් එකක වැඩක්. තාරුණ්‍ය වෙනුවෙන් හැදෙන චිත්‍රපටයක් කියලයි. එතනදි අපි මේ නිර්මාණයට දායක කර ගත්තේ ඊට ගැළපෙන සහ අවශ්‍යම අය පමණයි. නෑදෑ මිත්‍රකම් එතනදී බලපෑවේ නෑ. හැබැයි ඒක චෝදනාවක් කියලා මම දන්නේ නෑ.

* වෙනත් කලාකරුවන්ගේ දරුවන් මෙන් ඔබ පියාගේ නමින් බැබළෙන්න කිසි විටෙක උත්සාහ කළේ නැ. ඒක විශේෂ ලක්ෂණයක්?

ඔබ කිව්වා වගේ තාත්තා මේ රටේ සිටි දැවැන්ත චරිතයක්. ඔහුගේ අභාවයෙන් පසු ඒ දැවැන්ත බව අපට වැඩි වැඩියෙන් දැනෙනවා. මේ චිත්‍රපටයේ මුහුරත් උලෙළේ ඉඳන් එය ප්‍රදර්ශණය කරන මොහොත දක්වාම මට මහා තනිකමක් දැනුණා. ඒක හරියට මහගම සේකරයන් රචනා කොට අම්මා (නන්දා මාලිනී) ගායනා කළ ‘දහස් ගණනක් සෙනඟ අතරේ මහා තනියක් මට දැනේ’ කියන ගීතයේ වගේ හැඟීමක්. තාත්තාගේ උතුම් ගුණාංග මතක් වෙලා මම පැත්තකට ගිහින් අඬපු වාර අනන්තයි. අපේ තාත්තා පරාර්ථය වෙනුවෙන් කැපවුණ කෙනෙක්. ඒ අය අනුන් වෙනුවෙන් ඒ තරම් කැප වුණේ කොහාමද කියන එක අපට හිතා ගන්නත් බෑ. අම්මා අසනීප වෙලා එක්තැන් වෙලා ඉන්න කොට අවුරුදු අටක්ම අම්මව බලා ගත්තේ තාත්තා. ඒවා සංසාර බැඳීම්. අපට අදටත් ඇඬෙනවා ඒවා මතක් වෙනකොට.

* පුංචි කාලේ ඉඳන්ම ගෙදර තිබුණේ කලාකාමී පරිසරයක්?

තාත්තාගේ තිබුණ දැන හැඳුුනුම්කමත් එක්ක කලාවට සම්බන්ධ බොහෝ දැවැන්ත චරිත ඇසුරු කරන්න වාසනාව, පිං මහිමය අපටත් පුංචි කාලෙදිම ලැබුණා. මට මතකයි අමරදේව, ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, සුනිල් ආරියරත්න, විජය කුමාරතුංග, කුලරත්න ආරියවංශ වගේ කලාකරුවෝ නිතරම ගෙදර එනවා. නන්දා මාලිනියත් ඒ අතර අනිවාර්ය කෙනෙක්. අපි නැන්දා, මාමා කියලා ඒගොල්ලන්ට කතා කළේ. රාත්‍රී කාලවල ඔවුන් අපේ නිවසට ආපුවම ඒ කරන හරවත් සංවාද අපි පැත්තකට වෙලා අහගෙන ඉන්නවා. ඒවා ඕපදූප නෙවේ. හරවත් වගේම හරිම රසවත් කථන්දර. අපි බොහෝ දේවල් ලබා ගත්තා ජිවිතයට ඒ දේවල්වලින්.

* ඔබේ පියා සහ නන්දා මාලිනිය අතර තිබුණේ පුදුමාකාර සහෝදර බැඳීමක්. ඒ බැඳීම ඔබේ ජීවිතයේ සුවිශේෂ පරිවර්ථනයකට පවා හේතුවක් වුණා?

අපි උසස් පෙළ කරන කාලෙදි තමයි වරුණිත් මාත් අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වුණේ. ඇය නන්දා මාලිනියගේ දියණිය නිසාත්, මම ධර්මසිරි ගමගේ ගේ පුතා නිසාත් අපේ ආදර කතාව ලෝකෙට වසන් කරන්න බැරි බව අපි දැනගෙන හිටියා. අපි තීරණය කරනවා මේ ගැන මවුපියන්ට කියන්න. ඔවුන්ගේ ආශිර්වාදය මැද්දේ තමයි ඒ ආදරය විවාහය දක්වා වැඩී ගියේ. 1994 ජූනි 29 වැනිදා අප විවාහ වුණා. අපේ එකම දියණිය රන්ධි සපුනිකා උපන්නේ 1995 දී. තාත්තා තමයි ඇයට නම තිබ්බේ. එයා කොළඹ විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා උසස් පෙළ හොඳින් සමත් වී පෙර පාසල් ගුරුවරියක වීමට සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ A.I.M. පාඨමාලාව හදාරනවා. මේ දෙවැනි වසර.