වර්ෂ 2016 ක්වූ ජූලි 07 වැනිදා බ්‍රහස්පතින්දා




සුමිගෙන් අහන්න

ප්‍රවීණ චිත්‍ර ශිල්පී මංජු ශ්‍රී කලක් පැවිදිව සිටියාද?

කෑගල්ල තටාකය පාරේ තිලකරත්න විල්වල, මැණිකේ විල්වල
ප්‍රශ්නය - 'ජබ් ජබ් පූල් කිලේ' නමැති හින්දි චිත්‍රපටය ගැන කරුණු ටිකක් දක්වන්න?
පිළිතුර -
සුරාජ් ප්‍රකාෂ් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ ශෂි කපූර්, නන්දා ප්‍රධාන චරිත රඟපෑවා. සංගීතවත් කළේ කල්‍යාන්ජි ආනන්ජි. තිරගත වුණේ 1965 දීයි.

ජාඇළ මාකේවිට කේ. එම්. සේපාල
ප්‍රශ්නය - 'අභිරහස' චිත්‍රපටය දයා රාජපක්ෂගේ 'සහසිකයෝ' නමැති චිත්‍ර කතාව ඇසුරෙන් නිපදවන ලද චිත්‍රපටයක් බව මම කියා සිටිනවා. එය දෙමළ කොපියක් බවට ඔබ ලබා දුන් පිළිතුර වැරදියි.
පිළිතුර -
එය ඉංග්‍රීසි චිත්‍රපටයක කොපියක්. මේ කතාව ඇසුරෙන්ම දයා රාජපක්ෂ නෙමෙයි සුසිල් ප්‍රේමරත්න 'ලංකාදීප' පත්‍රයට චිත්‍ර කතාවක් ඇන්දා. ඒත් 'අභිරහස'ට පාදක වුණේ අර ඉංග්‍රීසි චිත්‍රපට කතාවයි.

මොරටුව කටුබැද්දේ ඩඩ්ලි ගෝමස්
ප්‍රශ්නය - තුන් ඈදුතු නවකතා ලීවේ මාර්ටින් වික්‍රමසිංහ පමණක්ද?
පිළිතුර-
නැහැ. කරුණාසේන ජයලත්, ටී. බී. ඉලංගරත්න, කුමාර කරුණාරත්න, එඩ්වඩ් මල්ලවආරච්චි පවා ලියා තිබෙනවා.

පිළියන්දල චාමර විජේසිංහ
ප්‍රශ්නය - සුරලියක වන රුවිනා, මාලි ගම එළිය කරන ඔබයි කෝකිලාවි වැනි බයිලා ගී ගැයූ ගායකයා කවුද?
පිළිතුර -
සෝමසිරි ප්‍රනාන්දු.

මෝදර එම්. ආර්. සී. ඩයස්
ප්‍රශ්නය - ප්‍රවීණ නළු සඳුන් විජේසිරි ගැන ඔබේ අදහස දක්වන්න?
පිළිතුර -
ඔහු දක්ෂ නළුවෙක්, ගායකයෙක්. ඒ සියල්ලටමත් වඩා හිත හොඳ මනුස්සයෙක්. කාගේ කරදරයක් වුණත් එය තමන්ගේ කරදරයක් සේ සලකා ක්‍රිය කරන මහත්මයෙක්.

අත්තනගල්ලේ විමලසේන හපුතන්ත්‍රි
ප්‍රශ්නය - 'ප්‍යාර් මොහාබාද්' හින්දි චිත්‍රපටය ගැන විස්තර ටිකක් කියන්න?
පිළිතුර -
දේව් ආනන්ද්, සයිරා බානු, ප්‍රේම්නාත්, ශෂිකලා, දුර්ගා කෝටේ, ඩේවිඩ්, අසිත් සෙන් රඟපෑ මේ චිත්‍රපටය ශන්කර් ජායිකිෂන් සංගීතවත් කළා. තිරගත වුණේ 1966 දී.

වත්තල හේකිත්තේ ලක්ෂ්මන් රණසිංහ
ප්‍රශ්නය - 'ඔන්න බබෝ බිල්ලෝ එනවා' චිත්‍රපටයට එච්. ආර්. ජෝතිපාල ගයන 'මේ ජීවනයේ මුළු සංසාරේ' ගීතයේ තනුවටම තවත් සිංහල ගීතයක් නිර්මාණය වුණා. ඒ කුමක්ද?
පිළිතුර -
එය හරූන් ලන්ත්‍රා, ටෝනි රණසිංහ වෙනුවෙන් 'ශීලා' චිත්‍රපටයට ගයන 'මා ජීවිතයේ මේ ඉරණම දෝ' ගීතයයි.

මීගමුව මහ හුණුපිටියේ යොහාන් කුමාර් ද සිල්වා
ප්‍රශ්නය - ප්‍රවීණ චිත්‍ර ශිල්පී තලංගම ජයසිංහ චිත්‍රපටවල කලා අධ්‍යක්ෂණය කර තිබෙනවාද?
පිළිතුර -
'මාතර ආච්චි' වැනි චිත්‍රපට කීපයක කලා අධ්‍යක්ෂණය කළා.

මාතලේ ධර්මා සමරනායක
ප්‍රශ්නය - 'අපේක්ෂා' චිත්‍රපටයේ ක්ලැරන්ස් විජේවර්ධන ගයන 'සැණකෙළියේ සඳ එළියේ' ගීතය වෙනුවට මුලින් නිර්මාණය වෙලා තිබුණේ වෙනත් ගීතයක් යැයි කියන්නේ ඇත්තද?
පිළිතුර -
ඔව්. ඒ ක්ලැරන්ස්ම ගයන 'උපන් දිනේ අද ජීවන රන් විමනේ' ගීතය. පසුව එය වෙළඳ තැටියකට ගත්තා.

කඩවත පහළ බියන්විල භදා බියංකා මධු
ප්‍රශ්නය - ' ද සීක්‍රට් ඒජන්ට්' චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා කවුද?
පිළිතුර -
ඇල්ෆ්‍රඩ් හිච්කොක්. ඔහු එය 1936 දී එංගලන්තයේදී තැනූ චිත්‍රපටයක්.

ඉහළ තල්දූවේ ආනන්ද වික්‍රමආරච්චි
ප්‍රශ්නය - ප්‍රවීණ චිත්‍ර ශිල්පී මංජු ශ්‍රී කලක් පැවිදිව සිටියාද? එහිදී ඔහු භාවිතා කළ නම කුමක්ද?
පිළිතුර -
ඔව්. භදන්ත ඥානේන්ද්‍ර හිමි.

මේ අයත් මෙවර ප්‍රශ්න අසා තිබුණා.
රත්නපුරේ අශෝකමාලා ජයසිංහ, අඟුණුකොලපැලැස්සේ හේමන්ත රත්නසිරි, පිළියන්දල ලක්ෂාන් අමරසිංහ, ඉමදූව තිලක් ගමගේ, නාරාහේන්පිට ගාමිණී පෙරේරා

ඔබේ ප්‍රශ්න පහත ලිපිනයට යොමු කරන්න
‘සුමිගෙන් අහන්න’
‘සරසවිය’ ලේක්හවුස්, කොළඹ 10.