වර්ෂ 2016 ක්වූ ජූලි 07 වැනිදා බ්‍රහස්පතින්දා




සල්මන් මල්ලවපොර පිටියට

සල්මන් මල්ලවපොර පිටියට

බොලිවුඩයේ ක්‍රීඩා තේමාව යටතේ චිත්‍රපට රැසක් නිර්මාණය කරන්නට එරට චිත්‍රපට නිර්මාණකරුවන්ගේ උනන්දුවක් ඇති බව පෙනෙන කරුණකි. ‘ලගාන්’, ‘භාග් මිල්කා භාග්,’‘ඉක්බාල්’, ‘මේරි කොම්’, ‘සාලා ඛදූස්’, ‘මිලියන් ඩොලර් ආම්’, ‘චක් දේ ඉන්දියා’, ‘බ්‍රදර්ස්’ ඒ අතරින් කිහිපයකි. මේ අතරේ ඇතැම් චිත්‍රපට ක්‍රීඩකයන්ගේ සත්‍ය ජීවන අත්දැකීම් පදනම් කර ගත් ඒවා වේ. 2016 වසරේදී ද තවත් ක්‍රිඩා තේමාව යටතේ තිරගත වීමට සූදානම් චිත්‍රපට ත්‍රිත්වයකි. අමීර් ඛාන් ප්‍රධාන චරිතය නිරූපණය කරන දන්ගාල්, ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණ වූ එම්. එස් දෝනි : අන්ටෝල්ඩ් ස්ටෝරි සහ සල්මාන් ඛාන්ගේ සුල්තාන් එම චිත්‍රපට ත්‍රිත්වය යි.

මේ අතරේ දන්ගාල් සහ සුල්තාන් චිත්‍රපට ද්විත්වයම මල්ලවපොර සූරයන් ගැන කියවෙන කතා වීම සුවිශේෂී වේ. මේ වසර උදාව සමඟම සුල්තාන් චිත්‍රපටය ගැන කාගේත් අවධානයට ලක් වූණේ ජනප්‍රිය තරු දෙකකගේ ගැටීම කෙසේ සිදුවනු ඇති දැයි ප්‍රශ්නයද සමඟින්. කෙසේ නමුත් දැන් එයට විසඳුම ලැබී ඇත. මන්ද යත් සුල්තාන් චිත්‍රපටය ඊයේ (ජූනි 06) සිට තිරගත වීම ආරම්භ කළ අතර දන්ගාල් තිරගත කිරීමට බලාපොරොත්තු වෙන්නේ ලබන දෙසැම්බර් මාසයේදී ය.

ඉන්දීය ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉතිහාසගත අවස්ථා කිහිපයක්ම ප්‍රතිනිර්මාණය කෙරෙන චිත්‍රපටයක් ලෙසත් ‘සුල්තාන්’ විශේෂ වේ. 2010 චීනයේ පැවැති ආසියානු ක්‍රීඩා උලෙළ, 2010 වසරේ දිල්ලියේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ, 2012 වසරේදී ලන්ඩන්හි ඔලිම්පික් උලෙළ වගේම 2013 වසරේ හන්ගේරියාවේ පැවති ලෝක මල්ලවපොර සූරතාවලියත් එයට ඇතුළත්. වෘත්තීමය මල්ලවපොර සූරයෙකුගේ චරිතයක් වටා ගෙතුණු ‘සුල්තාන්’ චිත්‍රපටයේදී ක්‍රීඩා දිවියට ඉහත කී තරගාවලන් කළ බලපෑම නිරූපණය කරනවා. එහිදී මල්ලවපොර ක්‍රීඩකයෙකුගේ වෘත්තිය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය තුළ ඇති වන ප්‍රශ්න පිළිබඳවද කතාබහට ලක්කරනවා. ‘සුල්තාන්’අධ්‍යක්ෂණය කරන්නේ අලි අබ්බාස් සෆාර් විසින්. කතාව රචනා කර තිබෙන්නෙත් ඔහු විසින්. නිෂ්පාදනය කරන්නේ ආදිත්‍ය චොප්රා. ඉදිරිපත් කරන්නේ යෂ්රාජ් ෆිල්ම්ස් විසිනි.

පසුගිය කාලය තුළ ‘සුල්තාන්’චිත්‍රපටය වෙනුවෙන් සල්මන් ඉතා විශාල කැප කිරීමක් ඉටු කරන්නට වගබලා ගත්තා. ‘සුල්තාන්’ චිත්‍රපටයේ කියවෙන්නේ හරියානාහි මල්ලවපොර සූර සුල්තාන් අලිඛාන් ගැනය. සල්මන් මෙම චිත්‍රපටයේ නිරූපණය කරන්නේ සුල්තාන් අලිඛාන්ගේ ජීවන අත්දැකීම්ය. විසිපස් වියැති තම රංගන ජීවිතයේ සල්මන් මල්ලවපොර ක්‍රීඩකයකුගේ චරිතයක් නිරූපණය කරන්නේ ප්‍රථම වතාවටයි. දැන් ඔහු ගත කරන්නේ තම ජීවිතයේ පනස් වැනි විය යි. පසුගිය කාලයම ඔහු වැය කළේ මල්ලවපොර ක්‍රීඩා පුහුණුව වෙනුවෙන්. මල්ලවපොර ක්‍රීඩාව ප්‍රගුණ කරන්නට මනසත් කයත් යන දෙකම තියුණු විය යුතුය යන්න ක්‍රීඩා ප්‍රවීණයන්ගේ මතය යි. ඒ වෙනුවෙන් වූ විශේෂ අභ්‍යාස සමඟින් සල්මන් ද මල්ලවපොර ක්‍රීඩාව ප්‍රගුණ කළා.

‘සුල්තාන්’ ප්‍රධාන නිළිය ලෙසින්ද ජනප්‍රිය නිළියන් කිහිප දෙනෙකුගේම නම් යෝජනා වී තිබුණා. දීපිකා පදුකෝන්, පරිනීති චොප්රා වැනි අය අතරෙන් තෝරා ගැනුණේ අනුෂ්කා ෂර්මා. සල්මන් පමණක් නොව ‘සුල්තාන්’ ප්‍රධාන නිළිය අනුෂ්කා ශර්මාද මල්ලව පොර සූරියක බව දැන් බොලිවුඩයම දන්නා කරුණකි. ඇය ද මේ චිත්‍රපටය පුරාවට ඉතාම කැපවීමෙන් මල්ලවපොර ක්‍රීඩාව ප්‍රගුණකර ඇති බව බොලිවුඩයෙන් ආරංචි වෙනවා.

‘සුල්තාන්’හි සංගීත අධ්‍යක්ෂණය කර තිබෙන්නේ විශාල් ශේකර්. මෙහි එන ‘ජග් ගුමේයා’ ගීතය ගායනා කරන්න ඔහු ජනප්‍රිය බොලිවුඩ් ගායක අර්ජිත් සිං වෙත ආරාධනා කර තිබුණා. ඒ අනුව මුම්බායි වෙත පැමිණි ඔහු ඉතාම ආසාවෙන් ගීතය ගායනා කළ බව ආරංචියි. නමුත් චිත්‍රපටයේ ඇතුළත් ඒ ගීතය ගායනා කරන්නේ රාත් ෆතේ අලි ඛාන්. සල්මන් ඛාන් අර්ජිත් අතර ඇති විරසකයක් නිසා අර්ජිත් ගායනා කළ ගීතය ඉවත්කර ඇති බවයි ආරංචි වෙන්නේ. සල්මන් සම්මාන උලෙළක් නිවේදනය කිරීම හාස්‍යයට ලක් කිරීම සම්බන්ධයෙන් අර්ජිත්ට චෝදනා එල්ල වෙලා තියෙනවා. අර්ජිත් දුරකථන ඇමතුම් ඔස්සේ සල්මන් සම්බන්ධකර ගන්න ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වෙලා. කොහොම වුණත් අවසානයේදී තමන් ගායනා කළ ‘ජග් ගුමේයා’ගීතය ඉවත් නොකරන ලෙස සල්මන් ගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලමින් සමාජ වෙබ් අඩවියක සටහනක් යෙදීම ගැන නම් අර්ජිත්ගේ රසික රසිකාවියන් දක්වා තියෙන්නේ එතරම් හොඳ ප්‍රතිචාර නෙවෙයි. මේ සිදුවීම නිසාම චිත්‍රපටය තිරගත වෙන්න පෙර සිටම ‘ජග් ගුමේයා’ගීතයට ලැබී ඇත්තේ ඉහළ ප්‍රසිද්ධියක්.

‘සුල්තාන්’චිත්‍රපටය රූගත කිරීම් ආරම්භ කරන්න පෙර සිටම ඒ පිළිබඳ විවිධ කටකතා රැසක් ද පළ වුණා. මෙහි සල්මන්ගේ පුහුණුකරු ලෙසින් හොලිවුඩ් නළු සිල්වෙස්ටර් ස්ටැලෝන් චරිත නිරූපණය කරන බව මුලදී ප්‍රසිද්ධියට පත් වුණා. ඉන් අනතුරුව එම චරිතය සන්ජේ දත් විසින් නිරූපණය කරන බවටත් කටකතා පැතිරුණා. කෙසේ නමුත් අවසානයේදී ඒ චරිතය භාර වුණේ රන්දීප් හූදා වෙතයි. චිත්‍රපටය ආරම්භ වෙන්නේ සල්මන් දූෂිත රාජ්‍ය නිළධාරියෙක් ලෙසින් බවත් තවත් කතාවක්. කතාවේ හැටියට අල්ලස් දෙනවා නම් ඔහු නොගෙන ඉන්නේ නැති බවයි කියවුණේ. නමුත් ඔහු මල්ලවපොර සූරයෙකු බවට පත් වෙන්නේ එක් කුඩා දරුවෙකු සම්බන්ධ සිදුවීමක් නිසා. ‘ඩබාන්’ සහ ‘ප්‍රේම රතන් ධාන් පායෝ’යන චිත්‍රපටවල වගේම සුල්තාන් චිත්‍රපටයේත් උඩු රැවුල වවා තිබෙනවා. ඒක විශේෂ උඩු රැවුලක්. ඒ රැවුල හරියානා ප්‍රාන්තයේ වයසක ගැමියෙකුගේ රැවුල වගේ කියලයි හැමෝම කිව්වේ.

මේ බොලිවුඩයේ ජනප්‍රිය තරු රැසකගේ දියණියන් සහ පුත්‍රයන් අලුත් චිත්‍රපට සමඟින් රිදී තිරයට පිවිසෙන කාලය යි. ‘සුල්තාන්’චිත්‍රපටය සමඟින් ක්ෂේත්‍රයට පැමිණි නවකයා වන්නේ අනිරුද් රාවල්. අනිරුද් රාවල් කියන්නේ ජනප්‍රිය නළු පරේෂ් රාවල්ගෙ පුතා. හැබැයි ඔහු දායක වෙන්නේ රංගනයෙන් නම් නෙවෙයි. අනිරුද් ‘සුල්තාන්’චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයෙක් ලෙසින් කටයුතු කළා. පරේෂ් මේ ගැන ගොඩක් සතුටු වෙලා.මොකද තමන්ගේ පුතා ක්ෂේත්‍රය ගැන බොහෝ දේ ඉගෙන ගන්නවාට ඔහු කැමැතියිලු.

බොලිවුඩයේ බොක්ස් ඔෆිස් වාර්තා තබන චිත්‍රපට සම්බන්ධයෙන් සල්මන් ඛාන්ට විශේෂ ස්ථානයක් හිමි වෙනවා. ‘ඒක් තා ටයිගර්’, ‘කික්’,‘ප්‍රේම් රතන් ධාන් පායෝ’ වගේම ‘බජ්රන්ගී භයිජාන්’ඒ අතරේ ප්‍රධාන යි. මේ නිසාම ‘සුල්තාන්’චිත්‍රපටයත් ආදායම් වාර්තා අතරේ ඉහළට පැමිණීම නිර්මාණ කණ්ඩායමේ අපේක්ෂාවයි. මේ වෙනුවෙන් ඉන්දිය රුපියල් කෝටි සියයකට ආසන්න මුදලක් වැය කර ඇති බවයි ආරංචි වෙන්නේ. මේවන විටත් එය ඉන්දියාවේ සිනමා ශාලා පන්දාහක තිරගත කරන්න සල්මන් යෂ් රාජ් ෆිල්ම්ස් සමඟින් කටයුතු යොදා තියෙනවා.

‘සුල්තාන්’චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයේ වැඩිම නරඹන්නන් පිරිසක් නැරඹූ ඉන්දීය චිත්‍රපටයක පූර්ව ප්‍රචාරක පටය බවට පත් වී තිබුණා. කෙසේ නමුත් පසුගිය පළමු වැනිදා තිරගතවීම ආරම්භ කළ රජිනි කාන්ත් ප්‍රධාන චරිතය නිරූපණය කරන ‘කබාලි’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ඒ වාර්තාව බිඳ දැමුවා.