වර්ෂ 2016 ක්වූ ජූලි 07 වැනිදා බ්‍රහස්පතින්දා




අද ජූලි හත

අද ජූලි හත

ජූලි හත යැයි පැවසෙන විට හිතට දැනෙන්නේ බයකි. මහා ගත්කරු ඩබ්ලිව්. ඒ. සිල්වා ශූරීන්ගේ ජනප්‍රිය කෙටි කථා එකතුවක් නම් කොට ඇත්තේ ද එනමිනි. අතීතයේ නඩු අසෙන විට ජුරි සභාවට හත් දෙනෙකු පත් කරන්නේ නම් අනිවාර්යයෙන්ම එකෙකු කොල නැති ගසේ නැඟීම අනිවාර්ය වුයේලු. එදා ජූරි හත හැඳින්වීමේදී ඇති වූ බිය ව්‍යවහාරයත් සමඟ ජූලි හතට සමීප වූ වග ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා මා සමඟ පැවසිය.

කෙසේ වෙතත් ජූලි හත මෙරට සංගීත ලෝලීන් වඩාත්ම කඳුළෙන් නැහැ වූ දිනයයි. ඒ ගැන විවාදයක් නැත. ඒ අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලයන්ගේ අභාවය සිදු වූයේ එබඳු දිනයකය. එනම් හරියටම අදින් අවුරුදු 29 කට පෙරාතුවය.

ලාංකික සිනමා පසුබිම් ගායනයේ ජෝතිපාලයන් නම් වූ සලකුණ එදා මෙදාතුර කිසිදු ගායකයකු තැබූවක් නොවේ. මතු තබන්නේ ද නොවේ. ඔහු වෘත්තාන්තයක් වනුයේ එපමණක් නිසා නොවේ. ජෝතිපාලයන්ගේ ජීවිත කතාව යනු කෙනෙකු කියවා උගත යුතු ජීවන කතාවකි. බිංදුවේ සිට ආරම්භ වී මහා ප්‍රවාහයක් වූ ජෝතිපාලයන් වීරයන් වූ උකටලී නොවන්නේය යන කියමන සැබෑ කෙරුවෙකි. කවදාක හෝ ගායකයකු වන්නෙමැයි යන තිර අදිටනින් යුතු හෙතෙම සිය ඉලක්කය සපුරා ගැනීමට අනේක විධ දුෂ්කර ක්‍රියාවන්හි යෙදිණ. ඔහුට වැරැදුණේ එකවරක් නොවේ. එක් වතාවක් ඔහු චිත්‍රාගාරයෙන් බැහැර කරලනුයේ ඔහුගේ හඬ සිනමා කෘතින්වලට නොගැළපෙන හඬක් ලෙස සලකමිනි. තවත් වරක් ඔහුට අවස්්ථාව නොලැබෙන්නේ නොැනුවත්කම නිසාවෙනි. වෙන කෙනෙකුට වූවා නම් මුළු මහත් සමාජයටම වෛර කරමින්, දත නියවමින්, ගොරවමින්, ද්වේෂ කරමින් සාප කරලන මිනිසකු බිහි වනු ඇත. ඒ කිසිවක් තඹ දොයිතුවකලා නොසලකමින් ජෝති, ජෝතිමත් ලෙස නැඟී සිටියේය.

දකුණු ඉන්දීය දෙමළ ඌරුවේ අනුකාරකවාදී පෙම්වතාට එරෙහිව ප්‍රති විරයකු ලෙස නැඟෙමින් කලිසම් සාක්කුවල අත් රුවා ගී ගැයූ තේජමාන අලුත් නළුවකු වූ ආනන්ද ජයරත්නගේ රුවට, හඬ පෞරුෂය එක් කරමින් ජෝති මුල්වරට සිරිය මෙ සාරා ගැයුවේය. එතැන් පටන් තිස් වසරක් අවසානයේ 1987 ජූලි පළමුවැනිදා පමණ ඔහු විජය කුමාරතුංගයන් වෙනුවෙන් රමණීය කමණීය අපේ ආදරේ යනුවෙන් ගැයුවේය. ඒ ගීයට හඬ දෙන්නට සිටි විජය ද තවත් මාස කිහිපයකින් මෙලොව අතහැර ගියේය. (ගීතය පසු කලක වෙනත් චිත්‍රපටයකට ඇතුළත් විණ).

ජීවත් වනතුරුම ඔහු රසිකයන් පින වූයේය. මිය ගොස් දශක තුනකට ආසන්නවත්දීත් ඔහුගේ හඬට රසිකයන් ප්‍රිය කරති. රසික ප්‍රතිචාරය තම ආත්මය ලෙස සැලකූ ඔහු සංගීත ප්‍රසංගකදී සිංදු තුනෙන් බැස ගියේ නැත. සංවිධායන්ගේ ඉහ මොළ සූරා කෑවේ ද නැත. එබැවින්ම ඔහු ගැන ඊළඟ පරම්පරාවටත් බොහෝ දෙනා ආදරයෙන් කියා සිටිති. දශක තුනක් යනු විශාල කාලයකි. ජීවමාන ජෝති නොදුටු පරම්පරාවටත් ජෝතිපාලයන් ජීවමානය. ගායන ලොවේ ජෝතිපාලයන්ගේ ප්‍රතිපත්ති ගැන දන්මෝ ඒ ගැන කියාපන්නේ එබඳු දුර්ලභ මිනිසුන් මෙලොව ජීවත් වූ වග කියාපන්නටය. ඔවුන්ගේ ඇසුර ලබන්නට තරම් තමන් ලද පින සෙස්සන් හා බෙදා ගන්නටත්ය. එය පුදුමයක් නොවේ. එහි ඇත්තේ කැපවීමක ප්‍රතිඵලයයි. රසිකයන් හා බඩ බැඳගත් ආදරයයි. මේ ආදරය රසිකයනට අහිමි කරන ලද්දේ අද වැනි දවසකය. ජූලි හත් වෙනිදාවකය. කොළඹ රත්නම් රෝහලේදීය. එදා උදෑසනින් ඇසුණ එම පුවත සමඟ රට පුරා කම්පනයක් ඇති විය. ලක්ෂ ගණන් රසිකයන් ඔහුගේ දෙණ අරා සිට ගත්හ. විද්වතුන් කිමද මේ අරුමය යැයි වටහා ගත නොහැකිව විපරිත වූහ. ජීවමාන ජෝතිපාලයන්ට වඩා මිය ගිය ජෝති ජෝතිමත්ව නැඟී සිටියේය.

ජූලි හත් වැනිදා යනු එබඳු දිනයකි.