වර්ෂ 2016 ක්වූ ජූලි 07 වැනිදා බ්‍රහස්පතින්දා




පූජාගෙයි, අරුණිගෙයි ආදරය මට දැනුණා

පූජාගෙයි, අරුණිගෙයි ආදරය මට දැනුණා

පත්තිනි ‘කෝවලන්’ වූ උද්දික ප්‍රේමරත්න සිනමාත්මක කතාබහක

ඇත්තටම මේ රසික ආදරය මට ප්‍රශ්නයක්

අපේ සිනමාව අපටම අරහං වී ඇති යුගයක සිංහල චිත්‍රපටයක් අති සාර්ථකව ප්‍රදර්ශනය වීම සතුටට මෙන්ම පුදුමයට ද කරුණකි. එය සිනමාවේ යහපත ප්‍රාර්ථනා කරනා ඕනෑම අයකුගේ සොඳුරු සිහිනයක් සැබෑවීමක් බඳුය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘පත්තිනි’ මෑතකදී එසේ දැවැන්ත පේ‍්‍රක්ෂක ප්‍රතිචාරයක් ලද චිත්‍රපටයකි.

කණ්ණගී, මාධවී, කෝවලන් තුන් ඈදුතු ප්‍රේමය වටා ගෙතුණු ‘පත්තිනි’ සිංහල සිනමා වංශයේ එතෙක්, මෙතෙක් බිහි වූ සොඳුරුතම රූප කාව්‍යයක් බැව් අවිවාදිතය. ඕතධජඬ ඕභඵබඥප (අධි ප්‍රතිචාර) ගණයේ චිත්‍රපටයක් වන ‘පත්තිනි’ මහාචාර්ය ආරියරත්නයන් විසින් හඳුන්වන්නේ ෆැන්ටසියක් ලෙසිනි.

අනාගත සිනමාවේ බලාපොරොත්තු තැබිය හැකි රංගන ශිල්පීන් අතළොස්ස අතරින් ප්‍රමුඛයකු වන උද්දික ප්‍රේමරත්න මෙහි ‘කෝවලන්’ගේ චරිතය නිරූපණය කරයි. සැබෑ රංගනය යනු බාහිර ක්‍රියාකාරකමක් පමණක් නොවේ. එය අතිශය බුද්ධිමය කාරණාවකි. උද්දික යළිත් සිය සිනමා රංගනය හරහා අපට සාක්ෂාත් කරනුයේ එකී සත්‍යයයි.

මේ ඔහු සමඟ කෙරෙන සිනමාත්මක කතාබහකි.

වර්තමානයේ උද්දික වඩාත්ම කථාබහට ලක් වෙලා තියෙන්නේ ‘පත්තිනි’ චිත්‍රපටයේ ‘කෝවලන්’ ගේ චරිතය හරහා. මුලින් ඒ ගැන කථා කරමු?

මේ වෙනකොට ‘පත්තිනි’ දින හැත්තෑව පසු කරමින් ප්‍රදර්ශනය වෙනවා. මෑත කාලයේ ප්‍රදර්ශනය වූ චිත්‍රපට අතරින් දිගින්, දිගටම ප්‍රේක්ෂකයන් ඇඳ බැඳ තබා ගන්නට සමත් වූ චිත්‍රපටයක්. ආදායම් වාර්තා බිඳ හෙළමින් චිත්‍රපටය තිරගත වෙනවා. ඒ ගැන සැකයක් නෑ. හිත පුරා සතුටුයි.

‘කෝවලන්’ අපි කවදාවත් ඇසු, දුටු චරිතයක් නෙවේ. කොටින්ම කිව්වොත් අපි ඔහු දැනගෙන හිටියේ නෑ. කොහොම ද එවැනි චරිතයක් රඟපෑමේ අභියෝගය ඔබ බාර ගත්තේ?

පොඩි කාලේ අපි ලස්සන සුරංගනා කතා අහලා තියෙනවානේ. ‘ලස්සන වසීලිස්සා’ වගේ. එතකොට ඔය ගැමි කතා. අර එක ගමරාල කෙනෙක් අලියාගේ නැට්ටේ එල්ලිලා දිව්‍ය ලෝකේ ගිය හැටි. මේවා ප්‍රබන්ධ කතා වුණත් ඇත්තටම ඒවායේ අන්තර්ගතයේ තිබුණේ සමාජයට පණිවිඩයක්නේ. එතකොට ‘පත්තිනි’ චිත්‍රපටයේ අර්ථය සරලව අපි සමාජයට ගෙනාවොත් එයින් දෙන්නෙත් එක්තරා පණිවිඩයයක්. චිත්‍රපටයේ හැටියට කෝවලන් තමන්ගේ බිරිය කණ්ණගී අතෑරලා ගිහින් මාධවී කියන රාජකීය නෘත්‍ය රාජිනිය සමඟ විවාහ වෙනවා. ඇය සමඟ ටික කාලයක් ඉඳලා ඔහු නැවත කණ්ණගී ළඟට යනවා. එහෙම එන්න ඔහුට සිද්ධ වෙනවා.

ඉන්පසු නොයෙකුත් ප්‍රශ්න, හිරිහැරවලට මුහුණපාන්න ඔවුන් තිදෙනාටම සිදු වෙනවා?

ඔව්. අපේ සමාජයේත් මෙවැනි දේවල් සිදු වෙනවානේ. ඉතින් එයින් ඇතිවන අනිටු විපාක පිළිබඳ කිසියම් කථන්දරයක් තමයි මේ චිත්‍රපටයෙන් කියැවෙන්නේ. එයින් අපේ සමාජයට ගෙන එන්නේ ආදර්ශවත් පණිවිඩයක්. හැමදාටම හැමෝටම වැදගත් පණිවිඩයක්. මම කියන්නේ වෙන ගැහැනියක් ගාවට ගිහින් ආපහු එන්න කියන එක නෙවෙයි. මෙතැන තියෙන්නේ නොයාමට හේතුවක් සාදා ගැනීම. සැමියාට හැමදාම රැකවරණය දෙන්නේ බිරිය කියන එක තමයි මේ චිත්‍රපටයෙන් අවධාරණය කෙරෙන්නේ.

‘පත්තිනි’ රූගත කරද්දී සෑහෙන දුෂ්කරතාවලට මුහුණ දුන්නා කියා ‘පූජා’ මා සමඟ පැවසුවා. දවස් ගණන් නිදි මරාගෙන මාර කට්ටක්ලු කෑවේ?

මාසයයකට ආසන්න කාලයක් මම මේ චිත්‍රපටයේ වැඩ කළා. රන්මිහිතැන්න, නුවරඑළිය, රිවස්ටන්, නුවර, අනුරාධපුරය මේ වගේ හුඟක් තැන්වලට යන්න අපිට සිද්ධ වුණා. ඇත්තටම ලොකු වෙහෙසක් දරන්න වුණා සමහර දර්ශන රූගත කරද්දී. ඒත් ඒ වෙහෙසත් එක්ක අපි ලොකු මානසික තෘප්තියකුත් වින්ඳා. විශේෂයෙන්ම මහාචාර්ය සුනිල් ආරියරත්න වගේ දැවැන්ත කලාකරුවෙක් මට ඇසුරු කරන්න ලැබෙනවා. මම ඔහුගේ ගීත රචනාවලට ප්‍රිය කරන කෙනෙක්. ඒවා සර්වකාලීන වටිනාකමකින් යුත් ගීත. ඉතින් ඔහුව හිතවතෙක් වගේ බොහොම ළඟින් ඇසුරු කරන්න මට අවස්ථාව ලැබෙනවා.

මම හිතන්නේ අර ‘සජ්ජන ඇසුර’ කියන එක?

ඔව්. ඇත්තටම ඔහු ළඟ තිබුණ ඇතැම් දේවල් අපි බොහොම ආදරයෙන් අපේ ජීවිතවලට එකතු කර ගත්තා. ඉතින් ඒ වාසනාවත් මට මේකෙ ඇතුළෙම ලැබෙනවා. ඒ වගේම චන්න දේශප්‍රිය කියන කැමරා ශිල්පියා එක්ක මට දෙවැනි වතාවට වැඩ කරන්න ලැබෙනවා. මීට අවුරුදු හයකට විතර කලින් ප්‍රථම වතාවට මම වෙළෙඳ දැන්වීමකට පෙනී සිටියා එයා ඉදිරියේ. ඊට පස්සේ තමයි මේ චිත්‍රපටය හම්බ වෙන්නේ. ක්ෂේත්‍රයේ හැමෝම, හැම තැනකම චන්න ගැන කතා වෙනවා. ඉතින් ඇයි චන්න ගැන හැමෝම කතා වෙන්නේ කියන එකට උත්තරයක් මට ලැබෙනවා මේ චිත්‍රපටය පුරා වැඩ කරන කොට. ඔහු මාර පොරක්. එහෙමනේ අපි කියන්නේ. එහෙම මට වඩා ඉදිරියෙන් ඉන්න පිරිසක් එක්ක ඉන්න මම කැමැතියි.

නළුවකු හෝ නිළියක යම් චරිතයකට ආරූඪ වුණාට පස්සේ ඒ රංග භූමිකාව නිකං පැත්තකින් තියලා ගෙදර යන්න බෑ. ඔවුන් කාලයක් ඒ චරිතය ඇතුළේ ජීවත් වෙනවා?

ඔව්, ඒක ඇත්ත.

එතකොට ‘පත්තිනි’ ආදරය දෝරේ ගලන චිත්‍රපටයක්. එකිනෙකා පැණි බේරෙන්න ඹ්ධමඥ කරනවා?

ඇත්තද ආ...

ඇත්තටම උද්දිකට පූජාගෙයි, අරුණිගෙයි ආදරයේ උණුසුම දැනුණේ නැද්ද තරුණයෙක් හැටියට?

එහෙම දැනුණා. හැබැයි ඒ ‘කෝවලන්’ විදිහට. තිර පිටපතේ ඒ දේවල් ඇතුළත් වෙලා තිබ්බා. ඒ හරහා මට තිබුණේ කෝවලන්ට ඒ දේවල් කාවද්ද ගන්න සහ ඒවා කොහොමද රූගත කරන අවස්ථාවේ එළියට දාන්නේ කියන එක. පූජා මම හිතන්නේ සෑහෙන චිත්‍රපට ප්‍රමාණයක රඟපාපු නිළියක්. ඈ විවිධ මට්ටමේ චරිත නිරූපණය කර තිබෙනවා. චිත්‍රපටයට දායක වුණු සියලු නළු නිළියන්ගෙන් තමන්ගේ කාර්යභාරය ඉතා නිවැරදිව ඉෂ්ට වුණා. ඒ නිසා ඒ ප්‍රේමණීය අත්දැකීම බෙදා හදා ගන්න එක මට පහසුවක් වුණා.

මම පළමු වතාවට තමයි කෝවලන් වගේ ආදරවන්තයකුගේ චරිතයක් රඟපෑවේ. ඔහු ආදරය සොයා යන පෙම්වතෙක්. ඇත්තටම ඒ චරිතයට මට ආසා හිතුණා. විශේෂයෙන්ම අරුණිත්, මමත් රඟපෑ ගීතමය ජවනිකා. දැන් හින්දි සිනමාවේ නම් ගීතයක් කිව්වොත් අද ඒකෙ තියෙන්නේ ඉඥය නේ. කොටට ඇඳලා. ඒ ඉරියව් පවා ශෘංගාරාත්මකයිනේ. ඉතින් ඒකනේ අපි මේ වෙන විදිහකට ගේන්නේ. වාණිජ සිනමාවට ඇළුම් කරන ප්‍රේක්ෂකයෝ එය රස විඳිනවා. මම හිතන්නේ ශෘංගාරයත් යම් පමණකට චිත්‍රපටයක තියෙන්න ඕනෑ. එතකොට තමයි ඒක සම්පූර්ණ වෙන්නේ.

හැබැයි මේක ආදරය ගැන කියැවෙන චිත්‍රපටයක්?

ආදරය තියෙන තැන අනිවාර්යයෙන්ම ශෘංගාරයත් තියෙනවානේ. සුනිල් ආරියරත්න වගේ අධ්‍යක්ෂවරයෙක් යටතේ ඒ අවශ්‍ය දේවල්, අවශ්‍ය විදිහට කෙරුණා කියා මම හිතනවා.

අධ්‍යක්ෂවරයා හරි හැටි නළු, නිළියන් මෙහෙයවා නැති බවත් ඔවුන්ගේ රංගනයන් දුර්වල බවක් එක්තරා විචාරකයෙක් පවසා තිබුණා. දැන් ඒ පිළිබඳ ඔබේ දෘෂ්ටිය?

ඕනෑම අධ්‍යක්ෂවරයෙක් හරිහැටි නළු, නිළියන් මෙහෙයවා නැතිනම් එතැන තියෙන්නේ දුර්වල රඟපෑමක්නේ. එතකොට අපි මේ චිත්‍රපටයේ ඉදිරිපත් කරන්නේ දුර්වල රඟපෑමක් නම් පැල් බැඳගෙන මිනිස්සු මේක බලන්න යයිද? එහෙම දුර්වල රඟපෑම් තියෙන චිත්‍රපට ආර්ථික අතින් පාඩු ලබනවා මිසක් ඕධය ර්‍ණටටඪජඥ වෙලා තියෙනවද ඉතිහාසය බැලුවත්. ඒ නිසා ඒ චෝදනාව සීයට සීයක් නිවැරදි නෑ.

කෙසේ වුවත් විචාරකයන් වෙතින් ‘පත්තිනි’ චිත්‍රපටයට ලැබුණේ ධනාත්මක ප්‍රතිචාර නෙවෙයි?

කර්මාන්තයක් හැටියට අපේ සිනමාව තියෙන්නේ හරි දුප්පත් තැනක. බොහොම අමාරුවෙන් තමයි හැම කෙනෙක්ම චිත්‍රපටයක් කරන්නේ. මම හිතන්නේ මේ වෙලාවේ හැමෝම සිනමාව ගැන අවධානය යොමු කරන්න ඕනෑ. මේ වෙනුවෙන් වැඩ කරන්න ඕනෑ. සිනමාව යම්කිසි තැනකට ගේන්න. දැන් අපි හිතමු 60, 70 දසකවල අපේ රටේ සිනමාව බොහොම ඉහළින් තිබ්බනේ. අපි කැමැතියි ආයෙත් ඒ වගේ සිනමාවක් එනවානම්. අපි හරිම කැමැතියි.

කැමැත්ත තිබුණාට ප්‍රයෝගිකව ඕක කරන්න පුළුවන් දෙයක් නෙවේනේ?

ප්‍රායෝගිකව අපට තනියෙක් කරන්න බෑ. හැබැයි හැමෝටම හැම දේටම දොස් කියන්න පුළුවන්. ඕනෑ කෙනෙකුට ඕනෑම දේක අඩුපාඩු කියන්න පුළුවන්. නමුත් මේක හරි තැනකට ගෙනියන්නේ කොහොමද? මේකෙ තියෙන අඩුපාඩු මොනවාද? ඒ අඩුපාඩුවලට අපි කළ යුත්තේ මොනවාද? ඒකට මොකක්ද විසඳුම? අපි මෙහෙම විසඳුමකට එමු. ඇයි අපිට එකට එකතු වෙලා මේවා කතා කරන්න බැරි. අපිට එහෙම අවශ්‍යයි. අපි හරිම හුදෙකලා වෙලා ඉන්නේ. විශේ්ෂයෙන් මේ නළු නිළියන්. රජයක් හැටියටවත් මේ කර්මාන්තය දිහා කවුරුත් ඇහැ ගහන්නේ නෑ. කවුරුත් බලන්නේ නෑ. මේකේ අස්සේ තියෙනවා ප්‍රශ්න කෝටියක්. ඒ ප්‍රශ්න අස්සේ තමයි මෙහෙම හරි සිනමා නිර්මාණයක් ප්‍රේක්ෂකයන් අතරට ගෙන එන්නේ. මිනිස්සු ඉන්නවා අපේ රටේ සිනමාව බලන්න. ඔවුන්ට හොඳ නිර්මාණ දෙන්න ඕනෑ අපි. අපේ කර්මාන්තය තුළ තමයි ඒකට සිස්ටම් එකක් නැත්තේ. අපි අපි තුළම තමයි ප්‍රශ්න තියෙන්නේ. අපි ඒවා තමයි ඉස්සරවෙලා විසඳගන්න ඕනෑ. අපි කර්මාන්තයක් විදිහට මේක එළියට ගේමු. මම කියයන්නේ ඒකයි.

අපේ සිනමාව ඉදිරියට යන්න නම් හැමෝගෙම සහයෝගය අවශ්‍ය බවයි ඔබ කියන්නේ. ඒ කියන්නේ හොඳ ර්‍ථභඵඩ එකක්?

අනිවාර්යයෙන්ම. මොකද අපි සශ්‍රීක සිනමා කර්මාන්තයක් තියෙන අය නෙවේ. දැන් හොලිවුඩ්, බොලිවුඩ් සිනමාවේ එක එක සෙක්ෂන්වලට වෘත්තිකයන් ඉන්නවා. ඔවුන් ඒ වෘත්තීය පිළිබඳ නිපුනතාවක් තියෙන අය. අපි තනියෙන් ඒ දේවල් හොයාගෙන තමයි මේ ගමන යන්නේ. එහෙ අපි හිතමු ඩාන්සින් කොරියග්‍රැෆර් කියලා. ඔහු තමා කැමරමන්ට ඉඩධබ එක කියන්නේ. කැමරමන්ට දාන්න ඕනෑ ඹ්ඥදජඥ එක කියන්නේ. අපේ රටේ එහෙම තත්ත්වයක් නෑ. ස්ටන්ට් ඩිරෙක්ටර් කියන්නෙත් එහෙමයි. ඔහු ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් තියෙන කෙනෙක්. ඔවුන්ට තමන්ගේ ශිල්පය ප්‍රගුණ කරන්න කාලය තියෙනවා. එහෙම කාලය කැප කළාට ඔවුන්ට ප්‍රශ්නයකුත් නෑ.

මොකද ඒ ප්‍රතිලාභ ඔවුන්ට ලැබෙනවා?

ඔව්. ඉතා ඉක්මනින් ඔවුන්ට ක්ෂේත්‍රය තුළ ඒ වෘත්තිය වටිනාකමත් එක්ක වැඩ කරන්න ලැබෙනවා. නමුත් අපේ රටේ එහෙම එකක් නෑ. මේ ක්ෂේත්‍රයේ නියැළිලා ඉන්න කෙනෙකුගේ ජීවිතය අවිනිශ්චිතයි. හෙට මොකද වෙන්නේ? හෙට අපට චිත්‍රපට තියෙයිද නැද්ද? අපි දන්නේ නෑ.

ඔබ වෘත්තීය නළුවෙක්ද?

ඔව්. මම වෘත්තීය නළුවෙක්.

එතකොට ඔබ අවදානමක් දරාගෙන තමයි මේ වගේ ක්ෂේත්‍රයක රැඳිලා ඉන්නේ?

ඔව්. මම කියන්නේ ඒකයි. මේ කර්මාන්තය අපිට ඉතාම අවිනිශ්චිතයි. මේක ශක්තිමක් කරගන්න යෝජනා ඉදිරිපත් කරන්න සහ ඒ වෙනුවෙන් වැඩ කරන්න අවශ්‍යයි.

උද්දික ජනප්‍රිය නළුවෙක්ද?

ඔව්.

කොහොමද එහෙම කියන්නේ?

ජනප්‍රියයි කියන්නේ මොකක්ද?

ප්‍රෙ‍්‍ර්ක්ෂක ආකර්ෂණය හිමි කරගත් කෙනා ජනප්‍රියයි. ඒ කියන්නේ ජනයා ප්‍රිය කරන කෙනානේ?

මට ඒක ලැබෙනවා. මිනිස්සු මට ආදරෙයි. පසුගිය සතිවලත් අපි චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වෙන්න චිත්‍රපට ශාලාවලට ගියා රටේ විවිධ පළාත්වල. ඇත්තටම මම නොහිතපු විදිහේ බොහොම දරුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර මට ලැබුණා. වෙලාවකට මට අමාරුයි ඒක දරා ගන්න. මම දන්නේ නෑ ඒක මම ගැන හිතන අඩු තක්සේරුවක්ද කියලා. මට ඒක හරි පුදුම සහගතයි. මෙච්චරටම මිනිස්සු මට කැමැතිද කියලා. ඇත්තටම මට ප්‍රශ්නයක් තියෙනවා.

ජනප්‍රියත්වය හැමදාම තියෙන දෙයක් නෙවේ?

ඒකේ පැවැත්ම පිළිබඳ අපි දන්නේ නෑ. මොකද මේ සියල්ල අවිනිශ්චිතයි. මේ සියල්ල නැති වෙනවා, සියල්ල තාවකාලිකයි කියන එක අපි දන්නවා. අපි බෞද්ධයෝ හැටියට ඒක නොදන්නවා නෙවෙයි. නමුත් අද වෙන කොට මේ ක්ෂේත්‍රය තුළ මේ කර්මාන්තය ඇතුළේ වගේම ප්‍රේක්ෂකයොත් අපේ නිර්මාණවලට, අපේ චරිතවලට බොහාම ළඟින් ආදරය කරනවා කියලා මට දැනෙනවා.

ඔය ජනප්‍රියත්වය ගිළිහුණු දවසක ඔබට එය දරා ගන්න හැකි වෙයිද?

මම බොහොම පුංචිම තැන ඉඳන් මේ ගමන ආපු කෙනෙක්. මේ වගේ ජනප්‍රියත්වයක්, රසික ආකර්ෂණයක් මම බලාපොරොත්තු වුණේ නෑ කවදාවත්. ඉතින් ඒවා නැති වුණත් සියල්ල උපේක්ෂාවෙන් විඳ දරා ගන්න පුළුවන්කම මට තියෙනවා. මොකද අපිට කිරුළ පළඳින්නෙත්, ඒක ගළවලා දාන්නෙත් මිනිස්සුම තමයි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියූ, විශාරද නන්දා මාලිනිය ගායනා කරන මේ ගීතය අපට පසක් කර දෙන්නේ ඒ ජීවන දහම තමයි.

‘පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි

ඔබට එරෙහි වී නැඟිටින්නේ...’

මේ ගීතයේ හැම වචනයක් පාසාම ඉතා අපූරුවට ඒ යථාර්ථය පිළිබිඹු වෙනවා.

සාමාන්‍යයෙන් ජනප්‍රියත්වය ලැබෙන කොට අපේ අයට පොඩි උණක් එනවා. සමහරු අඩි ගාණක් උඩින් යන්න උත්සාහ කරනවා. මේක නළු, නිළියන්ට, ගායක, ගායිකාවන්ට පොදුවේ නැඟෙන චෝදනාවක්. මේ ටෙලි නාට්‍යයක, දෙකක රඟපාපු නළුවො පවා දාන්නේ ‘පොර’ ටෝක්. අපි අර කියන්නේ ‘ඇඳගෙන ‘ කියලා.

ඔව්.

දැන් උද්දිකටත් එහෙම චෝනා එල්ල වෙලා තියෙනවා?

වෙන්නැති.

එතකොට ඒ චෝදනා පදනම් විරහිතද?

මෙහෙමයි. මාව ඇසුරු කරන කෙනෙක් කවදාවත් ඔය වගේ කතාවක් කියන්නේ නෑ. රටේ දකින, දකින හැමෝටම, හැමෝම මොනවා හරි දෙයක් කියනවානේ. ඒ මතුපිටින් දකින දේ තුළනේ ඒ අදහස ඉදිරිපත් වෙන්නේ. කාගෙ හරි ඔළුවට වැටෙන ප්‍රමාණයත් එක්ක තමයි අදහස් ප්‍රකාශ වෙන්නේ. හැබැයි අපි ළඟට ගිහිල්ලා කතාබහ කළොත්, ඇසුරු කළොත් හොඳ සුන්දර මිනිස්සු තමයි මේ රටේ ඉන්නේ හැමෝම. මම ගැනත් එහෙම එක එක කතා කියනවා මට ඇහිලා තියෙනවා. හැබැයි මාව ඇසුරු කරන අය දන්නවා උද්දික කියන්නේ බොහොම සාමාන්‍ය කෙනෙක්, හෘදයාංගම මිත්‍රයෙක්, හොඳ සහෘදයෙක් කියලා.

ඔබ සිනමාට එක්වුණේ ‘මහින්දාගමනය’ චිත්‍රපටයෙන්. ‘සමනළ සංධ්වනිය’ හැර ඔබට ලැබුණු චිත්‍රපට සියල්ලම ඉතිහාස රැල්ලේ ඒවා. උද්දික ඉතිහාස රැල්ලේම හිර වෙලා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්?

‘මහින්දාගමනය’ට කතා කරන කොට මගේ හිතේ තියෙන්නේ චිත්‍රපටයකට මට කතා කරනවා කියන හැඟීම. සිනමාව. මට ඒක හරි ලොකුයි. රඟපෑම කියන කාරණය තුළ මට සිනමාවද, ටෙලි නාට්‍යයද කියන එක ලොකුවට අදාල වෙන්නෙත් නෑ. හැබැයි මම එතකොට ටෙලි නාට්‍යය නළුවෙක්. චිත්‍රපටයකට මට ආරාධනා ලැබුණා. ඒ අවස්ථාව තමයි ඒ වෙලාවේ මම ලබා ගන්නේ. මට ඕනෑ වුණේ රඟපාන්න. චිත්‍රපටය කුමක්ද කියන එක මට අදාල වුණේ නෑ. අනෙක මම ඒක ප්‍රතික්ෂේප කළා නම් තව කෙනෙක් ඒ අවස්ථාව ගන්නවානේ. දිගින් දිගටම ඉතිහාස චිත්‍රපටවල රඟපාන නළුවෙක් විදිහට ඉන්න මම හිතුවේ නෑ. ඊට පස්සේ මට රඟපාන්න ලැබුණේ ජයන්ත අයියාගේ ‘සමනළ සංධ්වනිය’ චිත්‍රපටය.

මම හිතන්නේ එය ඔබේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක්?

මගේ සිනමා රංගන දිවියේ ලොකුම තැන එතැන තියෙන්නේ. ඒ ගෞරවය සදාකාලිකවම මගේ හිතේ ඔහුට තියෙනවා. ඊට පස්සේ මම රඟපෑවේ ජයන්ත අයියාගේ මහරජ ගැමුණු චිත්‍රපටයේ, වෙන කාගෙවත් නෙවෙයි ජයන්ත චන්ද්‍රසිරිගේ මහරජ ගැමුණු. ඊට පස්සේ සුනිල් ආරියරත්නගේ ‘පත්තිනි’. ඒ සුනිල් ආරියරත්න. ෆ්‍රොෆෙසර් සුනිල් ආරියරත්න. මේ එක් කෙනෙක්වත් නිකං කෂඩ චිත්‍රපට අධ්‍යක්ෂවරු නෙවේ. සිනමා ක්ෂේත්‍රයේ ලොකු වැඩ කරපු, ලොකු වපසරියක් තියෙන පුද්ගලයෝ. ඉතින් ඒගොල්ල ඉතිහාස කතා ද මොනව ද කරන්නේ කියන එක මට අදාල නෑ. ඒගොල්ලන්ගේ දැවැන්ත ප්‍රතිරූප එක්ක වැඩ කිරීම තමයි මම හිතන්නේ ඒ මොහොතේ මගේ තියෙන වැදගත්කම. කර්මාන්තයක් විදිහට මේ චිත්‍රපට හැම එකක්ම ආදායම් වාර්තා බිඳිනවා නේ. ඒ තුළත් අපි සාර්ථකයි.

මේ වෙනකොට ඔබ සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩ නඟා ගනිමින් සිටිනවා. ඇයි තාමත් මේ කසි කබල් ටෙලි නාට්‍යවල රඟපාන්නේ?

මම එහෙම එකම කසිකබල් ටෙලි නාට්‍යයකවත් රඟපාලා නෑ.

ඒ ඔබේ තේරුම් ගැනීමට අනුව?

ඔව්. මම රඟපාපු කිසිම ටෙලි නාට්‍යයක් කසිකබල් ගණයේ නෙවෙයි. අපි උදාහරණ විදිහට ගත්තොත් ‘අළුපාට හීන’, ‘බොඳ මීදුම්’, ‘ඉතිං ඊට පස්සේ’, ‘හෝපළු අරණ’, ‘කළු අරලිය’, ‘මුතු පලස’, ‘කප් සුවහස් කල්’ මේ සියලු ටෙලි නාට්‍යවල මා රඟපාපු චරිත සියල්ල මම හිතන්නේ ප්‍රේක්ෂකයෝ බොහොම ආදරයෙන් වැළඳ ගත් චරිත. ඒ ගැන මා සතුටු වෙනවා විනා කනගාටු වෙන්නේ මොකටද?

නෑ, මේ කිසිම ටෙලි නාට්‍යයක ඔබේ රංගනය ගැන මට අවුලක් තිබුණේ නෑ. මම කතා කළේ අවර ගණයේ නිර්මාණ ගැන?

අපට විවිධ ප්‍රවනතාවලට යට වෙන්න වෙනවා. නමුත් අපි හිතමු කසිකබල් ටෙලි නාට්‍යයක වුණත් රංගනය තුළින් අපට පුළුවන් ඒ කසිකබල් ගතිය නැති කර දාන්න. මගේ චරිතය කොහොමද මම ප්‍රේක්ෂකයන් අතරට ගෙනියන්නේ, මේ නිර්මාණය ඇතුළේ තියෙන එක තමයි අපි හිතිය යුත්තේ රංගන ශිල්පීන් විදිහට. එතකොට කසිකබල් ටෙලි නාට්‍යයකට වුණත් මම හිතනවා අපට හොද වටිනාකමක් ගේන්න පුළුවන් කියලා. මොකද අපේ චරිත හරියට ප්‍රේක්ෂකයා අතරට ගෙනිච්චොත් ඒක කවදාවත් කසිකබල් වෙන්නේ නෑ.

‘සමනළ සංධ්වනිය’ නැරඹූ එක්තරා නිළියක් මට පැවසුවේ උද්දික ඇස් දෙකෙන් රඟපාන නළුවෙන් කියලා. සාත්වික අභිනයන් පිළිබඳ නළුවෙක් හැටියට ඔබ දන්වානේ. ඒත් ‘ඇස් දෙකෙන් රගපාන නළුවෙක්’ කියන එක වෙනස්ම අර්ථකථනයක්?

ඒ චරිතය ඇත්තෙන්ම ඇතුලාන්තයෙන් කඩා වැටිච්ච ආදරයේ අමිහිරි වේදනා ලබන පුද්ගලයෙක්නේ වාදිෂ කියන්නේ. හරිම සංවේදී මිනිසෙක්. ඒක තමයි එයා පොඩි කාලේ දැකපු සිහිනෙකට එච්චර සැලෙන්නේ. සාමාන්‍යයෙන් මේ අපි එහෙම වෙන්නේ නෑ. අපි ඒක දන්නවා. නමුත් වාදීෂගේ අති සංවේදීකම තුළ ඔහුගේ අනාගතයම අඳුරු වෙනවා. හැබැයි ඔහු, ඔහුගේ නිර්මාණ කාර්යයේ යෙදෙනවා. ඒ වේදනාව තුළ තමයි ඒ නිර්මාණ බිහි වෙන්නේ. ඒ කඩාවැටීම කතා කරන්න වෙන්නේ මං හිතන්නේ ඇස්වලින් තමා අපිට.

හොඳයි අවසන් වශයෙන් අපි කතා කරමු ඔබේ නවතම චිත්‍රපටය ‘ආලෝකෝ උදපාදී’ ගැන. ‘ගැමුණු රජු’, ‘වළගම්බා රජු’ ලෙස ප්‍රේක්ෂකයන් අතරට එන මොහොත තමයි ඒ,?

ඔව්. මේ අවුරුද්දේ අග හෝ ලබන අවුරුද්දේ මුල චිත්‍රපටය ප්‍රදර්ශනයට එක් වෙයි. චත්‍ර වීරමන් කියන අලුත් අධයක්ෂවරයාගේ කුලුඳුල් චිත්‍රපටය මේක. චත්‍ර චිත්‍රපට අධ්‍යක්ෂ සමන් වීරමන් මහතාගේ පුත්‍රරත්නය. ඉතින් ඔවුන් එක්ව හොඳ නිර්මාණයක් කළ බව තමයි මගේ හැඟීම. චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයට ඉතා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ‘ආලෝකෝ උදපාදි’ තිරගත වූ පසු අපි ‘වළගම්බා රජු’ ගැන කතා කරමු.