වර්ෂ 2016 ක්වූ ජූලි 07 වැනිදා බ්‍රහස්පතින්දා




එයා මගේ මිණිබිරිය වගේම හොඳම ගෝලයෙක්

එයා මගේ මිණිබිරිය වගේම හොඳම ගෝලයෙක්

විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන

පුංචි කාලේ ඉඳලා දැක්කේ ඇහුවේ අපේ ආච්චි සින්දු කියන හැටි

දුල්ෂාරා දසන්ති

බෝනික්කෝ වටකරගෙන පුංචි දෝණි බර වැඩක්. සෙල්ලම් ඉස්කෝලයක් දාල ද කොහේද? සාලේ මැද්දෙ ඉඳගෙන බෝනික්කන්ට උගන්වනවා. දෝණිගේ තනියට සාලෙ කෙළවරේ රූපවාහිනියත් දාලා. වරින්වර ඇහෙන සින්දු දිහාත් දෝණි බලාගෙන ඉන්නේ උනන්දුවකින්.

'අන්න ආච්චි අම්මා . . .'

එකපාරටම බෝනික්කෝ ටික පැත්තට විසිකරපු දෝණි රූපවාහිනිය ළඟ දෑස් දල්වගෙන. තිරය පිරෙන්නම ආච්චි අම්මගේ ආදරණීය මුහුණ. කන්දෙක පිරෙන්නම ආච්චි අම්මගේ මියුරු කටහඬ. දෝණිට ඉන්න තැනත් මතක නෑ. සින්දුව දන්නෙ නැති වුණත් බොරු වචන දාලා හරි හරියට ආච්චිත් එක්කම සින්දුව කියනවා.

ආච්චි අම්මත් මිණිබිරියගේ දක්ෂකම් දිහා බලාගෙන හිටියේ හිතේ සැඟවුණු පුංචි ආඩම්බරයකින්. මේ පරම්පරාවෙන් ඇයට ලැබුණු සැබෑ හැකියාවක්.

ආච්චිත් හිතුවා. එහෙම හිතලා ආච්චි නිකම් හිටියෙත් නෑ. පුංචි මිණිබිරී ළඟට කරගෙන සරිගමපා ඉගැන්නුවා. දැන් මේ පුංචි දෝනි නව යෞවනියක්.

මේ ආදරණීය ආච්චි අම්මා විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන. මිණිබිරිය දුල්ෂාරා දසන්ති.

දෙන්නම අපිට මුණ ගැහෙන කොටත් ආච්චිට තුරුල්වෙලා මොනවාදෝ මුමුනමින් හිටියා. සින්දුවක් වෙන්නැති.

විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන අපේ සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණතම සංගීත ශිල්පිනියක්. මෙරට සරල ගී ක්ෂේත්‍රයේත්, චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රයේත් ඇගේ හඬ අමරණීයයි. ගායිකාවකගෙන් එහා ගිය තැන ඈ මෙරට සුවහසක් සිසු සිසුවියන්ට සංගීත ඥානය ලබා දෙන ආදරණීය ගුරු මවක්. මේ ආච්චි අම්මයි, මිණිබිරියයි අපේ කතානායිකාවන් වෙන්නේ සුවිශේෂ හේතුවක් නිසා.

චන්ද්‍රිකා සිරිවර්ධන පරපුරේ තුන්වැනි පරම්පරාව ගායන ලොවට පිවිසීමේ සොඳුරු මොහොත වෙනුවෙන්. (හරි නම් මේ සිව් වැනි පරම්පරාව. චන්ද්‍රිකාග් මව ශ්‍රීමති කරුණාදේවි අපේ ජනප්‍රිය ගායිකාවක්) දුල්ෂාරා චන්ද්‍රිකා සිරිවර්ධනගේ පුතුගේ දියණියයි. ඇගේ ප්‍රථම මියුසික් වීඩියෝව ජූලි 01 දා දොරට වැඩියා.

'දුල්ෂාරා පුංචි කාලේ ඉඳන්ම සංගීතයට කැමැත්තක් තිබුණා. මම සින්දු කියනකොට මෙයයි, මෙයාගේ අයියයි දෙන්නම බලාගෙන ඉන්නවා. සමහර සින්දුවල වචන දන්නෙ නැති නිසා බොරු වචන දදා කියනවා. ගායනයට උපන් හැකියාවක් තියෙන නිසා මම එයාට සංගීතය උගන්වන්න ගත්ත. එයා මගේ මිණිබිරීය වගේම හොඳම ගෝලයෙක්. දැන් එයා සංගීත විශාරද විභාගය කරලා ඉන්නේ. ඉදිරියේදී සංගීත් නිපුන් විභාගයට පෙනී සිටින්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. විශාරද විභාගයෙන් එයා විශිෂ්ට සාමාර්ථයක් දිනා ගත්තා. එයාට තිබුණු උපන් හැකියාව ඔප මට්ටම් කරලා ඉදිරියේදී ගීත ක්ෂේත්‍රයේ ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. ආච්චි අම්මා සිය මිණිබිරිය ගැන කිසියම් වූ අභිමානයකින් පැවසුවා.

'සිතුවම් බොඳවීලා - ආදරේ කඳුළකින් සේදිලා
සඳකින් වෙන් වෙලා ඉන්න බෑ
තරුවකට තනි වෙලා

හිතක් මේ හැටි දුක් වේවී
ඔබත් නැති හැටි ළං වෙවී
ගැයුවා මා ඇසුණාදෝ
වේදනා ගීතිකාවෝ . . .'

දුල්ෂාරා සිය ප්‍රථම මියුසික් විඩියෝවට ගැයුවා. සින්දුව ලිව්වේ දුල්ෂාරාගේ ආදරණීය නැන්දා, ජිතේන්ද්‍රිකා ජයකලණි අල්විස්. ගී තනුව දෙනුවන් පෙරේරාගේ. සංගීත සැකසුම දුලිප් මිරැන්ඩෝගේ. වීඩියෝ අධ්‍යක්ෂණය ජගත් කරුණාජීවගෙන්.

'මට මේ අවස්ථාව ලැබුණේ මගේ හොඳම මිතුරියක වන කවින්ද්‍යා අධිකාරි නිසා. මේ මියුසික් ඊපචජඬ එක මුලින්ම ලැබුණේ ඇයටයි. ඇය තමයි ඒක මට වඩාත් සුදුසුයි කියලා මා වෙත යොමු කළේ. මම සංගීත පරපුරක් උරුම කරගෙන උපදින්න තරම් වාසනාවන්ත වුණා. පුංචි කාලේ ඉඳන්ම මම දැක්කේ, ඇහුවේ අපේ ආච්චි අම්මා සින්දු කියන හැටි. ළමයින්ට සංගීතය උගන්වන හැටි. ගෙදර ඉඳගෙන එයාගෙන්ම සංගීතය ඉගෙන ගන්න ලැබීම මම ලබපු භාග්‍යයක්. පුංචි කාලේ මම නැටුම් සංගීතය දෙකම කළා. කථකලි නැටුම් ර්‍ථචපබ 1 දක්වා ඉගෙන ගත්තා. ආච්චි අම්මාගෙන් ශාස්ත්‍රීය ගායනය මම ඉගෙන ගත්තේ බොහොම ආශාවෙන්. මීට කලින් මම ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන් සමඟ ගීතයක් ගායනා කරලා තිබෙනවා. ඉදිරියේදී ඒකත් දැකගන්න ලැබෙයි. මේ මියුසික් වීඩියෝ සඳහා මට උදව් කරපු මගේ මාම චන්දුම රණසිංහ, ධනුෂ්ක හේමාල්, සමන් දුමින්ද, සුමුදු සිත් රුවන්, දේවි සරස්වති ඇතුලු සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙන්න ඕනෑ.

දුල්ෂාරා මිට ප්‍රථම අමරදේව ශූරීන් සමඟ ගායනා කළ ගීතය රචනා කර ඇත්තේ සමන් චන්ද්‍රනාත් වීරසිංහ විසින්. සංගීතය නිර්මාණය කර ඇත්තේ චන්ද්‍රිකා සිරිවර්ධන විසින්. දුල්ෂාරාගේ අයියා දෙවින් නේලක ද අල්විස්ටත් හොඳින් ගීත ගායනා කරන්න පුළුවන්. ඔහු මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. ඉස්සරහට අයිියගෙයි නංගිගෙයි ගීතත් අපට අහන්න ලැබෙයි.

ඇයි එතකොට ආච්චිගෙයි මිණිබිරියගෙයි ගීත?

ළඟදීම ඒවත් අහන්න ලැබෙනවලු.

දුල්ෂාරා මේ වන විට ට්චබඥඹචර ට්පචඤභචබඥ ඉජඩධධත හි ව්‍යාපාර කළමනාකරණය ඉගෙන ගනිමින් සිටිනවා. ඒත් ඇගේ බලාපොරොත්තුව සංගීතය පැත්තෙන් ඉදිරියට යන්නයි.

දුල්ෂාරාගේ තාත්තට වගේම නැන්දා ජයකලණිටත් ගායන හැකියාව තිබෙනවා. ඒත් ඒ දෙන්නම ඒ පැත්තෙන් ඉදිරියට යන්න උනන්දු වුණේ නෑ.

'මගේ දරුවෝ දෙන්නා සංගීතය පැත්තෙන් ඉහළට ගියා නම් මම ආසයි. ඒත් දෙන්නම ඒකට එච්චර උනන්දු වුණේ නෑ. දෙන්නටම හැකියාව නැතුවා නෙවෙයි. මම ඒ දෙන්නට බල කරන්න ගියෙත් නෑ. ඒත් මගේ තුන්වෙනි පරම්පරාව දැන් ඒක ඉස්සරහට ගෙනියන්න සූදානම් වෙලා ඉන්නවා. ඒකට මට සතුටුයි. දුල්ෂාරා ශාස්ත්‍රීය ගායනයට හරි දක්ෂයි. පහුගිය අවුරුද්දේ සුජාතා අත්තනායක මහත්මිය සංවිධානය කළ ශාස්ත්‍රීය ගායන ප්‍රසංගයේදී දුල්ෂාරාගේ ගායනය කාගේත් කතාබහට ලක් වුණා.

ආච්චි අම්මගෙන් ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගන්න මිණිබිරීගේ දක්ෂතා ගැන කවර කතාද? ලේ උරුමයෙන්, ජාන වලින්ම ඇයටත් ඒ හැකියාව ලැබෙන්න ඇති. විශාරද ආච්චි අම්මට විශාරද මිණිබිරියක්. මේ දෙන්නගේ සුසංයීගයෙන් ඉදිරියේදී තව නිර්මාණත් බිහිවේවි.