වර්ෂ 2016 ක්වූ ජූලි 07 වැනිදා බ්‍රහස්පතින්දා




ටොරිංටන් එකෙන් හමු වූ ජිම් බ්‍රවුන්

ටොරිංටන් එකෙන් හමු වූ ජිම් බ්‍රවුන්

මා විවාහ වුණේ 1975 වසෙර්ය. බිරිඳ සමඟ ගාල්ලේ උණවටුනේ සංචාරක හෝටලයක දින කිහිිපයක් ගත කොට අවිස්සාවේල්ලේ කළුඅග්ගල සීතාවක රජයේ පාසලට ගියේ සුමිත්‍රා පීරිස් හාපුරා කියා අධ්‍යක්ෂණය කරන 'ගැහැනු ළමයි' චිත්‍රපටයේ රූගත කිරීම් බැලීමටය. මගේ බිරිඳ චිත්‍රපට රූ ගත කිරීම් ඊට පෙර දැක නොතිබූණාය. ලෙස්ටර් හා සුමිත්‍රා යුවළ අප පිළිගත්හ.

'කොච්චර එකක්ද? අලුත් ජෝඩුව හාපුරා කියලා මෙහේ ආපු එක' සුමිත්‍රා මහත්මිය කීවේ හද පිරි සතුටිනි.

'මිසිස් පීරිස් මම විශේෂයෙන්ම ආවේ 'ගැහැනු ළමයි' ගැන විශේෂාංගයක් 'සරසවිය'ට ලියන්නත් එක්කලා'.

අපි දහවල් සිට හවස් වනතුරුම රූප ගත කිරීම් බැලුවෙමු. චිත්‍රපටයට තෝරා ගෙන තිබුණේ නව යොවුන් වියේ සිටි පිරිසකි. අජිත් ජිනදාස, වසන්ති චතුරානි, ශ්‍යාමා ආනන්ද, පද්මසේන අතුකෝරාල, සිරිල් කොතලාවල, ජයන්ති රොඩ්රිගෝ, නිමල් දයාරත්න කුරුවිට බණ්ඩාර, දත්තලා වීරසිංහ, සුසිලා පෙරේරා, තමෝජා දිල්හානි, ඉන්ද්‍රානි අබේවර්ධන මේ පිරිසට ඇතුළත් වුහ. සහාය අධ්‍යක්ෂක වී. උපාලි පෙරේරා, කලා අධ්‍යක්ෂ හේමපාල ධර්මසේන හා කැමරා ශිල්පී එම්. එස්. ආනන්ද අපේ මිතුරන් වූහ.

හවස් වී ගෙන එන විට රඟපෑ නළු නිළියන් හා කාර්මික පිරිස ද කළුඅග්ගල අසල විශාල ගෙවල් දෙකක නවාතැන් ගත්හ.

ලෙස්්ටර් හා සුමිත්‍රා යුවළ කොළඹ බලා පිටත් වීමට සූදානම්ය.

'අලුත් ජෝඩුවට කොළඹ යන්නම ඕනෑද? අපේ බොරළුගොඩ මහ ගෙදර දවස් දෙක තුනක් ඉඳලා යන්න. එහෙ හරි නිදහස්. වැඩට ඉන්න අය අවශ්‍ය දේ පිළියෙල කරල දෙයි. අපි ඒ අයට කියලා තියෙන්නේ. ඔය දෙන්න හැර වෙන කවුරුත් එහෙ නෑ.' සුමිත්‍රා මහත්මිය අපෙන් ඇසුවාය.

'ඔන්න ඔයගොල්ලන්ට හොඳ චාන්ස් එකක්. පිලිප්, රොබට්, සුමිත්‍රාගේ තාත්තා උපන් මහ ගෙදර ඔය දෙන්නට නිදහසේ ඉන්න පුළුවන්. අපි හෙට ඇවිත් ලොකේෂන් එකට එක්ක යන්නං' එවර කතා කළේ ලෙස්ටර් මහතාය.

කුඩා කාලයේ සිට මගේ ප්‍රියතම දේශපාලනඥයා වූයේ පිලිප් ගුණවර්ධනය. ඔහු උපන් බොරළුගොඩ මහ ගෙදර දවස් දෙක තුනක් නැවතීමට අවස්ථාව ලැබීම භාග්‍යයක් නොවේද? අපි සතුටින් ඒ ආරාධනය පිළිගත්තෙමු. බොරළුගොඩ ගෙදර මහ ගෙදර සිටි සහායකයෝ අපිට උපරිම ආගන්තුක සංග්‍රහ කළහ.

'අපිට නෝනයි, මහත්තයයි කිව්වේ මේ මහත්තයයි, නෝනවයි හොඳට බලාගන්න කියලා' බොරළුගොඩ මහ ගෙදර වයෝවෘධ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් කීවේ සිනාසෙමිනි.

පසුදා උදේ අපි යළිත් රූප ගත කරන පාසලට ගියෙමු. මගේ බිරිඳ සමඟ වසන්ති, ශ්‍යාමා ඇතුළු පිරිස කුලුපඟ වූහ. ඒ අතරින් දමයන්තිගේ හොඳම මිතුරිය වූයේ ශ්‍යාමා ආනන්දය. ශ්‍යාමාගේ පියා චිත්‍රපටයේ කැමරා ශිල්පී එම්. එස්. ආනන්ද (මෑතක දී මියගිය) මෙන්ම මව වූ වයලට් ආනන්ද හා අපේ සමීප ඇසුරට වසර 40 ක් සපිරී ඇත. ආගන්තුක සත්කාරය අතින් වයලට්, ආනන්ද යුවළ ඉහළ තැනක සිටියහ. තම චිත්‍රපට ජීවිතයේ රස මුසු අවස්ථා ආනන්ද මට විස්තර කර ඇත.

පසුදා කළුඅග්ගල රජයේ පාසලට ගිය අපට එහි සිටි මිත්‍ර පිරිස සමඟ තව දින දෙක තුනක් ගත කිරීමට සිතුණි. 'ගැහැනු ළමයි' චිත්‍රපටයේ එන විජයලතාගේ චරිතයට ඒ වනවිට කිසිවෙකු තෝරාගෙන නොතිබුණි. විජයලතා තරමක සැර, උද්දච්ච චරිතයකි. කතාවේ හැටියට ප්‍රධාන චරිත වු නිමල්ගේ (අජිත් ජිනදාසගේ) ඥාති සොහොයුරියකි. එමෙන්ම ඇය කුසුම්ගේ (වසන්ති චතුරානි)ගේ පන්තියේ සිටින නපුරු ශිෂ්‍යාවකි. මේ චරිතය ගැන සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂවරිය, ධර්මසේන, වී. උපාලි පෙරේරා හා එරල් කෙලී සමඟ කතාබහ කරනු අපට ඇසිණි.

'මේ චරිතයට අපි දමයන්ති තෝර ගනිමුදැයි' හිටි හැටියේ කලා අධ්‍යක්ෂ හේමපාල ධර්මසේන අධ්‍යක්ෂවරියගෙන් ඇසුවාය.

'මොකද කියන්නේ දමයන්තිව දෙනවද රංජිත් විජයලතාගේ චරිතයට. දර්ශන තුනයි තියෙන්නේ. හැබැයි නපුරු චරිතයක්' සුමිත්‍රා මහත්මිය මගෙන් ඇසුවාය.

ඒ වන විට දමයන්ති සමඟ වසන්ති, ශ්‍යාමා, ජයන්ති, අජිත්, පද්මසේන, සිරිල්, ඉන්ද්‍රානි, මිතුරුව සිටි නිසා මේ යෝජනාවට දිරි දුන්හ.

'දමයන්ති රඟපාන්න කැමැතියි කියන්න' ශ්‍යාමා බල කර සිටියාය.

'මට රඟපාන්න පුළුවන් වේවිද?' දමයන්ති අදිමදි කළාය.

එරල් කෙලි දමයන්තිට සරිලන පාසල් නිල ඇඳුමක් රැගෙන ආවේය. චිත්‍රපටයේ ඇඳුම් පැලඳුම් භාරව සිටියේ ඔහුය.

'ඔයාට මේ යුනිෆෝම් එක හරියට හරි, එන්න ගිහින් බලන්න' සුමිත්‍රා මහත්මිය දමයන්ති කැටුව ගියාය.

අප විවාහ වන විට දමයන්ති දහ නව වැනි වියේ පසු වූවාය. ඇය පාසල් නිල ඇඳුම ඇඳ වෙස් ගන්වා එන විට පාසල් යන යුවතියක ලෙසම සිටියාය.

'ලෙස්ටර්, දමයන්ති රේඩියෝ සිලෝන් එකේ චිල්ඩ්රන්ස් ඩ්‍රාමාවල රඟපාලා තියෙනවලු. ඒ නිසා ඩයලොග් ගැන බය වෙන්න දෙයක් නැහැ' සුමිත්‍රා මහත්මිය ලෙස්ටර් මහතාට කීවේය.

'මම මේ ගොල්ලන්ගේ වෙඩිං එකට ගියාමත් හිතුවා දමයන්ති පුංචි කෙල්ලෙක් කියලා' සුමිත්‍රා මහත්මිය ඊට සතියකට පමණ පෙර අපේ විවාහ උලෙළට සහාය වූ අවස්්ථාව සිහිපත් කළාය.

දමයන්ති, පන්ති කාමරයේ දර්ශනවල රඟපෑවාය.

'හිතුවාටත් වඩා ඔයා හොඳට රඟපෑවා' ලෙස්ටර් මහතා දමයන්තිට ප්‍රශංසා කළේය.

දමයන්ති රූපගත කිරීම් නැති අවස්්ථාවන්හි මිතුරු මිතුරියන් පිරිවරා ගීත ගැයුවාය. දින හතරක් දර්ශන තලයටත්, හවසට බොරළුගොඩ මහ ගෙදරටත් ගොස් නැවත අප කොළඹ එන විට මිතුරු පිරිස අපට සමු දුන්නේ හද පිරි ශෝකයෙනි.

එකල ගුවන් විදුලි සංස්ථාව අසල තිබූ ගොඩනැඟිලි දෙපාර්තම්න්තුවේ මා දන්නා හඳුනන බොහෝ දෙනක් වූහ. චිත්‍රපට නළු සෝමසිරි දෙහිපිටිය වැඩ කළේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවේය. ගොඩනැඟිලි දෙපාර්තමේන්තුවේ යතුරු ලියන්නෙකු ලෙස සේවය කළ එක්තරා තරුණයෙක් මා සමඟ සිනාසුණේය. කාල වර්ණ දේහයකින් යුතු ඔහුගේ හිසකේ කැරලි සහිතය. බටහිර චිත්‍රපටවල රඟපෑ ජිම් බ්‍රවුන් ඔහු දකින විට මට සිහිවෙයි. ඔහු දෙතුන් දිනක් මුහුණට මුහුණ හමු වී ඇතත් අප සිනාසුණා මිස කතා කර නැත. එදා රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ කැන්ටිමට තේ එකක් බීමට ගිය මට අහම්බෙන් ඔහු හමු විය. 'චිත්‍රපටයක රඟපාන්න කැමති නැද්දැයි' මම නිකමට ඇසුවෙමි.

'මොකද නැත්තේ? අවස්ථාවක් ලැබුණොත් රඟපානවා' ඔහු කීය.

'ඔයා හරියට ජිම් බ්‍රවුන් වගේ' මම කීවෙමි.

ඔහු අහිංසක ලෙස සිනාසුණේය.

'තේ එකක් බොමුද?' ඔහු ඇසීය.

'මම ආවෙත් තේ එකක් බොන්න. යමු.'මම ඔහු ගැන තොරතුරු විමසීමි.

ඔහුගේ නම විරක්කොඩි පතිරන්නැහැලගේ දොන් තියඩෝර් රිචාඩ් වීරක්කොඩිය. ගම කුරුණෑගලය. කුරුණැගල ශාන්ත ආනා විද්‍යාලයෙන් ඉගෙනුම ලබා ඇත.

'ඔයාට මම චිත්‍රපටයක රඟපාන්න චාන්ස් එකක් අරං දෙන්නං. මේ දවස්වල මගේ යාළුවෙක් 'හතර වංසේ හතර දෙනෙක්' කියලා ෆිල්ම් එකක් කරනවා. අධ්‍යක්ෂණය කරන්නේ අලුත් කෙනෙක්. කුමාර් ගොඩගම කියලා. චිත්‍රපටයේ වොලී නානායක්කාර, සේනාධීර රූපසිංහ, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ප්‍රධාන චරිත රඟපාන්නේ. මම ඔයාට ඒ ගොල්ලෝ එක්ක රඟපාන්න අවස්්ථාවක් ලබා දෙන්නම්

'මරුනේ. හොඳ කට්ටිය'

රිචාඩ් ගැන මම අධ්‍යක්ෂවරයාට තොරතුරු කීවෙමි. උස්වැටකෙයියාව පැත්තේ රූගත කිරීම්වලට ඔහු සහභාගි විය. ඔහු කාගේත් සිත් ගත් අයෙක් විය. 'හතර වංසේ හතර දෙනෙක්' අතරමඟ නතර විය.

ඔයාට තියෙන්නේ දිග නමක්. රිචාඩ් වීරක්කොඩි නමින් කලා ලෝකයට එන්න. අතරමග නතර වුණු චිත්‍රපටය ගැන හිත නරක් කරගන්න එපා. මම ඔයා ගැන සේන සමරසිංහට කියන්නම්. ඔයා සේනගේ චිත්‍රපට බලලා තියනවාද?

'ඔව්. කස්තුරි සුවඳ දැකලා තියනවා. මරු සින්දු සෙට් එක' රිචාඩ් කීවේය'.

'සදහටම ඔබ මගේ' චිත්‍රපටයේ නිෂ්පාදක ලෙස සිනමාවට එක් වූ සේන සමරසිංහ කෑගල්ලේ ප්‍රකට ව්‍යාපාරියෙකි. ඔහුට රඹුක්කන තෙල් මෝල් කිහිපයක් විය. සෝමපාල ලීලානන්ද හා මිල්ටන් ජයවර්ධනගේ මාර්ගයෙන් සේන මට හැඳුනා ගැනීමට ලැබිණ. සේන මා හා වඩාත් මිත්‍ර වූයේ ගාමිණී ෆොන්සේකා නිවසේදී අප කිහිප වරක්ම හමු වීම නිසාය. සේන හාපුරා කියා අධ්‍යක්ෂණය කළ 'කස්තුරි සුවඳ' චිත්‍රපටයට මා සරසවිය පත්තරෙන් හැකි හැම උපකාරයක්ම කළෙමි.

සේන තම අලුත් චිත්‍රපටය වූ 'නිල්ල සොයා' චිත්‍රපටයට සැලසුම් කරමින් සිටියේය. ඔහු කෑගල්ලේ සිට කොළඹ පැමිණි විට නතර වන්නේ තිඹිරිගස්යායේ සිරිපා පාරේ නිවසකය. එය සමරසිංහ ෆිල්ම්ස් සමාගමේ ප්‍රධාන කාර්යාලය විය. දිනක් මට අහම්බෙන් මෙන් සේනගේ චිත්‍රපටවල කැමරාව මෙහෙය වන ඩැනී ඩබ්ලිව් පතිරණ ගුවන් විදුලිය අසලදී හමු විය. තොරතුරු කතා කිරීමෙන් පසු ඩැනී මට මෙසේ කීය.

'මම සේනගේ අලුත් ෆිල්ම් එකේ තිර නාටකය ටයිප් කරන්න කෙනෙක් සොය සොයා ඉන්නේ'

'හරි. ඩැනී මම හොඳම මිනිහෙක් ඉන්නවා. හඳුන්වලා දෙන්නම්'

'වැඩේ ඉතාම හදිස්සියි'

'හැබැයි එක කොන්දේසියක්, මිනිහා චිත්‍රපටවල රඟපාන්න ආසාවෙන් ඉන්නේ. රඟපාන්න චාන්ස් එකක් දුන්නොත් මිනිහ උනන්දුවෙන් ඕක ටයිප් කරලා දේවි. මිනිහා හරියට ජිම් බ්‍රවුන් වගේ පෙනුම'

'මරුනේ අද හවස සේන රඹුක්කන ඉඳලා එනවා. රන්ජිත් එයත් එක්ක තිඹිරිගස්යායට එන්න'

ඩැනී ගිය පසු මම කෙළින්ම රිචාඩ් සොයා ඔහු වැඩ කරන ගොඩනැඟිලි දෙපාර්තමේන්තුවේ කාර්යාලයට ගියෙමි. මම කාරණය කිවෙමි.

රිචාඩ් එක පයින් සතුටු විය.

මම රිචාඩ්ව සේනට හඳුන්වා දුනිමි.

'කවද්ද ඉඳල ද වැඩේ කරන්න පුළුවන්' සේන රිචාඩ්ගෙන් ඇසීය.

'සේන මහත්තයා දැන් ඉඳලම පටන් ගම්මු. මම වේදිකා නාට්‍ය පිටපත් නං ටයිප් කරලා තියෙනවා'

'මම කියලා දෙන්නම් කරන විදිහ' සේන උපදෙස් දුන්නේය.

'මට ඩැනී කිව්වා රිචාඩ් රඟපාන්න කැමතියි කියලා. මේකේ චරිතයක් තියෙනවා ඔයාට ගැළපෙන. රන්ජිත් මගෙන් කරපු ඉල්ලීම කොහොමටවත් අහක දාන්න බැහැ' සේන නැවතත් කීවේය.

රිචාඩ් සේනගේ ගෙදර නතර විය. මම සතුටින් ගෙදර ගියෙමි.

රිචාඩ් සේනගේ තිර නාටකය රාත්‍රී පහන් වන තුරු ටයිප් කොට තිඹිරිගස්යායේ සිට ටොරිංටන් කාර්යාලයේ වැඩට ගොස් ඇත. ඉන්පසු රිචාඩ් දිගටම නවතැන් ගත්තේ සේනගේ ගෙදරය. 'නිල්ල සොයා රිචාඩ් චරිතයක් රඟපෑවේය. සේනගේ සෑම චිත්‍රපටකම ඉන් පසු ඔහු රඟපෑවේය. නිල්ල සොයා, ආශා දෑසින්, මල් කැකුළු, චංචල රේඛා, ඈතින් ඈතට, යළි හමු වෙන්නයි, සිංහ පැටව්, බඹර කලාපෙ මේ චිත්‍රපටය. ඔහු ඉතා ඉක්මනින් චිත්‍රපට චරිතාංග නළුවෙක් වූයේය. විදේශීය චිත්‍රපටවලද රඟපෑ ඔහු උතුමාණනි, තවලම, චන්දිරා, හිම කතර, ස්ත්‍රී, චණ්ඩියන්ගෙත් චණ්ඩියා, අහිමි දඩමං, සෙයිලම, තහනම් ගහ, පුර සක්මන, සුදු කළුවර ඇතුළු චිත්‍රපට රැසක ද රඟපෑවේය. එපමණක් නොව පුංචි තිරයේ ද රිචාඩ් කුසලතා පෙන් වීය. දඩයම, බෝගොල සව්න්දිරිස්, ඒ-9, සත්‍යා ඔහු රඟපෑ ටෙලි නාට්‍ය කිහිපයක නම්ය. සහාය අධ්‍යක්ෂවරයකු ලෙස ද ඔහු ප්‍රකටය. සිනමාවේ ඔහු ආ ගමන ගැන සිතන විට රිචාඩ්ට වඩා ඔහුගේ කලා ජීවිතය ගැන සතුටු වන්නේ මාය. ඔහු නිහතමානී, කළගුණ දන්නා අව්‍යාජ මිනිසෙකි. මා විවාහ වූ දවසේ මඟුල් ගෙදර බර කරට ගනිමින් මුළු දවසම මට සොහොයුරෙකු මෙන් සහාය වූයේ රිචාඩ්ය. එය මට කිසිදා අමතක නොවේ.

පසුගිය සතියේ මේ ලිපිය ලියද්දී අතපසුවීමක් ද සිදු විය. ඒ අබේවර්ධන බාලසූරිය ගැයූ පියාණෙනි මා ගීතයේ තනු රචකයා පිළිබඳවය. එහි තනු රචකයා ප්‍රේමසිරි කේමදාස යැයි සඳහන් වූයේ ප්‍රමාදයකිනි. එහි තනුව වික්ටර් රත්නායකගේය.