වර්ෂ 2016 ක්වූ ජූලි 07 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය

පොත්වල සුවඳ බලලා විතරක් මදි

ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්ද ගේ සිතුවමින්

'පත්තරවල යන ඒව නම් මට ඔය කාට හරි කියලා නවත්තතෑකි. හැබැයි ඉතින් වෙබ්වල යන ඒවා නම් මට නවත්තන්න බෑ'

වීරප්පෙරුම පැවසුවේ මානවීගේ හිස කෙස් අතර අතැඟිලි යවමිනි. මෙතුවක් ඇසුරු කළ ගැහැනුන්ට වඩා මේ යුවතිය ළඟ වශී වන ගුණයක් ඇතැයි වීරප්පෙරුම ඇදහුවේය. ඈ ඔහුගෙන් බොහෝ දේ නොඉල්ලන්නේය. විටෙක ඇය පිළිබඳ වගකීමක් තමා අත පැවරී ඇතැයි විරප්පෙරුම විශ්වාස කළේය. මානවීද තම මිණිබිරිය වන තාමරංසී ද එක් තරාදියක ලා මැන බලන්නට විරප්පෙරුම සිතින් වෑයම් කළේය. තම පුත්‍රයා විදෙස් ගත වන්නට පෙර විරප්පෙරුම බලාපොරොත්තු වූයේ ඔහු තම දේශපාලන පරම්පරාව ඉදිරියට ගෙන යනු ඇති බවය. එහෙත් ඔහු තමා මෙන්ම ඉගෙනීමට උනන්දුය. දේශපාලනයට උනන්දු වූයේ නැත. ඇමරිකාවේ උගෙන ගන්නට යැවූ ඔහු එහිම පදිංචි විය.

'වෙබ්වල තියෙන දේවල් කාටවත් නවත්තන්න බෑ. ඒකට කරන්න තියෙන්නේ එකම දෙයයි'

මානවී හිස ඔසවා විරප්පෙරුමගේ මුහුණ බැලුවාය.

'ඒවා නොබලා ඉන්න එකයි'

ඇයගේ මුහුණ නොපහන් වී ඇත.

'කෙනෙකුට තමන් අවුස්සන්න ඕන නම් ඔයා ඇවිස්සුනොත් එයා දිනනවා. නැත්නම් ඒ මිනිහා හති වැටෙනවා. ඔය මට ඕන තරම් පත්තරවලින් මඩ ගහන්නේ. මං උං හම්බ උණාම හොඳින් කතා කරනවා'

සුජිත් පිළිබඳ පොලීසිය ප්‍රශ්න කරන්නට පැමිණියේ එක වාරයකි. ඒ පිළිබඳ පුවත්පත්වල පල වූයේ 'සහාය අධ්‍යක්ෂට පහරදීම ගැන ටෙලි නිළියගෙන් ප්‍රශ්න කරයි' යනුවෙනි. ඇත්තටම පොලීසිය ආවේ විස්තර දැනගන්නටය. පුවත්පත වාර්තා කරන අන්දමට ප්‍රශ්න කර තිබුණේ ඈ ගැන සැක ඇති කරගෙනය. පහුවදා වැඩපොළට ගිය නිර්මලා පුවත්පත දුටුවේ අහම්බෙනි. ඇය මුල සිට අගට එය කියෙව්වාය. එහි නිළියකගෙන් විමසයි යනුවෙන් තිබුණ ද මානවීගේ නම සඳහන් නොවිණ. නිර්මලා වහා පත්තරයක් මිළ දී ගෙන ගෙදර ආවාය.

ඈ මානවී අතට පත්තරය දී ඇතුල් පිටුවක වූ විස්තරයට ඇඟිල්ල දික් කළාය. පුවත්පත කියවා බැලූ මානවී එය හකුලා පැත්තකට විසි කළාය.

'හැමදේම අහගන්න වෙලා තියෙන්නේ මට'

නිර්මලා නොමනාපයෙන් කතා කළාය. මානවී කිසිත් කියන්නට ගියේ නැත. ගත වූ දින ඇති වූ කතාබහ බොහෝ සිත් වේදනා ඇති කළේය.

'පත්තරේ මගේ නම දාලා නෑනේ'

මානවී සැහැල්ලුවෙන් පැවසුවාය.

'නම දාලා නැති වුණාට කවුරුත් දන්නවනේ'

පින් සිද්ධ වෙයි අම්මා ඔය ගැන කතා නොකර ඉන්නවද?'

මානවී දිගින් දිගට ඇදෙන වාදය කෙළවර කරනු රිසියෙන් පැවසුවාය.

'මේව ඇහැව්වම මගේ බඩ පත්තු වෙනවා. අර මොනවද පිංතූරවල විස්තරයක් කියන්නේ'

'කවුද කිව්වේ?'

'එදා පොලීසියෙන් කිව්වේ'

මානවී නිරුත්තර වූවාය.

'දැන් මගේ ගැන හොයන්නේ. මං ගැන කව්ද හෙව්වේ. අම්මට ඉස්සර මං ගැන හොයන්න වෙලාවක් තිබුණද?'

'මං ඔක්කොම කළේ ඔයා වෙනුවෙන් මානවී'

'වෙන්නැති, හැබැයි අම්මා මුලින් කිව්වේ නෑනේ මම අම්මාගේ දුව කියලාවත්'

කිසි දිනෙක නොකියමියි සපථ කරගත් බොහෝ කාරණා කෝපය සමඟ අනාවරණය වන්නේය.

'කවදද? කියන්න මම කවද්ද එහෙම කළේ?'

'මතකද මම මුලින් කොළඹ ආපු දවසේ අර චමින්දය ඇහුවම අම්මා එහෙමනේ කිව්වේ'

මානවිට වුවමනා වූයේ නිර්මලාට රිදවන්නට වඩා වාදයෙන් දිනන්නටය.

'මම කවදාවත් ඔයාට අහිතක් වෙන්න වැඩ කරලා නෑ'

නිර්මලාගේ ස්වරයේ හැඬුම් හඬක් පැණ නැංගේය. මානවී උන් තැනින් නැඟිට ගියාය.

තවත් වාරයක් සුජිත් බලන්නට යා යුතු යැයි මානවී කල්පනා කළාය. අරගලය කෙළවර සමගිය ඇති වී තිබිණ. මානවී කතාබහක් නොමැතිව සිටිය දී නිර්මලා තේ කෝප්පයක් ගෙන දුන්නාය.

'පව්'

මානවීට සිතිණ.

'මං හවස සුජිත්ව බලන්න යනවා'

මානවී පැවසුවාය. නිර්මලා උත්තර නොදුන්නාය.

හැන්දෑවේ මානවී හැඳ පැළඳ ගත්තාය.

'මාත් එන්නම්'

මානවී එය වලක්වන්න උත්සාහ නොකළාය. නිර්මලා ඒ වන විටත් අනාරාධිතවම ඇඳ පැළඳ උන්නාය.

සුජිත් ඒ වෙන විට සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කොට තිබිණ. රෝගීන් බලන වේලාව වූ හෙයින් බොහෝ දෙනා වාට්ටුවේ පිරී සිටියහ. ඔවුනගේ උකුසු ඇසින් බේරී සිටීමට මානවී කැමැතිය.

සුජිත්ගේ ඇඳ වට කොට කිහිප දෙනෙක්ම උන්හ. ඔවුහු සියල්ලන්ම ක්ෂේත්‍රයේ අයය. ඔවුන් මානවී දෙස බැලුවේ සිනාවෙන්දෝ නොවෙන්දෝ ශෛලියෙනි.

සුජිත් මානවී දෙස බලා අමාරුවෙන් සිනාසෙන්නට උත්සාහ කළේය. නිර්මලා උන්නේ මානවිට සමීප වෙමිනි.

'මගෙනුත් පොලීසිය ඇහැව්වා'

මානවී කතාවක් අරඹන්නට තැත් කළාය.

'මට ආරංචියි. ඔයා මේවට ගෑවෙන්න ඕන නෑ'

සුජිත් කතා කළේ අපහසුවෙනි. ඔහුගේ මුහුණ තවමත් ඉදිමී ඇත. සුජිත් උන් ඉරියව්වෙන් හැරෙන්නට සැරසුණි. මානවී හැරී බැලුවාය. සුජිත්ගේ මවත්, පියාත්, සොයුරියත් එතැනට පැමිණියහ. සුජිත්ගේ මෑණියෝ ඔහු බදාගෙන වැළපෙන්නට වන්හ. ඔවුහු බැලූ බැල්මට කොළඹින් බොහෝ දුර පිටස්තරයෝ බව පැහැදිලිය.

'මගේ පුතා මෙච්චර එකක් වෙලා කිව්වේ නෑනේ'

තාත්තා පසෙකටව බලා සිටිද්දී මව මානවීට පැවසුවාය. පියා බුලත් කහට පිරි මුවින් සිනාසුණේ නෝංජල් ස්වරූපයක් මවමිනි.

'කවුදැ මේ අපරාදේ කළේ?'

සොයුරිය විමසුවාය. මානවී උත්තර බඳින්න ගියේ නැත.

'අනේ බලන්න නෝනා'

මානවී අපහසුතාවයට පත් විය. තමා හා සුජිත් ගේ පවුල අතර පෑහීමක් ඇති කර ගත නොහැකිය. නිර්මලා එය තේරුම් ගත්තාක් බඳු විය.

'පොලීසියෙනුත් හොයනවානේ'

සුජිත්ගේ පියා කතාවට එකතු වූයේය. මානවී ඔව් කියන්නට නොගියාය. මෙතැනට පැමිණීම මෝඩකමක් බඳුය. ඈ හීන්සීරුවේ නිර්මලාට ඉඟි කළේ ආපසු යමු කියන්නටය.

රෝහලෙන් එළියට එද්දී වීරප්පෙරුම ඇයට කතා කළේය. නිර්මලා නිවස ළඟින් බැස්ස වූ මානවී වීරප්පෙරුම සොයා ගියාය.

'ඔය ළමයා ඒ හාදයා බලන්න ගිය එක හොඳා'

වීරප්පෙරුම පැවසුවේය. මානවී දකින විටම තම ගත ඇති අමාරු සියල්ල පහව යන්නා සේය. පෙරදා රාත්‍රියේ රුධිර පීඩනයේ වැඩි බවක් දැනිණ. මෑතක් වනතුරු තමා නීරෝගීව සිටියේය.

'මං ගියේ යුතුකමක් හැටියට. හැබැයි ආයේ යන්නේ නෑ කියලා තීරණය කළා'

'ඒක හොඳයි'

'පත්තරේ දාලා තිබුණා'

'මං දැක්කා නමක් ගමක් නෑනේ'

වීරප්පෙරුම පැවසුවේය.

'මිනිසුන්ට ඔක්කොම මතක තියාගන්න වෙලාවක් නෑ මානවී. ඒ මිනිසුන්ට ඕක ආපහු ඕන වෙන්නේ ඔයාට මඩක් ගහන්න ඕන වෙලාවක. ඔයා සක්සස් වෙලාවක. එහෙම නැත්නම් උත්තර හොයන්න තව ලෝකේ ප්‍රශ්න තියෙනවානේ මිනිස්සුන්ට'

මනාවී එයට උත්තර බැන්දේ නැත. වීරප්පෙරුම දුරකතනය ගෙන එහි අංකයකට කතා කළේය.

'ඔබ දැකුමෙන් අප පින් කළ බව දැනුණි. ඉතින් කර්තෘතුමෝ, මං කතා කළේ උදව්වක් ඉල්ලන්න. ඒකට කලින් අන්න මං ඔහේගේ පුතාගේ වැඩේ කළා. කොල්ලට ස්කොල් එක හරි. . . අර ඇසිස්ටන්ට් කෙනෙකුට ගහපු'

වීරප්පෙරුම මහ හඬින් කියා හිනැහෙන්නේ කව්රුන් හෝ අල්ල ගන්නට ඕනෑ විටය. වීරප්පෙරුම සියල්ල නිම කරනු ඇත. ඒ හිලව්වට කර්තෘට තැග්ගක් ද ලැබේ. වීරප්පෙරුම පුවත්පත් කිහිපයකටම සතිපතා ලිපි ලියන්නේය. මේ වයෝවෘද්ධ දේ්ශපාලකයාගේ නිවසේ පොත්ගුලක් ද ඇත්තේය.

'සර්, මේ පොත් ඔක්කොම කියවලාද?'

දිනක් මානවී ඇසුවාය. වීරප්පෙරුමට සිනා ගියේය.

ඔව්. හැම පොතම කියවලා තියෙන්නේ. හැබැයි ගන්නේ වුවමනා ටික'

මානවී පොත් අතර වූ අලුත් පොතක සුවඳ බැලුවාය.

'පොත්වල සුවඳ බලලා විතරක් මදි. ඇතුලේ තියෙන ඒවා ඔළුවට ගන්න ඕනෑ'

වීරප්පෙරුම මානවීගේ හිසට ඇන්නාය.

'ඇයි ඒ ලෙවල්වලින් පස්සේ ඉගෙන ගත්තේ නැත්තේ'

එකවරම ඔහු පැනයක් නැගුවේය.

'වැඩක් නෑ කියලා හිතුණා'

'වැඩක් ඇත් ද නැත් ද කියලා බලන්න එක්ස්ටනල් හරි විභාග කරනවා'

වීරප්පෙරුමගේ හඬෙහි වූයේ අණකි.

'මට නිදිමතයි. හෙට ෂූටිං'

මානවී කෙඳිරි ගෑවාය.