වර්ෂ 2016 ක්වූ ජූලි 07 වැනිදා බ්‍රහස්පතින්දා




ටාසන්ලාගේ වරිගේ විත්ති

The Legend of Tarzan

ටාසන්ලාගේ වරිගේ විත්ති

එඩ්ගා රයිස් බරෝස් නම් රචකයා විසින් වසර 1912 දී හඳුන්වා දෙන ලද ‘ටාසන්’ චරිතය පළමුවරට චිත්‍රපටයකට නැඟුනේ 1918 තරම් ඈත කාලයකදීයි. ස්කොට් සිඩ්නි නම් අධ්‍යක්ෂවරයා විසින් නිෂ්පාදනය කෙරුණු මෙය නිහඬ චිත්‍රපටයක් වූ අතර එය ‘ටාසන් ඔෆ් දි ඒප්ස්’ නම් වූ අතර එහි දෙවන කොටස ‘ද රෝමෑන්ස් ඔෆ් ටාසන්’ නමින් එම වසරේම තිරගත වූවා. එදා මෙදා තුර තිරගත වුණු මුළු ටාසන් චිත්‍රපට සංඛ්‍යාව 57කි. මේ අතරට නිහඬ චිත්‍රපට 8 ක් (1918 - 1929) සහ කාටූන් - පරිගණක සජීවීකරණ චිත්‍රපට 5ක් (1999 - 2013) ඇතුලත්.

ටාසන් චරිතය වටා නිර්මාණය වී ඇති රූපවාහිනී වෘතාන්ත ගණන 8 කි. 1918 නිමැවුණු ‘ටාසන් ඔෆ් දි ඒප්ස්’ පළමු චිත්‍රපටය, ටාසන් දි ඒප් මෑන් (1932), ටාසන් ඇන්ඩ් හිස් මේට් (1934), ටාසන් ෆයින්ඩ්ස් අ සන් (1939), ටාසන් ඇන්ඩ් දි අමෙසන්ස් (1945), ටාසන් දි ඒප් මෑන් (1981), ග්රෙස්ටෝක් ද ලේගන්ඩ් ඔෆ් ටාසන් (1984), සහ ටාසන් (ඩිස්නි කාටූන් චිත්‍රපටය - 1999) මේ අතර බොහෝ විචාරකයින්ගේ කතා බහට ලක් වූ චිත්‍රපට වනවා.

ටාසන් චිත්‍රපට ගොන්නට එක වන නවතම චිත්‍රපටය ‘ද ලෙජන්ඩ් ඔෆ් ටාසන්’ ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙසින් පසුගිය පළමුවනදා සිට තිරගත වීම ඇරඹුණු අතර, මෙය වසර 98ක් තිස්සේ ඇමෙරිකානු චිත්‍රපට ක්ෂේත්‍රය දෘශ්‍ය ප්‍රයෝග අතින් ලබා ඇති දියුණුව කියාපාන්නක්.

ඩේවිඩ් යේට්ස් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය ජෙරී වීන්ට්‍රබ්, ඩේවිඩ් බැරන් ඇතුළු 5 දෙනෙකුගේ නිෂ්පාදනයක්. ඇඩම් කොසාඩ් සහ ක්‍රෙග් බෘවර් ගේ තිර රචනයක් වන මෙය වෝනර් බ්‍රදර්ස් පික්චර්ස් විසින් බෙදාහරිනු ලබන අතර විලේජ් රෝඩ්ෂෝ පික්චර්ස් ඇතුළු නිෂ්පාදක ආයතන 5 ක නිෂ්පාදනයක් වනවා.

ඇලෙක්සැන්ඩර් ස්කාස්ගාඩ් (ටෘ බ්ලඩ්, ජෙනරේෂන් කිල්, සූලන්ඩර්) නම් ස්වීඩන රංගන ශිල්පියා මෙහි ටාසන් ගේ චරිතයට පණ පොවන අතර, මාග්‍රට් රොබී නම් ඕස්ට්‍රේලියානු රංගන ශිල්පිණිය විසින් ටාසන් ගේ පෙම්වතිය වන ජේන් පොටර් ට රඟ දක්වනවා.

සැමුවෙල් එල් ජැක්සන්, ජිමොන් හූල්සු, ජිම් බ්රූඩ්බෙල්ට්, සහ ක්‍රිස්ටෝෆ් වොල්ට්ස් ඇතුළු රංගන ශිල්පීන් රැසක් සෙසු චරිත රඟ දක්වනවා. මිනිත්තු 110 ක ධාවන කාලයකින් යුක්ත මෙම චිත්‍රපටය අමෙරිකානු ඩොලර් 180 ක පිරිවැයකින් නිමා කර තිබෙනවා.

පළමු ටාසන් කතා වල චරිත සහ සිද්ධීන් ගෙන් යුක්ත වුවත් පෙර කතාවල දක්නට නොමැති සිද්ධීන් බොහොමයක්ද මෙම චිත්‍රපටයට එක වී තිබෙනවා. මුහුදුබත් වූ නැවකින් කොන්ගෝ වනාන්තරයට පැමිණෙන යුවලක්, වානර ප්‍රහාරයකින් මිය යන අතර ඔවුන්ගේ කුඩා දරුවා වෙනත් වානර පවුලක් විසින් රැක බලා ගැනෙනවා.

තරුණ වියට පත් මේ කුඩා දරුවා, ‘ටාසන්’ නමින් වනයේ වික්‍රමාන්විත දිවියක් ගෙවනවා. තරුණ ටාසන් වනයට පැමිණෙන ‘ජේන් පොටර්’ නම් බ්‍රිතාන්‍ය රූමතිය සමඟ පෙමින් වෙලෙනවා.

උක්ත සිද්ධීන් පෙර ටාසන් චිත්‍රපටයන්ට බොහෝ අනුරූපී බවක් දක්වන නමුත් ඉන් පසුව කතාව වෙනත් පසෙකට යොමු වනවා.

මේ වනවිට බෙල්ජියම සහ බ්‍රිතාන්‍ය අතර පාලනයන්ට කොන්ගෝ වනාන්තරය බෙදී තිබෙන අතර, කොන්ගෝ වනාන්තරය සම්බන්ධ වන ප්‍රබල දේශපාලනික සහ වාණිජමය ගැටුමකට ටාසන් සහ ජේන් මුහුණ දෙන වික්‍රමාන්විත කතාවකින් චිත්‍රපටය සමන්විත වනවා.

ධ්ර්ච්ඕ දර්ශකයේ 7.2/10 ක් සටහන් කරන මෙම චිත්‍රපටය, රෝටන් ටෝමාටෝස් හි 35% ක්, සහ මෙටා ක්‍රිටික් හි 43% ක් ලකුණු කර තිබෙනවා. මෙම චිත්‍රපටයට විචාරකයින්ගේ මිශ්‍ර ප්‍රතිචාර ලැබී ඇත.

“අවසන් හැරී පොටර් චිත්‍රපට සතරෙහි දක්නට ලැබෙන අනවශ්‍ය ආඩම්බරකාර ස්වරූපය අධ්‍යක්ෂ විසින් මෙම චිත්‍රපටයටත් ගෙනවිත් ඇති බව එක් ප්‍රමුඛ විචාරකයෙක් පවසන අතර, මෙය යටත්විජිත මනසකින් නිර්මාණය කරන ලද්දක් බවත්, නීරස කතාවකින් සහ ආකර්ශනීය නොවූ පරිගණක සජීවීකරණ සිද්ධීන් ගෙන් සමන්විත බවත් තවත් විචාරකයෙකුගේ මතය යි. කතාංගය ගැන සලකූ විට එහි බොහෝ තැන් සංස්කරණය කර ඇති බවක් හැඟෙන බව තවත් විචාරකයෙක් පවසා සිටියි.