වර්ෂ 2016 ක්වූ ජූලි 07 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ දුෂ්ටකම්වලට අධ්‍යක්ෂවරු ණයයි

මගේ දුෂ්ටකම්වලට අධ්‍යක්ෂවරු ණයයි

ආදරණීය දුෂ්ඨයා රෙක්ස් කොඩිප්පිලි පවසයි

සිංහල සිනමාවේ කැපී පෙනෙන චරිත බොහොමයකටම නව පණක් එක් කරමින් සිනමාවේ ජවයට අපූර්වතම රංගනයක් එක් කළ කලා ශිල්පියෙක් රෙක්ස් කොඩිප්පිලි. දේශීය සිනමාවේ දුෂ්ටයාට නව පණක් ඇති කළ ඔහු පිළිබඳ අමුතුවෙන් හඳුන්වාදීමක් අවශ්‍ය නැහැ. ඔහු තිරයේ ප්‍රතිනිර්මාණය කළ ප්‍රතිභාපූර්ණ රංගනය එයට කදිම සාක්ෂි එක් කරයි. කලා ක්ෂේත්‍රයේ නම් දැරූ ශිල්පීන් අතර අදත් තමන්ගේ අභිමානය රැක ගනිමින් රංගනයේ නියැලෙන රෙක්ස් හා පිළිසඳරක එක්වීමේ අදහසින් අපි පියමැන්නේ ඔහුගේ 120/4, ග්‍රාම සංවර්ධන පාර, පොල්වත්ත, පන්නිපිටිය ලිපිනය සඳහන් නිවහන වෙතය.

තම ආදරණීය බිරිය කැතරින් කොඩිප්පිලිගේ හදිසි වියෝවත් සමඟ මානසික වශයෙන් ව්‍යාකූල බවකින් පසු වූ රෙක්ස් තම සිත තුළ පවතින දුක යම් තරමකින් හෝ යටපත් කර ගනිමින් යළිත් රංගනයේ නියැලෙන්නට අදහස් කර ඇති මොහොතක කලා ජීවිතයේ වත්මන් තොරතුරු පිළිබඳව කතාබහට මුල පිරුවේ අපිට පුංචි ආරාධනයක් ද කරමින්මය.

මල්ලි අපි තේ එකක් හරි බීම එකක් හරි බීලම කතා කරමු. දන්නවනෙ මල්ලි මගේ ප්‍රියතම කෑමක් මෙහෙ වරදින්නෙත් නැහැ කියලා.

* ඔව්... ඔව්... ක්‍රීම් කැකර් එක්ක චීස්...

එහෙනම් චීස් පෙත්තක් එක්ක ක්‍රීම් කැකර් කකාම අපි කතාව පටන්ගමු.

රෙක්ස් යුවල පනස් වැනි විවාහ සංවත්සරයේදී දූ දරුවන් සහ මුණුපුරු මිනිබිරියන් පිරිවරා

සිහසුන

රෙක්ස් තම බිරිය කැතරින් සමඟ

දමයන්ති

රක්තා

අහිමි දඩමං

මුවන් පැලැස්ස

* රඟපෑ චිත්‍රපට වැලක්ම එක දිගට තිරගත වෙන්නත් තියෙනවා නේද?

බ්‍රේකින් නිවුස්, නවරියන්, ඩිවෝස්, රේන්බෝ, බ්ලැක්මේල් මේ වගේ චිත්‍රපට වැලක්ම තියෙනවා.

* ටෙලි නාට්‍යවලත් ඔබේ රංගනය බොහෝ විට දැකගන්න ලැබෙනවා?

මේ වෙන කොට රඟපෑ ටෙලි නාට්‍ය හත අටක්ම එන්න තියෙනවා. වෙලා තියෙන්නේ රඟපෑ ටෙලි නාට්‍යවල නම් අමතක වෙලා.

* රඟපෑ නිර්මාණ සුළු නැති නිසාවෙන් වෙන්න ඇති මතකයෙන් නම් ගිලිහිලා තියෙන්නේ?

එදා මෙදාතුර ගත්තහම චිත්‍රපට වුණත් දෙසීය ඉක්මවනවා. ටෙලි නාට්‍ය වුණත් විශාල සංඛ්‍යාවක්. මෙගා ටෙලි නාට්‍ය විතරක් දහයක්. දාමිණී මෙගා ටෙලි නාට්‍යයෙන් තමයි මෙගා රඟපෑම පටන් ගත්තේ. මේ වෙන කොට ගිනි අවි සහ ගිනි කෙළි මෙගා ටෙලි නාට්‍ය තමයි අවසන්වරට රඟපෑවේ.

* ඔබ රඟපෑම තුළ තෝරා බේරා ගැනීමක් සිදු කරනවාද?

එදා තේරුවෙත් නැහැ. මෙදා තෝරන්නෙත් නැහැ.

* ඒක රංගන ශිල්පියෙක් වශයෙන් සුදුසු දෙයක්ද?

මගේ මතය නම් නළුවෙක් වුණාම ඕනෑම දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕනෑ. ඒ කැපෑසිටි එක එදත් අදත් මට තියෙනවා.

* තෝරා බේරා නොගැනීම ඔබව එක් රංග පරාසයකට කොටු කළා කියලයි මම හිතන්නේ?

මල්ලි ඔය කියන්නේ මම දුෂ්ටයා වීම ගැනනේ. මේකයි මම හිතන්නේ එච්චර මාව දුෂ්ටයාට ගත්තේ මගෙන් හොඳට දුෂ්ට වැඩේ කෙරුණ නිසාවෙන් කියලයි මට හිතෙන්නේ. සමහර විට අධ්‍යක්ෂවරුන්ට, නිෂ්පාදකයන්ට මම තරම්ම වටිනා දුෂ්ටයෙක් ඉන්න නැතුව ඇති.

* තිරයේ දුෂ්ටකම් කරන්න ගිහින් ඔබට මුදල් අතින් පාඩු සිදු වු අවස්ථා එහෙමත් ඇති?

ඕනෑ තරම් තියෙනවා. මම දුෂ්ටකම් කරපුවාට මට අධ්‍යක්ෂවරු නිෂ්පාදකයෝ ඕනෑ තරම් ණයයි.

* දුෂ්ටකම්වලට හොඳට ගෙව්වා?

ගෙවීම් කොහොම වෙතත් තවමත් මට ගෙවන්න තියෙනවා.

* එහෙම තියෙද්දිත් ඔබ ඔවුන්ගේ නිර්මාණවල රඟපානවා?

ඔය පරණ දේවල් මම මතක් කරන්නේ නැහැ. එයාලට උදවුවක් වශයෙන් මම ඕවා හාරා අවුස්සන්නෙත් නෑ. වැඩක් කරගෙන යන කොට සල්ලි ප්‍රශ්න ආවොත් මම මගේ ගාණ ගැන සලකන් නැතුව වැඩේ කරගෙන යනවා.

* සිංහල සිනමාවේ දුෂ්ටයාට නව පණක් දුන්න පුද්ගලයෙක් ඔබ?

මම කවදාවත් චරිත හොයාගෙන ගියේ නැහැ මගෙන් දුෂ්ටකම් ඉල්ලගෙන කවුරුත් ආවා මිසක්. මගේ රංගනයන් සාර්ථක නිසානේ මට ඉල්ලුමක් ක්ෂේත්‍රය තුළ ගොඩ නැඟුණේ.

* මේ වෙන කොට ඔබ ආශා කරන චරිත ලැබිලා තියෙනවාද?

ආශාව කියලා දෙයක් මම ළඟ නැහැ. දෙන ඕනැම දෙයක් කරන්න පුළුවන් කියන විශ්වාසය මා තුළ තියෙනවා. අර දේ ආසයි කියලා තෝරා බේරා ගැනීමක් නැහැ.

* කවුරුන් හෝ ඔබට දෙන චරිතයක් අභියෝගයක් ලෙසද භාරගන්න උත්සාහය?

ඔව් මම රඟපෑ සියලු චරිත මට අභියෝගයක්.

* රංගන ශිල්පියෙක් වගේම නිෂ්පාදන කළමනාකරුවෙක්, චිත්‍රපට නිෂ්පාදකයෙක් වන ඔබ චිත්‍රපට අධ්‍යක්ෂණය සඳහා පෙළඹුණේ නැත්තේ ඇයි?

ඩිරෙක් කරන්න හිතක් එන්නේ නැහැ. අහස් මාළිගා, බයිසිකලේ චිත්‍රපට මම නිෂ්පාදනය කළා. රණදෙරණ, කදිරා චිත්‍රපටවල මම නිෂ්පාදන අධිකාරි ලෙසත් කටයුතු කළා.

* ඔබේ සිනමා ජීවිතයේ අභියෝගාත්මක රංගනයන් මොනවා කියලද ඔබ හිතන්නේ?

රක්තා, මුවන්පැලැස්ස 1, 2, 3, උතුමාණෙනි, කොටි වලිගය, අහිමි දඩමං, හුලවාලි, චන්දිරා, සංඛපාලි, මරුවා සමග වාසේ ඔය වගේ චිත්‍රපට ගොඩක් තියෙනවා.

* රන් කහවණු ටෙලි නාට්‍ය හරහා පුංචි තිරයට ආ ඔබ කතුරු මුවත් චිත්‍රපටය හරහා සිනමාවට සම්ප්‍රාප්ත වූ පුද්ගලයෙක්. මේ මාධ්‍ය දෙක හරහා ඔබගේ වඩාත් කැමැත්ත?

මා සිනමා නළුවකු ලෙස ගොඩ නඟා ගත් ප්‍රතිරූපය විශාලයි. ඒ ප්‍රතිරූපයට පුංචි තිරයට අභියෝග කරන්න කොහොත්ම බැහැ. අද වුණත් මම නළුවෙකු ලෙස රූපවාහිනී මාධ්‍ය තුළින් දැක්කත් මගේ අනන්‍යතාවය ප්‍රේක්ෂකයා තුළ රැඳිලා තියෙන්නේ සිනමා නළුවකු ලෙසින්.

* කලා ජීවිතයට කොච්චර කාලයක්ද?

අවුරුදු හතලිස් පහක්.

* රිදී තිරයේ ජව සම්පන්න දුෂ්ටයාට දැන් වයස කීයක් විතරද?

හැට පැන්නත් නාකි වෙන්නේ නැහැ. බොරුව නැතුව හංගලා නැතිව ඇත්තම කියනවා නම් මට දැන් හරියටම අවුරුදු හැත්තෑ හතක් කියන්න පුළුවන් ද මල්ලි. මේ රෙක්ස් කොල්ලාගේ වයසේ හැටියට ද වැඩ නේද? මල්ලී.

* ඇත්තද මේ පොකට් එකක් ගහලා සිනමාවට ආවා කියන්නේ?

සහතික ඇත්ත. මම පොකට් එක ගහපු විධිය අල්ලල ගිය විධිය තමයි අද වෙන කොට මේ තියෙන්නේ.

* ඒ කියන්නේ ඔබ පොකට් ගහලා නළුවෙක් වුණා කියන එකනේ?

මෙහෙම කිව්වාම මම ගැන වැරදි චිත්‍රයක් ඇති වෙයි ද දන්නේ නැහැ. මේකනේ කතාව මල්ලි. මම නළුවෙක් වෙන්න හිටිය කෙනෙක් නෙවෙයි. කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා මහත්තයාගේ කතුරු මුවත් චිත්‍රපටයේ පුංචි චරිතයක් තිබුණා පොකට්කරුවෙක්ගේ. අන්න ඒ චරිතයට මට කතා කළා. නිකමට වගේ ගිහින් සීන් එක කළා. මෙන්න බොලේ මම ගහපු පොකට් එකේ රංගනයට සතුටු වෙච්ච කේ. ඒ. ඩබ්ලිව්. මහත්තයා හනික ඇවිත් මට කියනවා රෙක්ස් ඒ සීන් එක අපි අයින් කරන්නම්. ඔයාට හොඳ ගාණකුත් දෙන්නම් චිත්‍රපටයේ මේන් විලන්ට ඔයා රඟපාන්න කියලා. ඒ රඟපෑම තමයි දැන් අවුරුදු හතලිස් පහක් තිස්සේ මේ කරගෙන එන්නේ.

* අවුරුදු හතළිස් පහක් ගිහිල්ලා අර නළුවෙක් වෙච්ච මුල්ම රංගනය සිහිපත් කරන කොට මොකද හිතෙන්නේ?

දුකක් නෑ සතුටක් ඇති වෙන්නේ. මට මතක හැටියට 1969 ඒ දවස්වල මම සලාකා ආයතනයේ වැඩ කර කර ඉන්න කොට කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා, ඔස්වල්ඩ් ජයසිංහ එක්ක ඇවිත් කතුරුමුවත් චිත්‍රපටයේ පොකට්කරුගේ චරිතය කරන්න කැමති ද කියල මගෙන් ඇහුවා. මම එච්චර ඕක ගණන් ගත්තේ නැහැ. දිගටම රඟපෑම කරන්න හිතුවෙත් නැහැ. කරපු ඉල්ලීමට මගේ රැකියාව කළ සේවා ස්ථානයෙනුත් පුංචි සහයෝගයක් දුන්නා ඔන්න ඕක කරල එන්න කැමති නම් කියලා. මම රඟපාන්න යනවා කියලා ගෙදර නෝනවත් දැන හිටියේ නැහැ. එයාට කිව්වෙත් නැහැ. වැඩේ මම භාර ගත්තා. කේ ඒ. ඩබ්ලිව්. මං ගැන ගොඩක් පැහැදිලා කියලා මට ඔස්වල්ඩ් කිව්ව නිසාම මම ගියා. ෂූටින් තිබුණේ කොළඹ සෙලින්කෝ ගොඩනැඟිල්ල ළඟ. මම ඉතිං සරමක් එහෙම ගහලා නියම පොකට්කාරයා වෙලා. චිත්‍රපටයේ හැටියට සේනාධීර රූපසිංහයි නීලා ලියනගෙදරයි සාප්පු සවාරි යනවා. මට තියෙන්නේ සේනාධීරගේ පොකට් එකට ගහන්න. මම ඇඟට නොදැනී පොකට් එකට ගැහුවා.

* බිරියගේ අකැමැත්තෙන් ඔබ සිනමාවට ප්‍රවිශ්ට වුණා කියන්නේ ඇත්තක්ද?

අපෝ නැහැ. මගේ නෝනාගේ අකමැත්තෙන් මම සිනමාවට ආවේ නැහැ. එයාට හොරෙන් පොකට් එක ගැහුවා තමයි. හැබැයි ඊට පස්සේ වුණේ වෙන දෙයක්. දවසක් කුමාරදාස වාගිස්ටයි, කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරයි මාව හොයන් ඇවිත් කියපි අපි මේ චිත්‍රපටයේ අර පොකට් එක ගහන කෑල්ල අයින් කරන්නම් ඔයාට මේන් විලන් කැරැක්ටර් දෙන්නම් කරමුද කියලා. මම කිව්වා ඒකට මට එක පාරට හරි උත්තරයක් දෙන්න බැහැ කියලා. ගෙදරිනුත් අහන්න ඕනෑ කිව්වා. මට ඒ දවස්වල ලැබුණු පඩියටත් වඩා පස් ගුණයක මුදලක් චිත්‍රපටයේ රඟපානවට දෙන්නම් කිව්වා. මම මේක නෝනට කිව්වා. එයාට මම ගැන ලොකු විශ්වාසයක් එදා ඉඳලා තිබුණා. ඒ නිසාම සියලු විස්තර එයාට කිව්වම මට කැමැත්ත දුන්නා.

* ඔබ සටන්කාමී මාරාන්තික රංගනයක යෙදෙමින් සිංහල සිනමාවට විශිෂ්ට සේවයක් කළ කලා ශිල්පියෙක්?

මගේ රංගනය දැක්ක පිරිස් නිගමනය කළ යුතු දෙයක් ඒක. මම හිතනවා මම ඒ වගේ බිහිසුණු රංගනයක් ඉදිරිපත් කළා කියලා. ඒකට කදිම සාක්කි ලොකුම හිනාව චිත්‍රපටය. මම රඟපෑ බොහෝ චිත්‍රපටවල ඒ වගේ බිහිසුණු අත්දැකීම්වලට මට මුහුණ දෙන්න සිද්ධ වුණා. මරුවා සමඟ වාසේ, යකඩයා, යළි ඉපදෙන්නයි ඔය වගේ වැලක් චිත්‍රපට තියෙනවා.

* ‘ලොකුම හිනාව‘ ෂූට් කරද්දී ඔබ මාරක අනතුරකට පත්වෙලා දිගු කාලයක් එක තැන ප්‍රතිකාර ලැබුවා?

උණබම්බු පටවපු ලොරියක් උඩින් මෝටර් සයිකලයක් පන්නලා ඒ මෝටර් සයිකලයට මාව යට වෙලා මගේ කකුල තුන් පලකින් කඩල ගියා. මාස නමයක් කොළඹ මහ රෝහලේ ඥාණසේකර වෝඩ් එකේ නේවාසිකව ප්‍රතිකාර ලැබුවා.

* තුන්පලකින් කකුල කඩන් රෝහලේ ප්‍රතිකාර ගන්න ගමන් රෝහලෙන් පැනලා ගිහින් ලොකුම හිනාව චිත්‍රපටයේ තවත් මාරක ජවනිකාවක් රඟපෑවා කියන්නේ?

ඒ චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඊ. ඒ. පී. එදිරිසිංහ මහත්තයා. එයාගේ අවශ්‍යතාවයට තමයි මම අර වගේ මාරක පිම්මක් පැන්නේ. කොහොම හරි චිත්‍රපටය එන්න කලින්ම හෝල්වල ට්‍රෙලර් යන්න ගත්තා. මිනිස්සු තුළ මේ චිත්‍රපටය එනකන් ඉවසිල්ලක් නැහැ. තව චිත්‍රපටයක සීන් එකක් තිබුණා මම ගේට්ටුවක් කඩාගෙන යන සීන් එකක් ගන්න. ඒත් මගේ අනතුර නිසා මේක කරගන්න විධියක් නැහැ. ඔහොම ඉන්න කොට මම ඒ සීන් එක කරන්න මෙයාලට පොරොන්දු වුණා. ඒ වෙන කොට මම ප්ලාස්ටර් එක දාලා හිටියත් මට රෝහලේ ගෙවන වාට්ටුවෙන් එළියට ගිහින් පිචර් එකක් බලන්න එහෙම චාන්ස් එකක් දීලා තිබුණා. එදිරිසිංහ මහත්තයා එයාගේ කාර් එක ඩ්‍රයිවර් එක්ක මට එවනවා ඔය වගේ ගමන් යන්න. ඔන්න අපි කතා කර ගත් පරිදි සීන් එක ගන්න දවස ආවා. මාව උදෙන්ම කාර් එක ඇවිත් රෝහලෙන් අරන් ගියා. ඒ ගිහින් එක්තරා තැනකදී මගේ කකුලේ ප්ලාස්ටර් එක කැපුවා. මම කිව්වා නිෂ්පාදන කණ්ඩායමට ලෑස්ති වෙලා ඉන්න කියලා. හැබැයි මම පුටු දෙකක් ඉල්ලුවා. එකක් ඉඳගන්න, අනික කකුළ දිග් කරලා තියා ගන්න. හවස් වරුවේ තමයි ෂූටින් දාගත්තේ. සියල්ල ලෑස්ති වී තිබුණා. මාව එතනට ගෙනිච්ච ගමන් කැමරා රෙඩි වුණා. මාව මෝටර් සයිකලයේ තිබ්බා. ඇක්ෂන් කිව්වා. ආයේ දෙකක් නැහැ එදිරිසිංහ මහත්තයාගේ හීනය සැබෑවක් කරගෙන මම ගේට්ටුව කඩාගෙන මෝටර් සයිකලය එලෙව්වා. කට්ටිය ඉක්මනින් මාව වාහනේ දාගත්තා. ප්ලාස්්ටරය කපපු තැනට ආයෙත් ගෙනාවා. හැකි ඉක්මනින් ප්ලාස්ටරය තිබුණා වගේ දැම්මා. කෙළින්ම මොකුත් වුණේ නැහැ වගේ ඥාණසේකර වෝඩ් එකේ මගේ ඇඳට ගියා.

* රිදී තිරයේ දුෂ්ටයා හැරුණු කොට ඔබ පෙම්වතා වෙන්න උත්සාහ කළේ නැද්ද?

මට ඉල්ලුම තිබුණා දුෂ්ටයාට. පෙම්වතාට ඉල්ලුම නැති වුණේ පෙම්වතුන්ට දුෂ්ටකම් කරන්න දුෂ්ටයෝ විරල වුණ නිසාද මම දන්නේ නැහැ.

* ඇත්තද මේ රෙක්ස් ප්‍රේම කරන්න බයයි කියන්නේ?

ඒ නම් බොරුවක් නොවෙයි. ප්‍රේම ගඟේ කිමිදෙන කොට මට නිකන් කිචි කිචි වගේ. මේ ඇත්තමයි කියන්නේ.

* ප්‍රේමවන්තියන්ට දුෂ්ටකම් කරපු ඔබ මේ නම් කියන්නෙම බොරුවක්?

අනේ සත්තයි මල්ලි මේක බොරු නෙමේ. මම චිත්‍රපටවල කෙල්ලො උස්සලා තියෙනවා. එයාලට අඩම්තේට්ටම් කරලා තියෙනවා. ඒ ඔක්කොමත් කරපු එක ඇත්ත. ඒත් ප්‍රේම කරන්න කිව්වොත් බෑ.

* ඇයි ඔබ ප්‍රේම ජවනිකාවක් කළේ?

ඔව් කළා, ලස්සන දවසක් චිත්‍රපටයට. මට එදා වගේම අදත් ප්‍රේම ජවනිකා කරන්න හරිම අමාරුයි. මුලින්ම මම ප්‍රේම ජවනිකාවක් කළේ ලස්සන දවසක් චිත්‍රපටය් ශ්‍රියානි අමරසේනත් එක්ක. මමයි විජය කුමාරතුංගයි තමයි ප්‍රධාන චරිත රඟපෑවේ. විජයගේ පෙම්වතිය වුණේ ස්වර්ණා කහවිට. මගේ පෙම්වතිය වුණේ ශ්‍රියානි අමරසේන. ඔබෙ හිත මගේ ළඟයි මට තවම මතකයි... සිංදුව අපි දෙන්නා වෙනුවෙන් ගායනා කළේ ජෝතිපාලත්, ඇන්ජලීන් ගුණතිලකත්. ඔයාට කියන්න මල්ලි මේ ප්‍රේම ජවනිකාව කරන්න ඉස්සෙල්ලා මම ජින් බෝතල් 1 1/2 ක් බීලා තමයි ඇට් කරන්න පටන් ගත්තේ. විජය ස්ටුඩියෝවෙන් පටන් ගත්ත ෂූටින් එක එක දවසින් කඩුගන්නාව, හුන්නස් ෆෝල්ස්, මුහුද අයිනේ කරලා ඉවර කළා. එහෙම ප්‍රේම ජවනිකාවක් කළත් හරි ආයේ නම් ගස් වටේ කැරකෙන ප්‍රේම ජවනිකා නම් මම කළේ නැහැ.

* ඇයි ඔබ දමයන්ති චිත්‍රපටයේ ප්‍රේ්ම ජවනිකාවක් කළේ?

ගීත එක්ක ප්‍රේම ජවනිකාවක් කළත් ඇඟ අල්ල අල්ල ප්‍රේම කළේ නැහැ. ඒක හින්ද මට අපහසුවක් දැනුණේ නැහැ.

* සිනමාව වෙනුවෙන් හිස බූ ගෑ කෙනෙක් ඔබ?

රක්තා චිත්‍රපටයේ (ධානු) වෙනුවෙන් මට අවසානයේ හිස බූ ගාන්න සිද්ධ වුණා.

* එවක තාරුණ්‍යයෙන් පිරි ඔබගේ ලස්සන කොණ්ඩය සිනමාව වෙනුවෙන් පූජා කරනවා කියලා දැකලා නිළියෝ පවා කඳුළු සැලුවලු නේද?

ඔව්. මාලිනී, සෝනියා දිසා, මානෙල් වානගුරු හොඳටම අඬන්න පටන් ගත්තා.

* ලස්සන කොණ්ඩය නොකපා විග් එකක් දාගන්න උත්සාහ කළේ නැද්ද?

මුලින් තිබුණේ එහෙම අදහසක්. ඒ නිසාම වේෂ නිරූපණ ශිල්පියා වූ ඊබට් විජේසිංහ, රංජිත් මතඟවීර ඉන්දියාවට ගියා විග් එකක් අරන් එන්න. මැද තට්ටය වටේ කෙස් තියෙන විග් එකක් ගෙනාවත් මට විග් එක ඇල්ලුවේ නැහැ. ඒ තරම් කැත විග් එකක්. කවුරුත් ඒ බව පවසා සිටියා. අධ්‍යක්ෂක ඇහුවා රෙක්ස් මොකද කරන්නේ කියලා. මම කිව්වා හෙට උදේට බලමු කියලා. මම රෑ ගෙදරට කතා කරලා නෝනට කිව්වා මෙහෙම චරිතයකට තට්ටෙ ගානවා කියලා. එයාගේ දැනුවත් කිරිමකුත් අරන් මම පහුවදා තට්ටෙ ගාන්න කැමැත්ත දුන්නා.

* ගෙදරින් ෂූටින් ගිය රෙක්ස් කියන හැන්සම් බෝයි තට්ටයෙක් වෙලා ගෙදර එනවට ඇත්තටම නෝනා කැමති වුණාද?

මගේ පැහැදිලි කිරීම් එක්ක එයා කැමැත්ත දුන්නත් හිත යටින් හරි එයා ඒකට දුක් වෙන්න ඇති. ඒත් එයා මා වෙනුවෙන් ඒ කළ කැප කිරීම රක්තා රිලීස් වුණාම තුරන් වෙලා යන්න ඇති.

* ඔබ බොහෝ සේ බිරියට ආදරය කළ කලා ශිල්පියෙක්?

මගේ අම්මයි, මගේ බිරියයි මට එක් කෙනෙක් වගේ තරමට ජීවිතයට සම්බන්ධයි. මේ දෙන්න යමක් කරන්න කිව්වොත් ඒක හරියට හරි ගියා. එපා කිව්වොත් ඒත් එහෙමයි. අපි දෙන්නා අතරේ තිබුණේ පුදුම බැඳීමක්. එයා නැති වෙන කොට අවුරුදු හැත්තෑ හතක්. අපි දෙන්නා වගේ මේ තරම් බැඳීමකින් පවුල් කාපු දෙපලක් මේ කලා ක්ෂේත්‍රයේ ඉන්නවද කියලත් මට වෙලාවකට හිතෙනවා. අපි දෙන්නගේ පනස් වෙනි විවාහ සංවත්සරය පවා සෙලිබ්‍රේට් කළේ කලාකරුවන් සමඟ.

* ඇගේ වියෝව ඔබට අද තදින්ම දැනිල ඇති?

ඒ ගැන මතක් වෙන කොටත් හිතට වාවන්නේ නැති දුකක් දැනෙනවා. මම එයාගේ අවසන් කාලයේ ජයවර්ධන පුර රෝහලේ දවස් අටක් එයාට උපස්ථාන කරමින් එකට හිටියා. මගේ අතින්ම එයාගේ හැම වැඩක්ම සිද්ධ කරමින් මම තමයි එයාට කැව්වේ පෙව්වේ. එයා බත් කටක් කෑවේ නැත්නම් මාත් එදාට කෑවේ නැහැ. ඒ තරම් බැඳිමක් අපි දෙන්නා තුළ තිබුණේ. ඒත් අවසානයේ එයා මාව තනි කරලා යන්න ගියා.

* අද ඔබ කා සමඟ ද ජීවත් වෙන්නේ?

මගේ පුතා ප්‍රසන්න කොඩිප්පිලි සමඟ. ලොකු දුව රොෂාන්ති, පොඩි දුව සුරේඛා ඔස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්නේ.

* ප්‍රවීණ කලාකරුවකු වශයෙන් අද කලා ක්ෂේත්‍රය ගැන ඔබට මොකද හිතෙන්නේ?

ඒ කාලේ තිබුණු එකමුතුකම අද නැහැ. අද මේ ක්ෂේත්‍රයට එන අය හිතන්නේ මේක අහසින් වැටුණු දෙයක් කියලා. එකිනෙකාට ගරු කිරීමක් නැහැ. මම නම් අදටත් ආධුනිකයා ද ප්‍රවීණයා ද කියලා නැහැ. කාටත් එකයි. අද ක්ෂේත්‍රයට එනකෙනා කවද හරි ප්‍රවීණයෙක් වෙයි. අද රඟපාන්න ආවා කියලා ඒ මිනිහට ගරහනවා නම් කවද හරි කට්ට කාලා ඒ කෙනා තැනකට ආපුදාට ඒකේ වාරුව ගනියි. ඒ හින්ද මම කියන්නේ අපි කාටත් උදව් කරන්න ඕනෑ කියලයි.

* අද කලා ක්ෂේත්‍රය අර්බුදකාරී බවකින් පිරිලා නේද?

ඒකට විසඳුම් ගන්න පුළුවන් පාලකයෝ රටේ ඉහළ තානාන්තර දැරුවා. කලා ක්ෂේත්‍රය නියෝජනය කරපු පිරිස් පාර්ලිමේන්තුවේ හිටියා. ඒත් කලාවට සෙතක් වුණාද? මටත් නොයෙක් කලා සංවිධානවලින් ආරාධනා එනවා, ඒවාට යනවා. අනුශාසක පට්ටමක් ලැබෙනවා. ඒත් කියන දෙයක් සැබෑවෙන්නේ නැති එක අපිටත් ප්‍රශ්නයක්. අපි අද වෙන කොට ප්‍රමාද වැඩියි. මම හිතන්නේ හිටපු ජනාධිපතිවරුන් වන ආර්. ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ කාලයේ මේ ප්‍රශ්නලට විසඳුමක් ගන්න තිබුණ හොඳම පුද්ගලයෝ දෙන්නෙක් කියලා.

* ඔබේ ඉදිරි බලාපොරොත්තු කොහොමද?

සිංහල සිනමාවේත් ටෙලි නාට්‍ය කාලවේත් නියැලෙමින් ඉදිරියටත් රංගනයේ නියැලෙමින් ජීවිතයේ අවසන් භාගයත් ගෙවා දමන්න තමයි මගේ එකම ප්‍රාර්ථනය. මෙතෙක් කලාවට සේවයක් කළා සේම ඉදිරියටත් කලාවට සේවය කරමින් ජන හදවත් ප්‍රමුදිත කිරීම තුළින් ලබන ආශ්වාදය මට අදටත් ගෙන ඒන්නේ මහත් වූ සොම්නසක්.