වර්ෂ 2016 ක්වූ ජූලි 07 වැනිදා බ්‍රහස්පතින්දා




මම ගියේ අනිත් අයට අත්පුඩි ගහන්න

මම ගියේ අනිත් අයට අත්පුඩි ගහන්න

ර ජී ව් නා නා ය ක් කා ර

අභිමානනීය සරසවිය සම්මාන උලෙළ්දී සම්මානයක් ලැබීම කලාකරුවකු ලබන ඉහළ පිළිගැනීමක්. ඒ සම්මානය තමන්ගේ රංගනයේ ලබන ප්‍රථම සම්මානය වීම ඒ කලාකරුවා ලබන ඉහළම සතුටක්. රජීව් නානායක්කාර සිය රංගන ජීවිතයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ සිය පියා යසපාලිත නානායක්කාර අධ්‍යක්ෂණය කළ 1993 වසරේ තිරගත වූ ‘ප්‍රතිඥා’ චිත්‍රපටයෙනි. 1994 වසරේ සරසවිය සම්මාන උලෙළේ ජනප්‍රිය නවක නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට ඒ රංගනය සමත් විය. අද රජිව් ඒ සම්මානනීය අවස්ථාව අධචඤ බධ ර්‍ථපඥඵබඪඨඥ සමඟින් සිහිපත් කළා.

* පුංචි කාලයේ පටන්ම නළුවෙක් වෙන්න හින මවන්න ඇති නේද?

අපේ පවුලේ තිබුණේ කලා පසුබිමක්. තාත්තා සිනමා ක්ෂේත්‍රයේ නිසා මගේ ඇඟෙත් කලාව තියෙන්න ඇති. පුංචි කාලයේ මමයි මල්ලියි සෙල්ලම් කළෙත් ස්ටුඩියෝ එකේ. කලාකරුවන්ගේ ඇසුරත් නිරන්තරයෙන් තිබුණා. හැබැයි අප්පච්චි නම් හිතුවේ කාර්මික අංශයෙන් සිනමාවට මගේ දායකත්වය ලැබේවි කියලයි. සංගීත අංශයටත් පොඩි උනන්දුවක් තිබුණා. හැබැයි පොඩි කාලයේ දී මගේ ආසාව වුණේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වෙන්න.

* ‘ප්‍රතිඥා’ චිත්‍රපටයේ රංගනයට අවස්ථාව ලැබුණේ තාත්තා අධ්‍යක්ෂණ කළ නිසා ද?

අපොයි නැහැ. අප්පච්චි අධ්‍යක්ෂණය කළා කියලා මට ඒ චිත්‍රපටවල චරිත ලැබෙන්නේ නැහැ. අප්පච්චි ඔහුගේ නිර්මාණ හරහා හැමදාම නවක දක්ෂ නළු නිළියන් හෙව්වා. ‘දේදුන්නේ සමනලියක්’ චිත්‍රපටය කරද්දි අලුත් නිළියක් හෙව්වා. ඒ වෙලාවේදී අප්පච්චිට දිල්හානි අශෝකමාලා නම් නිළිය හමු වුණා. ඒ විදියටම ‘ප්‍රතිඥා’ කරනවිටත් අලුත්ම නළුවෙක් හෙව්වා. අප්පච්චිගේ අදහස වුණේ මල්ලි හර්ෂණ. ඒත් ඒ වෙනකොට මල්ලිට ‘යසස’ චිත්‍රපටය සඳහා ආරාධනාවක් ලැබිලා තිබුණා. ඔහු ‘යසස’ තෝරා ගත්තා.

මේ නිසා අප්පච්චි අලුත් නළුවෙක් හොයන අතරේ මමත් මේ වෙනුවෙන් අලුත් නළුවෙක් හොයන්න මහන්සි වුණා. ඒත් හොයා ගන්න බැරිම තැන “කවුරුත්ම නැතිනම් මම හරි ඒ චරිතය කරන්නම්” කියලා මම තාත්තාට කිව්වා. තාත්තාගෙන් ලැබුණේ පිළිතුරක් නෙවෙයි ප්‍රශ්නයක්. “උඹ උඹේ මුණ දිහා බලලාද කියන්නේ ?” කියලා ඇහුවා. ආයෙමත් ටික වෙලාවකින් මං ළඟට ඇවිත් තව සුමාන දෙකයි තියෙන්නේ ෂූටින් එකට සූදානම් වෙන්න කියලා කිව්වා.

* අප්පච්චිගේ අධ්‍යක්ෂණය යටතේ රඟපාන එක කොහොමද?

මම පොඩි කාලයෙත් ළමා චරිත නිරූපණය කරලා තිබුණා. කැමරාව ඉදිරියේ රංගනය නම් අපහසු වුණේ නැහැ. අධ්‍යක්ෂවරයා අප්පච්චි නිසා ආදර දර්ශන කරන එක අපහසුයි කියා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ වුණත් දර්ශන තලයේදී ඔහු චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා පමණයි. ඒ වගේම මමත් නළුවෙක්. හැබැයි අම්මා අහල පහළ ඉන්නවා නම් මම ටිකක් කලබලයි. ඉතින් අප්පච්චි කරන්නේ එහෙම වෙලාවට මොකක් හරි වැඩක් කියලා අම්මාව ටිකක් එහාට යවන එක තමයි. එතකොට පහසුවක් දැනෙවා.

* මේ රංගනය නිසා 1994 වසරේ සරසවිය ජනප්‍රිය නැගි එන නළුවාට හිමි සම්මානය හිමි වුණෙත් ඔබට?

ඒක මට ලොකු සතුටක් වුණා. ඒත් මම සම්මාන ගැන හිතලා කවදාවත් රඟපෑවේ නැහැ. නැගි එන නළුවාට හෝ නිළියට හිමි සම්මානය දෙන්නේ මොන පදනමෙන්ද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒ වෙනකොට ‘ප්‍රතිඥා’ ඉහළ ප්‍රේක්ෂක පිරිසකගේ ආකර්ශනයට ලක් වූ චිත්‍රපටයක් වුණා. දින හැත්තෑ හතක් තිරගත වුණා.

ඒ නිසා මටත් ජනප්‍රියත්වයක් හිමි වෙලා තිබුණාට දමිත් ෆොන්සේකා සහ මගේ මල්ලි හර්ෂණත් නවකයන් ලෙසින් ජනප්‍රිය වෙලා හිටියා. අපි තුන්දෙනා අතරින් ජනප්‍රිය නවක නළුවාට හිමි සම්මානය මට ලැබේවි කියලා මම හිතුවේ නැහැ. මම එදා සරසවිය සම්මාන උලෙළට ගියේ අත්පොළසන් හඬත් දීලා අනිත් අය සම්මාන ගන්නවා බලලා එන්නයි. නමුත් මමත් ආවේ අනිත් අයගේ අත්පොළසන් හඬ මැදින් ජනප්‍රිය නවක නළුවාට හිමි සම්මානයත් අරගෙන. මට එය ලොකු සතුටක් දැනුණු අවස්ථාවක්. එදා ප්‍රවීණ රංගධර ජෝ අබේවික්‍රම අතින් සම්මානය ගත් අවස්ථාව මගේ ජීවිතයේ සුන්දර මතක සටහනක්.

* එදා ජනප්‍රිය නවක නළුවා පසුව සිනමාවෙන් දුරස් වුණා නේද?

පළමු චිත්‍රපටය දින හැත්තෑ හතක් තිරගත වුණා වගේම එයින් පසු දායක වුණු ‘චායා මායා’ දින් හැත්තෑ හතක් පසු කළා. කලාත්මක චිත්‍රපටයක් වුණු ‘සුදු පිරුවට’ සම්මාන අතරට ගියා. තවත් චිත්‍රපට කිහිපයකටම ආරාධනා කරලා තියෙන විටදී මෙරට ප්‍රධාන බැංකුවකින් චිත්‍රපට හදන්න දෙන ණය පහසුකම නැති වුණා. මේ සමඟින් හැදෙන චිත්‍රපට ගණන අනිවාර්යයෙන් අඩු වෙන බව මම දැනගෙන හිටියා. ඒ ගැන කල්පනා කළ මම ව්‍යාපාරික අංශයට යොමු වුණා. 1996 වසරේදී අප්පච්චි අපෙන් සමු ගත්තා. ඒ වෙනකොට මල්ලි එංගලන්තයේ නීති ශිෂ්‍යයෙක්. ඔහුට සහය වෙන්නත් ඕනි. ඒ නිසා මම වැඩි අවධානය යොමු කළේ ව්‍යාපාරික අංශයට. සිනමාවෙන් කතා කළොත් දායක වෙනවා කියලා හිතාගෙන හිටියා.

කිව්වත් වගේම අපේ රටේ හැදෙන චිත්‍රපට සංඛ්‍යාවේ අඩුවක් ඇති වුණා. ඒ නිසා හැමෝටම දායක වෙන්න තරම් චිත්‍රපට ගොඩක් හැදුනේ නැහැ. රවී අයියා, සනත්, ජීවන්, රන්ජන්, ශෂි මේ අය අතරෙත් බෙදිලා චරිත ලැබෙන කොට චිත්‍රපට විශාල සංඛ්‍යාවකට දායක වෙන්න බැහැ නේ.

ඒත් මම සිනමාවෙන් දුරස් වුණේ නැහැ. වරින් වර ලැබුණු ආරාධනා අනුව මගේ රංගන දායකත්වය ලබා දුන්නා. ශ්‍රී ලාල් ප්‍රියදේව ඔහුගේ චිත්‍රපට කිහිපයකටම මට ආරාධනා කළා. හොඳ චරිත ලැබුණා. ඒ අතරේ විකට චරිත වගේම දුෂ්ට චරිතත් තියෙනවා. ඒ ගැන හිතේ තියෙන්නේ සතුටක්. ඉදිරියටත් එහෙමයි මට ගැළපෙන චරිතවලට ආරාධනා ලැබුණොත් මගේ දායකත්වය දෙනවා.

* වර්තමානයේ සිනමාව ගැන මොකද හිතෙන්නේ?

මම නම් වර්තමාන සිනමාවේ හොඳ මට්ටමක් දකිනවා. ඉස්සර තරම් ප්‍රේක්ෂක සංඛ්‍යාව නම් ඉහළ මට්ටමක දකින්න නැහැ. මගේ මතය නම් හොඳ නිර්මාණයක් කළොත් බේරෙන්න පුළුවන් කියලයි. අනිත් කාරණාව නම් ඩිජිටල්කරණය යි. ඒක මිල අධික වුණත් යථාර්ථය එය යි. අපේ සිනමාව ඩිජිටල්කරණය විය යුතුයි. මේ අතරේදී තාක්ෂණයේ නව දියුණුවට පෙර සිටම සිනමාවේ සිටි අධ්‍යක්ෂවරුන්ට හොඳ අවස්ථා උදාවෙලා තියෙනවා. ඔවුන්ගේ පරණ අත්දැකීම් එක්ක නව දැණුම එක් වුණාම නිර්මාණවල ගුණාත්මක බව ඉහළයි.

* පුංචි කාලේ තිබුණු ආසාව චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන එකට දැන් හොඳම වෙලාව කියලා හිතෙන්නේ නැතිද?

සල්ලි තියෙන නිෂ්පාදකවරයෙක් හමු වුණොත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න පුළුවන්. මොකද මට චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න සල්ලි නැහැ. සල්ලි තියෙන නිෂ්පාදකවරයෙක් හමු වුණෙත් නැහැ. මම චිත්‍රපට කතා රචනා කරලා තියෙනවා. ‘ජය ශ්‍රී වේ’ චිත්‍රපටයේ කතාව ලිව්වේ මමයි මල්ලියි. ඒක හින්දි චිත්‍රපටයක් ඇසුරෙන් තමයි අපි ලිව්වේ. නිර්මාණ කාර්යය හොඳ නිසා තාත්තා ඒක භාර ගත්තා.

දැනටත් මම කතා තුන හතරක් ලියලා තියෙන්නේ. ඉදිරියේදී ඒ ඇසුරින් නිර්මාණයක් කිරීමේ බලාපොරොත්තුව තියෙනවා. ආවාට ගියාට නිර්මාණ කරලා වැඩක් නැහැ. හොඳ ප්‍රමිතියකින් නැති නිර්මාණ ජනතාව අතරට යන්නේ නැහැ. චිත්‍රපට හදන්නේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන්. ඔවුන් ඒවා පිළිගන්නේ නැති නම් වැඩක් නැහැනේ. මම රංගනයෙන් දායක වූ නිර්මාණ ජනතාව අතරට ගියා. ඔවුන් ඒවා පිළිගත්තා. ජනප්‍රිය වුණා. ඉදිරියේදී නිර්මාණයක් කරනවා නම් ඒ නිර්මාණයත් එසේ විය යුතුයි.