වර්ෂ 2016 ක්වූ ජූලි 07 වැනිදා බ්‍රහස්පතින්දා




දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු

නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 5


මෙරට වේදිකා ඉතිහාසය ගෙනහැර පාමින් නාට්‍ය හා රංග කලාව විෂය ඇසුරු කරමින් ලියැවෙන ලිපි මාලාවක්

දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු
හෙන්රි ජයසේන

හුණුවටයේ කතාව

හෙන්රි ජයසේන සිංහල වේදිකාවේ දැවැන්තයෙකි. ඔහු නළුවකු, රචකයකු, පරිවර්තකයකු හා නිෂ්පාදකවරයකු ලෙස ස්වකීය ප්‍රතිභානය නොමඳව විදහා දක්වා ඇත.

හෙන්රි නාට්‍යයකරණයට ප්‍රවිෂ්ට වන්නේ ගුණසේන ගලප්පත්ති හා දයානන්ද ගුණවර්ධන මෙන්ම ගුරුවරයකු ලෙසය. ඔහු නුවරඑළිය දිස්ත්‍රික්කයේ පදියපැලැල්ල දෙහිපේ සිංහල ප්‍රාථමික විදුහලේ ඉංග්‍රීසි උප ගුරුවරයකු ලෙස කටයුතු කළේය. හෙන්රිගේ මුල්ම නාට්‍ය නිර්මාණය ලෙස සැලකිය හැකි 'ජානකි' (1951) බිහිවන්නේ එහිදීය.

කොළඹ කේන්ද්‍රීය නිෂ්පාදනයක් ලෙස ගත හැකි හෙන්රිගේ මුල්ම නාට්‍යය 'මනමාලයෝ' ය. (1953) එය ආර්. බී. ෂෙරිඩන්ගේ 'ද රයිපල්ස්' (ඊඩ්ඡ් අධ්ඍඒඹ්ඉ) නම් වූ නාට්‍යයේ අනුවර්තනයකි.

ඊට පසු හෙන්රි ඔස්කා වයිල්ඩ්ගේ නාට්‍යයකට යොමු වූයේය. ඒ 'අ වුමන් ඔෆ් නෝ ඉම්පෝටන්ස්'ය. මෙය 'වැදගත්කම' (1954) නමින් ඔහු සිංහල වේදිකාවට ගෙනාවේය.

හෙන්රි ඊළඟට අවධානය යොමු කළේ ග්‍රීක නාට්‍යයක් වෙතය. ඒ ඇරිස්ටෝෆානිස්ගේ 'ද ක්ලවුඩ්ස්'ය. (1958) 'ඇත්ත කුමක් ද?' යන නමින් එය නිෂ්පාදනය වූයේය. මෙහි අනුවර්තනය මහාචාර්ය ඩග්ලස් අමරසේකරගෙනි.

අපට පුතේ මගක් නැතේ

කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සිංහල සංගමයේ ඇරියුමකට අනුව හෙන්රි නාට්‍යයක් ලියා රඟ දැක්වූයේය. ඒ 'පව්කාරයෝ'ය. (1958) පියදොර් ඩොස්ටොයෙව්ස්කිගේ 'ක්‍රයිම් ඇන්ඩ් පනිෂ්මන්ට්' නවකතාව ඇසුරෙන් මෙහි පිටපත ලියැවී තිබිණි. මේ නාට්‍යය ප්‍රේක්ෂකයන්ට ගෝචර නෝවූයේය. ඔවුහු 'හූ' කියමින් නාට්‍යයට බාධා පැමිණහූය. නාට්‍ය නැරඹූ එක් ප්‍රේක්ෂකයෙක් 'උඹල නෙවෙයි පව්කාරයෝ අපියි' යනුවෙන් කියා ඇත. 'මනමේ' නාට්‍යයෙන් ඇති වූ ශෛලිගත නාට්‍ය රැල්ල නිසා තාත්වික (සංවාද) නාට්‍ය තටු සිඳුණු කුරුල්ලකු මෙන් ඇද වැටුණු බව හෙන්රි පසු කලෙක සඳහන් කර ඇත.

ඉන්පසු ඔහු නිපද වූ 'ජනේලය' (1961) ශෛලිගත හා තාත්වික යන සම්ප්‍රදායන් දෙකේම එක්තරා සංකලනයක් වූයේය. මෙම නාට්‍යය නැරඹූ මහාචාර්ය සරච්චන්ද්‍ර 'මෙය බ්‍රෙෂ්ට් සම්ප්‍රදායේ නාට්‍යයක් වගෙයි' යනුවෙන් කියා ඇත. ඒ වනවිට හෙන්රි බ්‍රෙෂ්ට් ගැන කිසිවක් දැන සිටියේ නැත.

'කුවේණි' (1963) ද මුළුමනින්ම තාත්වික නාට්‍යයක් නොවූයේය. එහි ද ශෛලිගත ලක්ෂණ තිබිණි. හෙන්රි මෙය හඳුන්වා ඇත්තේ 'කල්පිත' (ෆැන්ටසි) නාට්‍යයක් ලෙසිනි. 'කුවේණි' වඩාත් වැදගත් වන්නේ දෘෂ්ටිවාදය සම්බන්ධයෙනි. යකින්නියක ලෙස සම්මතයේ පිළිගත් 'කුවේණිය' අනුකම්පා ලැබිය යුතු ගැහැනියක ලෙස සලකා කෙරුණු නිරූපණයක් මෙහිලා දක්නට ලැබිණි.

කෙසේ වෙතත් 'ජනේලය' හා 'කුවේණිය' හෙන්රි පසු කලෙක හැඳින්වූයේ 'නළල රැලි ගැන්වෙන' නාට්‍ය වශයෙනි. 'තවත් උදෑසනක්' (1964) ඉහත නාට්‍ය දෙකට වඩා සරල කතා වස්තුවකින් හා ආකෘතියකින් යුක්ත වූයේය. 'තවත් උදෑසනක්' පිටිසර ගම්මැද්දක වුව පෙන්වා ප්‍රේක්ෂකයන්ට නාට්‍ය රසයක්, අරුත් රසයක් ලද හැකි බව හෙන්රි කියා ඇත. ගොවිජන පරිසරයක ගැමි චරිත කීපයක් හා ඔවුන්ගේ එදිනෙදා ජීවිත කෙරෙහි බලපාන හිරු එළිය, වර්ෂාව, ඉඩෝරය වැනි සාමාන්‍ය සිදුවීම් කීපයක් මේ නාට්‍යයට පාදක වෙයි.

මකරා

1964 දී හෙන්රිට එංගන්තය, සෝවියට් දේශය වැනි රටවල් කීපයක සංචාරය කරන්ට අවස්ථාව ලැබිණි. ඔහු බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ 'හුණුවටයේ කතාව' නාට්‍යය නරඹන්නේ සෝවියට් දේශයේදීය.

ටෙනසි විලියම්ස්ගේ 'ද ග්ලාස් මෙනාජරි' නාට්‍යය හෙන්රි 'අහස් මාළිගා' (1966) නමින් සිංහල වේදිකාවට ගෙන ආවේය. විලියම්ස්ගේ නාට්‍ය අතරින් අපේ රටට තරමක් හෝ ගැළපුණේ මේ නාට්‍යය පමණකැයි සිතමි. හෙන්රි පසුකලෙක මෙහි සම්පූර්ණ පරිවර්තනයක් 'පුංචි පළිඟු රෑන' නමින් ප්‍රකාශනයට පත් කළේය.

'මනරංජන වැඩ වර්ජන' (1966) හෙන්රි දේශපාලන තේමාවකින් යුතුව කළ නාට්‍යයකි. ඉල්ලීම් 21 ක් වෙනුවෙන් 1985 දී දියත් කළ වැඩ වර්ජනය පාදක කරගෙන ඔහු මේ නාට්‍ය ලීවේය. බොහෝ ප්‍රේ්ක්ෂකයන් මෙය දුටුවේ කම්කරු විරෝධී නාට්‍යයක් ලෙසිනි. ගාමිණී හත්තොටුවේගම මෙ නාට්‍යය විචාරය කරමින් කියා ඇත්තේ එය 'වෘත්තීය සමිති විරෝධී' නාට්‍යයක් බවය. හෙන්රි 'ජනේලය', 'කුවේණි','තවත් උදෑසනක්' යන නාට්‍ය ලියා ඇත්තේ හදවතින් නම් මෙම නාට්‍යය ලියා ඇත්තේ මනසින් බවක් පෙනෙන්ට තිබිණි.

'හුණුවටයේ කතාව' (1967) හෙන්රිගේ විශිෂ්ටතම නාට්‍යය ලෙස විචාරකයෝ පිළිගනිති. ගුණසේන ගලප්පත්ති 'දේවතා එළි' නාට්‍යයෙන් හා දයානන්ද ගුණවර්ධන 'ඉබ්කට්ට් නාට්‍යයෙන් බ්‍රෙෂ්ට්ගේ කතා තේමා හා රංග රීතිය සිංහල වේදිකාවට හඳුන්වා දුන්න ද බෙ‍්‍රෂ්ට්ගේ නාට්‍යයන් පළමුවතාවට සිංහලෙන් නිපදවෙන්නේ 'හුණුවටයේ කතාවෙනි'.

කුවේණි

පසුගිය සියවසේදී සිංහල වේදිකාවට වැඩිම බලපෑමක් කළ විදෙස් නාට්‍යකරුවා වූයේ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් යැයි කිව හැකිය. ඔහුගේ 'හුණුවටයේ කතාව' පමණක් නොව තවත් නාට්‍ය ගණනාවක්ම සිංහලට පරිවර්තනය වී වේදිකාගතව ඇත. 'හුණුවටයේ කතාව' නව නිෂ්පාදනයක් ලෙසින් පසු කලෙක පරාක්‍රම නිරිඇල්ල විසින් ද ඉදිරිපත් කරන ලදී.

හෙන්රිගේ 'හුණුවටයේ කතාව' ගැන සඳහන් කරන ආචාර්ය සරත් අමුණුගම තමා ඇමෙරිකාවේ හා යුරෝපයේ මෙම නාට්‍යයේ නිෂ්පාදන දැක ඇති බවත් හෙන්රිගේ නිෂ්පාදනය සෑම අතින්ම ඒවාට සම කළ හැකි බවත් කියා සිටී.

බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය පිළිබඳ ශාස්ත්‍රාලයීය මට්ටමෙන්ම ගැඹුරු හැදෑරීමක් කර ඇති ආචාර්ය මයිකල් ප්‍රනාන්දු කියා ඇත්තේ සිංහල වේදිකාවේ රඟදැක්වුණු බ්‍රෙෂ්ට් නාට්‍ය අතරින් නිෂ්පාදනය මෙන්ම ප්‍රේක්ෂක ප්‍රතිචාර අතින් ද වඩාත් සාර්ථක නාට්‍යය හෙන්රිගේ 'හුණුවටයේ කතාව' බවය.

'අපට පුතේ මඟක් නැතේ' (1968) හෙන්රි විශ්ව විද්‍යාල සිසුන්ගේ ප්‍රශ්න සාකච්ඡාවට නැඟුණු නාට්‍යයක් විය. 'මනරංජන වැඩ වර්ජන' කම්කරු විරෝධී නාට්‍යයක් සේ හැඳින්වූවාක් මෙන් මෙය ද ශිෂ්‍ය විරෝධී නාට්‍යයක් සේ ඇතැම්හු හැඳින්වූහ. වාමාංශික පුවත්පත් මේ නාට්‍යය හැඳින්වූයේ 'ගොවි කම්කරු දූ පුතුන් එල්ලා මරන නාට්‍යයක්' ලෙසිනි.

'දිරිය මව සහ ඇගේ දරුවෝ' (1972) බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ 'මදර් කරේජ්' නම් වූ නාටකයේ පරිවර්තනයකි. එය යුද විරෝධී නාට්‍යයයක් ලෙස සැලකේ. 'හුණුවටයේ කතාවේ' මෙන්ම මෙම නාට්‍යයේ ද තමා බ්‍රෙෂ්ට් විසින් අනුදක්නා ලද දුරස්ථිකරණ න්‍යාය (ඒඹ්ධ්ඡ්ව්ඒඊධ්ර්‍ණව්) උරමත පැටවුණු කුරුසියක් වීමට ඉඩ නොතැබූ බව හෙන්රි සඳහන් කරයි. ඔහු කියා සිටියේ තම වැටහීම අනුව අවශ්‍ය යැයි හැඟෙන ප්‍රමාණයට බ්‍රෙෂ්්ට්ගේ නිෂ්පාදන ධර්මතා තුළ පිහිටා මෙම නාට්‍යය නිෂ්පාදනය කළ බවයි. 'හුණු වටයේ' මුඛ්‍ය අදහස 'දෙයක් වේ නම් යම් - සුදුස්සාටම අයිති විය යුතු' යන්න නම් 'දිරිය මව' නාට්‍යයේ මුඛ්‍ය අදහස 'මුළු ලෝකයම පණ අඳිනවා' යන්නයි. 'දිරිය මව' පසු කලෙක එංගලන්තයෙන් මෙරටට ආ සූ වෙස්්ටර්න් මහත්මිය යළිත් නිෂ්පාදනය කළාය. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ අනෝජා වීරසිංහය.

දිරිය මව සහ ඇගේ දරුවෝ

'මකරා' (1973) හෙන්රිගේ ඊළඟ නාට්‍යයයි. එය සෝවියට් නාට්‍ය රචක යෙව්ජිනි ෂ්වාට්ස්ගේ 'ද ඩ්‍රැගන්' නම් වූ නාට්‍යයේ පරිවර්තනයකි. හෙන්රි නැගෙනහිර බර්ලිනයේදී මෙම නාට්‍යයේ නිෂ්පාදනයක් දැක තිබිණි. ඔහු 'මකරා' නිෂ්පාදනය කළේ ඒ උත්තේජනයෙනි. ධර්මසිරි බණ්ඩාරනායක පසු කලෙක 'මකරාක්ෂයා' නමින් නිෂ්පාදනය කළේ ද මේ නාට්‍යමය.

'මිනිසෙක්' (1973) හෙන්රිගේ කෙටි නාට්‍යයකි. ආර්. ආර්. සමරකෝන්ගේ ' ගමනක්' කෙටි නාට්‍යය සමඟ රංගගත විය.

'සරණ සියොත් සේ පුතුනි හඹා යන' (1975) හෙන්රි බුද්ධිගලනය තේමා කරගෙන ලියූ නාට්‍යයකි. එහෙත් මෙය නිෂ්පාදනයක් වශයෙන් සාර්ථක වූයේ නැත.

'සිරිසඟබෝ' (1978) ජෝන් ද සිල්වාගේ එනමින් යුතු නාට්‍යයේ පුනර් නිෂ්පාදනයකි. ටවර්හෝල් නාටක පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙය නිෂ්පාදනය වූයේය. මෙහි විශේෂත්වයක් වූයේ ප්‍රවීණ මුද්‍රා නාට්‍ය ශිල්පී චිත්‍රසේනයන් මෙහි ප්‍රධාන චරිතයක් රඟපෑමයි. 1978 ටවර් රඟහල අභිනවයෙන් විවෘත කිරීම නිමිත්තෙන් 'සිරිසඟබෝ' රංගගත කරන ලදී.

හෙන්රි දක්ෂ රංගවේදියෙක් ද වෙයි. ඔහු තමාගේ 'හුණුවටයේ කතාව' නාට්‍යයේ අසඩක් ලෙස කළ රංගනය මෙහි විදෙස් නිෂ්පාදනවල ඉදිරිපත් කෙරුණු රංගනයන්ට වඩා ඉහළ මට්ටමක පැවති බව එම නිෂ්පාදන නරඹා ඇති නාට්‍ය කලා විද්වත්හු ප්‍රකාශ කරති.