වර්ෂ 2016 ක්වූ ජූලි 07 වැනිදා බ්‍රහස්පතින්දා




සදා නොමියෙන ගී හඬට සදා නොමියෙන ආදරය

සදා නොමියෙන ගී හඬට සදා නොමියෙන ආදරය

මත්තේගොඩ අජිත් ජෝතිය කරසිංහ සිංහල සිනමාවට, නළු නිළියන්ට, ගායක ගායිකාවන්ට බෙහෙවින් ඇලුම් කරන රසිකයෙකි. ඒ නිසාම ඔහු සතුව අපේ නළු නිළියන්ගේ වටිනා ඡායාරූප එකතුවක් ද තිබේ. සරසවිය පුවත්පතේ පැරණිතම පාඨකයකු ද වන අජිත් ජෝතිය සතුව ඉතා අගනා ගී තැටි එකතුවක් ද ඇත.

කුඩා කල පටන් කලාවට ආදරය කරන ඔහු තමන් එකතු කරගත් ඡායාරූප, ගී තැටි සමාජයට දායාද කරන්නේ හද පිරි සතුටිනි. එය ඔහුගේ හද පිරි විනෝදාංශය ද වන්නේය.

1969 වසරේ පටන් එච්. ආර්. ජෝතිපාලයන් මිය යනතුරු ඇසුරු කර ඇති අජිත් ජෝතිය ජෝතිපාලයන්ගේ ඉතා විරල ගනයේ ඡායාරූප රැසක් එකතු කොට ඇත.

6 බී 43/5, මත්තේගොඩ නිවාස ක්‍රමය පොල්ගස්ඕවිට ලිපිනයේ පදිංචි අජිත් ජෝතිය කරසිංහ තමන් පණ මෙන් ආදරය කළ එච්. ආර්. ජෝතිපාලයන් පිළිබඳ එතුමන්ගේ 29 වන ගුණානුස්මරණය නිමිතිකොට මෙලෙස සටහනක් තබනුයේ මේ අයුරිනි.

ජෝති තරම් මගේ හදවත සැනහූ නැල වූ ගායකයෙක් තවත් නැත. මගේ ජීවිතයේ නොයෙක් පීඩාකාරී අවස්ථාවලදී ජෝතිගේ පැරණී ගීයක් ඇසීමෙන් මා ලැබූ, ලබන මානසික සතුට, සුවය අනන්තය, අප්‍රමාණය. ජෝති හා මා අතර ඇත්තේ පෙර ආත්මීය බැඳීමක් බව මගේ දැඩි විශ්වාසයයි.

මා මුලින්ම ජෝති හමු වී දැන හඳුනා ගත්තේ 1969 දී ගුවන් විදුලියේ හඳමාමා ළමා වැඩ සටහනේ ගීයක් ගයන්න ගිය විටදීයි.

ජෝති ගැන බොහෝ අය නොදත් මා ලැබූ අත්දැකීම් කීපයක් කියන්නට මෙය අවස්ථාවක් කර ගනිමි.

මා කුඩා කාලයේ ඉපදී හැදී වැඩුණේ ගම්පොල ප්‍රදේශයේයි. ජෝතිට කොයි තරම් ආදරේ ද කියනවා නම් මට ඒ කාලයේ ජෝතිගේ මුහුණ නොදැක ඉන්න බැරි විය. එහෙම අවස්්ථාවලදී මා කළේ ආධුනික ගීත තරඟයක් තියෙනවා යැයි ගෙදරට බොරුවක් පවසා කොළඹ පැමිණීමයි. ඔඩිෂන් එකක් තිබුණත් නැතත් කොළඹ ආපු ගමන්ම යන්නේ ජෝති අයියව හොයාගෙනයි. ඒ කාලයේ ජෝති අයියා හිටියේ මරදානේ අයිරාංගනී නංගිගේ ගෙදරයි. මාලිගාවත්තට ආවේ පස්සෙයි. එහෙම ආ විට හැම විටම මුලින්ම අහන්නේ මල්ලී ඔය තරම් දුර ඉඳන් ආවේ මාව බලන්නද? මල්ලී දවල්ට කෑවද? වැනි දේවලුයි. එහෙම ආ එක් දිනක මා යන විට ජෝති අයියා කෑම කන්න ලෑස්ති වුණා පමණි. එදත් මුලින්ම ඇහුවේ මල්ලී කාල ද ආවේ කියලයි. මම යන ගමන් කෑම කන්නම් කීවත්, ජෝති බලෙන්ම වගේ ඔහු අත තිබූ ඔහුගේ කෑම පැකැට්ටුව මට ලබා දුන්නේය. ඒ කාලයේ ජෝති ළඟ මුණිදාස කියලා උදව්වට කෙනෙක් ද සිටියේය. ඒ මොහොතේදී ඔහු ලවා කෑම එකක් ගෙන්නා ගත්ත ජෝති අයියා එය අනුභව කළේය. ඒ මා දුටු ඔහුගේ උතුම් ගුණයකි.

තව දිනකදී ජෝති අයියා අසනීප වී මහ රෝහලේ නවත්වා ඇති බව ආරංචි විය. ඒ කාලයේ ජෝති වරින්වර අසනීප වූ අවස්ථාවල කොළඹ මහ රෝහලේ මර්චන්ඩ් වෝඩ් එකේ නැවතී ප්‍රතිකාර ගනු ලැබිණි. එහි ජෝතිටම වෙන් වූ තැනක් තිබුණි. එහෙම හිටිය එක දවසක මා හනික ජෝති බලන්න ගියෙමි. ඒ වෙලාවේ වාට්ටුවේ කොරිඩෝ එකට පිටින් මේස පුටුවක වාඩි වී එදා අප දෙදෙනා කතා කරමින් සිටින විට ජෝති එකවරම කලබලයෙන් වගේ නැඟිට කකුලෙන් යමක් පාගනවා මම දැක්කෙමි. ඉන් කලබල වූ ඇයි ඇයි ජෝති අයියේ මොකද වුණේ කියලා ඇසුවාම මල්ලී අම්මා එනවා කිව්වා. ජෝති කළේ අම්මා එන නිසා අතේ තිබ්බ සිගරැට්ටුව පාගා දැමිමයි. ඔය තරම් පෞරුෂයක්, තේජසක් තියාගෙනත් තම අම්මාට තිබුණු ගෞරවය භක්තිය කොයි තරම් ද කියලා එදා මට හොඳින්ම වැටහුණා. ඒ මා දුටු ජෝතිගේ තවත් උතුම් ගුණයකි.

70 දශකයේදී දේශපාලන හේතු මත ජෝතිගේ ගීත ගුවන් විදුලියේ ප්‍රචාරය තහනම් කළා. මේ ගැන ඔහු සෑහෙන කලකිරීමකිනුයි සිටියේ. මොකද ඒ කාලයේ ගීතයක් අහන්න තිබුණ එකම තැන වුණේ ජාතික ගුවන් විදුලිය පමණයි. ජෝතිට සිදු වූ මේ මහා අසාධාරණය ගැන හමු වූ හැමවිටම වාගේ කතා කළා. දිනක් ජෝති කිව්වා මල්ලී ඕගොල්ලෝ එකතු වෙලා ගුවන් විදුලියේ සභාපතිටයි, අධ්‍යක්ෂ ජනරාල්ටයි ලියාපදිංචි තැපෑලෙන් මේකට විරුද්ධව ලියන්න කියලා. අපි මීට විරුද්ධව ලිපි, පෙත්සම් යවමින් කරන්න හැකි හැම දෙයක්ම ජෝති වෙනුවෙන් කළා. අන්තිමේදී අපේ සටනේ ප්‍රතිඵලයක් වශයෙන් ටික කලකින් ඒ තහනම ඉවත් කර ගන්නට බලධාරින්ට සිදු වුණා.

මා ගම්පොල හිටිය කුඩා කාලයේදී දිනක් ජෝති සංගීත ප්‍රසංගයකට අපේ ගමට ආවා. එදා මා හිටියේ ජෝති ළඟමයි. මා ගුවන් විදුලියේදී ඊට පෙර දැන හඳුනගෙන සිටිය නිසා මට ආදරයෙන් කතා කළා. සංදර්ශනය ඉවර වෙලා ගායකයෝ යන්න ලෑස්ති වෙනවා. මට ජෝතිව දාලා යන්නම බැරි තත්ත්වයට පත් වුණා. ඉවසන්න බැරි තැන ජෝති අයියා එක්කම ගම්පොල ටවුමට යනකල් එන්නම් කියලා පෙරැත්ත කළා. ජෝති එවිට කිව්වා මල්ලී ගෙදරින් හොයයි කියලා. ඕනෑ දෙයක් වුණාවේ කියලා මාත් ජෝති එක්ක එනවා කිව්වම, මාවත් බස් එකට නංවා ගත්තා. කෙළින්ම ගියේ ගම්පොල තානායමට. එහිදී ජෝති කෑම කාලා මටත් කන්න දුන්නා. එදා ජෝති ආපසු යද්දී ඉතාම වේදනාවෙන් බස් එක නොපෙනී යනුතුරු බලා සිටලා ආපසු තනියම ගෙදර ආවේ උමතුවෙන් වගේ. පපුව පැලෙන්න තරම් දුක් වුණා.

මා ඉහත පැවසුවේ ජෝති ඇසුරේ ලැබූ අත්දැකීම් රසතැන් කීපයක් පමණි. ඉතින් මා ජීවත්ව සිටින තාක් කල් ජෝති අයියා වෙනුවෙන් කළ හැකි, මතු පරපුර අතරත් ජෝති සදා ජීවත් කරවීම මගේ ලොකුම පැතුමයි.

මේ ජෝති නැති සොවින් තවමත් හඬා වැළපෙන සහෘදයා

අජිත් ජෝතිය කරසිංහ (071-9958395)

සදා නොනිමෙන ගී හඬ එච්. ආර්. ජෝතිපාලයන් සමඟ

අජිත් ජෝතිය කරසිංහ හා ජයතිස්ස හෙට්ටිආරච්චි.


ජෝති උපහාර ‘සිරියමෙ සාරා’ 8 වැනිදා

කලා ලංකා පදනම මඟින් සංවිධානය කරනු ලබන ජෝති උපහාර ගී ප්‍රසංගය 'සිරියාමෙ සාරා' මෙම මස 08 වැනිදා එනම් හෙට සවස මරදාන ටවර් රංග ශාලාවේදී පැවත්වෙයි. සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම එදින සංගීතය මෙයෙවනු ලබයි. කථනය වසන්ත රෝහණ සමඟ මේකලා වසුන්දරාගෙනි. සිරියමේ සාරා ප්‍රසංගය නැරැඹීම සඳහා ජෝතිපාලයන්ට ළැදි සියලුම රසික රසිකාවන්ට කලා පදනම වෙනුවෙන් එහි සභාපති ආචාර්ය මර්වින් සිල්වා සහ ලේකම් සමන් අබේගුණවර්ධන යන මහත්වරුන් විවෘත ආරාධනාවක් කරයි.


ජෝති පුෂ්පෝපහාරය අද

එච්. ආර්. ජෝතිපාල පදනම මඟින් සංවිධානය කරනු ලබන 29 වැනි ජෝති අනුස්මරණ පුෂ්පෝපහාර උත්සවය මෙම මස 07 වැනිදා එනම් අද උදෑසන 10.30 ට බොරැල්ල සුසාන භූමියේ ජෝතිපාල සමරු ඵලකය අභියසදී පැවැත්වෙයි. සවස මරදාන කුලරත්න ශාලාවේදී ජෝති අනුස්මරණ ප්‍රසංගය පැවැත්වෙනු ඇත. ජනප්‍රිය ගායක ගායිකාවන් 22 ඒ අවස්ථාව ගීතවත් කිරීමට නියමිතය. සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමනාත් කොඩිතුවක්කුගෙනි.


කහවත්තේදී ජෝති උපහාර ගී අද

ජෝතිපාලයන්ගේ 29 වැනි ගුණ සමරුව නිමිති කර ගනිමින් පන්සිළු භාරත ලංකා ගී රසික සංසදය සහ කහවත්ත සංස්කෘතික බල මණ්ඩලය එකමුතුවෙන් සංවිධානය කළ ජෝති උපහාර ගී ප්‍රසංගය මෙම මස 07 වැනිදා එනම් අද සවස කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ. දිවයිනේ ජනප්‍රිය කලාකරුවන් රැසක් ගී ගයනු ලබන මෙහිදී ප්‍රාදේශීය කලාකරුවන් කිහිප දෙනෙකුට ජෝති අනුස්මරණ සම්මාන පිරිනැමීමට ද නියමිතය. මෙම අවස්ථාවට සහභාගී වන්නට යැයි ජෝතිපාලට ළැදි රසික රසිකාවන්ට පන්සිලු භාරත ලංකා ගී රසික සංසදය විවෘත ආරාධනාවක් කරයි.