වර්ෂ 2016 ක්වූ ජූලි 07 වැනිදා බ්‍රහස්පතින්දා




අඹ යහළුවන්ට අවසර දුන් ඈ අප හැර ගොසින්ය

අඹ යහළුවන්ට අවසර දුන් ඈ අප හැර ගොසින්ය

පසුගිය සිකුරාදා මධ්‍යහනයේ රූපවාහිනියෙන් මට දුරකතනයෙන් කතා කළ හිතවතියක පැවසුවේ ඈ මියගිය බවය. මම බොහෝ කලක් සිට ඇය ගැන සිතා සිටියෙමි. ඇයව බලන්නට යාමට කීප වරක්ම සිත් වුව ද ඒ ගැන තොරතුරක් සොයා ගත නොහැකි විය. කාලයත් සමඟම පැහැදිලි තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ මම පසුව හිත හදා ගත්තේ ඕ මිය ගියා යැයි සිතීමෙනි. අඹ යහළුවෝ ටෙලි නාට්‍යය ගැන මතකයන් මෝදු වන හැම විටම මට ඇයව අමතක කළ නොහැකිය. රූපවාහිනි සංස්ථාවේ මා සේවය කළ කලදී අඹ යහළුවන් එළි දැක්වීමට අවසරය ලබා ගැනීමට අප වෙනුවෙන් සටන් කළ ආයෝමය කාන්තාව වූවේද ඇයයි. ඕ තොමෝ නමින් ඉන්ද්‍රානි හේරත් ගුණරත්න වූවාය. ඇය එකල රූපවාහිනියේ අධ්‍යාපන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියයි.

ගුණරත්න මිය මට මුණ ගැසෙන්නේ මා ජාතික රූපවාහිනියේ ළමා අංශයේ කොලු ගැටයකුව සිටි අවදියේය. ඒ 1983 වර්ෂයයි. එකල රූපවාහිනියට කිරි කෝඩුකාරයකු වූ මට සේවය කරන්නට සිදුව තිබුණේ ශ්‍රීමතී ඒ. ලියනගේ මහත්මියගේ හත්පණ සහ පිය සටහන් වලටය. ඉඳහිට අපගේ අංශ ප්‍රධානි වූ ආචාර්ය සාලමන් ෆොන්සේකාගේ ඒකාංගික වැඩ සටහන්වලටද මම සහාය වීමි. වර්ෂ 1988 දී අඹ යහළුවෝ නව කතාවට පෙම් බැඳි මට එය ටෙලි නාට්‍යයක් ලෙස නිමවන්නට ඇවැසි වූ විට මා එය පැවසුවේ මගේ ප්‍රධානියා වූ ඩොක්ටර් හෙවත් ආචාර්ය සාලමන් ෆොන්සේකාටය. එතුමන් එය අනුමත කළද අඹ යහළුවන්ට ඇවැසි අවසරය රූපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ලබා ගැනීම ලෙහෙසි පහසු කරුණක් නොවිණි.

එකල රූපවාහිනී බලැත්තන් ප්‍රකාශ කළේ ටී. බී. ඉලංගරත්නයන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු වන නිසා එතුමන්ගේ නවකතාව අනුමත කිරීම යෝග්‍ය නොවන බවයි. පටු දේශපාලන ආකල්ප මත අඹ යහළුවන්ට තහංචි පැමිණි විට එයට පළමු වෙඩි මුරය නිහඬව පත්තු කළේ ඉන්ද්‍රානි හේරත් ගුණරත්න මහත්මියයි. ඉලංගරත්නයන් දේශපාලනයෙන් විශ්‍රාම ගෙන සිටින බව කීප වරක්ම ඒත්තු ගන්වමින් තර්ක කරමින් එතුමිය අඹ යහළුවන්ට අවසර ලබා දුන්නේ නිහතමානීවමය.

ඇගේ නිිහඬ සංග්‍රාමය ඉන් අවසන් නොවිණි. පුහුණු වන නිෂ්පාදන සහකරුවකු මෙන්ම වයස අවුරුදු 23 ක කොල්ලෙකු පරම්පරා තුනක් කිය වූ නවකතාවකින් ටෙලි නාට්‍යයක් කරන්නේ කෙසේදැයි ඉන් අනතුරුව රූපවාහිනි බලැත්තන් ඇසූහ. එයට එරෙහිව නිහඬ සටනක් ගෙන ගියේ ද ඇයමය. ආචාර්ය සාලමන් ෆොන්සේකාගේ මඟ පෙන්වීමෙන් මා අඹ යහළුවන්ට පොරකන විට මා වෙනුවෙන් බලැත්තන් ඉදිරියේ ඇය පෙනී සිටියේ සුදත් තරුණ ළමයකු බව මම දන්නවා. එයාගේ නිර්මාණය වෙනුවෙන් ඒ වගකීම මම භාර ගන්නවා. ඒ ළමයා යහපත් දෙයක් කරාවි යැයි කියමිනි.

ගුණරත්න මිය එසේ පැවසුවේ මන්දැයි මම අද දවසේද නොදනිමි. මා ඇයව සමීපව නොදැන සිටි නමුදු ළමා අංශයේ දුව පනිමින් නේක ළමා වැඩ සටහන්වලට දුක් ගන්නාරාළ කෙනෙකු වූ මා ගැන ඇය ඈත සිට බලා සිටියා යැයි මම සිතමි. එතැන් පටන් අඹ යහළුවන් නිම කිරීමට දුක්ඛ දෝමනස්සයන්ට මා මුහුණ දෙන විට ඈ අප වෙනුවෙන් නැඟී සිටියේ සිය කුසින්ම බිහි කළ දරුවන් ආරක්ෂා කරන ආදරණීය මවක මෙන්ය.

අඹ යහළුවෝ ටෙලි නාටකයේ මුල් කොටස විකාශය වීමට පෙර රූපවාහිනියේදී නැරඹූ එක් වෙළඳ සමාගමක් මෙම නාට්‍යය හරි මදි, ඇදෙනව වගේනේ යැයි කියන විට ඇගේ නෙතග කඳුලක් තිබෙනු මම දිටිමි. කඳුළ මට නුහුරු නුපුරුදු දෙයක් නොවූව ද මා නම් ඒ වන විට සිටියේ මද තරහිනි. එහෙත් එතුමිය නිහඬව සියල්ල දරා ගත්තාය. බොහෝ දිනවල අඹ යහළුවෝ බොහෝ කොටස් නරඹා ඇය මැදිරියෙන් පිටව ගියේ ද නිහඬවමය. ඒ දෑස්වල කඳුළු තිබෙනු මට තවමත් මතකය. ඇය ඒ තරමටම සංවේදී කාන්තාවක වූවාය.

අනතුරුව දිනෙක ඇගෙන් මට ලිපියක් ලැබුණි. එහි ලියා තිබූ එක් කොටසක් මා මෙහි ලියන්නේ ඇය කෙතරම් නිරහංකාර ගැහැනියකදැයි කියන්නටය. එහි මෙසේ සඳහනක් තිබුණි.

'මා මෙම ලිපිය ඔබට ලියන්නේ රූපවාහිනි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස නම් නොවේ. තරුණ ඔබගේ අඹ යහළුවන් දෙස සැබැවින්ම බලන ප්‍රේක්ෂකයකු ලෙසය. නිමල් සහ සුනිල් අතරින් ඔබ අපට කියාපාන ස්වාමි සේවක අරගලයකට මැදි වු ළමා අන්දරය සැබැවින්ම විශ්මයජනකය. අඹ යහළුවන්ට උර දුන් ඔබ හා අත්වැල් බැඳගත් සියලු දෙනාට ද මෙහිදී ස්තුති කිරීමට මම කැමැත්තෙමි'.

ඉන්ද්‍රානි හේරත් ගුණරත්න මහත්මියගේ සෙනෙහෙබර ආඥාදායකත්වය ගැන කියන්නට නම් තව බොහෝ දෑ කිව යුතුය. එහෙත් ඒ සියල්ල පසෙක තබා මම මගේ සටහන මෙසේ අවසන් කරමි.

සෙනෙහෙබර මැතිණිය, ඇසි දිසි මෙහෙවරේ කිසිත් නොදැන සිටි තරුණ කොලු ගැටයකුට එකල අඹ යහළුවන් කරන්නට ඔබ දුන් දිරිය කිසිදා අමතක නොවන්නකි. රූපවාහිනියට අඹ යහළුවන් වටී ද ඒ තරමටම ඒ කොලු ගැටයාට ඔබව ද වටිනා බවය.