වර්ෂ 2016 ක්වූ ජූලි 07 වැනිදා බ්‍රහස්පතින්දා




සිරස සුපිරි තරුව කවුද?

සිරස සුපිරි තරුව කවුද?

සිරස සුපිරි තරු සොයා යෑමේ හත්වැනි අදියරේ අවසන් මහ තරගය මෙම මස 09 වැනිදා එනම් අනිද්දා සවස රත්මලාන ස්ටයින් මැදිරියේදී පැවැත්වෙනු ඇත. භාෂි මධුභාෂිනි, නෙල්කා තිළිණි, නිලාන් හෙට්ටිආරච්චි, පියත් රාජපක්ෂ නම් වූ තරගකරුන් හතර දෙනා එදින කරට කර තරඟ වැදීමට නියමිතය. අප ඔවුන්ගේ වතගොත සොයා ගියෙමු. ඒ අය අතරින් කවුරු සුපිරි තරුව වේවිද තීරණය ඔබේ අතේ.

දක්ෂ ගායිකාවක් වීම අරමුණ ඇති නෙල්කා

රත්නපුරය මැණික් සඳහා හුඟක් ප්‍රසිද්ධයි. රුවන් පුරයෙන් කරළියට පැමිණි දක්ෂතා අතින් මැණිකක් තමයි නෙල්කා තිළිණි කියන්නේ. විවිධාකාර වූ ගීත ගයා සුපිරි තරු වේදිකාව ඒකාලෝක කර ඇය සිප්සතර හැදෑරුවේ රත්නපුර ෆර්ගසන් බාලිකාවෙන්. වර්තමානයේදී නෙල්කා කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ තෙවැනි වසරේ ශිෂ්‍යාවක්. නෙල්කා තරඟ වදින්නේ අංක 15 න්. ඇයට නම් සුපිරි තරු කිරුළ ලැබෙනවාට වඩා මෙම තරඟාවලිය හරහා ඉදිරියට එන්නයි වුවමනාව තියෙන්නේ. බැරි වෙලාවත් කිරුළ දිනුවොත් දක්ෂ ගායිකාවක් ලෙස සංගීත ලෝලීන්ව පිනවන බව ඇය කිව්වා. අනෙක් තිදෙනාගෙන් නෙල්කා වඩාත් කැමැති පියත්ට. ඒ වගේම ඔවුනට සුබපතන්නත් නෙල්කා අමතක කළේ නැහැ. මේ වන විට අවසන් හතර දෙනා අතරේ හිටිය නෙල්කා පෙර වටයකදී ඉවත් වන්නට සිදු වුණා. නමුත් ඇගේ වාසනාවට ඇයට යළිත් තරඟාවලියට එන්න හැකියාව ලැබුණා. ඒ සිදුවීම කවදාවත් අමතක වෙන්නේ නැහැ කියලා අපිත් එක්ක ඇය කිව්වා.

සුබවාදී බලාපොරොත්තු මැද භාෂී

මෙවර සිරස සුපර්ස්ටාර් තරඟාවලිය තුළදී කැපී පෙනුණ චරිතයක් වු භාෂි මධුභාෂිනිි ගම්පහ සිරිකුරුස විදුහලේ ආදි ශිෂ්‍යාවකි. පැරැණි ගීතයන් තමන්ගේම ආරකට ගැයූ නිසාම භාෂි පිළිබඳව සොයා බැලීමට ගොඩක් දෙනෙක් උනන්දු වුණා. තරඟාවලිය තුළදී වෙනස්ම දෙයක් කළ නිසාම විනිසුරු මඬුල්ලේ සිටි තනුජා ජයවර්ධන ඇයව හඳුන්වා දුන්නේ යුගයේ ගායිකාව හැටියටයි. එම කියමන නිසාම තව තවත් භාෂි ගැන නොයෙක් කතාවන් ගොඩ නැඟුණා. මේ භාෂි මෙවර සුපිරි තරු කිරුළ හිස පැළඳීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. වැඩි දෙනෙකු නොදන්නවා වුණාට භාෂි නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරුවරියක්. කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධීන් හදාරා ඇති භාෂිගේ ගම ගම්පහ. අංක හයෙන් තමයි භාෂි තරඟ වදින්නේ. කෙසේ හො සුපිරි තරුව වුණොත් ඉදිරි ජීවිතය සංගීතය වෙනුවෙන්ම කැප වන බව භාෂි කියනවා. ඒ වගේම තමන් එක්ක තරග වදින අනෙක් තිදෙනා ගැනම භාෂි සිටින්නේ සුභාවදී බලාපොරොත්තුවෙන්. වයලින් වාදනය සහ කථක් නර්තනයයි භාෂිගේ විනෝදාංග. සුපර් ස්ටාර් හරහා ලැබුණු ජනප්‍රියත්වය නිසාම භාෂිට අපූරු සිදුවීමක් වෙලා. දිනක් ඇය පාරේ ගමන් කරමින් සිටින විට වාහනයක් පාර මැද නවත්වලා. ඉන් බැස ඇවිත් තියෙන්නේ භාෂිගේ රසිකයෙක්. ඔහු වාහනය පාර මැද තියලා ඇවිත් භාෂිත් එක්ක සෙල්ෆි ගහන්න පටන් ගත්තලු. ඒ වාහනය නිසා පාරත් හොඳටම බ්ලොක් වෙලා. කොහොම වුණත් සෑහෙන්න වෙලාවක් ෆොටෝස් අරගෙන තමයි ඒ රසිකයා භාෂිගෙන් සමු අරගෙන තියෙන්නේ. එතකොටත් පිටුපසින් වාහන පෝලිමක් හිර වෙලාලු.

ජීවිතයම සංගීතයට කැප කරන නිලාන්

ඔබට මතකද 'සප්ත ස්වරයයි' ගීතය ගයා සුපර් ස්්ටාර් වේදිකාවම තමාගේම කරගත් නිලාන් හෙට්ටිආරච්චි. ඔහුගේ හඬට වශී වූ බොහෝ දෙනෙක් ඔහුව හැඳින් වූයේ ගායනයේ අනාගත බලාපොරොත්තුව හැටියට. නිලාන්ගේ ගම වත්තල. නායකකන්ද අගරදගුරු පාසලෙන් සහ කඳාන ශාන්ත සෙබස්තියන් විදුහලෙන් ඉගෙන ගත් නිලාන් පුංචි කාලේ සිටන්ම සංගීතයට සමත් වූ ළැදිකමක් දැක් වූවා. ඒ විතරක් නෙවෙයි නිලාන් එම පාසල්වල සෑහෙන්න ප්‍රසිද්ධයිලු ගායකයකු හැටියට. විවේක අවස්ථාවන්වලදී ඔහු යාළුවෝ වටකරගෙන සිංදු කියනවලු. එහෙම ගෙවුණු නිලාන්ගේ ජිවිතය වඩාත් ආලෝකමත් වන්නේ සකුරා රේන්ජ් සංගීත කණ්ඩායමට එකතු වූ මොහොතේ සිට. එයින් කලකට පසුවයි නිලාන් සුපර ස්ටාර් සඳහා අයැදුම් කරන්නේ. මේ වන විට දිගු ගමනක් ඇවිත් තියෙන නිලාන් අනෙකුත් හිතාදර තරගකරුවන් තිදෙනාගේම හඬවල්වලට ප්‍රිය කරනවා. ඒ වගේම සුපිරි තරුවවීමේ දැඩි හීනයක පසුවන නිලාන් සුපර් ස්්ටාර් වුණොත් ඉන් පසුව සංගීතය හදාරා තවත් පරපුරකට ඉගැන්වීමටද අදහස් කරනවා. නිලාන්ගේ ජීවිතයම සංගීතයලු. සුපර් ස්ටාර් තරඟාවලිය අතරතුර නිලාන් සහ පියත් අපූරු වැඩක් කරලා. ඒ සුපර් ස්ටාර් විනිසුරු මඬුල්ල අනුකරණය කිරීම. මේක කෙනෙකු වීඩියෝ කරලා නිෂ්පාදකවරයාට ලබා දීලා. අන්තිමේ ඔවුන් දෙදෙනාට ඇත්තටම විනිසුරු මඬුල්ල ඉදිරියේ රඟපාන්න වුණාලු. නිලාන් තරඟ වදින්නේ අංක 7 න්.

විවේකයට ක්‍රිකට් ගහන පියත්
 

අන්තිම මොහොතේ සුපර් ස්ටර් තරඟාවලියට අයැදුම් කළ පියත් රාජපක්ෂ කවදාවත්ම හිතෙන්නට නැතුව ඇති මෙතරම් දුර එන්නට පුළුවන් වේවි කියලා. පියත් කැලණීයේ උපන් අයෙක්. විදුර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහුව සුපර් ස්ටාර් සඳහා යොමු කරන්නේ ඔහුගේ මව. පාසලේ බාලදක්ෂ කණ්ඩායමේද සාමාජිකයකු වූ පියත් ක්‍රීඩාවට ද එක සේ දස්කම් පානවා. විවේකී වේලාවට ක්‍රිකට් ගහන්න තමයි ප්‍රියත් වඩාත් කැමැති. ඔහු මෙවර සුපර් ස්ටාර් සඳහා තරග වදින්නේ අංක 8 න්. සුපිරි තරුව වෙන්නට වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන පියත් ඉන් පසුව ගායකයකු වශෆයන් ස්ථාවරවීමට අපේක්ෂා කරනවා. අද ඉඳලා හෙට නැතිවෙන සංගීත ශිල්පියකු නොවී හැකි තරම් කාලයක් ගායනයේ යෙදෙන්නයි ඔහුගේ වුවමනාව. අනෙක් තිදෙනාගේ දස්කම් ඉහළින්ම අගයන පියත් ඕනැම ගීතයක් ගයන්නට ද සමත්කම් දක්වනවා. මේ ළඟදී තරගාවලිය වෙනුවෙන් මරූටි රථයක නැගලා හතර දෙනාම නුවර ගියාලු. පැය පහක් විතර පොඩි කාර් එකේ පැක් වෙලා ගිහින් නුවරින් බහින කොට හොඳ ගණන්ලු. ඒ ගමන කවදාවත් අමතක වෙන්නේ නැති බව පියත් අපිත් එක්ක කිව්වා.