වර්ෂ 2016 ක්වූ ජූනි 16 වැනිදා බ්‍රහස්පතින්දා




මංගල සීනු

මංගල සීනු

අංකල් සෑම්, දේදුනු වැනි ටෙලි සිතුවම් හරහා ඔබේ ආලින්දයට ගොඩ වූ සමාධි පෙරේරා කාටත් හොර රහසේම පති කුලයට පිවිසෙන්නට සූදානම් වෙනවාලු.

කාට හැංගුවත් අපිට ඒ වගේ ආරංචි සඟවන්න බැහැ නේද සමාධි? සමාධි ඒ හින්දා කාටත් කලින් ඒ පුවත ඔන්න අපි මෙලෙස ප්‍රසිද්ධ කළා.

සමාධි රංගනයට අමතරව පෞද්ගලික ආයතනයක රැකියාවක නියැළෙනවා. ඒ ආයතනයෙන් තමයි සමාධි තමන්ගේ සහකරුව සොයගෙන තියෙන්නේ. මේ මාසේ අග සතියේදී සමාධිගේ මංගල හීනය සැබෑ වෙනවා.

ඇය තමන්ගේ ළඟම හිතවත් කිහිප දෙනෙකුට තමයි තමන්ගේ විවාහ මංගල්‍යට එන්න කියලා තියෙන්නේ. මේ දිනවල සමාධි ඒ වෙනුවෙන් හෝ ගාලා වැඩලු.


අපූරු සුසංයෝගය

රූපවාහිනි රචනය - මහේෂ් රත්සර මද්දුම ආරච්චි

අධ්‍යක්ෂණය - එරංග සේනාරත්න

මෙම නම් දෙක මෙලෙස සටහන් වූ නාමාවලියක් රැගත් ටෙලි නාට්‍ය ගණනාවක්ම පසුගිය වසරවලදී විකාශය වුණා ඔබට මතක ඇති. ඒවා ඉහළ ජනප්‍රසාදය ලබමින්, ඒවාහි නළු නිළියන්ගේ සැබෑ නාමය අමතක කොට එම නාට්‍යයේ චරිතයහි නාමයෙන් සමාජය තුළ ජනප්‍රිය වෙමින් පුංචි තිරය දික්විජය කළා. පූජා, කුරුලු පිහාටු, සුදු සේල, මයුමි, නිල් නෙතු මහේෂ් සහ එරංග එකමුතුවෙන් නිර්මාණය වූ මා ඉහත සඳහන් කළ කාරණවලට අදාළ ටෙලි නිර්මාණ කිහිපයක්. වසර හතකට පසු මහේෂ් - එරංග සුසංයෝගය යළි ඇති වෙලා. අවසන් වතාවට ඔවුන් පුංචි තිරයට ගෙන ආවේ නිල් නෙතු. ඉන් පසුවයි මහේෂ් - එරංග මේ නවතම ටෙලි නිර්මාණය ගෙන එන්නේ. මේ දිනවල එහි මූලික වැඩ කටයුතු සිදු කෙරමින් පවතිනවාලු. ලබන මාසයේ මුල සිට මෙහි රූගත කිරීම් අරඹන්නට නියමිතයි.


පියුමි මිසින් !

පසුගිය දිනයක අප සරසවිය ඔස්සේ පළ කළා කලක් නොපෙනී සිටිය නිළියක් ගැන. ඇය බියංකා ෆොන්සේකා. ඒ වගේම තව කෙනෙක්ව අපට හමු වුණා. ඒ පියුමි පුරසිංහ. පියුමිත් දිගු කලක පටන් කිසිදු නිර්මාණයකින් අපට දකින්නට ලැබුණේ නැහැ. ඇයව තමන්ගේ නිර්මාණයකට ගන්නට අධ්‍යක්ෂවරු කිහිප දෙනෙක්ම අපගෙන් පියුමි ගැන විමසීමක් ද කළා. ඇයගේ දුරකතන අංක දෙකම වෙනස් කරලා නිසා අපටත් පියුමි ගැන විස්තරයක් හොයා ගන්න බැරි වුණා. ඇත්තටම පියුමි කෝ?