වර්ෂ 2016 ක්වූ ජූනි 16 වැනිදා බ්‍රහස්පතින්දා




රැඟුමට, ගැයුමට හපන් සංඛ ගම්ලත්

රැඟුමට, ගැයුමට හපන් සංඛ ගම්ලත්

රංගනයට මෙන්ම ගායනයට එකසේ දස්කම් පානා සංඛ ගම්ලත් නව පරපුරේ දක්ෂ කලාකරුවෙකි. සිනමාවේ මෙන්ම පුංචි තිරයේ ද විවිධ චරිත රඟමින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්නට ඔහු සමත් වූයේ ද එකී දක්ෂතාවය නිසාය. ප්‍රසංග වේදිකාවේ ගායකයකු ලෙසින් ද ඔහු ජනප්‍රියත්වයට පත්ව ඇත.

පාසල් වේදිකාව ඔස්සේ සිය ගායන, රංගන හැකියාවන් ඔප් නංවා ගත් සංඛ අන්තර් පර්ෂද හා දිස්ත්‍රික් නාට්‍ය හා ගායන තරගවලින් ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට සමත් විය. කලා කුසලතාවන්ට අමතරව සංඛ ක්‍රීඩා කටයුතුවලට ද දැක් වූයේ ඉමහත් කුසලතාවයකි. සංඛ සිය ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ පනාගොඩ - හෝමාගම යුධ හමුදා පාසලෙනි. අනතුරුව ඔහු විගොඩ මහා විද්‍යාලයෙන් හා පහල යාගොඩ ශ්‍රී ස්වර්ණමාලී මහ විදුහලෙන් සිප් සතර හැදෑරීය.

පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මම ‘එයාර් ලංකා’ ගුවන් සමාගමේ රැකියාවකට බැඳුණා. ඉන් පසුව ශ්‍රී ලංකා යුධ හමුදා පොදු සේවා බළකායේ බටහිර තූර්ය වාදක අංශයේ වාදන හා ගායන ශිල්පියෙකු ලෙස කටයුතු කළා. ඇත්තෙන්ම මගේ ගායන හැකියාවන් වඩාත් ඔප් නංවා ගන්නට අවස්ථාව සැළසුණේ එහිදීයි. පසුව මා නීත්‍යානුකූලව ඉන් ඉවත් වී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ආරක්ෂක සහකාරවරයකු ලෙස සේවයට බැඳුණා. නමුත් අද මා සේවය කරන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ. රැකියාව කරන අතරතුරේ ඊට බාධාවක් නොවන විදිහට තමයි කලා කටයුතුවල නිරත වෙන්නේ.

සංඛ එසේ පවසන්නේ සිනහ මුවින් යුතුවය. ඒ සිනහවේ සැඟව ඇත්තේ කවර බාධාවක් වුව මැඬගෙන ඉදිරියට යන නිහතමානී කලාකරුවකුගේ ලක්ෂණයන්ය.

මා රඟපෑ මුල්ම චිත්‍රපටය තමයි ජොලි බෝයිස්. එහි අධ්‍යක්ෂ ලුවී වැන්ඩස්ට්‍රාටන් මට ද්විත්ව චරිතයක් රඟපාන්න අවස්ථාව ලබා දුන්නා. ඉන් පසු මම කිං හන්තර් චිත්‍රපටයේ ආමි ඔෆිසර් කෙනෙකු විදිහට රඟපෑවා. සුරේෂ් කුමාරසිංහගේ ‘සිහින දෙව්දුව‘ චිත්‍රපටයේ මම පාතාල නායකයෙක්. ලුවී වැන්ඩස්ට්‍රාටන්ගේ ‘ධර්ම පුත්‍ර’, ‘පැරිෂුට්’ චිත්‍රපට දෙකෙත් මම රඟපෑවේ පාතාල සහයකයෙක් හැටියට.

ඔබ D.V.D. චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වුණා නේද?

ඔව්. ලුවී වැන්ඩස්ට්‍රාටන්, උපුල් ගුණවර්ධන, අසේල නානායක්කාර වැනි අධ්‍යක්ෂවරුන් යටතේ D.V.D. චිත්‍රපටවල මම රඟපෑවා.

මොනවද රඟපෑ ටෙලි නාට්‍යය?

‘කෝපි කඩේ’ මාලා නාටකයේ හාමුදුරුවන් ලෙස මම රඟපෑ චරිතය ප්‍රේක්ෂකයන් වැළඳ ගත්තා. සමහරු අදටත් මාව හඳුන්වන්නේ කෝපි කඩේ හමුදුරුවෝ කියලයි. ඒ වගේම විවිධ අධ්‍යක්ෂවරු යටතේ මට ටෙලි නාට්‍යය රැසක විවිධ චරිත නිරූපණය කරන්නත් අවස්ථාව ලැබුණා.

සමනලුන්ට වෙඩි තියන්න, හංසි, ලාභයි ඇපල්, දූවිලි සුවඳ, සපුමලී, අරුනෝදය, මලී, මුහුදු මනාළි, නමක් නැති මිනිහා, හිරුට පිපෙන සූරිය කාන්ත, සොරි මැඩම්, සත් රළ පෙළ, සහේලි, ඒ සිහිනයට අවසරයි, තිමිර දැහැන, සංඛ රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍යය නිර්මාණයන්ය. තමන්ට රඟපෑමේ අවස්ථාව ලබා දුන් සියලුම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරුන් ඔහු සිහිපත් කරන්නේ බැතිබර සිතෙනි.

සමන් ප්‍රනාන්දු, ප්‍රදීප් ධර්මදාස, නිමල් රත්නායක, සංජය ගුණවර්ධන, මොහාන් නියාස්, චන්දන ධර්මප්‍රිය, රොෂාන් කුරුප්පු, උපුල් ගුණවර්ධන, පද්මසිරි කොඩිකාර, සුමිත් කුමාර ඇතුළු අධ්‍යක්ෂවරුන් රැසක් මාව ඔවුන්ගේ ටෙලි නාට්‍යවලට සම්බන්ධ කර ගත්තා. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි.

ළඟදීම තමාගේ ස්වතන්ත්‍ර ගී ඇතුළත් සංගත තැටියක් එළි දැක්වීමට සංඛ බලාපොරොත්තු වේ. ඒ සංගීතයට ඔහු දක්වන අසීමිත ලබැඳියාව නිසාවෙනි. ගැයුමෙන්, රැඟුමෙන් තව තවත් ඉදිරියට යාම සඳහා ශක්තිය, ධෛර්්‍යය මේ කලාකරුවට ලැබේවායි ‘සරසවිය’ ප්‍රාර්ථනා කරයි.