වර්ෂ 2016 ක්වූ ජූනි 16 වැනිදා බ්‍රහස්පතින්දා




නැඟී එන නිළිය සම්මානය ලැබීම මැරෙන තුරාවටම සුන්දර මතකයක් ප්‍රියංකා

නැඟී එන නිළිය සම්මානය ලැබීම මැරෙන තුරාවටම සුන්දර මතකයක් ප්‍රියංකා

2002 වසරේ පැවැති සරසවිය සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය ලෙසින් පිදුම් ලැබූයේ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘පුරහඳ කළුවර’ චිත්‍රපටය යි. එය හොඳම චිත්‍රපටය, හොඳම නළුවා, හොඳම තිර රචනය ඇතුළු සම්මාන ලබන විටදී නැඟි එන නිළිය ලෙසින් සම්මාන ලැබූයේද එහි වන්නිහාමිගේ දියණියගේ චරිතයට පණ දුන් ප්‍රියංකා සමරවීර යි. ‘පුරහඳ කළුවර’ ප්‍රියංකාගේ ප්‍රථම සිනමා රංගනය යි. ප්‍රථම රංගනයේ සම්මානනීය මතක සටහන ඇය යළි සිහිපත් කළේ මෙලෙසින්.

“මගේ ප්‍රථම චිත්‍රපටය වුණේ ‘පුරහඳ කළුවර’. ඒ රංගනය වෙනුවෙන් සරසවිය සම්මාන උලෙළේදී ලද නැගී එන නිළිය සම්මානය මගේ ජීවිතයේ ලද ප්‍රථම සම්මානය යි. ඊට පෙර මම කිසිම දවසක සරසවිය සම්මාන උලෙළකට සහභාගි වෙලාවත් තිබුණේ නැහැ. අපේ රටේ සිනමාව වෙනුවෙන් පැවැති ප්‍රධානතම සම්මාන උලෙළකට සහභාගි වෙන්න ලැබීමත් වාසනාවක්. ඒක ඇත්තටම හීනයක් වගේ. මේ සැරේ ඔයාටත් සම්මානයක් ලැබේවි කියල කිහිපදෙනක්ම මට කිව්වා. සම්මාන ලැබුණත් නැතත් සරසවිය සම්මාන උලෙළට සහභාගි වෙන්න ලැබීමත් ලොකු දෙයක් විදියටයි මම හිතුවේ.”

* සම්මානය වෙනුවෙන් නම නිවේදනය කරන විට දැනුණු හැඟීම?

මගේ නම නිවේදනය කරන වෙලාවේ මම ගල් ගැහිලා වගේ හිටියා. මට ආසනයෙන් නැඟිටින්නත් අමතක වුණා. ඇත්තටම මට හිතාගන්න බැරි වුණා. මට රංගන හැකියාවක් තියෙන බව මමවත් දැනගෙන හිටියේ නැහැ. එදා මට සරසවිය සම්මාන උලෙළේ නැගි එන නිළිය සම්මානය හිමි වීම මගේ ජීවිතයේ මැරෙණ තුරාවට මතකයේ තියෙන සුන්දරතම අත්දැකීමක්. සරසවිය සම්මාන උලෙළේ පිළිගැනීම ගැනත් විශේෂයෙන් කිව යුතුමයි. බොහොම උණුසුම් පිළිගැනීමක් තිබුණා. ප්‍රවීණ නවක කියා වෙනසක් දැනුණේ නැහැ. ඒ වගේම සරසවිය සම්මාන උලෙළේ තිබුණේ පුදුමාකාර ගාම්භිරත්වයක්.

* සම්මානනීයවීම දක්වා එන්න රංගන වරම් ලැබුණේ කෙහොමද?

මට රංගනයට අවස්ථාව උදා වුණේ අශෝක හඳගම අයියා නිසා. එයාගේ ‘දියකැට පහණ’ ටෙලි නාට්‍යයට දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. ප්‍රසන්න විතානගේ අයියා ‘පුරහඳ කළුවර’ චිත්‍රපටයට මට ආරාධනා කළෙත් ඒ රංගනය දැකලා තමයි.

පාසලේදී දෙකේ පන්තියේදී විතර ගීතමය වේදිකා නාට්‍ය රංගනයට දායක වෙලා තියෙනවා. ඒකත් පිරිමි චරිතයක්. සාමාන්‍ය පෙළ දක්වා සංගීතය ඉගෙන ගත්තත් උසස් පෙළ විද්‍යා අංශයෙන් ඉගෙනීමත් සමඟ කලා කටයුතු සියල්ල නැවතුණා. පළමු වතාවේ විශ්වවිද්‍යාලයට යන්න ලකුණු මදි වුණු නිසා දෙවැනි වතාවට ආයෙමත් විභාගය කරන්න කඩවත ලොකු අක්කාගේ ගෙදර ආවා. අක්කාගේ ගෙදර එහා ගෙදර හිටියේ හඳගම අයියා. ඔහුගේ ආරාධනාවෙන් ආයෙමත් වතාවක් මට කලාවට දායක වෙන්න අවස්ථාව ලැබුණා.

* ‘පුරහඳ කළුවර’ චිත්‍රපටයට දායක වෙන විට රංගනය අමුතු දෙයක් නොවුණත් ප්‍රථම සිනමා අත්දැකීම ලෙසින් ඒ අවස්ථාවට මුහුණ දුන්නේ කෙහොමද?

ඒක හරිම වෙනස් අත්දැකීමක් විදියට තමයි දැනුණේ. දියකැට පහණ කරනවිටදී වුණත් මට වෙන කෙනෙකුගේ රංගනයක් දකින්නවත් අවස්ථාව ලැබුණේ නැහැ. මොකද මුලින්ම තිබුණේ අනෝමා අක්කාගෙයි මගෙයි රූගත කිරීමක්. ගෙදරින් පිටත් වෙන්න කලින් අශෝක අයියා මට කිව්වේ රඟපෑම කියලා අමුතු දෙයක් මෙතැනට ඕනි නැහැ කියලයි. ඔයා සාමාන්‍යයෙන් ඉන්න විදියට ඉන්න කියලයි. මම ගොඩක් විදෙස් ළමා චිත්‍රපට නැරඹූ කෙනෙක්. ඒ හැම අවසථාවකදීම මම හිතුවේ ළමයින්ට පුළුවන් නම් ඇයි මට බැරි කියලයි. ඇත්තටම මම ඒ පොඩි දරුවන්ගෙන් ලොකු ආදර්ශයක් ගත්තා.

‘පුරහඳ කළුවර’ චිත්‍රපටයට යන විට රූගත කිරීමේ ලොකු වෙනසක් දැනුණා. මොකද මීට කලින් කවදාවත් චිත්‍රපටයක් රූගත කරනවා දැකලා තිබුණෙත් නැහැ. ප්‍රසන්න අයියා මාව මුල් දවස් දෙකේම රූගත කිරීම්වලට දායකකර ගත්තේ නැහැ. මම කළේ අනිත් අය කරන දේ දිහා බලාගෙන ඉන්න එකයි. තාක්ෂණික අංශයෙන් ලොකු වෙනසක් අත්දුටුවා. හඬ කවනවිට මට චිත්‍රපටයක් නිර්මාණය කෙරෙන ආකාරය හොඳින්ම වටහා ගන්න හැකි වුණා.

* ප්‍රසන්න විතානගේ නම් අධ්‍යක්ෂවරයා යටතේ රංගනය?

ප්‍රසන්න අයියාත් හඳගම අයියා වගේම රංගනයට ගොඩක් උපදෙස් දුන්නා. ප්‍රසන්න අයියායි ප්‍රවීණ කැමරා ශිල්පී එම්. ඩී මහින්දපාල මහත්මයා සමඟින් අපේ ගෙදරට ඇවිත් ‘පුරහඳ කළුවර’ වෙනුවෙන් ආරාධනා කළේ. ප්‍රසන්න අයියා ඇත්තටම බොහොම කරුණාවන්ත, කිසි කලබලයක් නැති පුද්ගලයෙක්. අපි එක දවසකට ගොඩක් වැඩ කළේ නැහැ. දවස් විසි දෙකක් විතර රූගත කිරීම් යෙදිලා තිබුණා. මුළු චිත්‍රපට කණ්ඩායමම ඒ් දවස් ගණනාවම දර්ශන තලයේ හිටියා. දැන් වගේ නෙවෙයි අපි නිර්මාණ කණ්ඩායම් තුනහතරක වැඩ කළේ නැහැ. හැම වෙලේම ඊළඟ දර්ශනයට පෙර ප්‍රසන්න අයියා අදාළ දර්ශනය ගැන කතා කරනවා. හැම අවස්ථාවකදීම “ඔයාට වෙන දේ කියලා හිතාගෙන කරන්නකෝ” කියලා තමයි ඔහු කිව්වේ. ඔහුගේ අධ්‍යක්ෂණය හරිම සැහැල්ලුයි.

* ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ජෝ අබේවික්‍රම සමඟින් රංගනයට අවස්ථාව ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ජෝ අබේවික්‍රම මහත්මයා එක්ක රඟපාන්න ලැබීමත් වාසනාවක්. ‘පුරහඳ කළුවර’ චිත්‍රපටයේ ජෝ මහත්තයා මට කියන්නේ ‘පුංචි කෙල්ලේ’ කියලයි. ඊට පස්සේ දිගමට එතුමා මට කිව්වේ පුංචි කෙල්ලේ කියලයි. අපි හැමෝම දර්ශන තලයට ගියේ එකම වාහනයකින්. ජෝ මහත්තයා හිටියේ ඉදිරිපස ආසනයක. මමයි අක්කයි පිටුපස ආසනයක වාඩිවෙලා හිටියා. මට ජෝ මහත්තයා දිහා බලන්නත් බය යි. ලොකු ගෞරවයක් හිතේ තිබුණේ. ඒ ගමනේදී ජෝ මහත්තයාම කතා කරලා “මාත් එක්ක රඟපාපු කිසිම කෙනෙක් අතර මඟ වැටුණේ නැහැ. හොඳ ගමනක් ගියා. උඹටත් එච්චර තමයි” කියලා කිව්වා. ඔහුගේ නිහතමානිකම මම ඒ අවස්ථාවේදීම තේරුම් ගත්තා.

නිළි රැජන මාලිනි ෆොන්සේකා අතින් සම්මානය ලබමින්

මට වාසනාවකට කටයුතු කරන්න ලැබුණේ ලංකාවේ හොඳම අධ්‍යක්ෂවරුන් සමඟින්. ඒ අතරේ ජෝ මහත්තයා වැනි ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන්ගෙන් උගත් දේත් මිල කරන්න බැහැ. සිනමාවේදී හෝ ටෙලි නාට්‍යයේදී අපි රඟපාන්නෙත් සාමාන්‍ය ලෝකයේ චරිත. ඒ රඟපෑම රඟපෑමක් විදියට නොපෙන්න කළ යුතු බව මම ඉගෙන ගත්තේ ජෝ මහත්තයාගෙන්. ‘පුරහඳ කළුවර’ චිත්‍රපටයේ ෂුටින් තිබුණේ මැදවච්චිය ප්‍රදේශයේ. ඒ පැත්තේ කතා කරන ආකාරය ටිකක් වෙනස්. ඒ දෙබස් කියන්නත් මට ජෝ මහත්තයාගෙන් ලැබුණේ ලොකු උදව්වක්.

* බොහෝ නළු නිළියන්ට වගේ ඔබටත් ප්‍රථම රංගනය රිදී තිරයේ නැවතත් දකින විට ඊටත් වඩා හොඳින් කළ හැකි බව හිතුණාද?

‘පුරහඳ කළුවර’ චිත්‍රපටයේ රංගනය මගේ ප්‍රථම සිනමා රංගනය වුණත් මට නම් එහෙම හිතුණේ නැහැ. අද බැලුවත් මම එහෙම හිතන්නේ නැහැ.

* නැඟී එන නිළි සම්මානය අතැතිව ඔබේ ඉදිරි රංගන ගමන යෙදුණේ කෙසේද?

 

පුරහඳ කළුවර චිත්‍රපටයේ ලින්ටන් සේමගේ හා නයනා හෙට්ටිආරච්චි සමඟින්

‘පුරහඳ කළුවර’ චිත්‍රපටය වගේම සරසවිය සම්මාන උලෙළේ නැඟී එන නිළිය ලෙසින් සම්මාන ලැබීම සමඟම පරාක්‍රම නිරිඇල්ල අයියාගේ සුදෝ සුදු ටෙලි නාට්‍යයට දායක වෙන්න ලැබුණා. එහි සඳාගේ චරිතයත් විශේෂ වුණා. ඉන්පසුව ජයන්ත චන්ද්‍රසිරිගේ රැජන ටෙලි නාට්‍යයට දායක වුණා. ආනන්ද අබේනායක අයියාගේ නිර්මාණ රාශියකට මගේ රංගන දායකත්වය ලබා දුන්නා. සත්‍යජිත් මාඉටිපේ අයියාගේ බොරදිය පොකුණ චිත්‍රපටයේත් මට විශේෂ චරිතයක් ලැබුණා. පසුගිය කාලයේ සංජීව පුෂ්පකුමාරගේ අලුත් චිත්‍රපටයට දායක වුණා. මගේ රංගන ජීවිතයට අවුරුදු විස්සක් සම්පූර්ණ වුණා. ඒත් මං දායක වුණේ චිත්‍රපට හතරකට විතරයි.

* නිර්මාණ දායකත්වය අඩුවෙන්න හේතුව වාණිජ සහ කලාත්මක ලෙසින් චිත්‍රපට වෙන් කරන නිසාද?

මගේ වැඩි කැමැත්ත තියෙන්නේ කලාත්මක චිත්‍රපටවලට තමයි. අනික මම රංගනයේ යෙදෙන්නේ වෘත්තියක් ලෙසින් නම් නෙවෙයි. මගේ ආත්මතෘප්තිය වෙනුවෙන් මට යමක් කළ හැකි නිර්මාණවලට පමණක් මගේ දායකත්වය ලබා දෙනවා. ක්ෂේත්‍රයේත් යම් යම් තැන්වලදී ගැටලු ඇති වෙනවා. බොරදිය පොකුණ චිත්‍රපටය තිරගත වුණේ වසර දොළහකට විතර පසුවයි. එතැනදී අපේ රංගනයක් දැකලා තවත් කෙනෙකුට අපට කතා කරන්න තියෙන ඉඩ අඩු වෙලා තියෙනවා. මම විතරක් නෙවෙයි කෞෂල්‍යා ප්‍රනාන්දුත් මේ ගැන නිරන්තරයෙන් කතා කළා. අනික මම තරුවක් වගේ ඉන්න කෙනෙකුත් නෙවෙයි. කෝච්චියෙන් ගමන් බිමන් යන බොහොම සාමාන්‍ය විදියට ඉන්න කෙනෙක්. හොඳ දෙයක් කරලා හොඳ දෙයක් ලැබෙනවාට කැමැතියි. එතැනදී නිර්මාණ ගොඩකට දායක වෙන්න ලොකු අවශ්‍යතාවක් නැහැ.

එහෙම කියලා නිර්මාණවලින් ඈත් වෙන්නෙත් නැහැ. බොරු කියන්නේ මොකද මාව හොයාගෙන ඇවිත් කතා කළ අයගේ නිර්මාණවලට හැරෙන්න වෙනත් ආරාධනා ලැබුණෙත් නැහැ. රංගනය කියන්නේ මම ගොඩක් ආසා කරන දෙයක්. වයසට යනවා කියලා නැහැ, මට ගැළපෙන චරිතයක් ලැබුණොත් ඕනිම වෙලාවක දායක වෙන්න මම සූදානම්.