වර්ෂ 2016 ක්වූ ජූනි 16 වැනිදා බ්‍රහස්පතින්දා




මං ප්‍රතික්ෂේප කළ චරිතවලින් සමහර නළුවන් ජනප්‍රිය වුණා

මං ප්‍රතික්ෂේප කළ චරිතවලින් සමහර නළුවන් ජනප්‍රිය වුණා

- සංඛ ප්‍රසාද් පීරිස්

සංඛ ප්‍රසාද් යනු කවුද?

මම ඔබෙන් අසන්නෙමි.

සංඛ... නර්තන ශිල්පියෙක්.

ඔබ එලෙස කියාවි. ඒ මන්දයත් ඔබ සංඛව වඩාත් දැක ඇත්තේ නර්තන ශිල්පියෙකු ලෙසින් වන නිසාය. ඒත් සමඟම සංඛ ඉඳහිට රංගනයේ යෙදෙනු ඔබ දැක තිබෙන්නට පුළුවන. කෙසේ වෙතත් සංඛව ජනප්‍රියත්වයට පත්වූයේ නිසැකවම නර්තන ශිල්පියකු හැටියටය. මේ සංඛ අද සරසවියට ආවේය.

අපි පළමුව සංඛව අතීිතයට කැඳවාගෙන ගියෙමු. අනතුරුව සංඛ ප්‍රසාද් නැමැති ළමා නළුවා අසල ඔහුගේ සිත නතර කළෙමු.

සංඛ පවසන්න වැඩි දෙනෙකුට අමතක ඒ ඔබගේ රංගන මතකය ගැන?

මං පළමුව තුති පුදනවා මගේ මාමා වන හේමසිරි සෙල්ලප්පෙරුම සූරින්ට. ඔහු තමයි මාව රංගනයට ගත්තේ. එතකෙට මං හුඟක් පුංචියි. වයස අවුරුදු අටක් දහයක් විතර ඇති. ප්‍රධාන නළුවාග් ළමා කාලය නිරූපණය කිරිම තමයි මං වැඩිපුරම කළේ.

මොකක්ද ඔබ පළමුව රඟපෑ සිනමාපටය?

මාමගේ නොම්මර 17. එහි සනත් ගුණතිලක මහත්මයාගේ ළමා කාලයට හිටියේ මං.

ඊට පසුව රඟපෑ චිත්‍රපට පෙළ මතක් කළොත්?

කියලා වැඩක් නෑ, සක්කර සූත්තර, උතුර දකුණ, ආසය බයයි, බජාර් එකේ චණ්ඩියා.

සනත් හැර මොන වගේ නළුන්ගේද ඔබ ළමා විය නිරූපණය කළේ?

රන්ජන් රාමනායක, ශෂි විජේන්ද්‍ර, ජිවන් කුමාරණතුංග වගේ අයගේ.

ඔබට වැඩිපුරම මතක හිටින චරිතය වුණේ මොකක්ද?

උතුර දකුණ චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා මහත්තයත් එක්ක මට රඟපාන්න ලැබුණා. මා එහි ඔහුගේ පුතා. එතුමා වැනි කෙනෙකු සමග රඟපාන්න ලැබීමත් භාග්‍යයක්. උතුර දකුණ දර්ශන තලයේ වෙච්ච සිදුවීම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ වගේම ඒ චරිතයත් එහෙම්මම තමයි.

ඇයි ඔබ සෙල්ලප්පෙරුමගේ චිත්‍රපටලට පමණක් දායක වුණේ?

මාමා ඉස්සර එක දිගට චිත්‍රපට හැදුවනේ. එකක් යන්න එකක් රිලීස් වෙනවා. ඒවායින් බහුතරයකට මාව ඔහු ගත්තා. ඉතින් කෝ වෙන ඒවට යන්න වෙලාවක්. අනෙක අධ්‍යාපන කටයුතුත් තිබුණනේ. ඉතින් හිතුණා මාමගේ චිත්‍රපටවලට හිියොත් ඇති කියලා.

සෙල්ලප්පෙරුමගෙන් බැනුම් අහපු අවස්ථා නැතිද?

පළමු චිත්‍රපයේ පළමු දර්ශනයේදීම මං ඔහුගෙන් බැනුම් ඇහැව්වා. මට මුලින්ම කැමරාව ඉදිරියේ කරන්න තිබුණේ හොඳට අඬන එක. මං හරියට ඇඬුවේ නැහැ කියලයි මාමා බැන්නේ. මගෙත් එක්ක තව ළමා නළුවෙකුත් හිටියා. ඔහුගේ මව ඔහුගේ කන මිරිකුවා. එතකෙට ඒ ළමයා අඬන්න පටන් ගත්තා. මගේ අම්මා මට එහෙම කළේ නැහැ. මං ඒකයි හරියට ඇඬුවේ නැත්තේ. අන්තිමේ මාමාගෙන් බැනුම් අහලා හොඳට ඇඬුවා. මාමා වැඩි දර්ශන ගණනාවක් දවසකට ෂූට් කරනවා. ඒ නිසා ඔහු තමන්ගේ චිත්‍රපටවලට ගත්තේ හුඟක් පළපුරුදු අය. ටයිඩ් ෂෙඩුල් එකක වැඩ කර නිසා තමයි ඔහුට ටිකක් කේන්ති යන්නේ. මාමට කේන්ති ගියාම හරි සැරයි. සීන් එකෙ වැරැදෙද්දි ඔහු බනිනවා හොඳටම. මටත් අනන්තවත් බැනලා තියෙනවා.

ඔබ පසුකාලීනව රංගනයෙන් ඇත් වුණා?

රංගනයෙන් ඈත්විම ඉබේ සිදු වූ දෙයක් නෙවෙයි. පස්සේ පස්සේ මං වැඩිපුර අධ්‍යාපනයට මුල් තැන දුන්නා. මට රඟපාන්න ආරාධනා ගොඩක් ලබුණා. ඒත් මං ඒවා ප්‍රතික්ෂේප කළා.

බැරි වෙලාවත් ඔබ ඒ ඇරැයුම් බාර ගත්තා නම් ජනප්‍රිය නළුවෙක්?

ඔව්. මං ප්‍රතික්ෂේප කළ ඇතැම් චරිත රඟපෑ නළුවෝ අතිශය ජනප්‍රියයි. ඔවුන් ජනප්‍රිය වුණේ අර චරිතයේ නමින්.

කාලයත් සමඟම ඔබ රංගනයෙන් ඈත් වුණ අකාරයක් පේනවා?

මං මෝස්තර නිරූපණයට යෙමු වුණා. ඊට පසුව නර්තනය හැදෑරුවා. අද වන විට නර්තන අධ්‍යක්ෂවරයෙක්. ඒ අතරතුරදී සුළුවෙන් රඟපෑවා. ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා මම රංගනයෙන් ඈත් වෙලා කියලා. ඒත් එහෙම නැහැ. නමුත් මට දැන් අවශ්‍ය චිත්‍රපටයක් නිර්මාණය කරන්න. එහි වැඩ කටයුතු දැනටමත් ආරම්භ කරලා ඉවරයි.

මේ දිනවල කොහොමද ඔබේ නර්තන වැඩ කටයුතු?

චිත්‍රපට පහකට නර්තන අධ්‍යක්ෂණයෙන් දායක වුණා. එරංග සේරත්නගේ නෝනා හරිම වසයි, ලාල් ප්‍රියදේවගේ අන්දුන් කුන්දුන්, ප්‍රියන්ත කොළඹගේ ගේ දේදුනු ආකාසේ, සුරංග ද අල්විස්ගේ හොරා පොලිස් සහ අර්ජුන කමනාත්ගේ වැලිකුණාටු.

ඔබ ව්‍යාපාරිකයෙක් බව රහසක්?

ව්‍යාපාරවලට යොමු වෙලා ගොඩක් කල්. මගේ ව්‍යාපාරයේ නම 'කුල සිරිත'. විවාහ මංගල්‍යයක් ක්‍රමානුකූලව සිදු කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීම තමයි එමගින් සිදු කරන්නේ. මේ වන විට මං මගේ ව්‍යාපාරය සාර්ථකව පවත්වාගෙන යනවා.

පසුගිය වසෙර් ඔබ විවාහ වුණා නේද?

ඔව්. බිරියගේ නම ශානදී දි වාසනා.

සංඛ රඟපෑ නිර්මාණ මොනවා හරි ඉදිරියේදී විකාශය වන්නට තියෙනවාද?

මං අන්තිමයට රඟපෑ චිත්‍රපටය වුණේ මාමා අධ්‍යක්ෂණය කරපු සංජානා. ඊට පසුව රශ්මි කියලා ටෙලි චිත්‍රපටයක රඟපෑවා. ඒක ආවේ නැහැ.

ඔබට නර්තන අධ්‍යක්ෂණයට කතා කරන නිර්මාණවල අධ්‍යක්ෂවරුන් ඔබට ඒවාහි රඟපාන්න කියලා ආරාධනා කරන්නේ නැතිද?

මට එහෙම කතා කරලා නම් නැහැ. නමුත් මං හිතනවා මං ඒවාහි නර්තන අධ්‍යක්ෂණය විතරක් කළොත් ඇති කියලා. මෙකද මට එතකොට එයටම පමණක් සිත යොමු කරන්න පුළුවන්නේ.

සංඛ රඟපාපු පැරැණි චිත්‍රපට රසිකයන් ඔබට මෑත කාලයේ හමු වූ අවස්ථා නැතිද?

පරණ චිත්‍රපට රූපවාහිනි නාළිකාවලින් විකාශය වෙනකොට ඇතැම් අය මට කතා කරලා කියන අවස්ථාවල් නම් තියෙනවා. එතකොට මට හරිම සතුටුයි. ඇතැම් විට උත්සවවලට එහෙම ගියාම කලාතුරකින් කෙනෙකු ඇවිත් පැරැණි රංගන මතකය අලුත් කරනවා. හැබැයි මේ ලිපිය ගියාට පස්සේ මට වැඩි දෙනෙකු කතා කරාවි කියලා මං හිතනවා.

කොහොමද මාමගේ දුක සැප එහෙම?

එයා ගෙදරට වෙලා ඉන්නේ. දැන් නිර්මාණ කටයුතුවල නියැලෙන්නේ නැහැ. පුළුවන් සෑම වෙලාවකම ඔහුගේ ඕනෑ එපාකම් සොය ාබලන්ට මම අමතක කරන්නේ නැහැ.