වර්ෂ 2016 ක්වූ ජූනි 16 වැනිදා බ්‍රහස්පතින්දා




Hollywood

TMNT - 2 ලොකු අවදානමක්

‘ටීනේජ් මියුටන්ට් නින්ජා ටර්ටල්ස් – අවුට් ඔෆ් ෂැඩෝ’ චිත්‍රපටය පසුගිය 03 වැනිදා සිට ලොවපුරා සිනමාහල් රැසක තිරගත කෙරෙනවා. එහි මෙගාන් ෆොක්ස්ගේ රංගනය ගැනත් බොහෝ දෙනා කතා වෙනවා. ඒ වුණත් මෙගාන්ට නම් ඒ පිළිබඳ එතරම් උනන්දුවක් නැති බවක් තමයි පෙනෙන්නේ. ඒ ඇය නිළි ජීවිතය පිළිබඳ කරන ප්‍රකාශ නිසා.

“මම රඟපාන්න ලොකු උනන්දුවක් තියෙන කෙනෙක් නෙවෙයි. ඇත්තටම මට චිත්‍රපට නිර්මාණ කණ්ඩායම් සමඟින් සිටින විට ලොකු සතුටක් ඇත්තෙත් නැහැ. නමුත් චිත්‍රපටයක් කළාට පසුව ඒක තිරගත වෙනකොට නම් සතුටුයි. මම චිත්‍රපටවලට කැමැතියි කියලා එයින් කියවෙන්නේ නැහැ” මෙගාන් පවසනවා.

කොහොම වුණත් ‘ටීනේජ් මියුටන්ට් නින්ජා ටර්ටල්ස් – අවුට් ඔෆ් ෂැඩෝ’ චිත්‍රපටය බොහොම ක්‍රීඩාශිලි චිත්‍රපටයක් බවත් ඇය පවසනවා. ඒ වගේම ‘ටීනේජ් මියුටන්ට් නින්ජා ටර්ටල්ස් – අවුට් ඔෆ් ෂැඩෝ’ චිත්‍රපටය ඇයට දැනෙන්නේ, ලොකු අවදානමක් තියෙන වෙනස් විදියේ අත්දැකීමක් විදියට.


දිනෙත් හරි - වැඩෙත් හරි

බ්‍රියේ ලාසන් පසුගිය වසරේ ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම නිළිය ලෙසින් පිදුම් ලැබුවා. ඒ ‘රූම්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්. දැන් ඇය නැවතත් සුපිරි වීර චරිතයකින් රිදී තිරයට එන සූදානමක් ගැන හොලිවුඩයෙන් ආරංචි වෙනවා. ඒ කැප්ටන් මාවෙල්ගේ චරිතය සමඟින්.

මාවල් චිත්‍රකතා චරිත අතරේ කැප්ටන් මාවෙල් චරිතය සුවිශේෂ ප්‍රධාන කාන්තා චරිතයක්. බ්‍රියේ ලාසන් මේ චරිතය සඳහා කළ ප්‍රථම තෝරා ගැනීම වෙනවා. වැරයිටි සඟරාවට අනුව මාර්වෙල් ස්ටුඩියෝස් හි ප්‍රධානීන් මේ පිළිබඳ මුල් වටයේ සාකච්ඡාවල නිරත වෙමිනුයි සිටින්නේ. නමුත් මේ චරිතය භාර ගැනීම බ්‍රියේ ලාසන් තවම ස්ථිර කරලා නැහැ.

ඒ වගේම තවම මේ චිත්‍රපටයට අධ්‍යක්ෂවරයෙක් තෝරා ගෙනත් නැහැ. මෙග් ලෙෆුවෙන් සහ නිකොල් පර්ල්මාන් නම් මේ දිනවල තිරපිටපත ලියමින් සිටින්නේ. 2019 වසරේදී මේ අලුත් සුපිරි වීර චිත්‍රපටය තිරගත කරන්න මාර්වෙල් ස්ටුඩියෝස් බලාපොරොත්තු වෙනවා.


අවුරුදු හතළිහක සිර දඬුවමක්

‘ද ශීල්ඩ්’ ටෙලි නාට්‍ය මාලාවේ ලොකු ප්‍රසිද්ධියක් ලද මයිකල් ජේස් ‘ස්ට්‍රේන්ජ් ඩේස්’, ‘ප්ලැනට් ඔෆ් ද ඒප්ස්’ වගේම ‘ද රිප්ලේස්මන්ට්’ චිත්‍රපට වලිනුත් ලොකු ජනප්‍රියත්වයක් ලැබුවා. නමුත් පසුගියදා ඔහු තවත් ප්‍රසිද්ධියක් ලබා ගත්තා. ඒ වසර හතළිහක සිර දඬුවමක් නියම වීම සමඟින්.

මයිකල්ට මේ දරුණු ඉරණමට මුහුණ දෙන්න සිදු වුණේ ඔහු තම බිරියට වෙඩි තබා මරා දැමූ බව පසුගියදා ඔප්පු වීම සමඟින්. ජූරිය මේ තීන්දුව දෙන්න කලින් පැය තුනක සාකච්ඡාවක නිරත වෙලා. 2014 වසරේදී ලොස් ඇන්ජලීස්හි හයිඩ් පාර්ක් නිවසේදී සිදු වූ මෙම අවාසනාවන්ත සිදුවීම ගැන වැදගත්ම සාක්ෂිය වුණේ මයිකල්ගේ අවුරුදු දහයක් වයසැති පුතා. ඔහු පැවසුවේ තාත්තා අම්මාට වෙඩි තියලා කාමරයට ඇදගෙන ගියා කියලයි.

නමුත් අවසානයේදී මයිකල් කිව්වේ මරන්න හිතාගෙන වෙඩි තැබුවේ නැති බවයි. මයිකල්ගේ දැන් වයස අවුරුදු 53ක්. දැන් ඉතිරි ජීවිත කාලයම ඔහුට ගෙවන්න වෙන්නේ සිර ගෙදර.


කොහේ ගියත් මුහුණ වහන්

ජස්ටින් බීබර්ගේ නම කියවෙන කොට සෙලීනා ගෝමස්ගේ නමත් කියවුණු කාලයක් තිබුණා. දැන් ඒ කාලය ගෙවි ගිහින්. දැන් ජස්ටින් බීබර් සමඟින් කියවෙන්නේ රීටා ඕරා කියලයි. පසුගිය සතියේ රාත්‍රි භෝජන සංග්‍රයට ගොස් දෙදෙනාම සමාජ ශාලාවකටත් යනු බොහෝ දෙනෙකුගේ ඇස ගැසීම සමඟින් මේ ආරංචිය හොලිවුඩය පුරා පැතිරිලා ගියා. දැන් අලුත්ම ජෝඩුව ජස්ටින් බීබර් සහ රීටා ඕරා කියලා හැමෝම කියනවා.

හැබැයි මේ දෙන්නගේ ආදරය ගැන හැදුනු කටකතා නම් අලුත් ඒවා නෙවෙයි. රීටා ඕරා සහ කැල්වින් හැරිස් වෙන් කළ චෝදනාව ආවෙත් බීබර්ට.

දැන් ජස්ටින් බීබර් සහ රීටා ඕරා නිතර නිතර ගමන් බිමන් යන්නේ එකටමයි. ඒ වගේම බොහොම සතුටෙන් ඉන්නවා කියලත් ආරංචියි. කොහොම වුණත් දෙන්නම කොහේ ගියත් මුහුණත් වැහෙන්න ඇඳුම් ඇඳගෙන තමයි යන්නේ.


මම පරණ තාලේ

පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් 2013 වසරේදී ගීත එකතුවක් නිකුත් කළාට පසු අලුත් ගීත එකතුවක් එළි දැක්වූයේ නැහැ. තිස්හතර හැවිරිදි බ්‍රිට්නි අලුත් අමුතු තාලයේ පිරිසක් සමඟින් ඡායාරූපයක් පසුගිය දවසක අන්තර්ජාලයට එකතු කරලා තිබුණා.

ඒ කියන්නේ ඇය අමුතු විදියේ ගීත එකතුවක් අරගෙන එන්න සූදානමින් ඉන්න නිසා කියලා අරංචියි. ඇය මේ වෙනුවෙන් අවුරුදු එක හමාරක විතර කාලයක් වැය කරලා.

“ඒක මට ගොඩක් වටිනවා. හරියට මගේ දරුවෙක් වගේ. හැබැයි පොප් ගතිය නම් ටිකක් අඩුයි. ඒ වුණත් සංගීතය වැඩියෙන් තියෙනවා. කොහොමත් මම පරණ තාලයට කැමැති කෙනෙක්” යැයි බ්‍රිට්නි මේ අලුත් ගීත එකතුව පිළිබඳ විමසන අයට කියනවා.