වර්ෂ 2016 ක්වූ ජූනි 16 වැනිදා බ්‍රහස්පතින්දා




දිවි රඟමඬලින් සමුගත් මහා නළු කිවියර

දිවි රඟමඬලින් සමුගත් මහා නළු කිවියර

මහා නළු ටෝනි රණසිංහයන් කීර්තිශේෂභාවෝපගත වී අද දිනට (16) වර්ෂයක් සපිරේ.

ටෝනි රණසිංහයන්ගේ අභාවය පිළිබඳ දුක්මුසු පුවත අපට හඬ ගා කීවේ මෙරට සිනමාවේ මහා නළු ත්‍රිමූර්තිය අවසන් වූ වග යැයි මම සිතමි. ගාමිණි ෆොන්සේකා, ජෝ අබේවික්‍රම හා ටෝනි රණසිංහ ලාංකේය සිනමාවේ මහා නළු ත්‍රිමුර්තිය ලෙස මුල්වරට මා හැඳින්වූයේ 2006 දී ටෝනි විසින් පරිවර්තනය කරන ලද (බනී රූබන්ගේ  šDILIP KUMAR THE DEFINITIVE BIOGRAPHY)  'දිලිප් කුමාර් චරිතය' ජනගත වූ දා කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත් වූ දෙසුමෙහිදීය. ඉන්දියානු බොලිවුඩ් සිනමාවේ මහා නළු ත්‍රිිත්වය වූ දිලිප් කුමාර්, රාජ් කපූර්, දේව් ආනන්ද් යනාදීන්ට වඩා මෙරට මහා නළු ත්‍රිමූර්තිය සංකීර්ණ භූමිකා නිරූපණය ඔස්සේ වඩාත් ඉහළ තලයේ රඟපෑම් ඉදිරිපත් කළ බව එදින මම අවධාරණය කළෙමි. රූපණ කාර්යයෙහිදී උපයුක්ත කොට ගනු ලබන චතුර් අභිනයෙන් සාත්වික අභිනය ශූර ලෙස භාවිත කළ විශිෂ්ට නළුවන් අල්පයෙන් ටෝනි රණසිංහයන් ප්‍රමුඛයෙකි. වරක් ඔහුගේ ගුරු දේව සුගතපාල ද සිල්වා සූරීන් මා සමඟ පැවසූ කියුමක් මට සිහිපත් වේ. 'ටෝනි යනු සිය මුහුණේ සෑම අංගයක්ම රූපණ කාර්යයෙහි මැනවින් උපයුක්ත කොට ගත හැකි සුවිශේෂ ගණයේ නළුවෙකි'.

රණසිංහ හෙට්ටිආරච්චිගේ ඉග්නේෂස් ඇන්තනි සිල්වා 1937 ජූලි 31 වැනිදා මෝදරදී ජන්මලාභය ලැබුවේය. කුඩා කාලයේ 'ඇන්තනි සිල්වා' යන නාමය භාවිත කළ ඔහු පසුව 'ඇන්තනි රණසිංහ' ලෙස එය වෙනස් කොට ගත්තේය. කලකදී 'ANTONY'  යන නාමයෙන් 'TONY'යන කොටස බිඳී ආ බැව් පෙනේ. වත්තල ශාන්ත ආනා සිංහල පාසලෙන් හා මෝදර ඩිලාසාල් විද්‍යාලයෙන් අකුරු කළ ටෝනි නහඹු කල සිටම විදේශීය චිත්‍රපට බහුලව නැරඹුවේය. කලා ක්ෂේත්‍රයට යොමු වීමෙහිලා ඔහු හට සෑම අනුබලයක්ම ලබා දෙනු ලැබුවේ තම දෙටු සොහොයුරු ප්‍රවීණ ඡායාරූප ශිල්පී රැලෙක්ස් රණසිංහ විසිනි. සිනමාවට ඖචිත්‍යපූර්වක වූ ස්වකීය කනිටු සොහොයුරාගේ කඩවසම් රුව රැලෙක්ස්ගේ කැමරා කාචයේ සටන්වීමෙන් පමණක් නොනැවතී කලා ලොව සුපතළ වූයේ ඔහු හා බැඳුණු මිත්‍ර සන්ථවයේ දිරිගැන්වීමෙනි. 50 දශකයේ අග භාගයේදී පාසල් අධ්‍යාපනයෙන් පසුව රජයේ විදුලි සන්දේශ දෙපාර්තමේන්තුවේ ඉංග්‍රීසි ලඝු ලේඛකයකු ලෙස සේවයට බැඳුණු ටෝනි එකල ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතෙහි චිත්‍රපට විචාර ලීවේය. 'චී... වනලිය' යන හිසින් 'වනලිය' චිත්‍රපටය අරභයා හේ ලියූ නිර්දය සිනමා විචාරය ද ඒ අතර තිබිණ. 'තේජසිරි ප්‍රශංස', 'ඇන්තනි සිල්වා' යන නම්වලින් ඔහු එදා යථෝක්ත පුවත්පතට ලිපි සම්පාදනය කළ බව පෙනේ.

රැලෙක්ස්ගේ මිතුරු ප්‍රවීණ මාධ්‍යවේදී ආතර් යූ. අමරසේන ඔහු කැටුව ගොස් සිරිසේන විමලවීර මාස්ටර්ට හඳුන්වා දුන්නේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් විමලවීරයන්ගේ 'පුංචි' අම්මා' (1958) චිත්‍රපටයේ රාණි රණතුංග සමඟ ද 'රොඩී කෙල්ල' (1962) චිත්‍රපටයේ සන්ධ්‍යා කුමාරි සමඟ ද ප්‍රධාන චරිතය රඟපෑමේ අවස්ථාව ඔහුට ලැබිණ. එහෙත් මේ චිත්‍රපටවල නිෂ්පාදන කටයුතු අතරමඟ ඇන හිටියේ විමලවීර මාස්ටර්ගේ හදිසි අභාවය හේතු කොටගෙනය.

එක් අතකින් මේ චිත්‍රපට අතරමඟ නැවතීමෙන් සැඟවුණු වාසියක් ද ටෝනිට අත් විය. එනම් මේ චිත්‍රපටයේදී නාට්‍යාතිශය (MELO DRAMATICAL)  ශෛලියකින් රඟපෑමට ටෝනි හට විමලවීර මාස්ටර් උපදෙස් දුන්නේය. එකී රංග ශෛලියට ඔහු කැමැති නොවුණි. ආංගික අභිනයට වැඩියෙන් නැඹුරු වූ අතිශයෝක්තියට බර, තත්කාලීන භාවාතිශය රංගනයට නතුවීමට විමලවීරයන්ගේ අනුබලය ලැබිණ. ටෝනි වැනි විශිෂ්ට රූපණවේදියකු එවන් ප්‍රවණතාවක ග්‍රහණයට නතු වීම අභාග්‍යයකි. එහෙයින් ටෝනිගේ සිනමා දිවියේ මුල් අවස්ථා යුගල ගිලිහී යෑම ඔහුට අත් වූ වාසියක් වීමට පිළිවන. එවකට නැඟ ආ ගාමිණි ෆොන්සේකා, ජෝ අබේවික්‍රම වැනි නව රැල්ලේ පුරෝගාමී යථාර්ථවාදී රූපණවේදීන් ඉන් පෙර විමලවීරයන්ගෙන් ප්‍රතික්ෂේප වූ බව අප අමතක නොකළ යුත්තකි.

රැලෙක්ස් සමඟ සුගතපාල ද සිල්වාගේ 'අපේ කට්ටිය' සංවිධානයට එක්වීමට ටෝනි හට අවස්ථාව ලැබීම නිවැරදි දිශානතියට ඔහු යොමු කළ සන්සිද්ධියක් විය.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 'මනමේ' නාට්‍යය අත්පත් කොට ගත් ප්‍රශස්තභාවය හේතු කෙට එය අනුකරණය කළ ශෛලිගත නාට්‍ය රැල්ලක් ඉක්බිතිව මෙරට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයෙහි පහළ වෙද්දී ඊට සපුරා වෙනස්, විප්ලවීය මඟක් ගෙන සිංහල නාට්‍යය යළි තාත්වික සම්ප්‍රදායකට යොමු කළේ සුගතපාල ද සිල්වා ප්‍රමුඛ කොට ගත් අපේ කට්ටියයි. එමඟින් වේදිකාවට ආ 'බෝඩිංකාරයෝ' (1962) නාට්‍යයේ සිරිසෝමගේ භූමිකාව නිරූපණය කරමින් ටෝනි වේදිකාවට ප්‍රවිෂ්ට වූයේය. 'රන්තෝඩු', 'තට්ටු ගෙවල්', 'හරිම බඩු හයක්', 'නිල් කට්රොල් මල්', 'විරූපී රූප', ' වගුරුබිම', 'ජුලියස් සීසර්', 'දොළොස්වන රාත්‍රිය', 'ගිම්හානේ රැයක සිහිනයක්', 'වැනීසියේ වෙළෙන්දා' වැනි වේදිකා නාට්‍ය රාශියක ඔහු විවිධ සංකීර්ණ භූමිකා රැඟුවේය.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් 'ගම්පෙරළිය' නවකතාව චිත්‍රපටයට නැඟීමේ අයිතිය ලබා ගැනීමට මාර්ටින් වික්‍රමසිංහයන් හමුවීමට ගියේ සුගතපාල ද සිල්වා සමඟිනි. අපේ කට්ටියේ ප්‍රමුඛ නළුවන් තිදෙනෙක් සුගත්ගේ රෙකමදාරුවෙන් ලෙස්ටර්ගේ 'ගම්පෙරළිය' චිත්‍රපටයෙන් (1963) සිනමාවට පිවිසුණාහ. ඒ ටෝනි රණසිංහ, වික්‍රම බෝගොඩ හා ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍රය. අන්තර් ජාතික සම්මානයට පාත්‍ර වූ ප්‍රථම ලාංකේය වෘත්තාන්ත චිත්‍රපටය ලෙස ඉතිහාස ගත වූ 'ගම්පෙරළිය' චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙන්නට වරම් ලැබීම ටෝනි කවදත් මහත් භාග්‍යයක් සේ සැලකුවේය. 'බලදාස'ගේ චරිතය ඔහු සුළු කොට නොතැකුවේය. ටෝනි සහජයෙන් තමාට ලැබුණු රූපණ ප්‍රතිභාව ව්‍යුත්පත්තියෙන් සතතාභ්‍යාසයෙන්, පරිකල්පනයෙන්, අන්තර් ඥානයෙන් මුවහත් කොට ගත්තේය. විලියම් ෂේක්ස්පියර්ගේ නාට්‍ය හැදෑරීමෙන් ද විවිධ කලා මාධ්‍ය අරභයා පොත පත කියවීමෙන් ද රූපණ නිම්වළලු හේ ප්‍රසාරණය කොට ගත් බැව් පෙනේ. වේදිකාවේ රඟපෑම සැබෑ ජීවිතයට වඩා විශාල බවත් සිනමාවේ රඟපෑම සැබෑ ජීවිතයට වඩා කුඩා බවත් ඔහු දැන සිටියේය. යුරෝපයේ රූපණ කලාව උඩු යටිකුරු කළ කොන්ස්ටන්ටින් ස්ටැනිස්ලව්ස්කිගේ තත්විධ රූපණ න්‍යාය  (THEORY OF METHOD ACTING)  ටෝනි හදාළේ ඒ අරභයා පොත පත කියවීමෙනි. නොඑසේ නම් සෘජුවම ඒ න්‍යාය පළට කළ මාලන් බ්‍රැන්ඩෝ, ජේම්ස් ඩීන්, මොන්ට්ගෝමරි ක්ලිෆ්ට්, පෝල් නිව්මන් ආදී සුප්‍රකට රූපණවේදීන්ගේ චිත්‍රපට නැරඹීමෙන් ලත් පරිචයෙනි. මේ හැරුණුවිට තමාට ජ්‍යෙෂ්ඨ වූ විශිෂ්ට ලාංකේය රූපණවේදීන් ත්‍රිත්වයක ආභාසය ලැබුණු බව ටෝනි රණසිංහයෝ වරක් මට පැවසූහ. එනම් ගාමිණි ෆොන්සේකා, ජෝ අබේවික්‍රම හා හෙන්රි ජයසේන යන ත්‍රිත්වයේ අනුප්‍රාණයයි. (INSPIRATION)  ලොව කිසිදු රූපණ න්‍යායකට වහල් නොවීමට ටෝනි වග බලා ගත් අතර ස්වීය අනන්‍යතාව ඉස්මතු කෙරෙන රූපණ ශෛලියකින් රංග කාර්යයෙහි නියැළිණ. ස්වකීය රංග ප්‍රතිභාව ඔස්සේ කලාත්මක ධාරාවේ චිත්‍රපටවල සදානුස්මරණීය වූ පිළිරූ රැසක් ඇඹූ ඔහු විජය කුමාරතුංගගේ ප්‍රවිෂ්ටයට ප්‍රථම වඩාත් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත් තරු ගුණයෙන් (STAR QUALITY)  ආඪ්‍ය, ජනප්‍රිය සිනමාවේ සුපිරි තරුවක් බවට පත් වූයේය. ගාමිණි ෆොන්සේකා මෙරට සිනමාවට මතු නොව මුළු මහත් ආසියාවටම යථාර්ථවාදී රූපණවේදය හඳුන්වා දුන් පසුව ඒ මඟෙහි ස්වාධීන අනන්‍යතාවකින් රූපණ පෙළහර පෑමට ටෝනි හට හැකියාව ලැබිණ. 60 දශකයේ මෙරටට පැමිණි කරන්ජියා නමැති සුප්‍රකට ඉන්දියානු සිනමා විචාරිකාව ඔහු දැක පැවසූ කියුම අපට අමතක කළ හැකිද? 'ටෝනි රණසිංහ වැනි සුන්දර, කඩවසම් (HANDSOME)නළුවකු මා මුළු අග්නිදිග ආසියාවේම දැකලා නැහැ'.

සැනසුම කොතනද, සිහින හතක්, මනමාලයෝ, හැංගි හොරා, ප්‍රවේශම්වන්න වැනි චිත්‍රපටවල ටෝනිගේ කඩවසම් රුව දුටු කවර වූද ප්‍රේක්ෂකයකු හට කරන්ජියා මහත්මියගේ කියුමෙහි සත්‍යතාව පසක් වේ. දෙලොවක් අතර (නිශ්ශංක), රන්සළු (සිරිල්), පරසතු මල් (සිරිසේන), හන්තානේ කතාව (අනුර), දුහුළු මලක් (සුරවීර), හුලවාලි (බිබිලෙ ඇත්තෝ), අහසින් පොළොවට (සරත්), රෑ මනමාලි (පොලිස් පරික්ෂක), සප්ත කන්‍යා (දාබරේ), මායා (රංජිත්), පවුරු වළලු (වික්ටර්) ඈ චිත්‍රපට ඔහුගේ රංගන දිවියේ මංසලකුණු වේ. එච්. ජී. වේල්ස්, අර්මෝල්ඩ් බෙනට් ආදීන්ගේ නවකතාවලින් ද හැරල්ඩ් පින්ටර්, ජෝන් ඕස්බෝන් ආදීන්ගේ නාට්‍යවලින් ද සිනමාවට පිවිසි ප්‍රතිවීර ගණයේ (ANTI HERO)  චරිත හෝ සාම්ප්‍රදායික දුෂ්ට චරිත තම ප්‍රතිරූපය ගැන නොසිතා රඟපෑ නළුවෙකි ටෝනි. රන්සළු, නාරිලතා, හොඳයි නරකයි, ශීලා, කෝකිලයෝ, බැද්දේගම, කෝකිලා, තරණය, අනුරාගයේ අනන්තය, අළුයට ගිනිි යනාදී චිත්‍රපට ඊට දෘෂ්ටාන්ත වේ. 'FILM ACTING නමැති ග්‍රන්ථයෙහිදී මේරි ඇලන් ඕ බ්‍රයන් නළු නිළියන් වර්ගීකරණය කළ ආකාරයට ටෝනි අයත් වන්නේ සුන්දරත්වය මුල් කොට ගත් (PHYSICAL ACTOR)  හා චරිතාංග (CHARACTOR ACTOR)  නළුවන් ගොන්නටය. රාජ්‍ය නාට්‍ය, අග්‍රාණ්ඩුකාර සම්මානය, එක්සත් ලංකා රසික, ගුවන් විදුලි, විචාරක, සරසවිය, O.C.I.C.,  ස්වර්ණ සංඛ, ජනාධිපති, සුමති ආදී මෙරට ප්‍රමුඛ පෙළේ සම්මානවලින් බුහුමනට පාත්‍ර වූ ඔහු වැනිසියේ වෙළෙන්දා, දොළොස් වැනි රාත්‍රිය, ජුලියස් සීසර් වැනි සුප්‍රකට ෂේක්ස්පියර් නාට්‍ය සිංහල වේදිකාවට ගෙනාවේය. ෂේක්ස්පියර් කිවිඳුන් නිවැරදිව කියැ වූ ප්‍රමුඛ ලාංකික නාට්‍ය කිවියර ඔහුමැ නොවේද? ෂේක්ස්පියර් නාට්‍ය ගැන ටෝනි ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ද ලියා පළ කළේය. මෑත කාලයේ ප්‍රේක්ෂකයාට වඩාත් මතකයේ රැඳෙන පරිද්දෙන් ගාමිණි ෆොන්සේකා වේදිකා රංගනයට ප්‍රවිෂ්ට කිරිමට පුරෝගාමී වූයේ ටෝනිය. ඔහු නිර්මාණය කළ ජුලියස් සීසර් නාට්‍යයේ බෲටස් ලෙස රඟපෑවේ ගාමිණිය, සීසර් ටෝනිය. ජාතක කතා මාලා, ආවර්ජනා, සුදු පරෙවියෝ, නත්තල් සාදය, හිමි අහිමි, මනෝකාය, රන්දලඹුවෝ, මහ මෙර පාමුල, පස්, එකට ගැටුම, හතේ වසම, සුවඳ කැකුළු, රයිගම් යාළුවෝ යනාදී ටෙලි නළු ඔස්සේ පුංචි තිරයේ ද මේ මහා නළුවාගේ මහිමාලංකාර පැතිරිණ.

ජනප්‍රිය සිනමා ධාරාවෙහි චිත්‍රපටවලදී ටෝනි ගස් වටේ දුවමින් නැටීමට, වාහන පැදවීමට හෝ සටන් දර්ශනවලට එතරම් දායකවීමට මැළිකමක් දැක්වූයේ තමාට ඒ හැකියාවන් නොමැති නිසා යැයි වරක් මට පැවසුවේය. සුගතපාල ද සිල්වාගේ 'නිල් කට්රොල් මල්' නාට්‍යය එදා අසාර්ථක වීමට එක් හේතුවක් ලෙස ටෝනි දුටුවේ තමා එහි ගීත ගායනා කිරීමය. නළු නිළියන් නවකතා රචනයට එළඹි සමයේ 'ජෝගිය හමාරයි' ඇතුළු නවකතා ටෝනි ලියූ නමුත් මේවා අසාර්ථක ප්‍රයත්න විය. විජය කුමාරතුංග 'හන්තානේ කතාව' චිත්‍රපටයේ මුල්වරට ප්‍රධාන චරිතයක් රඟපෑවේ ටෝනි සමඟිනි. 'නවක නළුවකුට මුල්වරට ටෝනි රණසිංහ වැනි නළුවකු සමඟ රඟපෑමට ලැබුණහොත් එය භාග්‍යයක්' බව විජය කියා තිබුණි. තමාට වඩා කනිෂ්ඨ, අනුප්‍රාප්තික නළුවන්ට ටෝනි දැක් වූ දයාබරත්වය, සහයෝගය විජයගේ කියුමෙන් හෙළිවෙතැයි මම සිතමි.

ටෝනි තරම් සියුම් උපහාස ශක්තියක් තිබූ නළුවකු මෑත භාගයේ මට හමු වී නැත. 2000 වසරේදී ජාතික රූපවාහිනිය වෙනුවෙන් විනීතා කරුණාරත්න අධ්‍යක්ෂණය කළ 'සෙනෙහසේ නවාතැන' වැඩසටහනේ පූරකයා හා පිටපත් රචකයා වූ මා ඒ සඳහා පළමුවෙන්ම අග්‍රගණ්‍ය නළු ගාමිණි ෆොන්සේකාට ඇරැයුම් කළ නමුත් නොවැළැක්විය හැකි හේතුවක් මත යොදා ගත් දිනට කලින්දා දහවල් හදිසියේම එතුමාට මේ සඳහා එදින සහභාගි විය නොහැකි බව දන්වා ඒ වෙනුවට වෙනත් දිනයක් මට ලබා දුන්නේය. එසේ නමුත් නියමිත දිනයේ වැඩසටහන විකාශය කළ යුතුව තිබිණ. ගාමිණි මහතාට පසුව මේ සඳහා ඇරැයුම් කිරීමට අප සිතා සිටියේ ටෝනි රණසිංහයන්ටය. එහෙත් හෙට උදෑසන සිදු විය යුතු රූගත කිරීමට අද දහවල් ඔහුට ඇරැයුම් කිරීම සදාචාර සම්පන්න නැත. එහෙත් අප මුහුණ පා ඇති ගැටලුව මම ටෝනි රණසිංහයන්ට පැවසූවෙමි. මේ මහා නළුවා නිහතමානීව ඒ ඇරැයුම පිළිගෙන පසුදා මා සමඟ වැඩසටහනට එක් වූයේය. එතුමා මගේ කලා දිවියට එදා ලබා දුන් ශක්තිය මට කිසිදාක අමතක නොවේ. ඊට කෘතගුණය දැක්වීමේ භාග්‍යයද සය වසරකට පසුව මට ලැබිණ. 2006 දී ටෝනි 'දිලිප් කුමාර් චරිතය' ග්‍රන්ථය එළිදක්වද්දී එහි ප්‍රමුඛ දේශනයක් සඳහා ප්‍රවීණ අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේට ඇරැයුම් කොට තිබුණි. හෙට උත්සවය නම් අද හවස ටෝනිට දැන ගැනීමට ලැබුණේ නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඔහුට ඊට සහභාගි විය නොහැකි බවය. ඒ දේශනය මට බාර ගත හැකිදැයි රණසිංහයෝ මගෙන් විමැසූහ. මා ඒ ඇරැයුම ඉත සිතින් බාර ගත්තේ එය පෙර එතුමා මට කළ උපකාරයට ප්‍රති උපකාරයක් වූ බැවිනි.

මානසික පරිපීඩනවලට මුහුණපාන මමෝමූලවාදී භූමිකා ශූර ලෙස රූපණය කළ හැකි රංගන ශිල්පීන් අතර ටෝනි ප්‍රමුඛයෙකි. විධිමත් රංග පාසලක් තවමත් නොමැති පසුබිමක දැන් මෙරට ප්‍රමුඛතම රංග සරසවි ත්‍රිත්වය (ගාමිණි, ජෝ හා ටෝනි) වැසී අවසන්ය. ඒ මහඟු ඥාන දායාදවලින්, ජංගම විශ්වවිද්‍යාලවලින් දැනුම අසෙන් අසක්වත් නව පරපුර උකහා ගත්තේදැයි මම නොදනිමි.