වර්ෂ 2016 ක්වූ ජූනි 16 වැනිදා බ්‍රහස්පතින්දා




මේ සම්මානවලට වඩා ඒ ප්‍රතිචාර මට හුඟක් දැනුණා

මේ සම්මානවලට වඩා ඒ ප්‍රතිචාර මට හුඟක් දැනුණා

‘බොරදිය පොකුණ’ ගෝතමී හෙවත් කෞෂල්‍යා ප්‍රනාන්දු අපූරු කතාබහක

අපේ කාලයේ යුවතිය, නැතහොත් ශ්‍රී ලාංකේය කාන්තාව අත්විඳිනා කටුක ජීවන අරගලය ඕ සිය රංග ප්‍රතිභාව ඔස්සේ රිදී තිරය මත සිත්තම් කළේ පුහු සාටෝපයෙන් තොරවමය.

පුයර තට්ටු උලා, දෙතොල රත් පැහැයෙන් හැඩ ගැන් වූ, සොඳුරු වතක සරාගී රූ සපුව වෙනුවට ඇගේ දෑස අප වෙත කියා පෑවේ කඳුළු, සුසුම් කර පින්නා ගෙන ජීවන ගිරිකුළ තරණය කරනා දිරිය ගැහැනියගේ සැබෑ මුහුණුවරය.

වත්මන් නිළි පරපුරේ ඉදිරියෙන්ම සිටිනා චරිතාංග නිළිය කෞෂල්‍යා ප්‍රනාන්දු යැයි මම සිතමි. සැබැවින්ම ඈ නිළියකට වඩා මේ මහ පොළවේ අප සමඟ දුක, සැප බෙදාගෙන ජීවත් වන අපේම සොයුරියකැයි විටෙක අපට සිතේ. ඒ ඇගේ සියුම් ඉංගිතයන් හුදු රඟපෑමකින් ඔබ්බට යන හෙයිනි.

‘දෙරණ’ හා ‘සාක්’ සිනමා සම්මාන උලෙළවලදී හොඳම නිළිය සේ අභිසෙස් ලැබූවේ කෞෂල්‍යයාය. ඒ ‘බොරදිය පොකුණ’ චිත්‍රපටයේ ඇගේ විශිෂ්ට රංගනය උදෙසාය.

ඇගේ ජයග්‍රහණයට සුබපැතුම් එක් කරමින් අප මෙසේ ඇය හා පිළිසඳරට එක්වන්නේ ‘සරසවිය’ පාඨක ඔබ වෙනුවෙනි.

දේශීයවත්, ජාත්‍යන්තරවත් ඔබ සම්මානයට පාත්‍ර වුණේ එකම රංගනයක් වෙනුුවෙන්. මොකද හිතෙන්නේ?

වසර දොළහක් තිස්සේ මේ චිත්‍රපටය තිරගත කරගන්න නොහැකිව තිබිලා ගිය වසරේ එය ප්‍රදර්ශනය වුණාට පස්සේ මට ලැබුණ ප්‍රේක්ෂක ප්‍රතිචාර හා ඒ ගැන ලියැවුණු විචාර, ඉ.ර්.ඉ පණිවිඩවලින් ඇත්තටම මේ සම්මානවලට වැඩිය පුදුම සතුටක් ලැබුණා. ඒ ප්‍රතිචාර මීට වඩා හුඟක් දැනුණා. අවංකවම කව්වොත් ඉතිං.

නමුත් ඔබ මේ සම්මාන පිළිබඳ අවතක්සේරුවෙන් කතා කරනවත් නෙවෙයි?

නෑ. ඇත්තෙන්ම මට මේ සම්මාන ලොකු ශක්තියක්, ධෛර්්‍යයක්. මාව තවම අවශ්‍යයි කර්‍ණඋඅ ඒඅඡ් එඒව්ඊඡ්ච් වගේ හැඟීමක් ඉන් නොනැඟෙනවා නෙවෙයි. ඒත් මම එක චරිතයක් රඟපාලා ඒ ගැන හිතමින් ඉන්න කෙනෙක් නෙවෙයිිනේ. මම හුඟක් වැඩ කරනවනේ. රංගනය වගේම මගේ ඉගැන්වීම් කටයුතු. විශේෂයෙන්ම මේ කාලේ මම වැඩිපුර ගැවසෙන්නේ වේදිකාවේ. ඉතින් ඒ ලැබෙන ප්‍රතිචාර තමා මට වඩාත්ම දැනෙන්නේ. මම වැරැදි ද කියලා මම දන්නේ නෑ.

අවුරුදු දහතුනකට කලින් රඟපෑ චරිතයකට සම්මාන ලැබෙන්නේ දැන්. මට හිතෙනවා මේවා ‘කල් ඉකුත් වූ‘ සම්මානදෝ කියලා. එහෙම හැඟීමක් හිතට දැනෙනවාද?

හරිියට හරි. ‘දෙරණ’ සම්මාන උළෙලේදී මට කියන්න හිතුණා මේක කල් ඉකුත් වූ සම්මානයක් කියලා. ඒත් ඉතින් සම්මාන දීපු අයගේ නෙවේනේ වැරැද්ද. චිත්‍රපටයට සිදුවුණු අසාධාරණයනේ මේ හැමදේටම මුල් වුණේ. ඉතින් ඒ නිසා මම මොකුත් නොකියා සම්මානය බාර ගත්තා. හැබැයි ඕක තමයි මගේ ඔළුවේ තිබුණ වචනය. ඔයා කිව්වා වගේ මේ චරිතය රඟපාලා දැන් අවුරුදු දාහතුනක් විතරනේ. එතකොට අර උත්කර්ෂවත් ගතිය ගිහින් නේද? අනෙක මම තලතුනා වෙලත්නේ දැන්. ජීවිතේ මම ඉදිරියට ගිහිල්ලා. බොහෝ දේවල් වෙනස් වෙලා. අර සම්මානවල නැවුම් බවක් නොදැනෙන්න ඒවත් හේතු වෙන්න ඇති. හැබැයි මේ චිත්‍රපටයවත්, එයින් කතා කරන දේවත් කවදාවත් පරණ වෙන්නේ නෑ. ඒ චරිතත් එහෙමයි. මනුෂ්‍යයා තුළ ඔය හැඟීම් හැමදාමත් තියෙනවා. ගැහැනු, පිරිමි භේදයකින් තොරව සිද්ධ වෙන සදාකාලික ප්‍රශ්නයක් තමයි ඒකෙ කියැවෙන්නේ.

අද මේ චරිතය රඟපෑවොත් එදාට වැඩිය හොඳට කරන්න පුළුවන් වෙයි කියලා හිතෙනවාද?

සමහර විට මට ඔච්චර හොඳට කරගන්නත් බැරි වේවි කියලා හිතෙනවා. මොකද මගේ ජීවිතෙත් දැන් ටිකක් සංකීර්ණ වෙලානේ. දැන් මට දරුවො දෙන්නෙකුත් ඉන්නවා. ඒගොල්ලන්ගේ වැඩ කටයුතුත් තියෙනවා. ඉතින් ඒ කාර්යබහුලත්වය එක්ක මනස එච්චර විවේකී නෑ. තාම දරුවෝ පොඩි නිසා මම පිට ගිහින් ඉන්න කොට ඒගොල්ලන්ගේ ආරක්ෂාව, අරවා මේවා මතක් වෙයි. දරුවෝ ඉන්න නිසා රඟ නොපානවා කියලා නෙවෙයි මම මේ කියන්නේ. තේරුණාද මම කියන දේ . . .

ඒ කියන්නේ මව් පදවිය කියන එක එවැනි රංගනයකට බාධාවක් නෙවෙයි?

නැහැ, ඇත්තෙන්ම ඒක බාධාවක් නෙවෙයි. මම වෘත්තීය රංගන ශිල්පිනියක්නේ. මම ඒකට ගරු කරනවා. මම ඒක බොහොම ආඩම්බරයෙන් පිළිගන්නවා. මට ලැබෙන අභියෝගාත්මක චරිත තියෙනවා නම් මට ඒක සුදුසු නම් අනිවාර්යයෙන්ම රඟපානවා.

සුදුසු නම් කියා ඔබ අදහස් කළේ?

යම් යම් සීමාවන් තියෙනවානේ. විශේෂයෙන් වයස වගේ දේවල්. ඒ හැරුණාම බොහොම සීමිත කොන්දේසි තමයි චරිතයක් බාර ගැනීමේදී මගේ තියෙන්නේ. රංගනය උගන්වන ඒ පිළිබඳ කතා කරන අපේ ප්‍රමුඛ කාර්යභාරය විය යුත්තේත් රඟපෑමනේ.

ඔබ තලතුනා වෙලා කියා ප්‍රකාශ කළා. ඊළඟට ‘වයස’ පිළිබඳ අවධාරණය කළා. හැබැයි අපේ ගොඩක් නිළියෝ මේ වයස ගැන ඔබ වගේ අවංකව කතා කරන්නේ නෑ?

වයස යන එක අපට ඉතින් වළක්වන්න බෑනේ නේද?

ඔබට ලැබුණු සම්මාන ඇතුළේ සතුටු වෙන්න පුළුවන් එක් සුවිශේෂ කාරණාවකුත් තියෙනවා කියා මට හිතෙනවා?

ඒ මොකක්ද අනේ?

අවුරුදු දහතුනකට පෙර ඔබ රඟපෑ චරිතයට අභියෝග කළ හැකි රංගනයක් වර්තමානයේ නැති එක?

ඒක ඉතින් සාපේක්ෂයි නේද? මීට වඩා වෙනස් චරිතයක් තිබුණා නම් මා රඟපෑ චරිතය අභියෝගයට ලක් වෙන්න තිබුණා.

ලිංගිකත්වය, නිරුවත කියන කාරණයේදී අපේ බොහෝ නිළියන් දක්වන සුචරිතවාදී ආකල්පය සුණුවිසුණු කර දැමුවේ ස්වර්ණා මල්ලවාරච්චි නමැති විශිෂ්ට නිළිය. කලාත්මක සිනමාවේ ඇගෙන් පසු එම අභියෝගය බාර ගත් නිළිය ඔබ බව ප්‍රේක්ෂක, විචාරක මතයයි?

අපෝ එහෙම මතයක් තියෙනවාද? මම දන්නෙත් නෑ. ඒත් ඇත්තටම කියන්න ඕනෑ මම එබඳු අභියෝගාත්මක රංගනයන්ට නැඹුරු වුණේ ඈ නිසා බව. ‘හංස විලක්’, ‘සුද්දිලාගේ කතාව‘, ‘දඩයම’, ‘අනන්ත රාත්‍රිය’ වැනි ඈ රඟපෑ චිත්‍රපටවල ඒ චරිත නිරූපණයන්ට මට පුදුම විදිහට ආසා කළා මගේ තරුණ කාලේ. එතකොට ‘චන්න කින්නරී’ වගේ චිත්‍රපටයක්. මම සිනමා රංගනයට එක් වුණේ එයා වගේ එහෙම තැනකට එන්න හිතාගෙන නෙවෙයි. හැබැයි ඇගේ අභියෝගාත්මක රංගනයන්ට මම ඇළුම් කළා. මේ පොළොවේ පය ගහලා ජීවිතය එක්ක පොර බදන ගැහැනියයි බොහෝ විට අප දෙදෙනාම නිරූපණය කළේ. ඒකට ඉතින් මම ආසයි. ස්වර්ණාගේ විශිෂ්ටත්වයට මම ළං වෙලාවත් ඉන්නවද කියන්න මම දන්නේ නෑ. හැබැයි එහෙම කියනවා නම් ඒක මට ලොකු සතුටක්, වගේම ගෞරවයක්.

සම්මානනීය චරිත රඟපෑවත් කෞෂල්‍යාට කවදාවත් රිදී තිරයේ පෙම්වතිය වෙන්නට අවස්ථාව ලැබුණේ නෑ. ඒ ගැන පුංචි දුකක් හෝ කනගාටුවක් නැද්ද?

මම ඒක කල්පනා කරලත් නෑ. දැන් ඔයා කියන කොට තමයි මට හිතුණේ ඒ ගැන. හැබැයි ඒ ගැන අවුලක් නෑ. ඊට වඩා මම කැමැතියි ලොකු ඝට්ටනයක් තියෙන, සංකීර්ණ චරිත නිරූපණය කරන්න. වේදිකාවේ වුණත් මට ලැබිලා තියෙන්නේ එවැනි චරිත. ‘ධවල භීෂණ’, ‘බර්නඩාගේ සිපිරි ගෙය’ වගේ නාට්‍යයවලත් මට ලැබුණේ එහෙම ඝට්ටනයන්ට මැදි වූ, භාවයන් උද්දීපනය කර පෙන්විය හැකි චරිත. හැබැයි සිනමාවේ පෙම්තියගේ චරිත කරන එකත් ලේසි නෑ. ඒක බොහොම ලස්සනට කරන්න ඕනෑ දෙයක්.

ඒ කියන්නේ සිනමාවේ පෙම්වතියට ඔබ අකැමැති නෑ?

ප්‍රශ්නවලට මැදි වුණත් ඒ සියල්ල ඉවසාගෙන, කෑකෝ ගහන්නේ නැතිව සංයමයෙන් එවැනි චරිත රඟපාන නිළියන් අපිට හිටියානේ නේද? අර අහිංසක සුරූපී පෙම්වතිය. මාලිනී ෆොන්සේකා, නීටා ප්‍රනාන්දු වගේ නිළියෝ. එතකොට වසන්ති චතුරානි වගේ නිළියන් රඟපෑ ඇතැම් චරිතවලට මම හරි ආසයි. නමුත් මට ඒවා නොලැබුණා කියලා නම් හිතිලා තිබුණේ නෑ.

අඩ නිරුවත් චරිතයක් හෝ ලිංගිකත්වය තේමා කර ගත් චිත්‍රපටයක රඟපෑ නිළියන් දෙස සමාජය බලන්නේ වෙනම කෝණයකින්. ලාංකේය ප්‍රේක්ෂක සමාජය පවා එහෙම බලන්න පුරුදු වෙලා ඉන්නවා. එහෙම දෙයක් ඔබට කවදාවත් දැනිලා නැද්ද?

මට නම් කොහෙත්ම දැනිලා නෑ. මම දන්නේ නෑ මොකද හේතුව කියලා. නමුත් එහෙම සිද්ධ වෙච්ච අය ගැන මම අහලා තියෙනවා සහ අත්දැකීමෙන්ම කෙනෙක්, දෙන්නෙක් ගැන දන්නවා. නමුත් ඒක ඉතින් අපේ සංස්කෘතියේ තියෙන ප්‍රශ්නයක්. දැන් අපි ‘යූ ටියුබ්’ එකේ බ්ලූ ෆිල්ම්ස් අරවා, මේවා ඔක්කොම බලනවා. බලලා ඒවා රස විඳලා අපේ නිළියකගේ පුංචි දෙයක් ගැන මහ ලොකුවට කතා කරනවා. අපේ ලංකාවේ නිළියන්ට තාම ඒ වෘත්තීමය ගෞරවය දීලා නෑ. දැන් ඇමරිකාවේ වගේ රටක නළු නිළියන් ඒ වගේ චරිත රඟපාලා මොන තරම් ඉහලින් ද ඉන්නේ. මොන තරම් ගෞරවනීය විදිහට ද ඒ අයට සළකන්නේ.

ඇකඩමි සම්මානයෙන් පවා ඔවුන් පිදුම් ලබනවා?

ඔව්. මොකද නළු නිළියන් ප්‍රතිනිර්මාණය කරන්නේ මනුෂ්‍යය ජීවිත නේද? ලිංගිකත්වය කියන්නේ අපි කනවා, බොනවා, හුස්ම ගන්නවා වගේ දෙයක්නේ. ඉතින් එහෙම නැතිනම් අපට දරුවො ලැබෙන්නේ කොහොමද? සිදුහත් කුමරුන්ට පවා දරුවෙක් ලැබුණා නේද? ඒත් වර්තමානයේ මොන තරම් ප්‍රශ්න ඇතිවෙමින් පවතිනවාද මේ ලිංගිකත්වය ගැන අපේ සමාජයේ. ගෙදරක දරුවෙක් දාලා යන්න බෑ අද තනියම. සමහර වෙලාවට සීයා එක්කත්. සමහර වෙලාවට තාත්තා එක්කවත්. ඒකටත් හේතුව අපි මේ ලිංගිකත්වය විවෘත මනසකින් නොදකින නිසානේ. මේවා වහගෙන, හිර කරගෙන ඉන්න නිසානේ.

‘ඇගේ ඇස අග‘ චිත්‍රපටයේ රඟපෑ නවක නිළිය එහි අභියෝගාත්මක රංගනයක් ඉදිරිපත් කරනවා. ඇයට ඒ පිළිබඳ නොයෙක් විවේචන පවා එල්ල වුණා. රිතිකාගේ රංගනය ගැන ඔබේ අදහස?

මම නම් රිතිකා කොඩිතුවක්කු කියන ඒ නවක නිළියට හිස නමා අචාර කරනවා. හේතුව ඇගේ රංගනයත් ඉහළයි. ඇය නිකං ඇවිත් ශරීරය විකුණන එකක් නෙවෙයි කරන්නේ එතැන. විශිෂ්ට විදිහට රඟපානවා. ඇය රංගනය ඉගෙන ගත්ත කෙනෙකුත් නෙවෙයි. ඒත් කිසි අඩුවක් අපට පෙනුණේ නැහැ.

ඒ ඇගේ ප්‍රථම රංගනය?

ප්‍රථම රංගනය. අශෝක හඳගමගේ මෙහෙයවීමත් එක්ක ඇය ඒ චරිතය පුදුම අවංකව රඟපානවා. බොරුවක් කරලත් නෙවෙයි. ඇය ඉතාමත් එඩිතර, ශක්තිමක් යුවතියක්. ඇය පිළිබඳ කවුරු හරි වැරැදි විදිහට හිතුවාට කමක් නෑ. ඇයට කරදර කරන්නේ නැතිනම්. ඇත්තටම ඒක මේ අපේ රටේ තියෙන කුහක හැගීම්වල හැටි. අපේ හුඟක් පිරිමි තමන්ගේ අම්මව, නංගිව, මෝනාව ආරක්ෂා කරලා පිටින් ඉන්න වෙන කාන්තාවක්ව භාණ්ඩයක් වගේ පාවිච්චි කරනවා. එහෙම හිතනවා.

හැම ගැහැනියක්ම මනසින් නිරුවත් කරනවා?

ඔව්. එහෙම කරනවා. නමුත් ලෝකෙටම පෙන්නනවා මම තමයි හොඳම ස්වාමි පුරුෂයා කියලා. හැබැයි හිතාගන්න බැරි විදිහට අපේ සමාජයේ ලිංගික ප්‍රශ්න නිර්මාණය කරන්නෙත් ඔවුන්මයි.

මට හිතෙන්නේ ඔබ කිසියම් කලකිරීමකින් කතා කරන බවයි. එහෙම අනවශ්‍ය බලපෑම් පෞද්ගලිකව ඔබටත් එල්ල වී තිබෙනවාද?

නෑ, මට නෙවෙයි. ඒත් මම දන්න යොවුන් නිළියකට මේ වගේ අනිසි බලපෑම් නිසා රංගනයෙන් සමුගන්න පවා සිදුවුණා. ඇය ඉතාම දක්ෂ නිළියක්. මම ඇයව මගේ නිවසේ රඳවාගෙන ආරක්ෂා කළා. දැන් ස්වර්ණා මල්ලවාරච්චි ඒ ප්‍රශ්නවලට බොහොම එඩිතරව මුහුණ දුන්නා. මම හිතන්නේ ඒ කාලේ සමාජය මේ තරමට දරුණු නැතිව ඇති. මම අර කිව්ව නිළියට ඇගේ යහළුවන්ගෙන් පවා අයුතු යෝජනා ආවා. මම චිත්‍රපටවල නිරුවතින් රඟපාලා නෑ. මම ඒක කියන්නේ ආඩම්බරයෙන් නෙවෙයි. එහෙම වුණා නම් මටත් යම්, යම් ප්‍රශ්න පැන නඟින්න තිබුණා. ඒත් කෙනෙකුට ලිංගික ආකර්ෂණයක් ඇති වෙන විදිහේ චරිත මට රඟපාන්න ලැබුණේ නෑ. සමහර විට මම ඒ හැඟීම සාත්වික අභිනයෙන් පෙන්නුවා මිසක් ශරීරය පෙන්නලා නෑ.

එබඳු චරිත රඟපෑම වැරැද්දක් හැටියට දකින නිළියකුත් නෙවෙයිනේ ඔබ?

එහෙම වැරැද්දක් මම දකින්නේ නෑ. නමුත් මම රඟපෑ චරිතවල එබඳු අවශ්‍යතාවයක් තිබුණ් නෑ. ඒක මිසක් එහෙම රඟපෑ හෝ රඟපාන අය ගැන මගේ හිතේ දෙගිඩියාවක් හෝ අපුලක් නෑ. දැන් අනෝමා ජිනාදරී ‘තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයේ එයාගේ ශරීරය පෙන්නුවේ ඒ තුළින් චිත්‍රපටය විකුණ ගන්නවත්, ආකර්ෂණය ලබා ගන්නවත් නෙවෙයි. ඒක යථාර්ථය හැටියට පෙන්නුවේ. ඒ චරිතය රඟපාන්න බෑ ශරීරය පෙන්වන්නේ නැතුව. ඒකයි අපි තේරුම් ගන්න ඕනෑ.

කොහොම බැලුවත් අවසන් විග්‍රහයේදී ගැහැනියගේ ‘නිරුවත’ සිනමාව තුළ මා(ර්)කට් වෙනවා කියන එක ඔබ පිළිගන්නේ නැද්ද?

සිනමාවේ විතරක් නෙවෙයිනේ. මේ කොමර්ෂල්වල බලන්නකෝ. ටෙලිවිෂන් එකේ අපි බලන කොමර්ෂල් එකේ පවා තේ විකුණන්නත්, කිිරි පිටි විකුණන්නත්, සුවඳ විලවුන් විකුණන්නත් යොදා ගන්නේ ගැහැනියමනේ. ඉස්සර ඉඳලම ගැහැනිය කියන්නේ බොහොම සුන්දර වස්තුවක්. ඇයගේ ශරීරිය උත්කර්ෂයට නංවලා, නොයෙක් වර්ණනා කරලා සංදේශ කාව්‍යවල පවා තිබුණානේ. මුළු ලෝකයම නාරි ලාලිත්‍යය ගැන උනන්දු වෙනවා. ඊට ආසක්ත වෙනවා. නැතුවා නෙවෙයි. නමුත් එක් එක් නිර්මාණවල ඒක පාවිච්චි වෙන විදිහ වෙනස්. සමහර දේවල් තනිකරම මා(ර්)කට් එකට තමයි කරන්නේ. දැන් පොඩි ළමයි පවා නරඹන හින්දි චිත්‍රපටවල නිළියවනේ මා(ර්)කට් කරන්නේ. සමහර විට ඒ ඇඳුම් පැළඳුම් නිරුවතින් ඉන්නවාට වඩා ශෘංගාරාත්මකයි. ඒ ඒ චරිත හා බද්ධ වෙච්ච ලිංගික දර්ශන් මිසක් අපේ සිනමාවේ එහෙම ලිංගිකත්වය මා(ර්)කට් කරලා නෑ මම හිතන්නේ.

බොලිවුඩ් සිනමාවේදී වගේම කොලිවුඩ් සිනමාවේත් විශේෂයෙන්ම නර්ථන අවස්ථා සඳහා නාරි දේහය, ලාලිත්‍ය යොදා ගන්නවා තමයි. හැබැයි එහි‘ ‘අමු’ ගතියකට වඩා කිසියම් සෞන්දර්යයකුත් තියෙනවා මට හිතෙන විදිහට?

අනිවාර්යෙන්ම. නමුත් බොහෝ විට ඒ නර්තන ජවනිකා අවසන් වන්නේ ලිංගිකත්වය හුවා දක්වමින්. ඒ කාර්යය සඳහා පෙම්වතිය, පෙම්වතාට යෝජනා කරමින්. පිරිමියා අවුස්සන, පොළඹවාලන සුළු ගතියක් එහි තියෙනවා. මේ ඊයේ පෙරේදා මම ‘දිල්වාලේ’ චිත්‍රපටය නැරඹුවා. ෂාරුක් ඛාන් සහ කාජල් එහි නර්තනයක යෙදෙනවා ගී ගයමින්. හරිම ශෘංගාරාත්මකයි. ඇඳුම් පැළඳුම්වලින් සැරසිලා තමයි මේ රංගනය ඔවුන් කරන්නේ. නමුත් ශරීරය අල්ලන තැන්, ඒ අභිනයන් කෙනෙක් ලිංගිකත්වයට පොළඹවනවා. එහෙම සිනමාවක් මම දන්න තරමින් අපේ තිබිලා නෑ. අපේ රටේ පසුගිය කාලේ තිබුණේ එයට වඩා යථර්ථවාදී සිනමාවක්.

නමුත් ලංකාවේ ප්‍රේක්ෂකයෝ සිංහල චිත්‍රපටවලට වඩා හින්දි සිනමාවට කැමැතියි?

ඒකෙන් පේන්නේ අර වගේ දර්ශන අපි බලන්න කැමැතියි කියන එකනේ. එවැනි ෆැන්ටසි ලෝකයකට අපි කැමැතියි කියන එක. අපේ වගේ යථාර්ථවාදී දේවල් බලනවාට වැඩිය අර වගේ තමන්ට ලං වෙන්න බැරි තැනක තියෙන ලිංගිකත්වය බලන්න, රස විඳින්න ඔවුන් කැමතියි මම හිතන්නේ. ඒකෙන් අපේ තියෙන අසහනයකුත් පෙන්නුම් කරනවා නේද?

ටවර් හෝල් යුගයේ ඉඳන් අද මේ ඩිජිටල් සිනමා යුගය වෙනතුරු කටකතා නොහැදුණු නිළියක් අපේ රටේ නැති තරම්. ‘නිළිය’ සහ ‘කටකතා’ හරියට එකම කාසියක දෙපැත්ත වගේ. ඒත් මම දන්න තරමින් කෞෂල්‍යාට එහෙම කටකතා නෑ?

ඇත්තටම තියෙනවද දන්නෙත් නෑ ඉතිං. මම දන්නේ නෑ අවංකම. ඒත් ඔය කටකතා කියන ඒවා සත පහකට මම ගණන් ගන්නේ නැහැ. ඒක හැදෙන එකත් එක අතකට හොඳ ඇති. එතකොට කෙනෙක් ජනප්‍රියයි කියලා පේනවානේ. කෙනෙක් ජනප්‍රිය වුණාමත් කටකතා හැදෙනවා. මම එහෙම ජනප්‍රිය කෙනෙකුත් නෙවෙයි. අනෙක කටකතා හැදෙන්නේ ටිකක් රූප ශෝභාව තියෙන අයටනේ. තමන්ට ලං වෙන්න බැරි අයට කටකතා හදනවා සමහරු. එහෙම එකකුත් තියෙනවා. මම ඉතින් බොහොම සාමාන්‍ය කෙනෙක්නේ. කඩේට ගිහින් එළවළු ගෙනල්ලා උයන පිහින කෙනෙක්නේ. ස්කෝලවල, විශ්ව විද්‍යාලවල මම උගන්වන්න යන්නේ සමහර විට බස් එකේ, ත්‍රීවිලර්වල. ඒ නිසා මට කට කතාවක් හැදෙන්න ඕනෑ නෑ. ඕනෑ කෙනෙකුට ඇවිත් මට කතා කරන්න පුළුවන්. මම හැංගිලා ඉන්නෙත් නෑ.

ඒ ඔබ තරුවක් නොවෙන හින්දද?

ඇත්තටම මම තරුවක් නෙවෙයි. ඒත් මම තරු සංකල්පය හෙළා දකින්නේ නෑ. විශේෂයෙන්ම සිනමා කර්මාන්තයක් පවත්වාගෙන යන්න තරු සංකල්පය අවශ්‍යයි. හැබැයි මට තරුවක් වෙන්න රුචිකත්වයක් නෑ. තරුවක් වුණාම පිළිවෙලට ඇඳලා කරලා, ලස්සනට ඉන්න ඕනෑනේ. මට ඒක තමයි අමාරුම දේ. සම්මාන උලෙළකට ආරාධනා ලැබුණාමත් යාළුවෝ තමයි මට කියන්නේ ‘අනේ කෞෂල්‍යා හරියට ඇඳලා යන්න, මෙහෙම කරන්න, මෙහෙම කරන්න’ කියලා. මම ඉතින් මොකක් හරි ඇඳුමක් ඇඳගෙන ගිහින් වෙලාවකට බැනුම් අහනවා යාළුවන්ගෙන්. එහෙම මං කොහොම ද තරුවක් වෙන්නේ.

ඔබේ ඉදිරි සිනමා නිර්මාණ ගැන කතා කළොත්?

මලිත් හෑගොඩ ගේ ‘දැකලා පුරුදු කෙනෙක්’ චිත්‍රපටයේ මම පොඩි චරිතයක් රඟපානවා. එතකොට අසෝක අතාවුදහෙට්ටිගේ චිත්‍රපට දෙකක මම රඟපාලා තියෙනවා. ඒ වගේම ඩෙනිස් පෙරේරාගේ ‘ත්‍රීවිල් ඩයරිස්’ කියලා චිත්‍රපටයකත් රඟපෑවා. ඉතාලියේ ඉන්න තරුණ සිනමාවේදියකුගේ චිත්‍රපටයකත් මම චරිතයක් නිරූපණය කළා. ඒ චිත්‍රපටයේ නම ‘ජ්ධප ච ඉධද’, ‘පුතෙකුට’ කියන අර්ථය. මම හිතන්නේ ලංකාවේත් ඔහු ඒ චිත්‍රපටය පෙන්වයි.

එතකොට වේදිකාවත් එක්ක තිබෙන ගනුදෙනුව කොහොමද?

මම නාට්‍යයක් නිර්මාණය කළා ‘දුටු තැන අල්ලනු’ කියලා. ගිය දෙසැම්බරයේදී තමයි එය වේදිකා ගත කළේ. ඒක රාජ්‍ය නාට්‍යය උලෙළේ අවසාන වටය නියෝජනය කළා. නැවත එය වේදිකා ගත කරන්න සැලසුම් කරමින් ඉන්නවා. එතකොට මගේ මවගේ ‘විකෘති’ නාට්‍යයේත් මම රඟපානවා. පාසල් විෂය නිර්දේශයට ඒ නාට්‍යය ඇතුළත්ව තිබෙනවා. රට වටා ඒ නාට්‍යය රැගෙන යනවා. මේ සියල්ලම මම කරන්නේ මගේ දරුවන් දෙදෙනාගේ සහ සැමියාගේ වැඩ කටයුතු නොපිරිහෙලා ඉටු කරමින්. දැඩි අවිවේකී බවක් තිබුණත් ඒ ජීවිතය සුන්දරයි.