වර්ෂ 2016 ක්වූ ජූනි 16 වැනිදා බ්‍රහස්පතින්දා




සුන්දර සන්තෑසි මැදින් සරිගමප රූගත වෙද්දී

සුන්දර සන්තෑසි මැදින් සරිගමප රූගත වෙද්දී

මේ රේණු අක්කා සුවිප් දිනුමක් ඇද්දොත් එදාට මට සුම්මම තමයි. එක අංකයක්වත් ගැළපෙන්නෙ නැතුව යනවා. ඒ කාලෙ එහෙම මං හිතුවෙම ලොතරැයියෙන් මාව පරද්දල සුවිප් දිනුම් ඇද්ද රේණුකාක්කා ඒ සල්ලි පිල්ලි ගහගන්නවැති කියලමයි. ‘සරෝජා’ ෆිල්්ම්මෙක පෙන්නන්න ඉස්කෝලෙ පොඩි පන්තිවල අපිව විජයන්තියට (කඩුවෙල) එක්කරං ගිය දවසෙත් ඒක මට ඒ විදියටම හිතුණා. පොල් අකුරෙං රේණුකා බාලසූරිය නම තිරේ වැටෙද්දිත් මට යකා නැග්ගා.

‘කොෂියො තෝ දන්නවද, මං සත පනහ, රුපියල එක්කහු කොරං දහයක් හදන් ගන්න එක සුවිප්පෙකකටවත් අර රේණුකා අක්කා රෑට ටීවියේකට ඇවිත් දිනුං ඇද්ද දාට සතයක්වත් ඇදෙන් නෑ. ඒ රේණු අක්කා සරෝජා පික්චර්රෙකටත් රිංගගෙන. මං එහා සීට්ටෙකේ හිටය මගෙ අතිජාත ගජය කොෂියකොර්ට එදා එහෙම කිව්ව.

ඒත් දැන් මට ඇත්ත තේරෙනවා. සුවිප් නෑදුනේ මගෙ කරුමෙට මිසක් රේණුකාක්කා කෙරුව වංචාවකට නෙවේ. මැෂින්නෙකෙන්නේ දිනුම් අංක තේරෙන්නේ. ඒ කොහොම වුණත් දැන්නං ඕං මගේ හිිතේ රේණුකාක්කා ගැන එහෙව් කිසිම කහටක් නෑ. ඒත් එහෙමවත් ආරෝවක් සෝමෙයයියත් ඒක්ක කවදාවත්ම මයෙ හිතේ තිබිලම නෑ. ඇයි ඉතින් රේණුකාක්ක වගෙ සුවිප් දිනුං තෝරන්ඩ සෝමෙයයිය ටීවීයෙකට ආව නෑනෙ. ඉතිං සෝමෙයයිය තමයි මිනිහ.

අද අදේ හිටං ඔය වගේ මමෝවිකාර පික්චර් මට හිතිං පේනව. එක අතකට ඒකෙ අරුමයක් නෑ. තිස් එක් දවසක් තිස්සෙ සරිගම පස්සේ වැටිච්ච පැපරාසි ගමන ඉවරවෙච්චෙකත් සුළුපටු දෙයක්ද. ඔහෝ මට වැරදුණා, ෆිල්ම්මෙකේ නමේ අග්ගිස්සට තව පයන්නක් එල්ලන්ඩෝන. සෝමෙයයිය තිබ්බ කලින් නමට සුනිල් ලොක්කා (මහාචාර්ය සුනිල් ආරියරත්න) පස්සෙ පයන්නක් එල්ලුවෙ ලඝු - ගුරු අක්ෂර තෝරල කරල, එහෙම නෙවේ සෝමෙ මෙහෙම කොරන්ඩ කියාගෙන.

‘ඔන්න එක ලොකේෂන්නෙකක දවස් හතරයි. ෂෙඩුල්ලෙක මෙහෙමයි, ඉස්සර එක දිගට ලොතරැයි ප්‍රතිඵල කියෝනව වගේ රේණුකාක්ක මුලින් කිව්වෙ එහෙම.

කෙළිං කටිං ඉන්ඩ බැරි අව්කූටකේ නුවරින් ෂූටිං පටන් ගත්තෙ. සතියක් යද්දි රේණුකාක්කගෙ හතර වරක් චක්කරේ එක්කම කලා වැව් තාවුල්ලෙ අටෝල තිබිච්ච ස්ක්‍රීන්නෙකකුත් කඩා වැටුණෙ පහුගිය දේශගුණික කැලඹිල්ලෙන්. ඒත් සෝමෙ - රේණු ජෝඩුව නෙවෙයි වැඩේ අත්හැරියෙ, ඒකටම ඔට්ටුවෙන්ඩ බලාගත්ත විශ්ව (කැමරාකරණය) චානක, චාමර, විදුර, සමීර එහෙම සෙට්ටෙක මේ වැඩ් පස්සෙන්ම හිටිය. කළුතර, හපුතලේ, මස්කෙළිය, නල්ලතන්නිය, ශ්‍රීපාද අඩවිය, නුවරඑළිය, අඹේවෙල, තෙල්දෙණිය, රංගල වටේ රවුමක් කැරකිලා අන්තිමේ මාවුස්සාකැලේ ජලාශෙ ඔරු පැදිල්ලකින් තමයි වැඩේ ෂූටිං අහවර කළේ. ඒත් කිසිම කාන්සියක් නෑ. ඇයි ඉතින් දවල් දවසෙ කඩිය වගේ වැඩ කරන සෝමෙයයිය හවස් ජාමෙට සෝමපානෙන් පස්සෙ පැණි කතා කියනවනෙ. ඉතිං සෝමෙයයිය තමයි මිනිහ. හැබැයි තිස්පස් අවුරුද්දක් පරණ කරගත්ත සෝමෙයයියගෙ ප්‍රංශ වයින් බොතලේකටනං ඉලන්දාරි ටිකක් මේ වැඩේ ඇතුළෙදි වග කියල තියෙනව. හිරිගඩු පිපෙන සීතල මරන්ඩ ‘දන්නෝ’ විතරක්ම දන්න රතු ජෝගුවෙ කෝපි - වයින් අරිෂ්්ටෙ බෙදද්දිත් කොල්ලො ටික සෝමෙයයියට රං මාමේ කිය කිය ඒ කෙරුව වැඩේනං කැතයි හොඳේ.

ඕං ඔහොම සරගමප හැදෙද්දි වෙච්ච හුඟක් සන්තෑසි දන්න අපට සුදුලූනු පොඩි කොරන්ඩනං කෲ එකටවත් ලේසි නෑ. එඩිෂම් බංගලාවෙදි ඇසිස්ටන්ඩ් ඩිරෙක්ටර් වර්ණන් යටිබැල්ලෙං ගැහැව්ව කරණමෙං මිනිහ උඩුකුරුඤ්ඤං නොවී බේරෙන්නෙනං ගහක අත්තකට පින්සිද්ද වෙන්ඩ, විත්තියත් දන්නෝ දනිති ජාතියේ තවත් කතාවක්. ෆිල්ම්මෙකේ පෙන්නන කැප්ටන්ගෙ බංගලාව රිදී තිරේට ගන්ඩ එඩිෂම් බංගලාවයි කලා වැව් ඉවුරයි රිච්මන්ඩ් කාසල්ලෙකයි තුනම එක්කාසු කොරගත්ත විත්තිය නම් ෆිල්ම්මෙක බලලා වයිමටවත් හොයාගන්ඩ බැරි වෙයි. ඉතිං සෝමෙයියය තමයි මිනිහ.

අවුරුදුත් නොකා ගෝස්තියක් එක්කම සෝමෙයයියලා මහ කැමරා දෙකක්ම අටෝගෙන සරිගමප ගහනව. ඒ අස්සෙ සමීර යාපා කියන සෝමෙයයියලගෙ ගජයා සෝමෙලටත් හොරෙන් මේ වැඩේට වර්කින් ඩොකියුමන්ට්‍රියක් ගහල - ඒ වගේ වගක් නොදන්න සෝමෙයයියව පුදුම කරන්ඩත් එක්ක ඉලන්දාරි ටික ඒක පහුගිය දවසක පෙන්නුව. ඒක බලද්දිත් හිතෙන්නෙම සෝමෙයයිය තමයි මිනිහ කියලම තමයි.

මේ පික්චර්රෙකේ විදියට මරියට (පූජා උමා ශංකර්ට) පියානෝ ගහන්ඩ තියෙනව. රෝහණ වීරසිංහ පූජාගෙ අතින් අල්ලන් ඒ වැඩේ පුරුදු කරද්දි සෝමෙයයියත් එතනට කිට්ටු කරනව. ඒ ගිහින් රඟපාන තැන්වලදි වැරැද්දුවම එහෙම සෝමෙයයිය සැරවැර නොකර ආදරෙං කියාදෙනව. ඒකට පූජටත් මාර හැපී. සෝමෙයයියට කිට්ටු වෙලා තට්ටු දදා තමයි පූජා අහගන්නෙ. ඉතිං ඒ දිහෑම ඇස් ඇරන් අපි බලා උන්නෙම ඔය අල්ල පනල්ලෙ සෝමෙයයියත් පූජාට තට්ටු බට්ටු එහෙම දායිවත් ද කියලමයි. ඒත් එහෙම සිද්ධියක් නම් වර්කින් ෆිල්ම්මෙකේ තිබ්බෙ නැත්තෙම ඒ අහල පහළක රේණුකාක්ක එහෙම හිටිය හින්දද කියන්ඩත් බෑනෙ.

සංගීතෙං ආචාර්ය රෝහණ වීරසිංහ, කන්‍යාරාම පාලිකාවගෙ කැපී පෙනෙන චරිතෙන් නිළි රැජන ආචාර්ය මාලිනී ෆොන්සේකා දෙන්නවත් එක්කොරං තමයි ආචාර්ය සෝමරත්න දිසානායක සරගමප පික්චර්රෙක ගැහැව්වේ. ඒ විතරද මේ හැදෙන්නෙ කාලෙකිං සිංහල සිනමා ප්‍රේක්ෂකයන්ට දකින්ඩ නොලැබිච්ච විදියේ චිත්‍රපටයක්. සින්දු දහතුනක් ඇතුළත් වෙච්ච මේකට සංගීතමය චිත්‍රපටයක් කියන අධ්‍යක්ෂවරයා කියන්නෙත් සිනමා ජීවිතේ හැදුව දුෂ්කරම පික්චර්රෙකත් සරිගමප කියලමයි. ඉතිං සෝමෙයයිය තමයි මිනිහ.

තවත් විශාරදධාරීන්ම පස් පොළක් තමයි ගැයුමට එක් වෙන්නේ. ඒ විශාරද නන්දා මාලිනී, විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද උරේෂා රවිහාරි, විශාරද හර්ෂණ දිසානායක, විශාරද ශෂිකා නිසංසලා. ‘මේක හරිම ගැටලුවක්’, ‘පුරසඳ සේදෙයි’, ‘සමනළයන්’ සින්දු එක්කම සරිගමප පික්චර්රෙකෙන් අලුතින් ගුඩ්නයිට් සින්දුවකුත් අපට හඳුන්වා දෙනව. ඒ නිසා දැන් ඉතිං ඉස්සරහට පුංචි අයට නිදාගන්ඩ යද්දි එයාලගෙ අම්මල තාත්තලට ගුඩ්නයිට් කියන්ඩම ඕන නෑ. ඒ වෙනුවට සෝමෙයයියම ලියා තියෙන ගුඩ් නයිට් සින්දුව කියාගෙන නින්දට යතහැකි. නැළවිළි ගීත නොදන්න අම්මණ්ඩිලට බබාලා නළවන්ඩත් සෝමෙයයියගෙ ගුඩ්නයිට් සින්දුව මරුවට ගැළපේවි. ඉතිං සෝමෙයයිය තමයි මිනිහ.

අලිමංකඩෙන් පස්සෙ සිංහල සිනමාවෙන් ඈත්වෙලා ඕස්ට්‍රේලියාවෙ හිටිය අශාන් ඩයස්ව ගෙන්වගෙන සෝමෙයයිය මේ ෆිල්ම්මෙකේ විශ්‍රාම ගිය නාවුක කපිතාන්ගෙ භාරදුර චරිතෙ භාර කරලා. එකොළොස් දෙනෙක් ඉන්ඩ බැරිව දමල ගහල යන ඒ කපිතාන්ගෙ බංගලාවෙ දොළොස්වෙනි වැඩකාරිගෙ (මරියා) චරිතෙට ඇඳගෙන රිදී තිරේට ගොඩ වෙන්නෙ සෝමෙයයිය ඉන්දියාවෙන් ගෙන්නුව පූජා උමා ශංකර්. රත්නා ලාලනී ජයකොඩි රිදී තිරේ කලාතුරකින් හපන්කම් පෙන්වන්නියක්. ගයනී ගිසන්තිකා, රම්‍යා වනිගසේකර දෙදෙනාත් එහෙමමයි. සරිගමප මේ තුන් දෙනාම එකට රඟපාන චිත්‍රපටයක්. සෝමසිරි අළකොලංග, ලලිත් ජනකාන්ත, දසුන් මධුසංඛ, බුද්ධි රන්දෙනිය, සකුන්තලා තත්සරණී, නර්තනා දිල්මිණී, සනේති අකිලා, තිසුරි අංජලී, කෞශල්‍ය නිර්මාණ, මිලිනි මෙහාරා, ප්‍රමුදිත උදයකුමාර, මෙනාරා ගියෙන්සා, වෙතුලි යුවන්යා එහෙම තමයි සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කරන රේණුකා බාලසූරිය විධායක නිෂ්පාදිකාව වෙන මේ චිත්‍රපටයෙ රංගන පිරවර.

සහාය අධ්‍යක්ෂණයෙන් දමින්ද ඩී. මඩවල - චාමර සේලාර, කැමරාවෙන් විශ්ව බාලසූරිය, සංස්කරණයෙන් අජිත් රාමනායක, කලා අධ්‍යක්ෂණයෙන් සුනිල් විජේරත්න, වේශ නිරූපණයෙන් විදුර අබේධීර, සමීර මධු කිඳෙල්පිටිය, ශබ්ද පරිපාලනයෙන් ප්‍රියන්ත කළුආරච්චි, ඇඳුම් නිර්මාණයෙන් මෙත් නුවන් විජේසිංහ, පරිගණක දෘශ්‍ය ප්‍රයෝගවලින් කසුන් මලින්ද එහෙමත් එක්කරගෙන තමයි ආචාර්ය සෝමරත්න සරිගමප හැදුවේ. ඉතින් සෝමෙයයියා තමයි මිනිහ.