වර්ෂ 2016 ක්වූ ජූනි 16 වැනිදා බ්‍රහස්පතින්දා




මල්වත්ත පාරේ පස්වැනි මහල

මල්වත්ත පාරේ පස්වැනි මහල

කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට මල්වත්ත පාරට ඇතුළු වී මඳ දුරක් ගිය කල්හි දකුණු පැත්තට වන්ට තට්ටු දොළහක පමණ උසින් යුතු ගොඩනැඟිල්ලක් දැකගන්ට ලැබේ. එය හැඳින්වෙන්නේ 'හයවැනි පාවුලු මධ්‍යස්ථානය' කියාය. එහි හයවැනි මහල එක්තරා කාලයක අප නිරන්තරවම ආගිය තැනකි. ඒ එහි ජාතික කතෝලික සිනමා පර්ෂදය (ඕ. සී. අයි. සී) පිහිටා තිබූ බැවිනි.

1978 එක්තරා දිනෙක 'සරසවිය' පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියක් කෙරෙහි මගේ අවධානය යොමු විණි. ඉන් කියැවණේ ඕ. සී. අයි. සී. කාර්යාලයේ සෑම පෝදා දිනකම සිනමා හමුවක් පවත්වන බවකි. එතෙක් ප්‍රදර්ශනය නොවූ සිංහල චිත්‍රපටයක් එහිදී තිරගත වන බවත් එහිලා වැඩිදුරටත් සඳහන්ව තිබිණි. මා ඕ. සී. අයි. සී. ආයතනයට මුලින්ම ගියේ මේ පෝදා මාසික සිනමා හමුවට සහභාගීවන්ටය.

සෑම සිකුරාදා දිනකම සවස එහි නොමිලේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය වන බව මා දැනගත්තේ මේ පෝදා සිනමා හමුවට සහභාගිවීමේදීය. කොළඹින් බැහැර නොගියේ නම් සෑම සිකුරාදා සවසකම මෙම චිත්‍රපට දැක්මට එක්වන්ට මම අමතක නොකළෙමි.

මෙහි තිරගත කරන ලද්දේ බොහෝ විට ප්‍රංශ චිත්‍රපටය. එහෙයින් ප්‍රංශ නවරැල්ලට අයත් බොහෝ චිත්‍රපට අපට එමඟින් දැකගැනීමේ භාග්‍යය උදා විය. එපමණක් ද නොවේ. උස්මාන් සෙම්බෙනේගේ 'ද මනි ඕඩර්', කොස්තා ගවුරාස්ගේ 'ඉසැඩ්' යන චිත්‍රපට ද අපට ඕ. සී. අයි. සී. වෙතින් දැකගන්ට ලැබිණි. මා දන්නා තරමින් මේ නිෂ්පාදන දෙකටම ප්‍රංශ සම්බන්ධයක් ඇත.

පෝදා මාසික හමුවටත්, සිකුරාදා චිත්‍රපට දැක්මටත් එක් වූ තරුණයෝ බොහෝ දෙනෙක් පසු කලෙක චිත්‍රපට අධ්‍යක්ෂවරුන් වූ අතර තවත් අය ඒ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයෝ වූහ. ප්‍රසන්න විතානගේ, ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, සමන් වගාරච්චි (ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ) උදයකාන්ත වර්ණසූරිය, නිලේන්ද්‍ර දේශප්‍රිය, සිසිර සුරවීර (අකාලයේ මිය ගියේය), ඈෂ්ලි රත්නවිභූෂණ, නීතිඥ සමන් වික්‍රමාරච්චි, චන්දන සිල්වා, ධර්මරත්න පෙරේරා, මෙල්රෝයි ධර්මරත්න, චන්ද්‍රසිරි බෝගමුව, ජී. එවරස්ට් ආරච්චිගේ, ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා, මියුලන් සපරමාදු සහ මහීල් ආර්.පෙරේරා මගේ මතකයට නැඟෙන නම් කීපයකි.

ඕ. සී. අයි. සී. වෙතින් එකල සිනමා වීඩියෝ පාඨමාලාවක් ආරම්භ කෙරුණු අතර ආර්ථික හේතු මත මට ඊට සම්බන්ධවන්ට අවස්ථාවක් නොලැබිණි. එය මෙහෙය වන ලද්දේ ප්‍රවීණ සිනමා ඡායාරූප ශිල්පී ඇන්ඩෲ ජයමාන්න විසිනි.

එවක ජාතික කතෝලික සිනමා පර්ෂදයේ අධ්‍යක්ෂවරයා වූයේ අර්නස්ට් පෝරුතොට ගරු පියතුමාය. පසු කලෙක එතුමා මගේ ජීවිත සාර්ථකත්වය කෙරෙහි ප්‍රබලව බලපෑවේය. පෝරුතොට පියතුමා එකල සිටියේ කළුතර කලමුල්ල පල්ලියේ මීසමේ යැයි සිතමි. ස්කූටරයේ නැඟී උන්වහන්සේ එන යන ගමන මට සිනමාපටයක් මෙන් මැවී පෙනේ.

පෝරුතොට පියතුමාගේ ගෝලයා වූයේ සුසන්ත තිසේරාය. ඔහුත් සමඟ අපට සිහියට නැඟෙන්නේ වැනිලා සුරුට්ටුය. ඔහු එතරම් සුරුට්ටු බීවේය. රෙජිමෝල්ඩ් ද සිල්වා හා රූපස් ෆ්‍රැන්සිස් යන දෙදෙනා ද සුසන්ත සමඟ කාර්යාලයේ සේවය කළ බව මට මතකය. තිරගත සෑම චිත්‍රපටයක් වෙනුවෙන් ද මියගිය සෑම සිනමා කලාකරුවකු වෙනුවෙන් ද ලිපි ගොනු පවත්වාගෙන යෑම සිදු වූයේ පියතුමාගේ උපදෙස් පරිදි සුසන්ත වෙතිනි. මේ සම්ප්‍රදාය පෞද්ගලිකව මට ද බලපෑ බව කිව යුතුය.

චිත්‍රපට වාර්ෂිකයක් පවත්වාගෙන යෑම සිනමා පර්ෂදයෙන් සිදු වූ අගනා මෙහෙයකි. තිරගත වන සැම චිත්‍රපටයකම තොරතුරු ග්‍රන්ථ ලෙස ආරක්ෂා කිරීම එහි පරමාර්ථය විය.

1972 - 82 දශකය ඕ. සී. අයි. සී. හී පෝරුතොට පියතුමාගේ යුගය ලෙස හැඳින්විය හැකිය. 'ක්‍රිස්තු චරිතය' චිත්‍රපට වාරණයේදී එතුමා කතෝලික සභාවට පිටුපා චිත්‍රපටය වෙනුවෙන් පෙනී සිටීමේ වරදට උන්වහන්සේට මෙම පදවිය අහිමිව ගියේය. පසුව එතුමා මරදානේ සමාජ හා සාමයික කේන්ද්‍රයට අනුබද්ධිතව 'මාධ්‍ය කේන්ද්‍රය' නමින් කලා සංවිධානයක් ආරම්භ කළේය. එහිදී වැඩි අවධානය යොමු කෙරුණේ රූපවාහිනී - ටෙලි නාට්‍ය කෙරෙහිය.

පෝරුතොට පියතුමාගේ නික්ම යාමෙන් පසු බෙනඩික්ට් ජෝශප්, සිරිල් ගාමිණී ප්‍රනාන්දු, පෝල් ප්‍රනාන්දු, ශ්‍රියානන්ද වැනි පියවරු ඕ. සී. අයි. සී. ජාතික අධ්‍යක්ෂ ධුරය දැරූහ. ඉන් ඇතැම් අය යටතේ විනිශ්චය මණ්ඩල (ජූරි) සාමාජිකයකු ලෙස කටයුතු කිරීමේ අවස්්ථාව මට උදා විය.

සුනිල් මිහිඳුකුල