වර්ෂ 2016 ක්වූ ජූනි 16 වැනිදා බ්‍රහස්පතින්දා




වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක අධ්‍යක්ෂවරයාගෙන් එකදිගට චිත්‍රපට හතක්

වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක අධ්‍යක්ෂවරයාගෙන් එකදිගට චිත්‍රපට හතක්

දින සියයයි වාර්තා පිට වාර්තා තැබූ සුනිල් සෝමට දැන් කොහොමද?

වැඩිම සිංහල චිත්‍රපට ගණනක් අධ්‍යක්ෂණය කරමින් වාර්තාවක් තැබූ නළුවකු, අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකයකු, තිර කතා රචකයකු ලෙසින් සිංහල සිනමාවේ පෙරළි කරපු සුනිල් සෝම පීරිස් නිහඬ වෙලා සිටින නිසාම අපිට හිතුණා ඔහු මේ දවස්වල මොනවද කරන්නේ කියලා ටිකක් සොයලා බලන්න. ඒ ගැන ඔහුගෙන්ම අහගන්නත් එක්ක අපි කතා කළා සුනිල්සෝමට.

ආයුබෝවන් සුනිල්සෝම මහත්තයා?

ආයුබෝවන්.

මොකද? මේ දවස්වල නිහඬ වෙලා? චිත්‍රපටයක්වත් කළෙත් නෑ නේද? ඇයි දැන් චිත්‍රපට කෙරුවාව එපා වුණාද?

අනේ එහෙම නෑ. මම ටිකක් එක දිගට අසනීප වුණා. ඒ හින්දා සැලසුම් කරපු චිත්‍රපට කීපයක්ම කරගන්න බැරි වුණා.

මගේ රසිකයොත් මම නිහඬ නිසා නිතර මා ගැන සොයලා බලනවා කියලා මට ආරංචිත් වුණා. සමහරු මට ගෙදරට කතා කරලා අහනවා ඇයි චිත්‍රපට කරන්නෙ නැද්ද කියලා.

කාලෙකින් මට රසිකයන්ටත් කතා කරන්නත් ලැබුණේ නැති එකේ මටත් ගොඩක් දේවල් කියන්නත් තියෙන නිසා අපි හම්බවෙලා කතා කරමුද?

හා හොඳයි. අපි කතා කරමු.

අසනීප තත්ත්වයක් ගැන කිව්වේ?

මගේ ඇඟේ සීනි වැඩිවීම නිසා ඒ සඳහා මා දීර්ඝ කාලයක පටන් බේත් ගත්තා. ඒ බේත්වල බලපෑම නිසා මගේ වකුගඩුවක් අක්‍රීය වුණා. ඒ අවස්ථාවේ මට වකුගඩු බද්ධ කිරීමක් සිද්ධ කළා. ඊට පස්සේ මගේ අසනීප තත්ත්වය සුව අතට හැරෙමින් තියෙන කොට මගේ වම් කකුලේ ඇඟිල්ලක කුඩා තුවාලයක් ඇති වුණා. මේක ක්‍රමයෙන් වැඩි වුණා. කොහොම හරි ඒ සඳහා ප්‍රතිකාර කලත් තුවාලය සුව නොවීම හේතුවෙන් එයින් මගේ ජීවිතයට තර්ජනයක් ඇති වෙන බව නිර්දේශ කළ වෛද්‍යවරු අවසානයේ මගේ වම් පාදයේ දණ හිසට යටින් කපා ඉවත් කළා.

අද වෙන කොට ඔබ පූර්ණ සුවය ලබලද?

ඔව්. දැන් මගේ කකුලේ තුවාලය සුව වෙලා මගෙ කපා ඉවත් කළ වම් පාදය වෙනුවට ජර්මනියෙන් කෘත්‍රිම පාදයක් ගෙන්වනු ලැබුවා. එය භාවිතය පිළිබඳ පෙර පුහුණුවක් මම දැන් ලබමින් ඉන්නවා. ඔය අතරේ යළිත් මගේ ඒ පාදය තුවාලවීමක් සිද්ධ වුණා. දැන් නම් වෛද්‍ය උපදෙස් පරිදි ඒ තුවාලයත් ප්‍රතිකාරවලින් සුවපත් වෙලා. මේ දවස්වල නම් මම ටිකක් ගෙදරටම සීමා වෙලා. වෝකර් එකක ආධාරයෙන් තමයි ගෙයි වුණත් එහාට මෙහාට යන්නේ. තව ටික දවසකින් කෘත්‍රිම පාදයෙන් මගේ සුපුරුදු ගමන මට යන්න හැකි වෙයි.

අසනීප තත්ත්වය නිසාම නිර්මාණ කටයුතු සඳහා කොයි ආකාරයෙන්ද සැලසුම් සකස් කළේ?

මම අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තුවෙන් ස්ක්‍රිප්ට් එක ලිව්ව හැට හතර මායම් චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු අතපසු වන නිසා මගේ පුත් සුදේශ් වසන්ත පීරිස් ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. එහි පෙර නිෂ්පාදන කටයුතු සියල්ල මා විසින් සැලසුම් කරලා සුදේශ් පුතාට භාර කළා. චිත්‍රපටයේ සියලු ෂූටින් කටයුතු මේ සතියේ මුල තමයි අවසන් වුණේ. ඒ වගේම මගේ පුතා ඊළඟට කරන්න යන චිත්‍රපටයක තිර නාටකයේ පෙර සංශෝධන වගයක් කරමින් තමයි මම මේ දවස්වල ගෙදරට වෙලා සිද්ධ කළේ.

යළිත් ඔබේ බලාපොරොත්තුවක් නැද්ද චිත්‍රපට කර්මාන්තය හා එක් වී වැඩ කරන්න?

ඒකට තමයි මම මේ කෘත්‍රිම පාදය එහෙම දාගෙන ආයෙත් ලකලෑස්ති වෙන්නේ.

ඔබේ ඊළඟ අරමුණ කලාත්මක චිත්‍රපටයක්ද වාණිජ චිත්‍රපටයක් ද නිර්මාණය කිරීම?

කොහොම වුණත් මම අතින් නිර්මාණය වුණොත් චිත්‍රපටයක් ඒක වාණිජ චිත්‍රපටයක් වේවි. දැනටමත් මා සතුව පිටපතක් තියෙනවා. මට නිෂ්පාදකයෙක් ලැබුණොත් ඒ හරහා මා යළිත් සිනමා කෘතියක් නිර්මාණය කරනවා.

අද ඔබේ මනාපය චිත්‍රපට අධ්‍යක්ෂණයට පමණද? නිෂ්පාදනයට කැමැත්තක් නැද්ද?

අද තිබෙන ආර්ථීක රටාව අනුව මට නිෂ්පාදන කටයුතුවලට දායකවීමේ අපහසුව තදින්ම තියෙනවා. කොහොමත් මගේ තනි කැමැත්තට අදට මම චිත්‍රපටයක් කරන්න පෙළඹෙන්නේ නැහැ. එහෙම කරලා නිෂ්පාදකයෙක් සොයා චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න මගේ සූදානමකුත් නැහැ. නිෂ්පාදකවරයෙක්ගේ අදහසත් මගේ අදහසත් එකතුව තමයි මම චිත්‍රපටයක් කවදත් කළේ.

අද චිත්‍රපට කරන්න නිෂ්පාදකයෝ සෙවීමත් හරියට නිකන් කළු නික සොයනවා වගේ වැඩක්නේ?

අද තියෙන්නේ චිත්‍රපටය කරන එක නෙමේ, පෙන්න ගන්න එකනේ. චිත්‍රපටයක් කරන්න යන මුදලට වඩා මුදලක් ඒක පෙන්න ගන්න අද නිෂ්පාදකවරයකුට මුදල් වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ප්‍රින්ට් ගහන්න, ප්‍රචාරක කටයුතුවලට, ලැබ්වලට විශාල වශයෙන් මුදල් යොදවන්න සිද්ධ වෙලා. කවුරුවත් දෙන්නම් කාසිවලට චිත්‍රපට පෙන්වන්න ප්‍රින්ට් ගහල දෙන්නෙත් නැහැ. ස්ටුඩියෝ දෙන්නෙත් නැහැ. ප්‍රචාරයන් දෙන්නෙත් නැහැ. මේ වටපිටාව තුළ නිෂ්පාදකයෝ කර්මාන්තයට එක් වෙනවාත් අඩුයි.

චිත්‍රපට අධ්‍යක්ෂවරු නිෂ්පාදකයෝ අමාරුවේ දැමීම මේකට ප්‍රධාන හේතුව කියලා මතයක් තියෙනවා නේද?

ඒ කතාවේ සත්‍යයක් නැහැ කියලා මම කියන්නේ නැහැ. සමහර අධ්‍යයක්ෂවරු නිෂ්පාදකයන් අමාරුවේ දාපු අවස්ථා තියෙනවා. අපේ මිනිස්සු හුඟක් දෙන්නේ කියන්නේ හංගලානේ. ෂූටින් ඉවර වෙනකන් බජට් එකක් නිෂ්පාදකට දෙනවා. නිෂ්පාදකත් ඒකට ඉහළින් කැමැති වෙනවා. අන්තිමට ෂූටින් ඉවරයි. බජටුත් ඉවරයි. චිත්‍රපටය රීල් එකේ. ඇයි එතනින් එහාට පෙන්න ගන්න දක්වා කරන්න ඕනෑ ඒවාට ආයේ නිෂ්පාදක සල්ලි මවන්න ඕනෑ. මෙන්න මේ නිෂ්පාදකයන් මුලා කිරීමේ බජට් දීම නිසා අද වෙන කොට චිත්‍රපට පෙන්න ගන්න බැරුව අතරමං වෙච්ච නිෂ්පාදකයෝ වැඩි පිරිසක් ඉන්නව. මම කියන්නේ අද කාලේ නිෂ්පාදකයෝ වුණත් තමන්ට නොතේරෙන මේ කටයුත්තේදී පරෙස්සම් වෙන්න ඕනෑ ෂූටින් ඉවරයි මුලාවට චිත්‍රපට භාර නොගන්න.

අද වෙන කොට අතරමං වෙච්ච චිත්‍රපට නිෂ්පාදකයෝ තමන්ගේ කෘති පෙන්න ගන්න බැරුව කොච්චර ප්‍රමාණයක් ඇති කියලා ඔබ විශ්වාස කරනවාද?

ඒ වගේ සිනමා කෘති 45 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්. අද මේවා රිලීස් කරගන්න නිෂ්පාදකයන්ට මුදල් නැහැ. කවුරුවත් ලෝන් දෙන්නේ නැහැ. චිත්‍රපට සංස්ථාව වුණත් ණය මුදලක් අනුමත කරන්නේ බෝඩ් එකක නිර්දේශයකින් පස්සේ. චිත්‍රපටය ගැන බෝඩ් එක සෑහීමකට පත් වෙන්නේ නැත්නම් සංස්ථාව හරහාවත් ණයක් ගන්න බැහැ. චිත්‍රපටය ඇපයට තියන් මුදල් දෙන්න කවුරුවත් කැමැති වෙන්නෙත් නැහැ. මේ නිසා චිත්‍රපට ප්‍රදර්ශනය කරගන්න බැරි ගොඩක් නිෂ්පාදකයෝ අද අසරණ වෙලා.

අලුත් අලුත් නිෂ්පාදකයෝ වගේම අධ්‍යක්ෂවරුත් අතරින් පතර හරි අපේ සිනමාවට එන වටපිටාවකුත් නැතුවා නොවෙයිනේ?

අපි කරන්නේ සිනමා කර්මාන්තයක් කියන දේ අමතක කරන්න හොඳ නැහැ. මේ කර්මාන්තය තුළ පලපුරුදු නිෂ්පාදකයෝ කීප දෙනෙක් මේ කර්මාන්තයේ ගැඹුර දැනගෙන කල්පනාවෙන් පීනනවා. ඒත් අලුත් අධ්‍යක්ෂවරු, නිෂ්පාදකයෝ චිත්‍රපට කර්මාන්තය ගැන හරි හැටි අවබෝධයක් නැති අත්හදා බලන්න ගිහින් අද වෙන කොට ඇණගෙන තියෙනවා. මෙය කර්මාන්තයක්. හරියට දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ වගේ.

එදාට වඩා අද සිනමාහල් කරා ඇදෙන පේ‍්‍රක්ෂක ප්‍රමාණය අඩු වෙලා නේද?

ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් ආර්ථිකය. අනික චිත්‍රපට හැදුවට මිනිස්සු බලන්නේ නැති එක. මිනිස්සු චිත්‍රපටය බලන්න ආවේ නැහැ කියන්නේ ඒක අපිට එපා කියලා අයින් කරපු නිසානේ. අපේ චිත්‍රපට බලන්න අලුත් ඕඩියන්ස් එකක් ආවෙත් නැහැ. හිටපු ප්‍රේක්ෂක පිරිස තමයි රැඳිලා තියෙන්නේ.

චිත්‍රපටයක් බලන්න කලින් සිංහල ප්‍රේක්ෂකයාට ඉව තියෙනවා කියලා ඔබ කියන්නේ කොහොමද?

අපේ ප්‍රේක්ෂකයාට හොඳට ගඳ සුවඳ දැනෙනවා. චිත්‍රපටය බලන්න ඉස්සෙල්ලා අපේ ප්‍රේක්ෂකයා හොඳට ඉව අල්ලලා බලනවා චිත්‍රපටය කොහොමද කියලා. ඊට පස්සේ තීරණය කරනවා චිත්‍රපටය බලනවාද නැද්ද කියලා. ඉව අල්ලන කොට හොඳයි කියලා දැනුණොත් ඔය අගේට චිත්‍රපටයත් දුවන්නේ. අපි අධ්‍යක්ෂවරු හැටියට දැනගන්න ඕනෑ ප්‍රේක්ෂකයාගේ ඉව මොකක්ද එයාලගේ ටේස්ට් එක මොකක්ද කියලා.

ඉව වැරදුන අවස්ථා අපේ සිනමා ඉතිහාසයේ ඕනෑ තරම් ඇති?

මොකද නැත්තේ, දැන් බලන්න තුෂාරා, හතර දෙනාම සූරයෝ චිත්‍රපට මුලින්ම කරපු වෙලාවේ පැල් බැඳගෙන දිව්වා. ප්‍රේක්ෂකයෝ පොර කකා බැලුවා. එහෙම වුණා කියලා ඒ චිත්‍රපට ආයෙත් වතාවක් අලුතෙන් නළු නිළියෝ දාලා කළා කියලා දිව්වද, ප්‍රේක්ෂකයෝ ආවද මුලදි වගේ වැල නොකැඩී, නැහැ. ඉව ඇල්ලුව, ගඳ සුවඳ දැනුණා, අපිට එපා කියලා අහකට දැම්මා. ඒකෙන් පේනවා නේද කලින් ගොඩ නඟා ගත්ත නම විකුණාල චිත්‍රපටයක් කළත් ප්‍රේක්ෂකයා ගඳ සුවඳ හඳුනනවා කියලා.

ඔබ සාර්ථක Box Office  වාර්තා තැබූ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම සිංහල සිනමාවේ වාර්තාගත චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ඔබ?

ඒ ගැන නිහතමානී සතුටක් මට තියෙනවා. මේ වෙන කොට මම තමයි සිංහල සිනමාවේ වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කළ පුද්ගලයා. චිත්‍රපට පනස් හතරක්. අවසන් වරට මම අධ්‍යක්ෂණය කළේ අලි සුරතල්. අසනීප තත්ත්වය නොතිබුණා නම් මේ ප්‍රමාණය මීටත් වැඩියි.

දින සියයේ රජා ලෙසත් ඔබ හැඳින්වෙනවා?

ඒ මගේ වැඩ කිඩ නිසා පටබැඳුණු නමක්නේ. මම අධ්‍යක්ෂණය කළ ඔබට දිවුරා කියන්නම්, ජය අපටයි, මමයි රජා, රජ වැඩකාරයෝ, යුක්තියට වැඩ , දිනුම, ඔබටයි ප්‍රියේ ආදරේ චිත්‍රපට හත පිට පිටම දින සියය දිව්වා. ඇත්තෙන්ම වාර්තාවක්. සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් කියනවා පිට පිටම තුන් වතාවක් ජයග්‍රහණය කරන කොට හැටිට්‍රික්් කියලා. පිට පිටම හත්වතාවක් ජයග්‍රහණය කරන කොට. . .?

ඔබ සමඟ චිත්‍රපට නිෂ්පාදනය කරපු සියලු නිෂ්පාදකයෝ ගොඩ ගියා කියලා හිතනවාද?

සමහර චිත්‍රපට දින 100 ඉක්ම වූවා. සමහර චිත්‍රපට දින 75 ඉක්ම වූවා. හැම චිත්‍රපටයක්ම වගේ දින 50 ඉක්මවා ආරම්භක ප්‍රදර්ශන සිනමා ශාලාවල තිරගත වුණා. කිසිම අපහසුතාවයක් නැතිව මගේ චිත්‍රපට දිව්වා. සියලු චිත්‍රපට සාර්ථකයි. නිෂ්පාදකයෝ පාඩු ලබලා නැහැ.

අද වෙන කොට චිත්‍රපට බෙදා හැරීම ගැටලුකාරී තත්ත්වයකට පත් වෙලා නේද?

අද චිත්‍රපට සංස්ථාව කියලා බෝඩ් එකක් ගහ ගත්තු ගොඩනැඟිල්ලක් තිබුණට සංස්ථාවට ප්‍රදර්ශන අයිතියක් නැහැ. අද ඒ අයිතිය පෞද්ගලික අංශයට ගිහින් තියෙනවා. පෞද්ගලික අවශ්‍යතා එකිනෙකා පිරිමහා ගනිමින් තමන්ගේ වැඩේ කර ගන්නවා හැරුණාම කර්මාන්තයේ අනාගතය ගැන කාගෙවත් උනන්දුවක් නැහැ. හොඳම සිනමා ශාලා ටික පෞද්ගලික අංශයේ හිමිකරුවන් සතු නිසා අද චිත්‍රපට නිෂ්පාදකයෝ අසරණ වෙලා. අද වෙන කෙට චිත්‍රපට කර්මාන්තය අවිනිශ්චිත කර්මාන්තයක් බවට පත් වෙලා. හෝල්කාරයෝ කියන පදයට අද චිත්‍රපට නිෂ්පාදකයන්ට නටන්න සිද්ධ වෙලා.

ජාතික චිත්‍රපට සංස්ථාවක් අපට තියෙද්දී ඔබ ඔය කියන හතර බීරි කතාව මොකක්ද?

මොකක්ද තමයි. අද වෙන කොට දේශීය චිත්‍රපටකාරයාට කෙලවෙලා. අපේ ජාතික චිත්‍රපට සංස්ථාවේ අනර්ඝ තේමාව වෙලා තියෙන්නේ දේශීය සිනමාවක් කරා කියලා. මේ චිත්‍රපට සංස්ථාවේ තරම් හොඳ පනතක් වෙන කොහේවත් නැහැ. ඒ වගේ පනතකින් චිත්‍රපටකරුවා ආරක්ෂා කර ගන්න ක්‍රමවේදයක් කොහේවත් නැහැ. අද වෙලා තියන්නේ පනත තිබුණට ක්‍රියාත්මකවීමක් නැහැ. සංස්ථාව කරන්නේ දේශීය සිනමාවක් කරා කියලා පාඨය ගහගෙන ද්‍රවිඩ චිත්‍රපට ගෙන්වීම. විදෙස් චිත්‍රපට ගෙන්වීම. ඒවාට ණය ලබාදීම. මම චිත්‍රපට සංස්ථාවට කියන්නේ දේශීය චිත්‍රපටකරුවාට සෙතක් සලසන් නැතිනම් ඔය ජාතික කියන කෑල්ල ගලවලා දාන්න කියලා.

ඔබේ චිත්‍රපට බහුලව තැනුවේ හින්දි, දෙමළ චිත්‍රපට අනුකරණවලට? මම කිව්වොත් ඔබ අපේ සිනමාවේ කොපි ෆිල්ම් කලාව වඩාත් තහවුරු කළා කියලා?

මම පිළිගන්නවා දෙමළ, හින්දි චිත්‍රපට මගේ නිර්මාණ සඳහා දායක වුණා කියලා. ඒත් මම ඒ චිත්‍රපට එහෙම්මම කොපි කළේ නැහැ. අපේ අයට අවශ්‍ය විදියට ඒ චිත්‍රපටවලින් කතාව අරගෙන චිත්‍රපට කළා. මම එහෙම කළා කියලා චිත්‍රපට අසාර්ථක වුණේ නැහැ. අදටත් මට මගේ චිත්‍රපට රූපවාහිනියෙන් බලලා ගොඩක් අය පුද්ගලිකව කතා කරලා කියනවා සුනිල් ඒ වගේ චිත්‍රපට තමයි ඕනේ. අනේ කරන්න කියලා.

එදා ඔබ කළ චිත්‍රපට නිර්මාණ අද බලන කොට මොකද හිතෙන්නේ?

අද මම දැනුමෙන්, වයසෙන් ගොඩක් දුර ගිහිල්ලා. ඒ වගේම අත්දැකීම් අතිනුත් ගොඩක් දුර ඇවිත්. මට හිතෙනවා ඒ චිත්‍රපටය අද කළා නම් මට තව ගොඩක් දේ දැන් කරන්න පුළුවන් කියලා.

 Box office වාර්තා තබමින් දින සියය ඉක්ම වූ චිත්‍රපට රැල්ලක් ඔබට නිර්මාණය කිරීමට ලැබිමේ රහස මොකක්ද?

එදා මිනිස්සුන්ට හොඳ විනෝදාස්වාදයක් දෙන්න මට හොඳ නළු නිළියෝ ටිකක් හිටියා. හොඳට සිංදු කියන්න පුළුවන් ගායක ගායිකාවන් හිටියා. ඒ අයට එදා ප්‍රේක්ෂකයෝ අසීමිතව ආදරය කළා. ජෝතිපාල, විජය ඒ කාලේ පීක් එකේ හිටිය පුද්ගලයෝ. මගේ චිත්‍රපට ඒ කාලේ දුවන්න ගත්තහම ෂෝ ටයිම් කැලේ. පික්චර් එක ඉවර වෙන කොට හැතැම්ම ගණන් දිග පෝලිම් ඊළඟට හෝල් එක ඇතුළට යන්න . ගහන ගහන චිත්‍රපටය සීය පැනලා දුවන කොට මම රජෙක් වෙන එක කාටවත් වලක්වන්න බැරි වුණා.

අධ්‍යක්ෂවරයකු පමණක් නොව ඔබ නළුවෙක්. නිෂ්පාදකවරයෙක්, තිර කතා රචකයෙක් ලෙස සිනමාවේ නියැලි පුද්ගලයෙක්. මෙයින් ඔබ වඩාත් කැමැති කවුරු ලෙස හඳුන්වනවාටද?

අධ්‍යක්ෂවරයෙක් ලෙසින්. නළුකම මම කළේ ජොලියට, පොඩි ආශාවකට. මම වෘත්තීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්.

ඔබම අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවලත් රඟපෑවා?

ඔබට දිවුරා කියන්නම්, රජ වැඩකාරයෝ, මමයි රජා වගේ චිත්‍රපට කිහිපයකම රඟපෑවා.

ඔබ සම්මානනීය ඇගැයුමට ලක් වුණේ නැද්ද?

මගේ චිත්‍රපට ආදායම් වාර්තා අතින් ඉහළ අගයක් ගත්ත නිසා චිත්‍රපට උලෙළවල චිත්‍රපට සතියට ඒ චිත්‍රපට ඇතුළත් වුණා. විනිශ්චය මණ්ඩලයේ තීන්දු තීරණ අතරට මගේ නම ආවේ නැති වුණත් මගේ චිත්‍රපටවල ඒ වසරවල රඟපෑ නළුවෝ, නිළියෝ, ගීත රචකයෝ සම්මාන ලැබුවා. මට සම්මාන නොලැබුණත් මගේ නිර්මාණවල රඟපෑ අයට සම්මාන ලැබීම මට සතුටක්. ඒ සම්මාන මම සලකන්නේ මට ලැබුණ ඒවා හැටියටයි.

ඔබේ බිරියගේ වියෝවත් සමඟ අද ඔබ කා ළඟද කල් ගෙවන්නේ?

මහරගම වත්තෙගෙදර පාරේ තියෙන මගේ ගෙදර තට්ටු හතරකින් සමන්විතයි. පහත මාලයේ මගේ දුව ප්‍රියංකා කුමුදිනි පදිංචි වෙලා ඉන්නවා. දෙවැනි තට්ටුවේ මගේ ලොකු පුතා රෝහණ ප්‍රේම කුමාර පදිංචි වෙලා ඉන්නවා. තුන්වෙනි තට්ටුවේ සුදේශ් වසන්ත පුතා පදිංචි වෙලා ඉන්නවා. බිරිඳ නැති වෙන්න ඉස්සෙල්ලා එයයි මමයි ගෙයි හතර වෙනි තට්ටුවේ තමයි ජීවත් වුණේ. දැන් නම් මගේ අසනීප තත්ත්වයත් කකුලේ අපහසුතාවයත් නිසා පඩි පෙළ නැගීමේ අපහසුකම නිසා පහළ තට්ටුවේ දුව ළඟ ජීවත් වෙනවා.

ඔබ අසනීප වූ අවස්ථාවේ විවිධ අයුරින් උපකාර කළ අයට ඔබ කෘතවේදීත්වය පිරිනමන්න මෙය අවස්ථාවක් කර ගන්නා බව පැවසුවා නේද?

සිනමා කර්මාන්තයේ නියැලී සිටින අයත් මගේ රසිකයොත් මට විවිධ අයුරින් ඒ මෙහොතේ උපකාර කළා. සමහරු මම වෙනුවෙන් බෝධි පූජා පැවැත්වූවා. මුදලින් පවා උපකාර කළා. මේ හැමෝටමත් මට ජිවත්වීම් භාග්‍ය උදා කරමින් මට ප්‍රතිකාර කළ ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් වන චූලා හේරත්, පි‍්‍රිය රිසි පීරිස්, චින්තන ගලහිටියාව මහත්වරුන්වත් මම මේ වෙලාවේ කෘතවේදීව සිහිපත් කරනවා.