වර්ෂ 2016 ක්වූ ජූනි 16 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

මිර්ස්යා සමඟින් හර්ෂ්

 

“හර්ෂ්වර්ධ්‍යන් කපූර්” බොලිවුඩයේ නොඇසුණු නමක්. නමුත් ‘අනිල් කපූර්’ නම් නොදන්නා බොලිවුඩ් රසිකයෙක් සොයා ගැනීම අසීරුයි. හර්ෂ් ඔහුගේ පුතණුවන්. හර්ෂ් රඟදක්වන ප්‍රථම චිත්‍රපටය, ‘මිර්ස්යා’ ඔක්තෝබර් මාසයේ තිරගත වීමට නියමිතයි. එහි ප්‍රධාන චරිතය රංග දක්වන්නේ ඔහු යි . හර්ෂ් ගේ සොයුරිය වන සෝනම් කපූර් රිදී තිරයට පැමිණියේ ද 2005 වසරේ සාවරියා චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය රඟපාමින්.

මිර්සා සහිබාන් පිළිබඳ වන පන්ජාබ් ජනකතාවක ඇසුරින් නිර්මිත මිර්ස්යා චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය තවත් හඳුන්වාදෙන නිළියක වන සයියමි ඛේර් විසින් රඟදක්වනු ඇති අතර, මොවුන් දෙදෙනා ගැනම චිත්‍රපටයේ අධ්‍යක්ෂක වන රාකේෂ් ඕම්ප්‍රකාෂ් ඇතුළු බොහෝ දෙනා බලාපොරොත්තු දල්වාගෙන සිටින බවයි කියවෙන්නේ.


අදාළ නම් කමක් නෑ

ආදිත්‍ය චොප්රාගේ ‘බෙෆික්රේ’ චිත්‍රපටයේදී රන්වීර් සිං විසින් වානි කපූර් 23 වරක දී සිප ගන්නා බවට බොලිවුඩයේ කටකතා පැතිර ගොස් තිබෙනවා. මේ ගැන එක් සම්මුඛ සාකච්ඡාවකදී රන්වීර්ගේ පෙම්වතිය, දීපිකා පදුකොන් ගෙන් විමසූ විට ඇය කියා ඇත්තේ මෙවැන්නක්. “ඒ එම චිත්‍රපටයට අවශ්‍ය දෙයක්. චිත්‍රපටයට අවශ්‍ය නම් අදාළ නළු නිළියන් එය එසේ කළ යුතුයි. මට ඒ ගැන ප්‍රශ්නයක් නැහැ, මොකද මමත් කලින් චිත්‍රපටවලදී මෙලෙස නළුවන් සිපගෙන තිබෙනවා.”

බොලිවුඩයේ සුප්‍රසිද්ධ පෙම් යුවලක් වන මොවුන් දෙදෙනා මීළඟට සිය නිවාඩු කාලය ගත කිරීමට සැරසෙන ස්ථානය ගැනත් මේ දිනවල කතා පැතිරිලා. ඒ කතා වලට අනුව ඔවුන් සිය පවුල්වල උදවියද සමඟ දින 8ක යුරෝපීය සංචාරයක යෙදීමට නියමිතයි.

පසුගිය දිනවල දීපිකාට සහ රන්වීර්ට එතරම් සුබ නොවන ආරංචිද පැතිර යමින් තිබුණා. ඒ දීපිකා හොමි අදජනියා නම් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුට තරමක් ළං වන බවත්, මේ අතර රන්වීර් නිරූපනි ශිල්පිනියක වන ජුලියා ඔර්ඩන් හා හාද වී ඇති බවත්ය. කෙසේ නමුත් ඒ කටකතා මේ වන විට තුනී වී ගොස් ඇති බවත් පෙනේ.


පෙනෙන දේ සහ දකින දේ

සිය පෙම්වතුන් පිළිබඳ ප්‍රවෘත්ති මනා ලෙස කළමනාකරණය කිරීම අතින් ආලියා භාත් ඉදිරියෙන් සිටින්නියක්. නමුත් ඇයට පෙර පෙම්වතුන් සිටියේ නැති බව ඉන් කියවෙන්නේ නැහැ. ඇය ළඟදී ඒ ගැන ඉන්දියානු සඟරාවකට කියා ඇත්තේ මෙවැන්නක්.

“මගේ පියාටත් බිඳුණු සම්බන්ධතා තිබුණා. මා හිතන අන්දමට අප සියල්ලන්ටම ඒ වගේ අත්දැකීම් තිබෙනවා. බිඳුණු සම්බන්ධතා අපව ශක්තිමත් කරනවා. මටත් එවැන්නක් තිබුණා. මා එය අත්හැර දැම්මේ මට මගේ වෘත්තියේ ඉහළට යාමට අවශ්‍ය වූ නිසයි.”

ඇය හා හාදකම් පවත්වන බවට කටකතා පැතිර ඇති සිද්ධාර්ත් මල්හෝත්‍රා ගැනත් ඈ යමක් පවසා තිබුණා.

“මාධ්‍ය පොඩි දේවල් විශාල කර පෙන්වීමට බොහෝවිට වෑයම් කරනවා. ඔවුන් අපව නිතරම දකින විට අපි යාලු බව පවසනවා. නොදකින විට උරණ වී ඇති බව ප්‍රසිද්ධ කරනවා. අප එකට වැඩ කරන විට නිතරම එකට දිස්වනවා. එසේ නැති විට එහෙම නෑ. එපමණයි.”


පි‍්‍රයංකා අලුත් වැඩක

ජාත්‍යන්තර තලයේ සිය පළමු ගීතය ගායනා කරමින් අමෙරිකානු රූපවාහිනී කතා මාලාවක ප්‍රධාන චරිතය රඟපාමින්ද ඔස්කා සම්මාන උළෙලට සහභාගී වෙමින්ද, සාර්ථක හොලිවුඩ් චිත්‍රපටයක රඟපාමින්ද දස්කම් දැක්වූ ප්‍රියංකා චොප්රා මේ වනවිට ජාත්‍යන්තරයේ නමක් දිනා සිටින්නීය. පසුගියදා ඇමෙරිකානු ජනපති ඔබාමාගේ පවුල සහ හොලිවුඩ් නළු නිළියන් සහභාගී වූ රාත්‍රී භෝජන සංග්‍රහයකටද ප්‍රියංකාට ආරාධනා ලැබුණා.

ඒ විතරක් නෙවෙයි ඇය ළඟදීම ජනප්‍රිය ජාත්‍යන්තර චරිත සමූහයක් සමඟින් සංගීතමය වීඩියෝවක ටත් රංගනයෙන් දක්වන බවට ආරංචි වනවා. මේ චරිත අතර, ගායිකාවක, රංගන ශිල්පිනියක වන ජෙනිෆෙර් ලෝපේස්, පාපන්දු තරුවක වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, නිරූපණ ශිල්පිනියක, රංගන ශිල්පිනියක වන මිලා ජෝවෝවිච්, ඇමෙරිකානු රූපවාහිනී ශිල්පීයක වන රයන් සීක්රෙස්ට්, සහ ගායකයෙක් වන එකොන් ද ඇතුළත් වනවා. එන්රික්, ආර් සිටි ශර්යාහ්, සහ ශැගී මේ ගීතය ගායනය කරන්න නියමිත බවටත් ආරංචි ගෙන එනවා.


අමෙරිකාවේ රැකියාව විවාහය දෙදරයි?

ඩෙකාන් ක්‍රොනිකල් නම් සඟරාවට අනුව, බොලිවුඩ් නළු ජෝන් ඒබ්‍රහම් හා ප්‍රියා රන්චාල් ගේ විවාහය මේ වන විට දෙදරා යමින් තිබෙන බව ආරංචියි. ජෝන් පසුගිය දිනක තමා සිය බිරිඳ හා ගත කරන නිහඬ සහ සතුටුදායක ජීවිතය ගැන කියා තිබුණද, ඔහුගේ මිත්‍රෙයකු පවසා තිබුණේ, ඔහු සිය වෘත්තීය ජීවිතය ඉන්දියාවේ ගත කිරීමත්, ඇය සිය රැකියාව අමෙරිකාවේ කිරීමත් ඔවුන්ගේ විවාහයට බාධාවක් වන බවයි.

ප්‍රියා සමඟින් විවාහ වීමට පෙර ජෝන් බිපාෂා බාසු සමඟින් ආදරයෙන් බැඳී සිටියා. දස වසරකට ආසන්න කාලයක් පැවැති මේ පෙම් කතාව නිමා කරමින් ජෝන් ප්‍රියා සමඟින් විවාහ වූයේ 2011 වසරේදීය.