වර්ෂ 2016 ක්වූ ජූනි 16 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රේමසිරි යයි ප්‍රේමලාල් එයි

ප්‍රේමසිරි යයි ප්‍රේමලාල් එයි

දිනය 1976 වසරේ නොවැම්බර් 20 වෙනිදාය. සරසවිය - ජනතා ප්‍රියතම සිනමා කලාකරුවන්ට ජනප්‍රිය සම්මාන පිදීමේ මහෝත්සවයට පෙර දිනය. මේ දිනය මට අමතක නොවන දිනයකි. මගේ පත්‍ර කලා ජීවිතයට සමීපතම සංගීතඥයා වූ ප්‍රේමසිරි කේමදාසයන් ගැන අමතක නොවන සිදුවීමක් වුණේ එදාය. මා එදින නොසිටියා නම් කියා සිතුණ වාර අනන්තය.

ඉහත කී සම්මාන ප්‍රධානෝත්සවයට සංගීත සංධ්වනියක් නිර්මාණය කිරීමට පැවරී තිබුණේ කේමදාසයන්ටය. මගේ මතකය හරි නම් ඒ වන විට 'පීඩිතයන්ගේ ගීතය' සංගීත සංධ්වනියත්, නිධානය, අහස් ගව්ව, දෑස නිසා චිත්‍රපටල නිර්මාණාත්මක පසුබිම් සංගීතය ගැන කේමදාසයන්ට විචාරක ප්‍රේක්ෂක යහපත් ප්‍රතිචාර ලැබෙමින් තිබූ වකවානුවකි. මේ උලෙළට උචිත තේමාවක් දී අලුත් සංධ්වනියක් නිර්මාණය කරන ලෙස කේමදාසයන්ට පවරන ලද්දේ ධර්මසිරි ජයකොඩි හා දිනමිණ කර්තෘ මණ්ඩලයට අලුතින් එක් වූ ධර්මසිරි ගමගේ විසිනි.

එදින දහවල් දෙකට පමණ විමලසිරි පෙරේරා මහතා (සිළුමිණ හා සරසවිය කර්තෘ) මා කැඳවීය.

'හරියට 5 වෙන කොට නව රඟහලට යන්න. අපි හය වෙන කොට එතැනට එනවා. කේමදාස ඔයාගේ යාළුවනේ. එයාට කියන්න රෑ වෙලා චෙයාමන් එනවා කියලා, රිහසල් ඉක්මන් කරන්න කියලා. අවශ්‍ය දෙයක් තියෙනවා නං චාලි තිසේරාට (ලේක්හවුස් වෙළඳ දැන්වීම් අංශයේ ප්‍රධානියා) කියන්න.'

මම කල්තියාම නව රඟහලට ගියෙමි. චාලි තිසේරා එහි පැමිණ සිටියේය. (පසු කලෙක චාලි ලේක්හවුස් අලෙවි කළමනාකරු හා බෙදා හැරීමේ කළමනාකරු ලෙස සේවය කරන කාලයේ මගේ සමීපතම මිත්‍රයා හා හිතවතා විය.) මේ කියන කාලයේ චාලි මා සමඟ වැඩි බජනයක් තිබුණේ නැත. ඔහු යාන්තමට සිනාසුණා පමණි. මම ද ඒ අයුරින්ම ප්‍රතිචාර දැක් වුවෙමි. දඩබ්බරයන් වූ ඔහු හා මාද කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස්හි උපන් අය වූහ.

කේමදාසයෝ 50 කට ආසන්න වාද්‍ය වෘන්දයක් සමඟ පුහුණුවීම් කරමින් සිටියහ. වේලාව සවස 6.30 ට පමණ ඇත. හදිසියේම ලේක්හවුස් සභාපති ඒ. කේ. ප්‍රේමදාස මහතා මුදල් අධ්‍යක්ෂ සිරිවර්ධන මහතා සමග එහි පැමිණියහ.

'අන්න චෙයාර්මන් ඇවිත්. ඔයා යන්න' චාලි මට කීය.

'හරි වැඩේ වෙන්නේ කෝ මිස්ටර් විමලසිරිවත් තාම ඇවිත් නැහැනේ . . . කොහොමද මම උත්තර දෙන්නේ.'

'යන්ඩ අයිසේ මම දන්නවද කේමදාසලව සරසවියේ අයනේ එයාව දන්නේ'

මම ඉස්සර වීමි. ළඟදී උසස්වීමක් ලබාදීම නිසා සභාපතිතුමාට මාව හොඳට මතකය.

'කෝ විමලසිරි?'

'සර් දැන් එනවා කිව්වා'

'මෙයාගේ අයිටම් එක බලන්න ආවේ. කෝ තාම 'කූන් කූන්' විතරනේ.

'තාමා රිහසල් කරනවා. දැන් පටන් ගනීවි'

'කෝ . . . තිසේරා . . .' සභාපතිතුමා වට පිට බලා ඈත සිටින බව දැක අතින් කතා කළේය.

'අයිසේ, තිසේරා අර මියුසික් ඩිරැක්ටර්ට කියන්න මට රිහසල් එකක් බලන්න ඕනෑ කියලා. අටට තව එපොයිමන්ට් ඒකක් තියෙනවා. 'හරි අප්'

'රන්ජිතුත් එනවද? ඔයාගේ යාළුවනේ?' තිසේරා මාවත් ඇදගෙන කේමදාසයන් අසලට ගියේය.

'මම කොහොමද මාස්ටර්ට කියන්නේ? එයාට හොඳටම කේන්ති යයි. එයා නහයට නාහන මුරණ්ඩු කෙනෙක්'

'කොහොම හරි යන්න අයිසෙ. චෙයාර්මනුත් ඒ ජාතියේ කෙනෙක්නේ'

සභාපතිතුමා ඈත අසුනක වාඩි වී අප දෙස බලා සිටියේය. මම කේමදාසයන් ළඟට කිට්ටු කළෙමි. විශාල වාදක මණ්ඩලයකි. කේමදාසයන් දෑත් විදහාලමින්, දහඩිය දමාගෙන වාදක මණ්ඩලය මෙහෙයවයි.

'මාස්ටර්'

මගේ හඬ ඔහුට ඇසෙන්නේ නැත.

'මාස්ටර් කතා කරනවා' වාදක මණ්ඩලයේ සිටි ඩග්ලස් ෆර්ඩිනැන්ඩ් කීවේය.

'මාස්ටර් . . . අපේ චෙයාමන් ඇවිත්. රිහසල් එකක් බලන්න ඕනැලු'

'මේක ලොකු වැඩක් චෙයාමන්ට ඕනෑ විදිහට මේව කරන්න බෑ. මෙතැන ඉන්නේ මස්, ලේ, ඇට නහර තියෙන මිනිස්සු. වතුර ටිකක්වත් බොන්නේ නැතිව පැය තුනක් ප්ලේ කරනවා. මේ මනුෂ්‍යයෝ. පත්තර ගහන යන්ත්‍ර නෙවෙයි. මේක නිර්මාණයක්' කේමදාසයන් හයියෙන් කෑගැසීය.

මාගේ ගැස්සීමේ වේගය කෙතරම් වීද යත් තිසේරාගේ ඇඟේ ද හැපුණෙමි. කේමදාසයන්ගේ කෑගැහිල්ල සභාපතිතුමාට නිසැකවම ඇසෙන්නට ඇත.

'කම් හියර් . . .' සභාපතිතුමා අප කැඳවීය.

අපි බියෙන් ඔහු අසලට ගියෙමු.

'එයාට ඉක්මන් කරන්න කියන්න' සභාපතිතුමා ද කේන්තියෙන් හඬ තැලීය.

ඒ ගෝරනාඩුව ඇසුණ කේමදාසයන් 'අපි යමු. එයා කර ගනීවි' වාදක මණ්ඩලයට අණ දී එළියට ගියේය.

වාදක මණ්ඩලය අන්දමන්ද වී එකා දෙන්නා විසිර ගියහ.

සභාපතිතුමා ද කේන්තියෙන් යන්නට ගියේය. අපි ඔහු පිටුපස දුව ගියෙමු. ඒ වන විටත් රථය පිටව ගොස්ය.

ගත වූයේ විනාඩි දහයකි. විමලසිරි පෙරේරා, ධර්මසිරි ජයකොඩි, ටී. බී. පෙරමුණේ තිලක, ගුණසෝම සමරසිංහ, කරුණරත්න සපුතන්ත්‍රි හා ධර්මසිරි ගමගේ යන මහතුන් වේදිකාව අසල දොරටුවෙන් ඇතුළු වූයේ කොක් හඬ ලා සිනාසෙමිනි.

වාදක මණ්ඩලය වාඩි වී සිටි හිස් පුටු දුටු විමලසිරි මහතා කලබලයට පත් විය.

'ඈ . . . රිහසල් නැද්ද? දැන් චෙයාමනුත් ළඟම එනවා ඇති' ධර්මසිරි ජයකොඩි මහතා මගෙන් ඇසීය.

මම සියල්ල විස්තර කළෙමි.

'මළකෙළියයි ෂඞ අපට වේලාසනින් එන්න තිබුණේ'

සභාපතිතුමා මෙන්ම කේමදාසයන් ද වචනය වෙනස් නෙකරන බව දැන සිටි පිරිස වෙන විකල්පයක් ගැන සිතූහ.

'ධර්මේ කිව්වොත් කේමා අහවි. මමත් කතා කරන්නම්' ධර්මසිරි ජයකොඩි, ධර්මසිරි ගමගේට කීවේය.

ධර්මසිරි ගමගේ තරම් සතුරන් එක් කිරීමට සමතෙක් මම අද වෙනතුරු දැක නැත්තෙමි. ඔහුගේ කාරුණික බසට නොනැමෙන කෙනෙක් සිටීදැයි මම නොදනිමි.

'හොඳයි, මම ඒ වැඩේ භාර ගන්නම්. හරි කියමු. චෙයාමන් නම්මා ගැනීම කරන්න පුළුවන් කාටද?' ධර්මසිරි ගමගේ ප්‍රශ්නයක් නැඟීය.

'ඒක නං සක්කරයටවත් බෑ. අපි වෙන දෙයක් ගැන හිතමු. දැන් අටත් පහුවෙලා. දැන්ම තිරණයක් ගමු'.

මේ වන විට නාවික හමුදාවේ සේවය කළ සරසවිය පත්‍රයට ස්වාධීන ලේඛකයන් ලෙස විශේෂාංග ලියන විමල් තිලකරත්න හා රංජිත් වීරසිංහ උලෙළේ වැඩවලට සහායවීමට පැමිණ සිටියහ. (විමල් පසුව නවකතාකරුවකු ලෙස ද රංජිත් පසුව චිත්‍රපට ගීත රචකයකු ලෙස ද ප්‍රකටම සිට ජීවිතයෙන් සමු ගත්හ.)

ඒ දිනවල නාවික හමුදාවේ සංගීත අංශයේ නියමුවා වූ ප්‍රේමලාල් දන්වත්ත 'රට වටේ' නම් සංගීත නිර්මාණයක් කරමින් රට පුරා ප්‍රසංග පැවැත්වීය. ඔහු ඒ වන විට ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 'මඩොල් දුව' චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා ලෙස දස්කම් පා සිටියේය. ඔහු පිළිබඳ විශේෂාංගයක් ලිවීමට වරෙක මා වැලිසර නාවික හමුදා කඳවුරට ගෙන ගියේ විමල් හා රංජිත්ය. මේ නිසා මාව ඔහු හොඳින් දැන සිටියෙමි.

'වෙලාවේ හැටියට අපි ප්‍රේමලාල් දන්වත්තගේ 'රට වටා' ප්‍රසංගය ඉදිරිපත් කරමුදැයි' තෝරුන් අතර හාල්මැස්සකු වූ මගේ කටින් කියවිණ.

'හොඳම අදහස. මුගේ කටේ මසුරන් දාන්න ඕනෑ' විමලසිරි මහතා යළිත් කොක් හඬලා සිනාසුණේය.

'විමලුයි, රංජිතුත් අර පිටිපස්සෙම ඉන්නවා' මම කීවෙමි.

'නැගලා යනවා. හරියට කියලා කෙරෙව්වා වගේ' ජයකොඩි මහතා ද සතුටින් කීවේය.

විමල් හා රංජිත් කැඳ වූ විමලසිරි මහතා තත්ත්වය පැහැදිලි කළේය.

'ඕකේ බොස් වැඩේ හරි කියලා හිතන්න. දැන්ම අපි ගිහින් දන්වත්ත මහත්තයා හම්බ වෙලා හෙට උදේ 10 ට අපි චෙයාමන්ට පෙන්වමු' විමල් සතුටින් වැඩේ භාර ගත්තේය.

'දැන්ම යන්න. රන්ජිත් කුමාරවත් එක්ක යන්න. එයා අපට ඕනෑ දේ කියාවි. කෝකටත් රිහසල් එක චෙයාමන්ට දවල් 11 ට පෙන්වන්න අපි එක්ක එන්නං' විමලසිරි මහතා කීවේය.

අපට විමලසිරි මහතාගේ මෝටර් රථය ලැබිණ. රංජිත් වීරසිංහ, විමල් තිලකරත්න හා මම ද වැලිසර නාවික කඳවුර බලා ගියෙමු. අපි එහි යන විට දන්වත්ත මහතා මෙස් එකේ අවන්හලේ සිටියේය. ඔහු අමුත්තෙකු වූ මා ආදරයෙන් පිළිගත්තේය. අපි සියලු ඇබැද්දි කීවේය. හෙට උත්සවයට අගමැතිනිය එන නිසා වැඩේ ඉස්තරම් ලෙස අවශ්‍ය බවත්, කලා උළෙලක් නිසා එය තේමා කොට සංගීතාංගය සකස් විය යුතු බවත් මම කීවෙමි.

'අපි බියර් එකක් බීලා රෑට මොකුත් කමු' කී දන්වත්ත මහතා තම සහාය සංගීත අධ්‍යක්ෂ කැඳවා අවශ්‍ය උපදෙස් දුන්නේය. ඊළඟට ඔහු විමලසිරි මහතාගේ නිවසට ටෙලිෆෝනයෙන් කතා කළේය.

'කර්තෘතුමා මම නේවි එකේ දන්වත්ත. ගෝලයෝ ටික මා ළඟ ඉන්නවා. සේරම හරි. හෙට උදේ 9.30 රිහසල් එක ලෑස්තියි. අපි උදේ 7 ට එනවා නව රඟහලට' දන්වත්ත මහතා සිනාසෙමින් කිවේය.

විමලසිරි මහතා මට ටෙලිෆෝනයෙන් කීවේ විමල් හා රංජිත් සමඟ උදෑසන 8 වන විට රිහසල් එකට එන ලෙසය. අපි සප්පායම් වී ගෙවල්වලට ගියේ සැනසුම් සුසුම් හෙළමිනි.

'රංජිත් දන්නවනේ නේවි එකේ වැඩ, අපිට විනයක් ශික්ෂණයක් තියෙනවා. කිව්වොත් කිව්ව වෙලාවේ වැඩේ ඇති' විමල් කීවේය.

පසුදා උදේ නියමිත වේලාවට අපි නව රඟහලට යන විට දන්වත්ත මහතා සියල්ල සූදානම් කොට තිබුණි.

විමලසිරි මහත්තයාට එන්න කියන්න. අපි සූදානම්. චෙයාමන් එන්න ඉස්සර වෙලා අපි විමලසිරි මහත්තයට පෙන්නල හිටිමු' දන්වත්ත මහතා කීවේය.

විමලසිරි පෙර්රා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයම කල් තියා පැමිණියහ.

දන්වත්ත මහතා වාදක මණ්ඩලයට අණ දුන්නේය. එහි සාමාජිකයන් 70 ක් පමණ සිටියහ. මුළු නවරඟහල පුරා සංගීත නාදය ප්‍රබලව නින් නාද විය. අධ්‍යක්ෂ මණ්ඩලය දිහා මම බලා සිටියෙමි. විදුලි ආලෝකය ද මැනවින් සකසා තිබුණි. එවකට ලංකාවේ සිටි දක්ෂතම විදුලි ආලෝක ශිල්පියා මහින්ද ඩයස්ගේ මූලිකත්වය ලැබීම අරුමයක්ද? සැමගේ මුහුණුවල සිනහව දෝර ගොසිනි.

'නැගලා යනවා . . . නැගලා යනවා. අගමැතිනියත් නිසැකවම සතුටු වේවි'

සත්තකින්ම එය බලා සිටිය හැකි උසස් නිර්මාණයකි. විමල්ගේ සහ රංජිත්ගේ මුහුණේ මල් සිනාය. සභාපතිතුමා පැමිණියේ හරියටම දහවල් 10 යටය. මොහොතක් ප්‍රමාද නැතිව ප්‍රසංගය ඇරඹිණ, ඔහුගේ සතුට මුහුණේ අඩ සිනාවෙන් මොනවට පැහැදිලි විය.

එදා සවස ප්‍රේමලාල් දන්වත්තගේ එම නිර්මාණය ගැන අගමැතිනිය ද ප්‍රසාදය පළ කර සිටියාය.